කාලීන සංවාද, විශේෂ

විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

1

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි.

නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි මාර්ගයන් ගැන දුක් වීමත් සමහරුන්ගේ ප‍්‍රියතම ආවර්ජනයයි.

මගේ අරමුණ චින්තන ස්වාධීනත්වය නොහොත් අදීනව සිතීමේ හැකියාව සමාජයක් ලෙස අප පොදුවේ ලබා ගෙන ඇත්දැයි විපරම් කිරීමයි.

නිදහසෙන් පසු රටේ තීරණ ගත් දේශපාලන නායකයන්ගේ දැක්මේ අඩුපාඩු හා බරපතල දෝෂයන් තිබූ බවට අප දන්නවා. එහෙත් සමාජයක් ලෙස පුරවැසියන් හා ඡන්දදායකයන් වන අපේ චින්තනයේ දුර්වලතා බොහෝ විට අප දකින්නේ නැහැ. නැතිනම් නොදුටුවා සේ සිටිනවා.

උපතේදී අහම්බෙන් ලද (ජාතිය, ආගම, කුලය ආදී) හෝ පසු කලෙක ආරෝපණය වූ (උගත් පාසල, කැමති දේශපාලන පක්ෂය ආදී) හෝ ලේබල කන්දරාවක් අලවා ගෙන, ඒවා වෙනුවෙන් කුලල් කා ගනිමින් සිටිනවා. මෙහි ස්වාධීන චින්තනයක් කොහින්ද?

එහෙත් අපේ ඉතිහාසගත උරුමය මෙය නොවෙයි. ශ‍්‍රී ලංකාව භෞතිකව දුපතක් වුවද ශිෂ්ටාචාරමය වශයෙන් ගත් විට එය කිසි දිනෙක ඉතිහාසයේ හුදෙකලා වූ දිවයිනක් වූයේ නැහැ.

සහශ‍්‍රකයන් ගණනාවක් පුරා අප රට ලෝකය සමග ගනුදෙනු කොට තිබෙනවා. අනුරාධපුර යුගයේ රජුන් පුරාණ ග‍්‍රීසියේ හා රෝමයේ පාලකයන් සමග විදේශ සබඳතා පවත්වා තිබෙනවා. ඉන්දියානු සාගරයේ දේශාටනයේ යෙදුණු චීන, පර්සියන් හා යුරෝපීය වෙළෙඳුන්/ගවේෂකයන් මෙහි යාම ඒම නිතර සිදු වුණා.

ඓතිහාසිකව අපේ ශිෂ්ටාචාරය ලෝකයට විවෘතව තිබූ අතර එයින් අපේ අනන්‍යතාවලට හෝ සංස්කෘතියට හෝ හානියක් වූයේ නැහැ. පිටතින් ආ දැනුම, භාණ්ඩ හා සම්ප‍්‍රදායන් හරහා අපේ දිවයිනේ විචිත‍්‍රත්වය තවත් වැඩි වූවා පමණයි. අද රටේ වෙසෙන (වැදි ජනයා හැර) අන් සියලු ජාතීන් පිටරටකින් මෙහි ආ සංක්‍රමණිකයන්.

ලෝකය අපට හිරිහැර කොට අප රටක් ලෙස අස්ථාපිත හා බෙලහීන කරන්නට සැරසී සිටී යන මානසිකත්වය අපේ සමහරුන්ට සාපේක්ෂව මෑතදී ආරෝපණය වූවක්. මේ නිසා ඔවුන් ලෝකයම ගැන බියෙන්, සැකෙන් හා කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් විපරීත මානසිකත්වයෙන් කල් ගෙවනවා.

1948දී ලද දේශපාලන හා පරිපාලනමය නිදහස මෙන්ම අප ආයාසයෙන් වර්ධනය කර ගත යුතු චින්තනයේ නිදහස ද (independence of thought) මා අගය කරනවා. එනයින් බලන විට අපේ සමාජයේ බහුතරයක් දෙනා චින්තන නිදහස තවම ලබා නැහැ!

ස්වාධීනව සිතන රටක් හා ජාතියක් කුමන සුපිරි බලවතකුට හෝ ඇත්තටම යටත් කර ගන්නට බැහැ. එසේම මොන දේශපාලන නිදහස තිබුණත් තර්කානුකූලව සිතීමේ විචාරශීලී හැකියාව සමාජයට නැතිනම් එය නිදහස් සිතුවිලිවලට ඉඩක් නොදෙන, පටු හා ගතානුගතික සමාජයක් වනවා. අපේ සමාජය එවැන්නක්.

එවන් සමාජයන්හි නව නිපැයුම් හා නවෝත්පාදන එතරම් පැන නගින්නේ නැහැ. තරුණ අදහස් උදහස්වලට නිසි තැනක් නැහැ. බහුතරයක් තරුණ තරුණියන් බලා සිටින්නේ කෙසේ හෝ රටින් නික්ම ගොස් වෙන රටක වාසය කිරීමටයි. සමාජ විද්‍යා සමීක්ෂණවලින් මෙය තහවුරු වනවා.

සමාජයේ හැම කෙනකුම එකම අච්චුවේ, එකම ශෛලියකට ජීවත් විය යුතුය යන ආකල්පය ද සැබෑ නිදහස් හා පරිනත සමාජයකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. සංඛ්‍යාත්මක බහුතරය කරන කියන දෙයට වෙනස් මගක යන වමත් හුරු වූවන්, නිර්මාංශ භක්ෂිකයන්, නිර්ආගමිකයන් ආදීන්ට අපේ ගතානුගතික සමාජයේ මතු වන ප‍්‍රශ්න, සමච්චල් හා හෙළා දැකීම් වැඩියි. ලිංගික සුළුතරයකට අයත් වූවන්ට (සමරිසි, සන්ක්‍රාන්ති ලිංගික හා ද්විලිංගික) නම් සමාජ ප‍්‍රතිරෝධය එළිපිටම ප‍්‍රබලව පැන නගිනවා.

මේ සියල්ල වැඩවසම් හා වහල් මානසිකත්වයක් මත පදනම් වූ පසුගාමී සමාජයක ලක්ෂණයි. සංස්කෘතික හා මානව විවිධත්වය ඉවසා දරා ගැනීමට බැරිකමයි. ඉතින් අප නිවහල් සමාජයක්ද?

බහුතරයකට විචාරශීලීව හා පුළුල්ව සිතීමට බැරි වීමේ තවත් බරපතල සමාජ ප‍්‍රතිඵලයක් නම් මිථ්‍යාව, අවිද්‍යාව හා ව්‍යාජ විද්‍යාවන් අන් කවරදාටත් වඩා ප‍්‍රචලිතවීමයි.

මා කවදත් කියන පරිදි ඕනෑම කෙනෙකුට කැමති දෙයක් විශ්වාස කිරීමට පුද්ගල නිදහස තිබෙනවා. එහෙත් තමන්ගේ ඇදහීම නිල බලය හරහා සමාජය පිට පැටවීමට ඉඩ නොතිබිය යුතුයි.

උදාහරණයකට රාහු කාලය විශ්වාස කිරීම වැනි ප‍්‍රාථමික ක‍්‍රියා තනි පුද්ගලයකුට කළ හැකි වුවත් එය රටේ දරුවන් ලක්ෂ ගණනකට බලපාන විභාග කාලසටහනකට අදාළ කිරීමට අධ්‍යාපන බලධාරීන්ට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

ජ්‍යොතිෂය වැනි අවිද්‍යාත්මක ගුප්ත ව්‍යාපාර තම නිවසේ හෝ කඩයක හෝ සිට කිරීමට එය ප‍්‍රගුණ කරන අයට නිදහස ඇතත් ඒවා ටෙලිවිෂන් නාලිකා හරහා රටටම බෙදීම බෙහෙවින් විවාදාත්මකයි. සියලූ ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා විකාශයන්ට යොදා ගන්නේ පොදු දේපලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. ඒ නිසා පත්තර හා වෙබ් අඩවිවලට වඩා වගකීම් සමුදායක් විද්‍යුත් මාධ්‍යවලට තිබෙනවා.

දකුණු ඉන්දියානු ප‍්‍රාන්තයක් වන කර්ණාටකයේ පාලක කොංග‍්‍රස් පක්ෂය මෑතදී යෝජනා කර ඇත්තේ ටෙලිවිෂන් නාලිකා බොහොමයක ජනප‍්‍රිය වී තිබෙන ජ්‍යොතිෂ වැඩසටහන් තහනම් කළ යුතු බවටයි. එයට හේතුව ලෙස කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා කියන්නේ මිථ්‍යාවන් අධික ලෙස ජන සමාජයේ පැතිරවීමට මේ වැඩසටහන් දායක වන බවයි.

මෙය ජ්‍යෙතිෂකරුවන්ගේ ප‍්‍රකාශන නිදහස බාධා කිරීමක්ද?

ඇත්තටම නැහැ. අවිද්‍යාත්මක බව තහවුරු කරන ලද තොරතුරු මාධ්‍ය හරහා සමාජගත කිරීමෙන් සිදු වන සමාජ හානියට වැට බැඳීමක් පමණයි. (එසේ නැතුව ප‍්‍රකාශන නිදහස යන තර්කය පිළිගත හොත් ඕනෑම හොර වෙදකුට, යකදුරකුට හෝ පිරමිඞ් ආකාරයේ මූල්‍ය වංචාකරුවකුටත් මාධ්‍ය හරහා එම නිදහසම දෙන්නට සිදුවේවි!)

සාක්ෂරතාව මෙතරම් ඉහළ ගිය, අධ්‍යාපන මට්ටම්ද උසස් වූ අපේ වැනි සමාජයක උගත් උදවිය පවා ලෙහෙසියෙන් මිථ්‍යා හා ව්‍යාජ විද්‍යාවන්ට රැවටෙන්නේ ඇයි? මෙය වෙනම විග‍්‍රහ කළයුතු සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

එහෙත් චින්තනයේ නිදහසේ නාමයෙන් මෝඩකමට හා අන්ධ විශ්වාසයට නිදහස ලැබීම නම් සමාජයකට අතිශයින් හානිකරයි.

පරමාදර්ශී චින්තන නිදහස ඉතා මැනවින් හසු කර ගන්නා කවියක් මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් මීට සියවසකට පෙර රචනා කළා. ‘චිත්තෝ ජේතා භොයිශුන්යෝ’ නමින් බෙංගාලි බසින් ලියූ එය ඔහු විසින්ම 1911දී ඉංග‍්‍රීසියට පෙරළනු ලැබුවා. 1912දී ලන්ඩනයේ පළ කරන ලද ගීතාංජලී කාව්‍ය සංග‍්‍රහයේ 35 වන කවිය ලෙස ඇතුළත් වූ මෙය සියවසක් පුරා ඉන්දියාවේත්, බංග්ලාදේශයේත් පුළුල්ව උපුටා දැක්වෙන දාර්ශනික අදහස් මාලාවක්.

සිංහල රසිකයන් මේ කව හඳුනා ගත්තේ මහගම සේකරයන් විසින් ගීතයක් ලෙස රචනා කරනු ලැබ අමරදේවයන්ගේ හඬින් ගයනු ලැබූ පසුවයි. පරමාදර්ශී නිදහස ගැන සිහින මවන කාගේත් පැතුම විය යුත්තේ මේ තාගෝර්-සේකර-අමරදේව ගීයේ අදහස් මාලාවයි.

“පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!”

http://nalakagunawardene.com

https://www.youtube.com/watch?v=T7nmjJWySLY

Related Posts

1 Comment

  1. XRumerTest February 15, 2016 at 8:43 pm - 

    Hello. And Bye.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල