කාලීන සංවාද

නොනිමි ගුරුතරු.. To teacher(s) with love

Off

අද ගුරු දිනේලු.. ඔය දින කේස් එකට මම නම් විරුද්ධයි.. එත් මොනවා කරන්නද මං විරුද්ද උනා කියල ඕව නවත්වනවා ඇයි.. සින්දු ඇනොගේ ගුරු දින පෝස්ට් එකට කම්මල දාල තිබ්බ කොමෙන්ටෙක දැක්කම මේ ටික ලියන්නම හිතුනා.. මගේ ශිෂ්‍ය කාලයේ ගුරුවරු ගැන මතක ටිකක්..

අකුරු කියවපු දවසේ ලොකු අයියා කොළඹ ඉද්දි ගෙනත් දීපු ලස්සන නිල්පාට සයිඩ් බෑග් එකයි ප්ලාස්ටික් බෝතලෙයි කුමාරෝදය පොතයි අරගෙන මම ඉස්සෙල්ලම ඉස්කෝලේ යනවා කියල ගියේ බදුල්ල ධර්මදුතේ ‘බාලාංශ’ පන්තියට.. අපේ අම්මට වැඩිය ටිකක් තලත්තැනි සුදු මහත ‘ටීචර්’ කෙනෙක් තමයි අපේ පන්තිය භාරව හිටියේ.. දවස් කීපෙකට පස්සේ දැන ගත්තා ඒ ‘සේනානායක’ ටීචර් බව.. (එවකට බදුල්ල නගරාධිපති පර්සි සේනානායක ගේ බිරිඳ).. ඒ කාලේ අපේ අම්මට පස්සේ මට වැඩිම ආරක්ෂාවක් දැනුනේ ටීචර් ළඟ ඉන්නකොට.. ඉන්ටර්වල් එකට කෝප්පයක් පුරවල දුන්නු පුංචි බිස්කට් වල සුවඳයි.. විභාගකටද මන්දා වතාවක් පන්තිය ඉස්සරහට ගිහිල්ල හයියෙන් කියාපු රෝස මලේ නටුවේ කටු ගීතයයි ඇරුනම මට ඒ පන්තියේ මතක තිබුනේ සේනානායක ටිචර්ගේ ආදරේ විතරයි.. හැබැයි ‘බාලංශයෙන්’ පාස් වෙලා 1 ශ්‍රේණියට එනකොට ලැබුණු තෑග්ගක් අදටත් මගේ ළඟ තියෙනවා.. තෑග්ග දුන්නේ සේනානායක ටිචර්.. ලස්සන ලොකු රවුම් අකුරින් තෑග්ග ‘ලියල’ තිබුනේ රිපෝර්ට් එකේ..

“දීප්තිමත් අනාගතයක සුභ ලකුණු දක්නට ඇත”.. ඕක තමයි තෑග්ග.. ඒ තෑග්ග ලියපු රිපෝර්ට් එක තාමත් මගේ පුද්ගලික ලිපිගොනුවේ තියෙනවා..

වාසනාවට එක ශ්‍රේණිය භාරව සිටියේත් සේනානායක ටීචර් මයි.. එක නිසා මගේ පාසල් ජිවිතේ මුල් අවුරුදු දෙක වර්ණවත් කල ඒ සදාදරණිය ගුරුතුමියට පළමු ආචාර වෙඩිමුරය මෙසේ පිරිනමනවා.. ඒත් දෙපා නැමද ආදරය දැක්වීමට අද ඇය අප අතර නෑ..

1 සිට 4 ශ්‍රේණිය දක්වා මගේ පාසල් සමය හැල හැප්පීම් අඩු වකවානුවක්.. ඔය කාලයේදී හැමදාම වගේ අම්මා මාව පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අතර සතියේ මැද පොළ පැවැත්වුණු සැම බදාදා දිනෙකම අම්මගෙන් ලැබුණු ‘අලියා බීම එක හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩිය’ මට ඊළඟ සතිය දක්වා පාසල් යාමට අනුබලයක් එක්කරා. මා මුලින්ම ‘ටිපිටිප්’ එහෙක රස බැලුවේ 2 පන්තියේදීයි. එවක මගේ ‘එක මේසේ’ සගයා වතාවක් ටිපිටිප් පැකට් එකක් ගෙනවිත් තිබු අතර මටත් එකක් රස බැලීමට දුන්නා..

ඒ වගේම මුලින්ම රුපියල් සියයේ නෝට්ටුවක් ලඟට දැක්කේත් එම පන්තිදීමයි. මගේ පන්තියේ බොහෝ මුස්ලිම් මිත්‍රයින් සිටි අතර ඒ අතුරින් ‘ෆයිසාල්’ ගේ පියා බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. ෆයිසාල් වරක් රුපියල් සියයේ නෝට්ටුවක් ගෙනවිත් අපිට පෙන්වූ අතර එසැනින් එය ‘ටීචර්’ගේ කණට වැටි තිබුනා. ඇය එය පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා දහවලෙහි ඔහුගේ දෙමවුපියන්ට භාර දුන්නේ නැවත එසේ මුදල් රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසද අවවාද කරමින්මයි. ඒ දෙක වසරේදී අපට ඉගැන්වූ ‘ස්වර්ණලතා’ ගුරු මහත්මියයි.. සුදු මහත උස ‘ලස්සන’ ගුරුවරියක් වූ ඈ මගේ මතකයේ එතරම් හොඳ තැනක නැතිවීම කණගාටුවක්.

එලෙසම 3 ශ්‍රේණියේ සිටි අපට එකවර වසරක ‘ප්‍රමෝෂන්’ එකක් ලැබීමත් මට හොඳින් මතකයි. පාසැල් නිවාඩු කාලය අවසන්ව අලුත් පොත් වලට බ්‍රවුන් පේපර් කවර දමා ‘ස්ටිකර්’ එකක් අලවා අක්කලාට කියා රවුම් අකුරින් ‘3 ශ්‍රේණිය’ ලෙස ලියාගෙන ගිය පොත් වල නොබෝ දිනකින්ම ‘3 ශ්‍රේණිය’ යන්න මකා දමා ඒ වෙනුවට ‘4 වසර’ ලෙස ලියාගෙන එන ලෙස එකල අපේ පන්තිය භාරව සිටි ‘වී.කේ. පෙරේරා’ ගුරුතුමිය දැනුම් දුන් අයුරු මට අද වගේ මතකයි. කොන්ඩේ තැනින් තැන සුදු වූ තලෙළු එහෙත් පියකරු වැඩිහිටි ගුරුවරියක් වූ ‘වී.කේ. පෙරේරා’ ගුරුතුමිය මට මට වඩාත් ලංවුයේ මා බාලාංශ පන්තියේ සිටියදී 5 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි අපේ පොඩි අයියගේ ගුරුතුමියද ඈ වූ බැවිනි. අම්මා එන්න පරක්කු දිනවල බාලාංශ පන්තිය ඇරී අයියාගේ පන්තිය අසලට එන මා කෙටි බිත්තියෙන් මෙපිට සිට පහ ශ්‍රේණියේ වැඩ ඉගෙන ගනිද්දී ඈ මා හට බොහෝ කාරුණික වුවාය..

පහ වසරේදී මට ඉගැන්වූ සුදු කෙට්ටු උස රුපයෙන් ලස්සන එත් මට එතරම් ලස්සන නැතිවූ ගුරුවරියගේ නම ‘සුරම්‍යා’ වගේ එකක් විය. එසේ වීමට හේතු දෙකක් තිබුණි. පහල පන්තිවල සිටම පන්තියේ එක හෝ දෙක ස්ථාන රක ගැනීමට මට හැකි විය.. ‘එක’ වීම සඳහා මාත් මා මිතුරු ‘දිමුතු’ත් අතර සිතල යුද්දයක් විය.. එනම් එක වාරයකදී මා ‘එක’ වනවිට ඊළඟ වාරයේ මදක් වැඩිපුර උනන්දු වී දිමුතු එක වෙයි. ඊළඟ වර නැවත මා ටිකක් වැඩිපුර උනන්දු වී ‘එක’ වෙමි. මෙය අප දෙදෙනාටම යහපත් ලෙස බලපෑවක් යයි මම අදටත් සිතමි. එහෙත් පෙර කී ගුරුවරිය මේ දාමය බින්දාය..

සියලු විෂයන් වල ලකුණු එකතු කිරීමේදී පහ වසර මැද වාරික පරීක්ෂණයන්ගෙන් මා පෙරමුණේ සිටි බව මට පැහැදිලි විය. එහෙත් ‘අත්වැඩ’ විෂය ඉතිරිව තිබිණි. ස්වභාවයෙන්ම දිමුතුත් මාත් දෙදෙනාම ‘අත්වැඩ’ සඳහා කම්මැලියන් වීමු. එහෙත් එය මගේ ‘උනන්දු වීමේ වාරය’ වූ බැවින් ගිනිපෙට්ටි සිගරට් පෙට්ටි ඊයම් කොළ හා පාප්ප පොල්කටුවක් රැගෙන ගිය මා ඇඟ පුරාම පාප්ප උලාගෙන මහංසිවී හොඳ තත්වයේ පුටු සෙටියක් හදා ඉදිරිපත් කල අතර හිල්පොල්කට්ටක් හා කළු රෙදි කැල්ලක් රැගෙන ආ දිමුතුවා පොල්කට්ටේ ඇස් දෙකට ඉහලින් කළු රෙදි කෑල්ල අලවා කළු හොම්රන් පැස් එකක් ගෙන දැලි රැවුලක් ඇඳ රකුසු මූණක් නිර්මාණය කර තබා පිට්ටනියට පැන සෙල්ලම් කරන්නට වුවේය. (එය හැබෑම අපුරු අත්වැඩක් වූ බව නම් කිව යුතුමයි.) අවසන් විග්‍රහයේදී දිමුතුට අත්වැඩ සඳහා ලකුණු සියයෙන් සීයක් ලැබී මුළු එකතුවෙන් ලකුණු දෙක තුනකින් මා අභිබවා යාමට හැකිවූ අතර අත්වැඩ සඳහා ලකුණු හැටක් පමණ ලැබූ මා දෙවෙනියා විය. හිතේ අමාරුව පසෙක තබා දිමුතුගේ ඒ සරල අපුරු නිර්මාණය මාද රස වින්දෙමි. මෙහි අවශේෂ කතාවනම් දිමුතුගේ පියා වූ දිසානායක සර් එවකට ධර්මදුතේ උප විදුහල්වරයෙකු වීමයි.

මට ‘මතක නැති’ ඒ ටිචර්ත් සමඟ ඉන් ඉදිරියටත් මගේ ඒ හැටි ඇයි හොඳයියක් නොවිණි. වාරාවසාන විභාගයේදී චිත්‍ර විෂයට පෙනී සිටීමට මට නොහැකි විය. චිත්‍ර විෂයට ලකුණු නොමැතිව මා එවර තුන්වෙනියා වූ අතර ‘කළු තරංග’යා ලකුණු කීපයකින් මාව අභිබවමින් දෙවැන්නා විය. ඒ වෙනුවට තරංග ගේ අම්මගෙන් ඔහුට අත් ඔරලෝසුවක් තෑගි ලැබී තිබුණු අතර 6 වසර ආරම්භයේදී ‘තරංග’ පන්තියේ උනන්දුවෙකු වී සිටියේය. එහෙත් ඉන් අනතුරුව මා එම පාසලේ නැවත විභාගයකට මුහුණ නොදුන්නෙමි.

ඒ අසුහත වසරයි. නව පාසැල් වරය ආරම්භයේදී මා පාසල් ගියත් එතෙක් පැවතී මගේ උනන්දුව ඒ වනවිට ගිලිහි ගොස් තිබුණි. පවුලේ වැඩිමලා වූ ලොකු අයියා ගුරුවරයෙකු ලෙස එවකට ඔහු ඉගැන්වූ වියලුව කන්දකැටිය ඩි.එස්.සේනානායක විදුහලට මා ඇතුලත් කිරීමට කටයුතු කල අතර ඔවුන් සමඟ ගුරු නිවාසයේ නතර වී පාසැල් යාමේ හැකියාව තිබුණි. කිසිදු පැකිලීමකින් තොරවම මම ධර්මදුතයට සමු දුනිමි.

කන්දකැටිය පාසලේ ගතකල වසරකට අඩු ඒ පරිච්චේදය මගේ පාසල් ජිවිතයේ ප්‍රීතිමත්ම අවධියයි.. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුයි. කෙසේවතදු ඒ ප්‍රීතිය හා සමඟ ගොඩ නැගුණු ශිෂ්‍ය පෞරුෂය මා ඉහල තැනකට ඔසවා තැබුවේය. හය වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 174ක් ලබා ඌව පළාතේ දෙවෙනියා ලෙසත් කන්දකැටිය විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වූ පළමුවැනියා ලෙසත් මා අසූ හත වසරාවසානයේදී එම පාසලට සමුදුනිමි. එහිදී හවස්වරුවේ විශේෂ පන්ති පවත්වමින් කිසිදු අමතර අයකිරීමකින් තොරව මගේ පන්තියට ඉගැන්වූ ඒ හොඳ ගුරුතුමියගේ නම මට අද මතක නැත. එහෙත් අමාවකට පෑයූ සඳක්වන් වූ ඇගේ ඒ පින්බර වත සිහිකරමින් ඇයට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර ඒ සමඟම මට ඒ අවස්ථාව උදා කර මගේම ලොකු අයියා වූ ‘ලලිත් සර්’වද මේ මොහොතේ සිහිපත් කරමි.

එවර ලකුණු 176ක් ලබාගනිමින් ඌව පළාතේ පළමුවැනියා ලෙස සමත්වීමට මගේ දිගුකාලින මිතුරා දිමුතු සමත් විය. අප දෙදෙනාටම ලංකාවේ හතර දිග්බාගයේම පාසල්වලින් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුණු අතර දිමුතු කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වන විට අපිට හැකි විදියට මම බදුල්ල මැදි මහා විදුහලට ඇතුළත් වීමි.

බදුලු මැදි මහා විදුහලේදී මුලින්ම 7’A’ පන්තියට මා ඇතුලත් වූ නමුත් සෑම පන්තියකම ළමුන් ප්‍රමාණය ඉක්මවා සිටීම නිසා A,B,C පන්ති තුනෙන්ම අහඹු ලෙස ළමුන් තෝරා D පන්තියක් නිර්මාණය කිරීමේදී මාද D පන්තියට එක් වුනෙමි. දොස් කීමට මාම හැර වෙනකෙක් නොවූ නමුත් මෙතැන් සිට මගේ අධ්‍යාපන ගමන අවපසට ගමන් කල බව කිව යුතුමය. 7D පන්තිය බාරව සිටි ‘මානෙල් ටීචර්’ ගෘහ විද්‍යා කාමරයද භාරව සිටි අතර පිරිමි ළමයින්ට වඩා පන්තියේ ගෑනු ළමයින් අතර ජනප්‍රිය විය. එකා දෙන්නා දවසින් දවස මල්වර වෙමින් පිපි පිපී ආ කෙල්ලන් එදවස කොහොමත් අපිට වඩා ‘ලොකු’ වූ අතර මඩ නාගෙන හඩු නාගෙන හිටි අප කොල්ලන් කරදරකාරයන් ලෙස බොහෝ ගුරුවරියන් හා කෙල්ලන් සලකන්නට ඇතැයි දැන් මට සිතේ. කොහොමත් ඔය වයසේදී කොල්ලන්ට එතරම් තැනක් නැත.

මානෙල් ටීචර් හා සම්භන්දව මට ඇති ලොකුම මතකය නම්.. දිනක් මම හා මගේ අතිජාත මිත්‍රයා නදීෂ එක්වී අපේම පන්තියේ සිටි තවත් දෙතුන් දෙනෙකුට පිට්ටනියේදී නෙළුවෙමු. ගුටි කෑ උන් අතර ‘සිට්ටම්මා’ද විය.. (‘සිට්ටම්මා උවැසියෙකි’යි හත වසර සිංහල පොතේ කොහේ හෝ තිබුණු අතර ඈ නිසා අපේ එකෙකුට ‘සිට්ටම්මා’ නම රෙජිස්ටර් විය. ගුටිකෑවේ අපේ සිට්ටම්මායි.) “අඩෝ දැනගනින්.. ආයි දැඟලුවොත් ඇට දෙක පුක වටේ කරකවනවා..” කොහෙන්දෝ අහුලාගත් චන්ඩි පාට් එකක් මවිසින් සිට්ටම්මාට එල්ල කරන ලද අතර ඌ කෙලින්ම දුවගොස් නතර වුයේ පන්තිභාර මානෙල් ටීචර් ලඟයි.. “ටීචර්..ටීචර්.. මේ දෙන්න මගේ ඇට දෙක පුක වටේ කරකවනවා කියල බැනල ගැහුවා..” ටිචර්ට මොනවා හිතුනාදැයි නොදනිමි. මාත් නදිෂත් පැයක් පමණ පන්තිය ඉස්සරහා ඉඳගෙන එකිනෙකා මාරුවෙන්නට කන් අල්ලාගෙන ස්කොට් ගැසූ බව පමණක් මතකයේ ඇත.

8D පන්තියට යනවිට D පන්තිය ‘අම්බ චාටර්’ කොල්ලෝ සෙට් එකක් ඉන්න එකක් ලෙස හංවඩු ගැසී අවසානය. එවකට පාසලේ සිටි හැන්ඩි විද්‍යා ගුරුවරයෙකු වූ ප්‍රේමදාස සර් අපේ පන්තිය භාරගත් නමුත් ප්‍රේමදාස සර්ගේ නෑකමට මල්ලි කෙනෙකු වූ අපේ පන්තියේ පමල් හැරෙන්න වෙන එකෙකුවත් විශේෂයෙන් හදා ගන්නට සර්ට බැරිවිය. ඉස්කෝලෙදි කල නොහැකි වූ සියලු කුපාඩි වැඩ හවස පන්ති වලදී කරන්නට පමල් අපිවද එක් කර ගත් බැවින් අපි ‘දෙකුපාඩියෝ’ වීමු. අධික ලෙස ශිෂ්‍ය සටන් හා නොකඩවා දින ගණන් පාසැල් වසා තිබු ඒ යුගයේ මට මතක ඇති වැඩක් ලෙස කරේ මුල්ම වතාවට ඉස්කෝලේ කට් කර ‘මමයි රජා’ බැලීමට යාමයි. ඔෆිෂියලි දුම් පානය හා මත්පැන් පානය ඇරඹුවේද මේ වසරෙදීම වේ.

9D වනවිට අපි නැවතත් කෙල්ලන්ව අභිබවා අපේ ආධිපත්‍ය පන්තිය තුල පතුරවමින් උන්නෙමු. උගුරු දණ්ඩ කැඩී දැලි රැවුල් ඇඳුනු මුහුණු ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ ලක්ෂණ මතු කලේය. අපිට වැඩිය ‘පොරවල්’ ලොවෙත් සිටිය නොහැකිය. ‘ගැන්සි’ මානසිකත්වය පැතිරෙමින් තිබු අතර අපේ පන්තියේ කුප්‍රකට ‘අට දෙනාගේ කල්ලියේ’ මමත් යාවජීව සාමාජිකයෙකු වීමි. ඒ කතා ද වෙනම පොස්ට් එකක් දෙකක් ලිවිය යුතුම වන බැවින් මෙහිදී උවමනාවෙන්ම මග හරිමි. 9D පන්තිය භාර ගැනීම සමහර ගුරුවරු උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරද්දී ඒ වගකීමට අත තැබුවේ අදටත් මගේ ආදරණියම ගුරු තරුව වන ‘අපේ ගීතා ටිචයි’.. ඇස් බොඳවී ස‍ටහන ලිවිම අතපසු වීම නොවැලක්විය හැක. නමින් ‘ගිතාන්ජලි හේමචන්ද්‍ර’ වූ ඇයද එවකට බදුල්ල නගරාධිපති වූ හේමචන්ද්‍ර මහතාගේ දයාබර බිරිඳයි. (ගුරුකම මහා වැදගත් රස්සාවක් වූ එකල බොහෝ ඉහල පැලැන්තියේ මහත්වරුන්ගේ බිරින්දෑවරු ගුරුවරියෝ වුහ.)

එතැන් සිට පුරා වසර තුනක් ඇය සැබවින්ම අපේ දෙවෙනි මව විය. නවය වසර වන විටම හැඩි දැඩි තරුණයෙකු වූ අපේ බන්දුලයාගේ ‘පයට පෑගෙන්න තරම්’ දික්වූ රැවුල කපා ගැනීමට යැයි කීමට ඇයට බොහෝ වෙලාවක් ගතවිය.. එහෙත් එය කියූ ආකාරය නිසා ඉන්පසු කිසිදිනෙක අපි කිසිවෙකුවත් නොගැලපන ලෙස රැවුල මුහුණේ ඉතුරු කර නොගත්තෙමු. ඇය අපට දඬුවමක් කල දිනයක් මට මතක නැත.. ඒත් ‘ගීතා ටීචර්’ නිසා අපි බොහෝ හැදුනෙමු. ‘ඇය නිසා’ අප නොකර අත්හල ‘දඟ වැඩ’ බොහෝය.. එසේම එවන් ‘දඟ වැඩ’ කර අසුවූ විට ඇය දැක්වූ ප්‍රතිචාරද බොහෝ සංවේදී විය. මේ සටහන තැබීමට මා පෙලඹවූ ඒ සිදුවීම වුයේ මිට හරියටම වසර විසිහතරකට පෙර ගුරුවරුන්ගේ දිනයදාට පසුවදායි.

ගුරුවරුන්ගේ දිනයදා අපේ ‘ශිෂ්‍ය නායකයෝ’ එක්ව ගුරු උපහාර මොකක් හෝ යමක් සංවිධානය කර තිබිණි. ඒ වගේ ඒවාට අපි වගේ මැරැටියන් සාමාන්‍යයෙන් සහභාගී කර ගන්නේ නැත. ගුරුවරුන් සැවොම උපහාර උළලේ වූ අතර අපි ‘අට දෙනා’ පාසලෙන් පසුව පහල ඉස්කෝලේ පිට්ටනිය අසල ‘ටැග් ගැහි ගැහි’ හිටියේ මේ උපහාර උළෙල කඩාකප්පල් කිරීමට මොකක් හෝ අවස්ථාවක් ලැබෙන තුරුයි. මොකුත්ම නැති උනොත් අවසානයට පිටව යන ශිෂ්‍ය නායකයෙකුට බඩ කට පුරා නෙලීමට අපි සුදානමින් සිටියෙමු. ටික වෙලාවකින් අපිට ගොදුරක් ලැබුණි. එක් ගුරුවරියකගේ පුතෙකු අලුත්ම මවුන්ටන් බයිසිකලයකින් අප සිටි තැනට ආවේය.. අපිට වඩා වසරක් දෙකක් පහල පන්තියක සිටි කොල්ලා අල්ලාගෙන අපි ‘බයිට්’ කිරීමට පටන් ගත්තෙමු. සමහරු එහෙන් මෙහෙන් ඌට ඇන්න අතර සමහරු බයිසිකලයේ හුලන් යවා සීට් අඹරවා විකාරයක් කළහ.. ඒ අතර තවත් සමහරුන් උගේ අම්මා ඇතුළු ගුරු ප්‍රජාවටම තිත කුණුහරුපයෙන් බණින්නට විය. දස වැඩ ඉවසා සිටිය නොහී කොල්ලා අඩාගෙනම ගුරු උපහාර උළෙලට කඩා වැදිණි.

අපේ උවමනාව හරිය.. දෙබරයට ගල් ගසා ඇවිස්සිමු. උත්සවයේ සිටි සියලු ගුරුවරු කඩා වැදී එකක් දෙකක් ගසා බණිමින් අපව එළවා දැමීමත් සමඟ උත්සවයද කඩාකප්පල්වී ගියෙන් අපිද සතුටින් ගෙවල්වල ගියෙමු. වඩාත්ම ආකර්ශනීයම ජවනිකාව පසුදා උදයේයි. වැසි දිනක් වූ එදින උදයේම ආවේෂ වූ කපුවෙකු මෙන් දිගු කුදයක්ද උරුක් කරමින් අර කොල්ලගේ අම්මා හෙවත් ගුරුතුමී අපේ පන්තියට කඩා වැදුනාය.. ඒ සමඟම පෙර සිට අපව නිරීක්ෂණය කර තිබු අංශභාර ‘දසනායක සර්’ද පැමිණ අපි අට දෙනාව නිවැරදිව අඳුනාගෙන පන්තිය ඉදිරියට පැමිණවූ විගස පරලවූ යකින්නියක සේ ඒ ‘ගුරු මෑණියෝ’ අපේ මූණු වලට කඩා පාත් උනි. “තොපි දන්නේ නෑ මං කවුද කියල.. මගේ කොල්ලට අත තියන්න.. මගේ මහත්තයා අයි.පී. අහවලා.. හිටපියව්.. තොපි ඔක්කොම මං ටයර් උඩ යවනවා..”

අද මෙන් නොව එදවස පොලීසිය, තරුණයින් හා ටයර් අතර බොහෝම ආසන්න බැඳීමක් වූ හෙයින් මේ කණ වැකුණු සැනින් එතෙක් තුෂ්නිම්බුතව බලා සිටි ‘ගීතා ටීචර්’ වැලහින්නක සේ හඬා වැටෙන්නට වුවාය.. එමතු නොව වෙනදාට දඬුවම් කිරීම සඳහා වරදක් සොයමින් සිටිනා දසනායක සර් පවා ඇගේ ඒ නාඩගම අවසන් වනතුරු සිට කිසිත් නොකියා පන්තියෙන් බැහැරව ගියේය. බලා සිටිය නොහැක.. ටීචර් සනසවා ගැනීමට කුමක් හෝ කලයුතුම බැවින් අපි පහසුවෙන් එකඟ නොවන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනෙමු. එනම් අපේ ටීචර්ට වැඳ ‘සමාව ගැනීම’ටයි. ටයර් එකක් නොව කන්දක් උඩ යැව්වත් අරුන්දාගෙන් නම් සමාව ගැනීමට එකෙක්වත් සුදානම් නැත. මා මුලින්ම ඉදිරිපත් වී අපේ ටීචර් ඉදිරියට ගොස් ‘ටීචර් අපිට සමාවෙන්න.. අපි ආයි එහෙම වැඩ කරන්නේ නෑ’යි කියා වඳින්නට හැදුවා පමණි.. ‘එපා මට වඳින්න..ඔයගොල්ලන් කවද හරි හැදෙනකම් කවදාවත් මට වඳින්න එපා’යි කියමින් ඇය දිගටම හැඩුවාය.. අපි පන්තියේ කොල්ලන් කෙල්ලන් බොහොමයක් එදා හිතේ හැටියට කඳුළු වගුරවමින් ඇයත් සමඟ ඇඩුවෙමු.

පසුදා උදයේ අපි නැවත කතාවී ගොස් ඇයට වැඳ සමව ගත්දී අගේ මුව යලිත් විකසිත විය.. සැබවින්ම එදා සිට අපි බොහෝ දුරට හොඳ ළමුන් වීමු.

මේ සටහන දැනට වෘදව සිටින ඒ අපූරු ගුරු මෑණියන්ට උපහාරයක් වේවා!

ප.ලි.
පසුව නැවතත් නරක වීම හා උසස්පෙළ සමයේ සිටි ගුරුභවතුන් මෙන්ම පංතිභාර නොවුනත් අපේ ජිවිත ඒකාලෝක කිරීමට ඇප කැපවූ තවත් ගුරු මෑණිවරුන් පියවරුන් කිහිප පොලක් හා බැඳුණු අතීත සිද්දීන් ඉදිරි දිනෙකදී පැවසීමට සිතා සිටිමි. සමහරවිට ඒ එන වසරේ ගුරුදිනයද විය හැක. සටහන දිග වුවාට කමා වන්න.

http://kalahitha.blogspot.com/2015/10/to-teachers-with-love.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල