කාලීන සංවාද

යන එන මඟ 1 – බස් බෝම්බය

Off

හැමෝටම මතකය අර බස්වල බෝම්බ පිපිරුණ කාලෙ. හම්මේ නිල්ට නම් පොඩ්ඩක්වත් අමතක නැහැ. මේ යුද්ධේ තිබ්බ මුලුකාලේම නිල් හොඳට එක එක අත්දැකීම් ලබල තියෙනවා. ඉතිං ඔන්න තවත් එක් යන එන මඟ වුණු සිද්ධියක්.

නිල් උදේට කාර්යාල වැන් රථයක සේවයට ගියත් හවසට වෙලාවට එලියට ඒ ගන්න බැරිවෙන නිසා ගොඩක් වෙලාවට හවසට බස් එකේ තමයි එන්න වුණේ. උදේට එලියට බහිනකොට අම්ම නිල්ට කියන්නේ කොහොම හරි කාර්යාල බස් එකේම එන්න කියලයි.

‘මං විතරක් බේරිලා හිටියම ඇතිය’ නිල් ඒ වෙලාවට අම්මගෙන් අහනවා.

‘හපොයි මැරෙන්න අරිනවනම් ඕන තරම් තැන්වලදී මැරෙන්න අරින්න තිබ්බ. එවායෙනුත් බේරගත්තේ බෝම්බෙකින් මැරෙන්න නෙමෙයි’ ඔන්න අම්මගේ උත්තරේ.

ඔන්න ඒ කාලෙ පුදුම කාලයක්. බස් බෝම්බ පිපිරෙමින් තිබුණා. මිනිස් බෝම්බ වලින් තත්වය එහාට ගිහින් බස් වල පොදු ස්ථාන වල බෝම්බ පිපිරෙන්න පටන් අරන් තිබුණා. නිල්ට මතක විදියට එක දිගට මේවා වුණේ. අපි හරිම බයෙන් ගමන් ගියේ. ඒ අස්සේ කොටි හෙලිකොප්ටර් වලින් ඇවිත් ගහලත් ගියා. ඒ වෙනකම් මායිම් ගම්මානවලට සිමා වෙලා තිබුණ, අපිටත් පැතිරුණත් අපිට නොතේරුණු යුද්ධය අපිට දැනෙන්න පටන් අරන් තිබ්බ.

ඒ කාලෙ බස් වල රාක්ක ගලවල තිබුණ. රාක්ක ගලවපු නැති බස්වල රාක්ක වලට බඩු දාන්න බැරි වෙන විදියට දැල් ගහල තිබුණා. කොන්දොස්තරගෙයි මිනිස්සුන්ගෙයි වැඩේ, ටිකක් ලොකු බෑග් එකක් අරන් කෙනෙක් නැග්ගොත් එයා දිහා කන්න වගේ බලන් ඉන්න එකයි.

ඉතිං නිල් කියල වෙනසක් තිබ්බේ නැහැ. නිකන්ම මේ ලෙඩ එයයිටත් බෝ වෙලයි තිබ්බේ. ඔන්න දවසක් නිල් කිරුලපොනෙන් 138 කොටුව බසයකට ගොඩ වුණා කියමුකෝ. වෙලාව හවස 5 ට විතර. වටපිට බලබල හැමෝම ඉන්නේ ඉතිං. හැමෝටම ඕනේ ඉක්මනට බස් එකෙන් බැහැ ගන්න. ඔන්න ඔහොම යනකොට තුන්මුල්ලෙන් විතර නැග්ග මේ බස් එකට කෙනෙක්. ලොකු බෑග් එකක්, කළුයි ඒ මදිවට. හම්මෝ ත්‍රස්තවාදියෙක් වීමට තියෙන සම්භාවිතාව හොඳටම වැඩියි. ආ…ඒ බස් එකේ රාක්ක වලට දැල් ගහල තිබ්බේ නැහැ. ඉතිං මේ පුද්ගලයා දැම්ම බෑග් එක රාක්කෙකට. දාල එයා ගිහින් සීට් එකක වාඩි වුණා. නිල්ට තවත් සැකයි. ‘මිනිහ බැහැල යන්න ඉඩ තියේ. එහෙම වුනොත් නම් මේක අනිවාර්යෙන් බෝම්බයක්.’ ඔන්න ඔහොමයි නිල්ට හිතුණේ. හරි බලමුකෝ කියල හිතපු නිල් මේ මනුස්සය දිහාම බලාගෙන හිටියලු දැන්. බහින්න ගියොත් විතරක් ක්‍රියාත්මක වෙනවා කියල හිතාගෙන.

එදා දවස, මොකටද කියල නිල් ට මතක නැහැ ඒත් ඔන්න පුදුමාකාර අන්දමේ ට්‍රැෆික් එකක් එදාත් තිබුණා. වෙනදා තියෙන එක නම් නෙමේ. කොම්පඥා වීදියේ ඉඳල කොටුවට ට්‍රැෆික් එකක් එන්න නම් මොකක් හරි විශේෂ දෙයක් තියෙන්නම ඕනේ. සාමාන්යෙන් ඒ දවස්වල ඔය සමහර ප්‍රභූන් යනකොටත් පාර වහලා අපි පැය ගණන් පාරේ ඉන්නවනේ, ඒ එක්කම උද්ඝෝෂණයක්, පෙළපාලියක්, ඔය කොයිකත් වෙන්න පුළුවන් කියල නිල් දන්නවා. ඔන්න බස් එකේ හිටපු අය එකා දෙන්නා බැහැල පයින් යන්න පටන් ගත්ත. නිල් දිගටම අරය දිහා බලාගෙන. එයා බැස්සොත් නිලුත් බහිනවා කියල හිතාගත්තා. ඒත් එයා බහින පාටක් නැහැ. දැන් බස් එක හෙලවෙන්නේවත් නැහැ. කොහොමහරි තව පැය භාගයක් විතර යනකොට මෙන්න බස් එක ගුවන් හමුදා මුලස්ථානය හරියට ආවා. දැන් බස් එකේ ඉන්නෙත් කීප දෙනයි. ඒත් අර මනුස්සය බහින පාටක්වත් නැහැ. ඉතිං නිලත් ඉන්නවා.

ඔන්න දැන් එක එක්කෙනා අර බෑග් එක දිහාත් බලනවා. ඒක දැකපු කොන්දොස්තර…’අය්යේ ඔයාගේ බෑග් එක ලඟට ගන්න…ලඟට ගන්න…’ කියල කෑගැහවුව…..

මෙන්න මේ මනුස්සය ඒ පාර බෑග් එක ලඟට ඇවිත් හිට ගත්ත …..හප්පච්චියේ දැන් නම් පුපුරවන්නයි යන්නේ…..දැන් මොකද කරන්නේ….. මැරෙන්න තමයි වෙන්නේ. නැත්නම් කොන්දොස්ත්රටවත් කියනවය. නිල් හිතමින්.

ඔන්න ඔය පාර තමයි නිල් හරි සිහියට එළඹුණේ……

දෙවියනේ නිල් කොහොමෙයි එහෙම තීරණය කරන්නේ, ඔය ඉන්නේ ත්‍රස්තවාදියෙක් කියල. එයත් කලුයි නොවැ. ලොකු බෑග් එකක් ළඟ නැති එක විතරයි. කාට හරි කිව්වොත් මේ මනුස්සයව පොලිසියට දෙයි. එක්කෝ පරික්ෂා කරලා බලයි. එහෙම කරලා නිල් ට පුලුවන්ද තමන්ගේ හෘදසාක්ෂියෙන් ගැලවිලා ඉන්න. අහිංසක මිනිස්සු බෝම්බ එක්ක අල්ල ගත්ත කියල පත්තරවල ගිය සමහරක් මිනිස්සු ඇත්තටම එහෙම අල්ල ගත්ත අය නෙමේ කියල නිල්ගේ නීතිඥ යාලුවෙක් කියල තිබුණ එකත් මතක් වුණා. ඉතිං එතකොට මෙහෙම සිතුවිලි වලින් පැය කීපයක් හරි හිටිය කියල දැනෙන කොට නිල්ට ඒක දරා ගන්න බැරිවුණා….දෙවියනේ මම කොහොමද එහෙම තවත් මනුස්සයෙක්ව සැක කරන්නේ. ඔන්න ඔහොමයි නිල්ට හිතුණේ.

මේ අපි අතරේම ඉන්න මිනිස්සු අපිටම බෝම්බ තිබ්බ කියල…….. මනුස්සයෙක් හැටියට තවත් නාඳුනන මනුස්සයෙක්ව සැක කරන්නේ කොහොමය. තමන්ගේම සහෝදර රට වැසියෙක්ව ත්‍රස්තවාදියෙක් කරලා තමන් හොඳ සුදන වෙච්ච කාලකන්නි පැය කීපයක් ගෙවිල ගියා. දොරේ ලංකාවේ හිටියනම් මේ දොරේ වෙන්නත් තිබුණා නේද කියල නිල්ට හිතුණා. දොරේ කියන්නේ නිල්ගේ අල්ලපු ගෙදර හිටපු 83 දී මේ රටේ දී හැම දෙයක්ම නැති කරගෙන මේ රටින් ගිය චන්ද්‍ර ඇන්ටියි සෙල්වරාජ් අන්කල්ගෙයි දෙවැනි පුතා.

ඉතිං කරන්න දෙයක් නැහැ….මොනවා කියල කරන්නද…….නිල් ලැහැස්ති වුණා…හදිසියෙවත් මේ ත්‍රස්තවාදියෙක් නම්….මේ යන්නේ බස් බෝම්බයක් පුපුරන්න නම්…..ඔව්….ඒ මනුස්සයව සැක කරන්න බැහැ නිල්ට…..ඒක නිසා නිල් ලැහැස්ති වුණා මැරෙන්න……

http://nilgunawardana.blogspot.com/2015/09/1.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල