කාලීන සංවාද

මට දරුවෝ වෙනුවෙන් මැරෙන්න වුණත් පුළුවන්…

Off

මට දරුවෝ වෙනුවෙන්
මැරෙන්න වුණත් පුළුවන්…
කුමාර් මහත්තයාගේ අම්මා කියයි

මම ඉපදුනේ කෑගල්ල උඳුගොඩ ගමේ. අපේ තාත්තා ඒ කාලේ ඉංගී්‍රසි උගත් ඉඩම් හිමියෙක්‌. තාත්තා ගොඩක්‌ උනන්දු වුණා අපිට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදෙන්න. ඒ නිසාම තාත්තා උඳුගොඩ ඉඩම විකුණලා කෑගල්ල නගරයේ පදිංචියට ඇවිත් මාව කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවට ඇතුළත් කළා. මගේ අයියලා ඉගෙන ගත්තෙ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ. ඒ කාලෙ අපිට ඉගැන්නුවෙ ඉංගී්‍රසි ජාතික කන්‍යා සොහොයුරියන්. පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කරලා මම ඉංගී්‍රසි ගුරුවරියක්‌ ලෙස රස්‌සාව කරන්න පටන් ගත්තා. මගේ ගුරු වෘත්තියෙන් වසර විසිපහක්‌ම ඉගැන්නුවේ කෑගල්ල ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ. අවසානයේ එහි විදුහල්පති විධියට තමයි විශ්‍රාම ගත්තෙ.

1958 දී ආදිමුලම් පිල්ලෙ ගුණරත්නම් සමඟ විවාහ වුණා. එයා ඒ කාලෙ නාරම්මල සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු. එයාල යාපනේ අය. අපිට දරුවෝ පස්‌දෙනෙක්‌ ලැබුණා. ලොකු දුව සරස්‌වතී. දැන් ඉන්නෙ ඕස්‌ටේ්‍රලියාවේ. ලොකු පුතා රංජිතන්, 89 න් පස්‌සෙ එයා ගැන තොරතුරක්‌ නෑ. ඊළගට ජයන්ත් කුමාර්, අවුරුදු නවයෙදි අවාසනාවන්ත විදියට ළිඳට වැටිලා මියෑදුණා. ඊළගට ප්‍රේමකුමාර්. බාලයා නිරංජනී. එයත් මං වගේම කෑගල්ල ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ ඉංගී්‍රසි ගුරුවරියක්‌. දැන් මම ඉන්නෙත් එයා ළඟ.

1977 යූ.ඇන්.පී එක දිනුවට පස්‌සෙ ජාතිවාදී කලබල ඇතිවුණා. කිසිදාක බලාපොරොත්තු නොවුණු විධියට අපිටත් කරදර වුණා. පුතාලගෙ තාත්තා හිතවතකුගෙ ගෙදර පෝරණුවක්‌ අස්‌සෙ හැංගිලා හිටියෙ. ලොකු දුව විවාහ වෙන්න හිටිය පුතාට හොඳටම පහර දුන්නා. අපිට තර්ජනය කරපු අයගෙන් පොඩි පුතා කුමාර් ඇහුවා ”ඔයාල අපිට කරදර කරන්න අපි කරපු වරද මොකක්‌ද කියලා.” එතකොට එයාගෙ වයස අවුරුදු එකොලහයි. මම එයාගෙ කට මිරිකගත්තා. ඒ සිදුවීම පුතාලගෙ ජීවිතවලට තදින් බලපාන්න ඇති. ලොකු පුතා රංජිතන් බොහොම නිවිච්ච කෙනෙක්‌. හරිම වගකීම් සහගතයි. පුතාලා දෙන්නම ශාන්ත මරියා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත්වෙලා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස්‌ පෙළ කළා. ලොකු පුතා 81 මුල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ගියා. එයා ඒ වෙනකොටත් දේශපාලනයට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. 81 ධවල පත්‍රිකාව ගෙනාපු වෙලාවෙ ඒගොල්ලො උද්ඝෝෂණ කළා. කැම්පස්‌ එකේ ළමයි එක්‌ක මගේ පාසලටත් ආවා. මම යන්න කිව්වා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු විධියට එයා පසුව කාලයක්‌ම වැඩකළා.

කුමාර් ටිකක්‌ දඟයි. ඒ වුණාට මිනිස්‌සුන්ට ආදරෙයි. මගේ පුතාලා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයො. අපිට ඕන වුණේ එයාලා යහපත් මිනිස්‌සු වෙනව දකින්න. පොඩි පුතත් 86 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ ඉංජිනේරු පීඨයට ඇතුළුවුණා. එයාලට හැමතැනම යාළුවො හිටියා. අයියයි මල්ලියි දෙන්නම යාළුවන්ට ගණන් කියලා දුන්නා. කුමාර් ක්‍රීඩාවට, සංගීතයට, චිත්‍රවලට දක්‍ෂයි. එයත් පාසලේදීම දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. පුතාලගෙ දේශපාලනයට තාත්තා තදින්ම විරුද්ධ වුණා. මට දේශපාලනය ගැන ලොකු අවබෝධයක්‌ තිබුණෙ නෑ. ඒත් පුතාලට මම ලොකුවට විරුද්ධ වුණේ නෑ. මට මගේ දරුවො කරන්නෙ හරි දෙයක්‌ වෙන්න ඇති කියලා නිතර සිතුණා. පුතාලා අපේ පවුලෙ අයට වගේම සමාජයට, රටට ගොඩක්‌ ආදරේ කළා. සමාජයේ අයථා වැඩවලට සම්බන්ධ වුණේ නෑ.

කුමාර් පොඩි කාලෙ දවසක්‌ ළිද ළඟදි නංගි එක්‌ක බොරුවට රණ්‌ඩු කර ගත්තා. නංගි මෙයාව ළිඳට තල්ලු කළා. ඒ මොහොතෙ මට මතක්‌ වුණේ ඒ වෙනකොටත් ළිදේ වැටිලම මියගිය මගේ දෙවැනි පුතාව. මට මොනා වුණාද දන්නෑ. මේ දරුවත් නැති වුණොත් මම ජීවත්වෙලා මොකටද? මාත් කුමාර් වැටුණු ළිඳටම පැන්නා. වාසනාවට තාත්ත ඇවිත් මට බැණ බැණ අපි දෙන්නවම ඇදලා ගත්තා. නැත්නම් එදා මම කුමාර් එක්‌කම මැරෙනවා. මට දරුවෝ වෙනුවෙන් මැරෙන්න වුණත් පුළුවන්. 89 ඉඳන් මම තාම ජීවත්වන්නෙ මගේ ”පෙරිය” (ලොකු පුතා) රංජිතන් ගැන හැමදාමත් හිත හිත.

87 ඉඳන් 91 වෙනකම් පුතාලා දෙන්නම අවස්‌ථා ගානක්‌ම රැඳවුම් කඳවුරුවල හිටියා. මම වතුර උගුරක්‌වත් නැතිව කඳවුරු ගානේ පුතාලව හොයන්න ගියා. තවත් අම්මල තාත්තලා ගොඩක්‌ දෙනෙක්‌ ඒ කාලෙ මම වගේම ඇවිද්දා. විශ්වවිද්‍යාලයේ උපකුලපති, පීඨාධිපති හමුවෙන්න ගියා. ආරක්‍ෂක අමාත්‍යංශයට, පොලීසිවලට, මානව හිමිකම් සංවිධානවලට ආරිය බුලේගොඩ මහත්තය වැනි අය හමුවෙන්නත් ගියා. ඒ කාලෙ තාත්තා එක්‌තැන් වුණා. මට අධික රුධිර පීඩනය වැඩිවුණා. 89 දෙසැම්බර් 18 මාවයි, තාත්තවයි, පොඩි දුවවයි ඇස්‌ බැඳලා වෑන් එකක දිගාකරලා අරන් ගියා. අපිව දවස්‌ හතරක්‌ තියාගත්තා. පොඩි දුව ඒ වෙනකොට අවුරුදු 16 ක තරුණියක්‌. මම එයාව සාරි පොටෙන් ඔතාගෙන තමයි දවස්‌ හතරම හිටියෙ. ඒ වෙනකොට තාත්තා අත්වාරු වලින් ඇවිදින ලෙඩෙක්‌. අපි ගෙනල්ලා තිබුණෙ අපිව පෙන්වලා ලොකු පුතාව මානසිකව වට්‌ටවන්න. එහෙත් එයා ඔවුන්ගෙ බලාපොරොත්තු ඉටුකරලා නෑ. අපිව හිරකරන් හිටි අයම අන්තිමේදී කිව්වා ඔයාලගෙ පුතා ප්‍රතිපත්ති රකින මිනිහෙක්‌ කියලා.

රැඳවුම් කඳවුරුවල හිටි පොඩි පුතා කුමාර් 91 එළියට ආවා. ඒ වෙනකොටත් මම පොඩි දුවව ඔස්‌ටේ්‍රලියාවෙ ඉන්න ලොකු දුව ගාවට යවලයි තිබුණෙ. කුමාර් ආපහු රටපුරා ඇවිද්දා. නැවතත් පක්‌ෂෙ හදන්න මහන්සි වුණා. එයා එක්‌කම ඒ කාලෙ නිතර හිටියෙ ඕපාත. 94 තාත්තා මියෑදුණා. එතකොට කුමාර් බැඳලා දරුවෙකුත් ඉන්නවා. මාත් එයාලා ගාවම දිගටම නතර වුණා. කුමාර් දිවා රෑ නොබලා පක්‌ෂෙ වැඩකළා. පක්‌ෂෙ සහෝදරවරුන්ට ඉංගී්‍රසි උගන්නන්න කියලා මගෙන් ඉල්ලුවා. මම ඒක කළා. අද ඡේ.වී.පී එකේ, පෙරටුගාමී එකේ නායකයො ලෙස ඉන්න සමහර අයටත් මම ඉගැන්නුවා. ඒ හැමෝම මට දැනුණෙ මගේම දරුවො විධියට.

2006 විතර කුමාර්ට තර්ජන තියෙනවා කියලා රට යන්න සූදානම් වෙන්න කියලා පක්‌ෂෙන් කියලා තිබුණා. පස්‌සෙ එයා ඔස්‌ටේ්‍රලියා ගියා. ඒත් විටින් විට ඇවිල්ලා ගියා. 2011 ආපු වෙලාවෙ තමයි පුතාව පැහැරගත්තෙ. මට ලොකු බයක්‌ දැනුණා ආයෙත් මට ඉතිරි වුණ පුතත් නැතිවෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. ඉන් පස්‌සෙ ආයෙත් එයාව දැකගන්න ලොකු වුවමනාවක්‌ තිබුණා. එයා ඔස්‌ටේ්‍රලියාවෙ හිටියත් මා ගැන සොයලා බැලුවා. මේ ජනවාරි පළමුවෙනිදා එයා ලංකාවට ආපු ගමන් අම්මව බලන්න ආවා. මම ගොඩක්‌ කාලෙකින් සතුටු වුණා. මට ලොකු රැකවරණයක්‌ දැනුණා. ඒත් දැන් එයාව ආපහු යවන්න හදනවා කිව්වහම මම ආයෙත් අසරණ වුණා. මේ රටේ ඉපදිලා, මේ රටේ ඉගෙන ගෙන මේ රටේ දුක්‌විඳින මිනිස්‌සු වෙනුවෙන් හඬ නගපු මගේ පුතාට මේ රටේ ජීවත්වන්න අයිතියක්‌ නැද්ද? නීති පොත්වල තියෙන දේවල් මම හොඳටම දන්නෙ නෑ. ඒත් සාධාරණය කියලා දෙයක්‌ නැද්ද? මගේ පුතාගෙ අයිතිය වෙනුවෙන් කොයිතරම් ලෙඩ තිබුණත් මම ඕනම තැනකට යනවා. කෑගල්ලෙ දරුවො දහස්‌ ගණනක්‌ වෙනුවෙන් ජීවිතේ වැඩි කාලයක්‌ කැපකරපු මට මගේ අන්තිම කාලෙ මගේ ඉතිරි වුණ එකම පුතා ළඟ ඉන්න අයිතියක්‌ නැද්ද?

-නිස්සංක කටුගම්පොල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල