කාලීන සංවාද, විශේෂ

බල්ලා කරන්න ඕන දේ බූරුවා කිරීම

Off

භික්ෂූන්ගේ ක්‍රියාපටිපාටිය පාලනය කිරීමට නීති ! බිස්නස් බෑ, ගුරුකම් බෑ, වාහන පදවන්න බෑ !

ඒ විතරක් නෙමේ ; ප්‍රසිද්ධ ස්ථාන වල භික්ෂූන්ට අකැප අයුරින් හැසිරෙන එක, භික්ෂු විනයට පටහැනි විදියට හැසිරෙන එක, දඬුවම් ලැබිය හැකි වැරදි කරන්න යනවලු.

එක පැත්තකින්,

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගම රකින්න ආණ්ඩුව බැඳිල ඉන්නව. ඒ අනුව ගත්තම බෞද්ධාගම පරිහානියට පත් කරන අයවලුන්ට, බෞද්ධ නායකයන්ය කියාගෙන සිවුරට මුවා වෙලා සල්ලි ගැරීමේ ක්‍රියාවල නිරත වෙන ජාවාරම්කාරයන්ගේ ඒ ක්‍රියාවන් නැවැත්වීමට නීති ගේන එක සාධාරණයි. මොකද පවතින නීතියට අනුව කැමති වුනත් අකමැති වුනත් බෞද්ධාගම කියන ආගම රජය වගකිව යුතු දෙයක්. ඒ සන්දර්භයෙනුයි මේ නීතිය වැටෙන්නෙ. බෞද්ධාගම රකින්න ආණ්ඩුව බැඳිල ඉන්නව නම්, බෞද්ධාගමේ පිරිහීමට ක්‍රියාකරන ආගමික නායකයන් ගැන රජය වද වෙන එක සාධාරණයිනෙ.

අනිත් පැත්තෙන්,

මේ නීතිය අනුව යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, කේන්දර අනං මන්ං සීන් එක්කොම බෑලු. වාහන එලවන්න බෑලු. බිස්නස් කරන්න බෑලු. (බුලත් විට කන්නත් බෑ කියයිද දන්නෑ තව ටික කාලෙකින්)

භික්ෂු විනයට පටහැනි විදියට හැසිරෙන්නත් බෑලු.

දැන් අවුල තමා.. භික්ශු විනය කියන්නේ මොකක්ද? භික්ෂුවකට කැප මොනවද අකැප මොනවද කියන එක තීරණය කරන්නේ ආණ්ඩුවද? ඒක තීරණය කරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවද? ඒ කාරණා ආගමික සංස්ථාව තුළ සම්මතයන්ට අනුව සිද්ධ විය යුතු දේවල් නෙමේද?

ඒ අතින් ගත්තම ආගමික සංස්ථාව තුළින් විය යුතු දේකට ආණ්ඩුව අත දාන එක අසාධාරණයි.

මුලින්ම බෞද්ධයෝ පිළිගන්න ඕන සංඝ ශාසනය කියන එක සහ සිවුරට මුවා වෙලා ඉන්න “චණ්ඩින්ගේ, බිස්නස්කාරයන්ගේ, බඩුකාරයන්ගේ” හැසිරීම් පාලනය කල යුතු මට්ටමකට ඇවිත් තියෙන බව. ඒක සමාජය දිහා බලපුවම ඕන කෙනෙක්ට පේන දෙයක්.

මෙතන ආගමික සංස්ථාවක් වශයෙන් බෞද්ධ නායකයො ඔවුන්ගේ වගකීම් පැහැර හැරල තියෙන බව සහ ඔවුන්ගේ අසාර්ථක බව සක්සුදක් සේ පැහැදිළියි. ඔය මහානායක කියන අය කරදරේ වැටුන දේශපාලකයන්ගේ ඔලුව අතගගා කටට සූප්පු ඔබ ඔබ ඉන්න අතරතුර ඔවුන්ගේ යටතේම තියෙන සංඝ ශාසනය නොසිතූ විරූ විදියට(?) පරිහානියට පත් වෙලා. ඒත් එක්කම ගිහි බෞද්ධයෝය කියනා පිරිස වෙනත් ජාතීන්ගේ ආගමික සිරිත් විරිත්, කොඩි, පන්දම්, තොප්පි, කබා ගැන වද වෙවී ඉන්න අතර තුර තමාගේම ආගම අන්ත විදියට පිරිහීමට ලක් වෙලා.

මේ තත්වයට වගකියන්න ඕන මූලිකව බෞද්ධ සංස්ථාවේ ඉහළ මට්ටමේ පුටුවල (සොරි ආසන වල) ඉන්න බෞද්ධ නායකයන් සහ ගිහි බෞද්ධ ප්‍රජාව මිසක වෙනත් කවුරුවත් නෙමේ.

මේ අසාර්ථකත්වය මත තමයි බෞද්ධාගම ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවාය කියන ආණ්ඩුවකට මේ කාරණා වලට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නෙ. ගිහියන්ට සංඝ සමාජයේ හැසිරීම් නීති දාලා පාලනය කරන්න වෙන තත්වයට පත් වෙලා නම් ඒකේ වගකීම ගත යුත්තේ බෞද්ධ නායකයන් කියාගන්නා අය කියන එක සක්සුදක් සේ පැහැදිළි සත්‍යයක්.

මෙතනදි සමහර බෞද්ධ න්‍යායාචාර්‍යවරු මතුකරන කතාව තමා, රෝම ලන්දේසි නීතියට අනුව බෞද්ධාගමට බලපෑම් කරන්න පුළුවන්ද කියන කාරණාව.

රටේ නීතියට අනුව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක, බෞද්ධාගම රකින්න ආණ්ඩුව බැඳෙද්දි ඒ නීතිය හොඳයි. ඒත් තමාගේ ආගමික නායකයන් පිස්සු නටද්දි ඒකට ආණ්ඩුව මැදිහත් වෙද්දි ඒ නීතිය නරකයි. මරු තර්කය නේ ඒකත්?

මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේම කලින් කිව්වා වගේ, බෞද්ධ නායකයන්ගේ ඇල්මැරුනු නිද්‍රාශීලී අකර්මන්‍ය බව නිසා, සහ ආගම කියන දේ රජයේ වගකීමක් කරල තිබීම නිසා.

ආගමක් රැකීම රජයේ කාර්‍යභාරය නොවිය යුතු සේම, ආගමික නායකයන්ගේ හැසිරීම් ගැන වද වීමද රජයේ කාර්‍ය නොවිය යුතුයි.

පවතින තත්වය යටතේ, බෞද්ධාගම රැකීම ආණ්ඩුවේ වගකීමක් නිසා (ඒ නීතිය සමඟ මම එකඟ නොවුනට) පිස්සු බල්ලො වගේ හැසිරෙන බෞද්ධ භික්ෂූන්ව බැඳ තැබීමට ආණ්ඩුවෙන් මැදිහත් වෙන එක සාධාරණයි.

ඒ වුනත් දැනටත් මගේ අදහස ආණ්ඩුව මේ දේවල් වලට අත නොදා ඉන්නව නම් හොඳයි කියන එක. ඔය දේවල් නීති දාලා සීමා කරන්න තරම් සරල දේවල් නෙමේ.

හාමුදුරු කෙනෙක් තමා ඉන්න පන්සල් වත්තේ ආපු කෙහෙල් කැන කපලා කෙහෙල් කාරයට දීලා රුපියල් දෙතුන්සීයක් ගන්න එකත් තහනම් කරන්නයැ,

ඔය නිකම් එක උදාහරණයක් විතරයි. ගේන්න යනවයි කියන නීති වලට අදාලව මේ වගේ උදාහරණ සිය ගාණක් ලියන්න පුලුවන්.

ආණ්ඩුව මඟින් නීති දාලා භික්ෂු විනය ආරක්ෂා කලාය කියමු. එහෙම කලා කියල ඒකේ විශේෂ හොඳක් නිර්-ආගමිකයෙක් වෙච්චි මම නම් දකින්නෙ නෑ. බෞද්ධයෙක් නොවන මට භික්ෂුවක් රෑට කෑවත් එකයි නැතත් එකයි. සාමාන්‍ය ජනතාවට බලපාන නීතියට භික්ෂුව යටත් නම් එච්චරයි.

මොකද බෞද්ධාගම පිරිහුනත් නැතත්, සංඝ ශාසනේ පිරිහුනත් නැතත්.. නිර්-ආගමිකයෙක් වන මට එය එච්චරම අදාල කරුණක් නෙමේ

මොනව වුනත් අවසානයේ මේ ටික කියන්න ඕන,

බෞද්ධයිනි..

අල්ල්පු ගෙදර උන්ගේ වහලේ තෙමෙන එක දිහා කට ඇරගෙන බලාගෙන හිටිය උඹලගේ ගේ අන්න අරෙහේ ගිනි ගන්නවා !

පව් බන් උඹල..

-https://asammathayaaa.wordpress.com/2016/01/13/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල