විශේෂ, සඳැස් / නිසඳැස්

සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට

Off

අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා
දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා
අදහනු බෑ මට හාවෙක් ලද සැටියා
මද්දුමි සිය දෑස් විදහාගෙන සිටියා

නුඹ ගොදුරට ගන්න දහසක් සිටින ලොවේ
කූඩුවෙ රැඳෙව්වේ සිරකරලන්න නොවේ
නුඹ ගෙන ආ සතුට සුළුපටු දෙයක් නොවේ
නුඹෙ කැත කුණු ඇදුම මට ලොකු දෙයක් නොවේ

දකිනා සැනින් සිත පිරෙනා විලාසෙට
පිරිසිදු සුදු සුමුදු හිම ගුලියක් ලෙසට
සුදු බෝලයක් සේ පැන පැන යන කලට
සිනා නැගේ දකිනා සැමගේ මුවට

මඤ්ඤොක්කා කොලද මෑ කරලින් පිරුණ
නුඹ ලොකුවෙද්දි නිවහන මදියැයි සිතුන
පහල ගෙදර අයියා සැදු කූඩුවෙන
නුඹට වරදිතැයි කිසිදා නොම සිතුන

ලී බඩු කපන සත්තුන් ගෙයි තබාගෙන
සිටිනා එක නරකයි කීවා ඇසින
හණ මිටි මැදට අවිහිංසක නුඹ රැගෙන
ආ එක තමයි මා කල මහ පව නොදැන

හාවුන් ගෙවල් වල හැදුවොත් මූසල යැයි
ඊට වඩා මූසලයින් නිතර කියයි
උන්ගේ මවිල් දරුවන් ලෙඩ කරයි කියයි
ලෙඩ ලෙඩමයි හාවුන්නම් හාවුන්මයි

මුගෙ බෙටි ගඳේ ඉන්නට බෑ ගේ ඇතුලේ
මට බෑ අදින්නට බෙටිනම් මල මගුලේ
අවිහිංසක නුඹට දරුවන්ගේ තුරුලේ
උණුසුම නැතිකලා මෙවදන් දෙස් දෙවොලේ

හිමිදිරි උදේ නැගෙනා කන් කරච්චලේ
ඉවසනු බැරිම තරමට මා කුපිත කලේ
සමාවෙයන් පවු කල මා ගෙ‘අගු පිලේ
සිතකින් නෙමේ නුඹ කූඩුවෙ ගාල් කලේ

තනිව එළියෙ නුඹ සිටිනා එක රැයක
කළබල කරනු අවදිව සිටි මට වරෙක
ඇසුනෙන් යලිත් ගෙතුලට ගත්තා මතක
දැන අඬවැඩියාව ඇරඹෙන බව නිසැක

සතුටක් දැනුනු විට දෙකකුල් වට දුවන
ඇඳ යට අඳුර සොයමින් සැඟවී සිටින
කෑමත් පැනීමත් පමණක් දැන සිටින
නුඹ සිටියේ පවුලේ දරුවකු ලෙසින

අතට අරන් කන් දෙක අනෙක‘තින් නමා
ගත් කල කිසිදු කළබලයක් නැති සේමා
මොළකැටි පුළුං කැටියක් අත රැඳි සේමා
නුඹේ පහස තාමත් දැනෙනා සේමා

අම්මගෙ බැණුම් මැද නුඹෙ වත සිඹිමින්නේ
අප ලද උන් නොලද සතුටක් සොයමින්නේ
නිදහස නොමැති දරුවන් සොයමින් උන්නේ
උණුසුම ආදරය නුඹගෙනි පිරිමැහුනේ

යන යන තැන අපත් සමගින් ගිය විලසේ
නැහැ කිසි බියක් බල්ලෙකු බළලෙකු විලසේ
දරුවෙක් විනා වෙන කිසිවෙක් නොව නිවසේ
සිටි නුඹ එළියෙ තැබුවේ ඇයි මා මෙලෙසේ

ආසා කරන දේ දිනයෙක නැති වීම
දහමකි නොවරදින ඇත්තකි සැමදාම
ඒ බව පසක් කර යලි යලි පෙර සේම
කඳුලින් තහවුරුව ඇත නුඹෙ නික්මීම

පන්සලකට දෙන්න පඬිවරු විස පෙව්වා
ඒ විස ටිකින් ටික ඇතැමුන් බොනු දුටුවා
හැමදාමත් නුඹ හිරිහැරයකි සිතුවා
උන් හට ඉතින් දැන්වත් නින්දක් ඇතුවා

නුඹ පිරිසිදුය නෑවත් නැතුවත් සැමදා
නුඹ සුවඳයි උණුසුම දැනෙතැයි නිබඳා
මගෙ පොඩි පුතේ නිම නැත කඳුලැල් පිසදා
දරුවෙක් වී සිටියෙ නුඹ මා හට පෙරදා

දඩ බල්ලන් රංචු මිදුලේ ඇත රෑට
ඒ බව දැනත් එළියට දැම්මා රෑට
සවිමත් කූඩුවක් විගසින් හදන්නට
බැරිවුණු පව කෙලෙස හැකිවෙද මනින්නට

ලොකුදුව කෑගසා හඬමින් අඬගසන
හඬ සිහිනෙන් ඇසී විගසින් නැගිටිමින
අනේ තාත්තේ හාවා නෑ එතන
කූඩුව පෙරලලා කඩලා බිම තිබිණ

වැඩක් නැ සොයා තාත්තෙ මේ මෙතන
ලොම් හැලිලා තිබේ මිදුලේ සෑම තැන
පුළුං කැබලි අසුලාගෙන අතට ගෙන
සොයමින් යද්දි බල්ලන් දුවනව පෙනින

ටැංකිය පිටුපසින් කිරි අල ගාල ලඟ
සුදු පැල්ලමක් අඳුරේ මා නෙත ගැටින
ලයිට් දමන්නයි කියමින් කෑ ගැසින
නිසල පුළුං ගොඩ අවසන ඇස ගැසින

නරියන් සේම කුරුමානම් අල්ලමින
නුඹ බිලිගන්න මානා බලමින් හිඳින
යකුන් වෙතට අවිහිංසක නුඹ මුදන
ලෙස මට සිත් වුණේ මොන පවටද මෙදින

කඩා හැලෙන නුඹෙ අතපය දැක මසිත
උපන් හිස් බවින් නිබඳව සිත පෙලන
මේ රික්තකය කවදා හෝ යලි පිරෙන
දිනයක් නැතේ කිසිදා නැත අඩමාන

මඩ වැකි නුඹෙ මුහුණ සෝදාලන කලට
තවමත් සිරුර උණුසුම් බව දැනින මට
තබා නුඹෙ පපුව මාගේ වම් කණට
බැලුවත් පුරුදු හඬ ඇසුනේ නොමැත මට

එක මොහොතක් එකතැන නොම රැඳුනු නුඹ
අද නිසසලව කලු රෙද්දක වැතිර නුඹ
අනේ තෙමුණු පුළුං ගොඩක් වැනිය නුඹ
හමුවුණෙ කවර පවකටදෝ මෙමට නුඹ

නිවහන පෙරලෙද්දි පළමුව කර සද්ද
මරුවන් ගෙලින් ගෙන ඒ මේ අත ඇද්ද
නුඹට මොනවනම් නොහිතෙන්නට ඇද්ද
මොන තරමට අසරණ වෙන්නට ඇද්ද

කිසිදා සිතුවෙ නෑ නපුරක් කරන්නට
නැතියෙන් විසඳුමක් මා අසරණ කමට
කන්දොස් කිරියාව බැරිතැන ඉවසන්ට
දැම්මේ නුඹව තිරිසන් මරුවන් කටට

ඇඬුවත් වැලපුනත් බැහැ පව ගෙවන්නට
මේ කල මහා අපරාධෙට මා නුඹට
අනේ පැයක් පෙර සිතුනානම් මෙමට
ඉඩකඩ තිබුණි නුඹ මරුගෙන් ගලවන්ට

මරු එනු දැනෙන්නට ඇති ඔය පොඩි හිතට
ගැස්මද දරනු බැරිවෙන්නැති පොඩි හදට
නුඹ විඳි වේදනා දැනෙතී මගෙ හිතට
සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට
හෙට ඉර නැගෙන්නේ වෙනදා නොම විලසේ
හාවා දුව පනින්නේ නෑ යලි නිවසේ
දරුවනි නුඹ උන්නු සුරතල් සුව පහසේ
හාවා නුඹ වෙතට යලි නොම එයි පෙරසේ

දරුවන් තුරුල නුඹහට අහිමිවු සැටියා
උන්ටත් නුඹේ මුදු උණුසුම නැතිව ගියා
දුක් විඳ මැරෙන්නට යලි නොම ඉඩක් තියා
නිවන් පුරේ පලයන් පොඩි හා පැටියා

http://madhumadhavi135.blogspot.co.uk/2016/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල