විශේෂ, සාහිත්‍ය කළා විචාර

බලංගොඩ, ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පොත්පත් බෙදා දුන්දා…………..

Off

 

 

 

 

 

 

 

 

 

 

 

හිනා පිරි මුව හිතේ සැගවුණු කතාවක් කියනවා වැනේ
හරිම ලස්සන පිච්ච කැකුළක් පිපී හිනැහෙනවා වනේ
අනාගත ලොව පෙරුම් පුරලා තුටින් ඉපිලෙනවා පෙනේ
හිතට දහිරිය අරං ජීවිත ගමන ජයගන්නා දිනේ

මගේ කරුමෙට කුලී වැඩකට දවසෙ පඩියට යට වුණත්
වහින දවසට ලෙඩක් දුකකට කන්න බත්පත හිගවුණත්
අකුරු ශිල්පය අරං දවසක ලොකු නෝනා කෙනෙකුන් වුණොත්
ණයක් නෑ උඹ සතේකිංවත්, මම හෙළමි දහඩිය තවත්

සුදෝ සුදුවට ගවුම් පොඩි ඇද අකුරු කෙරුමට යන දුවේ
පොතක් පෑනක් අරං දෙන්නට නැතිව නෙත කදුලැළි මැවේ
ඒත් නෑ වරදින්නෙ උඹලට කරපු පිං තව ඇත භවේ
හෙවනැල්ල සේ උඹෙ පසුපස මේ හැවොම ඉන්නවා දුවේ …………….!

පසු සටහන –

ඊයේ දිනයේ (දෙසැම්බර් 13 ඉරිදා) බලංගොඩ ඉඹුල්පෙ ශාරිපුත්‍ර විද්‍යාලයේ ආර්ථික අපහසුතා ඇති දරුවන් 42 දෙනෙකුට පෙත්පත් සහ පාසල් උපකරණ සහිත තෑගිමලු බෙදාදීමේ කටයුත්ත පාදක කොටගෙන මෙම නිර්මාණය කළෙමු.

මෙම වැඩසටහන ගැන මේ වනතුරුත් බ්ලොග් සහෘදයන් වෙත කිසිදු දැනුම්දීමක් නොකිරීම ගැන මුලින්ම අපිට සමාවෙන්න. ඇත්තටම මේ සඳහා දායකත්වය සැපයුවේ රත්නපුර ආශ්‍රිත ප්‍රදේශයේ සිට බ්ලොග්කරණයේ නියැලෙන බ්ලොග් සහෘදයන් පිරිසක් තමයි. මේ සාකච්ඡාව ඇතිවුණේ මේ පිරිස අතර නිසා සහ මුල් සාකච්ඡාවලින්ම අවශ්‍ය ප්‍රමාණයට මුදල් එකතු වූ නිසා තවදුරටත් මේක ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවයක් වුණෙත් නෑ. මෙහිදී විශේෂයෙන් මතක් කළයුතුයි, නෙළුම් යායේ අජිත් අයියා ඇතුළු පිරිස. ඔවුන් මේ වැඩේට ලොකු දායකත්වයක් සැපයූවා.

මේ වෙනුවෙන් අපි කිහිපදෙනා අතර ඊ-මේල් 100 කට අධික ප්‍රමාණයක් හුවමාරු වූ අතර සියලු සාකච්ඡා ඒ හරහා සිදුකෙරුනා. සතියක් පමණ ඇතුළත රුපියල් 42,000 ක් පමණ මුදලක් ලබාදීමට කට්ටිය පොරොන්දු වූ නිසා අපි දෙවනුව සිදුකළේ දරුවන්ට ලබාදීමට අවශ්‍ය පොත්පත් උපකරණ ලිස්ට් එකක් හදාගැනීමයි. ඒ සඳහා බලංගොඩ නගරයේ කඩ කිහිපයක ඇවිදිමින් තුෂාර සහ විදානේ දරුවන්ට දීමට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල ගණන් බලාගත්තා. විදානෙගෙ ඇඳුණුම්කම අනුව පොත් ලබාගැනීම සඳහා බලංගොඩ සම්මානි ආයතනයෙන් ලොකු වට්ටමක් ලැබුණා. මේ අනුව පහත සඳහන් පොත්පත් උපකරණවලින් සමන්විත පොත්පත් මලු 42 ක් සූදානම් කරගැනීමට අපිට හැකිවුණා.

1. පිටු 80 පොත් 10
2. පිටු 60 චිත්‍ර පොත් 01
3. කෑලි 12 පාට පෙට්ටි 01
4. කෑලි 06 පාට පැන්ලස් පෙට්ටි 01
5. කෑලි 06 ප්ලැටිග්නම් 01
6. වතුර බෝතල් 01
7 කෑම පෙට්ටි 01
8. පැන්සල් පෙට්ටි 01
9. පැන්සල් 05
10. පෑන් 02
11. මකන 01
12. කටර් 01
13. කතුරු 01
14. බ්‍රවුන් පේපර් මීටර් 04
15. අඩිරූල් 01

එක් දරුවෙක් සඳහා රුපියල් 1500 කට ආසන්න වෙළඳපොල වටිනාමක් ඇති පොත්පත් මලු 42 ක් සූදානම් කරගැනීමට අපට හැකිවුණා…. වට්ටම් සහිතව මිලදීගැනීම නිසා අපට මේ එක මල්ලකට වැයවුණේ රුපියල් 1030 ක පමණ මුදලක් පමණයි.

මෙම වැඩසටහන මේ තරම් දුරකට ගෙනඒමට මුල්‍යමය දායකත්වය සැපයූ බ්ලොග් සහෘදයන් ටිකත් මේ වෙලාවේ සඳහන් කළයුතුයි.

1. විදානේ සහ විදානී
2. මධුමාධවී හී මධාවියා
3. අජිත් අයියා – නෙලුම්යාය සහ ලංකා නිවුස් වෙබ්
4. Praසන්ன අයියා
5. සබරෙ ඇණෝ (මිත්‍ර වර්ණ)
6. අසංක අයියා සහ නෝනා – කුගෑගීප
7. චතුරිකා සහ තිළිණ – කුගෑගීප
8. විදානෙගේ ඔෆිස් එකේ නංගී
9. ඇයි තුෂාරයි කාංචනායි…..

පාසල සමග සාකච්ඡා කරගත්තු විදියට දෙසැම්බර් 13 ඒ කියන්නෙ ඊයෙ දිනයේ උදෑසන 09 ට අපි වැඩේ පටන් ගත්තා… උදේ 08 වෙද්දි අපි පාසලට ගියා. ඒ වෙනකොටත් දරුවො කීපදෙනෙක්ම ඇවිත් හිටියා…. වැඩේ කරගෙන යන්න අපි තෝරගත්තෙ පාසලේ ප්‍රාථමික අංශය අසල තියන වල… (පේරා වල වගේ ලොකු නැතිවුණාට ගුරුවරු සහ දරුවො එකතුවෙලා හදාගත්තු ලස්සන තැනක්..) එතනට පුටු කීපයක් දාල දරුවොත් වාඩි කරවල දෙමාපියන් පැත්තකින් තිබුණු පඩිපෙළේම වාඩිවුණා…. ඊට පස්සෙ වැඩේ පටන් ගත්තා..

අපි පොඩි වැඩසටහනක් විදිහට ඒක හදාගත්තා… ඒක පහත විදිහටයි තිබුණේ

1. ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා විසින් පිළිගැනීමේ කථාව
2. තුෂාර විතාරණ විසින් බ්ලොග් සහෘදයන් වෙනුවෙන් අරමුණ පැහැදිලි කිරීම. (මෙම වැඩසටහන ගැන සහ මෙයට දායක වූ සියලුදෙනා පිළිබද ව මෙහිදී සදහන් කෙරුණා)
3. දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ සහිත බඩුමලු බෙදා දීම (මේක පැමිණ සිටි සියලුම ගුරුවරුන් සහ බ්ලොග් සහෘදයන් අතින් ප්‍රධානය කෙරුණා.)
4. විදුහල්පතිතුමාගේ කතාව
5. හිටපු විදුහල්පතිතුමාගේ කතාව (මෙම පරිත්‍යාගය තුළින් දරුවන්ට ලැබෙන දේ සහ දෙමාපියන්ගේ කාර්යභාරය ගැන සදහන් කෙරුණා)
6. දෙමාපියන් වෙනුවෙන් මවක් කතාවක් ඉදිරිපත් කරා….
7. කරුණාරත්න ගුරුතුමන් විසින් ස්තූති කතාව

kggp_3

පිළිගැනීමේ කතාව (ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමා) කරන අවස්ථාව

පිරිස වමේ සිට – අසංක නෝනා, විදානී, විදානේ, අසංක, කාංචනා, හිටපු විදුහල්පතිතුමා, විදුහල්පතිතුමා, කරුණාරත්න ගුරුතුමා, හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමා (කුගෑගීප හි වීරසිංහ මහතා) තුෂාර
(පැමිණීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ නිසා සබරේ ඇනෝ ඡායාරූපයේ නොමැති බවද කරුණාවෙන් සලකන්න)

kggp_4

                                                                                  විදානේ අතින් දරුවන්ට තෑගි ලබාදුන් අවස්ථාව

වැඩේ ඉතා සාර්ථකව පැවැත්වුණා…. දරුවන් දෙදෙනෙකු ලෙඩවී සිටි බැවින් මව්වරුන් පැමිණ එම පොත්පත් මලු භාරගත්තා…. තවත් දරුවන් හයදෙනෙකුගේ පමණ පොත්පත් මලු ඉතිරි වූ අතර ඒවා පාසල ආරම්භ වූ පසු ලබාදෙන පොරොන්දුව පිට විදුහල්පතිතුමාට බාරකළා… පාසල පැත්තෙන්ද සුදුසුම දරුවන් තෝරාගෙන තිබුණා. අපි ඒ පොත්පත් ලබාදීමේ කතාවලදී දුප්පත්කම කියන කාරණය කිසිවිටෙකත් සඳහන් කළේ නෑ. දරුවන්ගෙ හැකියාව අනුව තෝරාගත් බව සඳහන් කළා. ඒක ඒ දරුවන්ටත් හොඳ උත්තේජනයක් වුනා. මලුටික බෙදපු වෙලේ සිට ඒවා බැලීමේ අවශ්‍යතාවයෙන් දරුවන් දඟලපු හැටි දැක්කාම අපේ කුඩා කාලය මතක් වුණා. කොහොම හරි අපි හිතුවාටත් වඩා ඉතා සාර්ථක වැඩසටහනක් කරන්න හැකිවුණා…

ඊට පසු ගුරුවරුන් කීපදෙනෙක් සහ බ්ලොග් සහෝදරත්වය අසංක අයියලාගෙ ගෙදර පැවති තේපැන් සංග්‍රහය භුක්ති වින්දා. මෙහිදී පළමු වරට මුහුණු දුටු කීපදෙනෙක්ම සිටියා. විශේෂයෙන් සබරෙ ඇනෝ සහ අපි හමුවූ පළමු අවස්ථාවත් මෙය වුණා. විදානේ සහ අසංක අයියා එකම වයසේ බව දැනගත් අතර විදානි, කාංචනා සහ තුෂාරත් එකම පවසේ පිරිසක් බව දැනගත්තා. (මෙහිදී දැනගත් නමුත් ප්‍රකාශ කිරීමට අවසර නැති රහස් කිහිපයක් ද ඇති බව නොකියාම බැරිය) පසුව බ්ලොග් සහෘදයන් අතර බ්ලොග් පිළිබඳව ඇති වූ දීර්ඝ සාකච්ඡාවකින් පස්සෙ සතුටින් විසිර ගියා…

කොහොම වුණත් බාට කෑලි දෙකක් දාගෙන උදේ ඇවිත් ඉන්න දරුවො දැක්කාම අපේ හිත්වල ඇතිවුණේ දුකක්… ඒත් මේ තෑගිමලු අරන් හිනාවෙවී යන මූණු දැක්කම හිතට දැනුනෙ සතුටක්… ඉතින් අපි ඇතුලු හැමදෙනාටම ස්තුතියි කියල තමා කියන්න තියෙන්නෙ. අර අම්ම කරපු කතාවෙදි කිව්වා මේ ළමයි ලියන අකුරක් අකුරක් ගානෙ අපිට පිං ලැබෙනවා කියලා…. අපි හිතන විදියට නං මේ හිතට දැනෙන සතුට තමා ඒ පින…

– සමාජයේම කොටසක් වන අපි හැමදෙනා සතුවම යම් සමාජ වගකීමක් ඇත. එය හඳුනාගැනීමට සහ තෝරාගැනීමට අප අප්‍රමාද වනතුරු සමාජය එයින් තෘප්තවීමට මගබලා සිටී –

මීට,
කුගෑගීප

http://kurutugegeepawra.blogspot.co.uk/2015/12/blog-post_72.html

kggp_8

kggp_7

kggp_6

kggp_9

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල