සාහිත්‍ය කළා විචාර

රනිල් – ජෝන් – මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්න

Off

රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර අශුද්ධ සන්ධානයක් පිළිබඳ බරපතල සැකයක් මතු වේ.

අපි මේ පිළිබඳව මුල් ම අනතුරු ඇඟවීම කළේ ජනවාරි 09 උදෑසන කුමන්ත්‍රණ සිද්ධි සමගයි. එම ලිපිය ‍මෙතැනින් කියවන්න >> ජන අරගලය පාවා දුන්නා ද?

ආණ්ඩුව බලයට පත් වී මාසයකුත් සතියක් ඉක්ම ගොසිනි. දින සීයේ වැඩසටන තරමක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් එක් ප්‍රබල අඩුපාඩුවක් ඇත. ඒ රාජපක්ෂ රජයේ මහා වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නො ලැබීමයි.

මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද සිල්වා, මහින්ද බාලසූරිය වැනි අංක එකේ දූෂිතයෝ නිදැල්ලේ සිටිනවා පමණක් නොව දැන් දැන් ඔවුන්ගේ ඇම්බැට්ටයෝ දූෂණ විරෝධී ජන බලවේගවලට කෝචොක් කිරීමට ද පටන් ගෙන තිබේ. ” කෝ තොපි දූෂණ ඇල්ලුවා ද?” යි ප්‍රසිද්ධියේ අසන ඔවුහු ඉහත කී පුද්ගලයන් නිර්දෝෂී බව ප්‍රවර්ධනය කරන්නට එම තත්වය භාවිතා කරති.

එපමණකින් නො නැවතී මේ ප්‍රතිගාමීන් නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා පිඹුරුපත් ද සකස් කර තිබේ. පෙබරවාරි 18දා කොළඹදී පැවැත්වෙන රැළිය උදාහරණයකි.

මෙම තත්වයට මූලික හේතුව ඇමති ජෝන් අමරතුංගගේ යටතේ තිබෙන පොලිසියේ අකාර්යක්ෂමතාවයි. පොලිසිය අකාර්යක්ෂම බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. එය ක්ෂණිකව කාර්යක්ෂම කරන්නට බැරි ය. විශේෂයෙන් ම දේශපාලනඥයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනාවලදී පොලිසිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය. එසේම, ඉහළ දේශපාලන නායකත්වයෙන් තම ක්‍රියාමාර්ගවලට ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව ද පොලිසිය විමසිලිමත් ය.

පොලිසිය හොරට නිදාගෙන සිටින බව පැහැදිලි ය. පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් පොලිසිය නීතිය ඉහළින් ම ක්‍රියාත්මක කළේ ය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැදිහත් වූ නිසා ය. තිස්ස අත්තනායකට එරෙහිව ඇති නඩුව අවුල් කළ බවට ද පොලිසියට චෝදනා එල්ල වී තිබේ. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස වෘත්තීය සමිති අකුරට වැඩ කරන ආකාරයටයි.

මේ සියල්ල මැද ‍ඇමති ජෝන් නිහඬ ය. ජෝන් මහින්ද රාජපක්ෂ පවුලේ ඉත්තකු බව කවුරුත් දනිති. මහින්ද මැද පෙරදිග හා වතිකානුවේ සවාරි යන විට ජෝන් ද පස්සෙන් එල්ලාගෙන ගියේ ය. ජනාධිපතිවරණ සමයේ පවා ජෝන් ආණ්ඩුවට හේත්තු වන්නට ඔෆර් එකක් ලැබෙන තෙක් බලා සිටියේ ය. එහෙත්, මහින්ද ඔහු ගත්තේ නැත. දැන් මහින්ද ඔහුගෙන් වැඩ ගනියි. ඒ රනිල්ගේ අනුග්‍රාහකත්වය ඇතිවයි.

රනිල් මෙසේ හැසිරෙන්නේ ඇයි? රහස මෙයයි.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂය යම් ප්‍රමාණයකට උර දුන් බව ඇත්ත ය. එහෙත්, එය තනිකර ම එජාපයේ වැඩක් නො වේ. මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පදනම වන්නේ ඔහු වටා එක් රැස් වූ ඒකාධිපති විරෝධී ප්‍රජාතාන්ත්‍රික ජන බලවේගයයි. එහි නියම නායකයා වුණේ මෛත්‍රීපාල සිරිසේන මිස රනිල් වික්‍රමසිංහ නො වේ.

ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ද මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ ජනවරමට අනුකූලව කටයුතු කරන බව පැහැදිලිව පෙනේ. ඔහුට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය මතභේදකාරී ය. රනිල් මෛත්‍රීට වඩා ඥාති – මිත්‍ර සංග්‍රහයට ලොල් බව ඇමති මණ්ඩලයට රුවන් විජේවර්ධන‍, අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, ගාමිනී ජයවික්‍රම වැනි අය පත් කිරීමෙන් පෙනිණි.
මෛත්‍රී යනු ශූර‍ දේශපාලකයෙකි. බිම් මට්ටමේ සිට ඉහළම තැනට ආ ඔහු පහසුවෙන් අල්ලේ නටවන්නට බැරි බව පැහැදිලි ය. ඔහු වැඩි සද්දයක් බද්දයක් නැතිව ශූර ලෙස ශ්‍රීලනිපයේ බලය තහවුරු කරගෙන එහි මෙහෙයුම සියතට ගත්තේ ය.එපමණක් නොව, මහින්ද රාජපක්ෂ නම් නරක් වූ දත ස්ථිරව ම ගලවා දමා, පක්ෂය අභ්‍යන්තර ශෝධනයකට ලක් කිරීමට ද මුල පුරා ඇත.

නවීන පක්ෂයක් බවට පත් කරමින් යෝධ පිම්මක් පැනීමේ හා අනාගත විපර්යාස කාරකයා බවට පත් වීමේ විභවය මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය අත්පත් කර ගනිමින් සිටියි.

මහින්ද රාජපක්ෂගෙන් මුදාගත් ශ්‍රීලනිපය ඉදිරියේ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය හරියට අබලන් කරත්තයක් වැනි ය. එහෙත් දැන් ක්ෂණිව එජාපය නවීකරණය කරන්නට බැරි ය කීම පිළිගත නො හැකි ය. ඒ සඳහා දැන් සිට ම පියවර ගත හැකි ය. ඇමති ජෝන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඔහු ඉවත් කිරීම එවැනි එක් රැඩිකල් පියවරකි. රාජපක්ෂවාදී පැරණි විලාසිතාවට අයත් ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, ගාමිනී ජයවික්‍රම, පාලිත තෙවරප්පෙරුම, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැන්නන් වෙනුවට අලුත් පරපුරක වෘත්තීය දේශපාලනඥයන් ඉදිරියට ගත යුතු ය. එහෙත්, ඒ ඥාති හා මිත්‍ර සංග්‍රහය මත පදනම්ව නො වේ. එජාපයේ ප්‍රජාතාන්ත්‍රික පදනම ශක්තිමත් කර, වඩා සුදුසු පුද්ගලයන්ට එජාපයෙන් නාම යෝජනා ලබා ගත හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු ය.

එසේම, රාජපක්ෂ පාලනයේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම එජාපයේ අව්‍යාජත්වය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවකි.

අජිත් පැරකුම් ජයසිංහ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල