කෙටි කථා

සර්පයාගේ කොලම – 08

Off

සර්පයා සහ කුරුළු පැටව්

සර්පයාගේ වනාන්තරය ගෘහයක් වන්නේය. ගෘහය වනාන්තරයක් වන්නේය.

සර්පයාගේ අඩුම කුඩුම පමණක් දැන් තිබෙන කලෙක සර්පයා වාසය කළ කුටියේ අමුතු යමක් සිද්ධ වෙමින් තිබුණේය. කොණ්ඩ කුරුල්ලකු එහි කැදැල්ලක් සාදන්නට පටන් ගෙන තිබුණේය. දිනෙක සර්පයා වනාන්තරයේ හක්කලං ගසා උගේ තුඹසට නොආ දිනෙක මේ කාරිය කරන්නට උහු පටන් ගෙන තිබිණි. උහු කැදැල්ල සාදන්නට පටන් ගෙන තිබුණේ සර්පයා සිය ඇඳුම් හැවවල් එල්ලන ඇඳුම් එල්වනයකය.

කලින් වතාවක සර්පයා පියවිප්පයෝගයෙන් රාහු විසින් ඇවිදුවන ලද දිවා රාත‍්‍රීන් බොහෝ ගණනකින් පසු නැවත තුඹසට බඩ ගෑවේය. එකල්හි සර්පයා සිය ඇඳුම් එල්වන ඒ ආධාරකයට අත පොවත්ම එහි කූරු දෙකක් අතර සාර සුබාවට තබන ලද මොනවාදෝ කෙඳි කිහිපයක් දුටුවේය. සර්පයා ඒ සුනංගුවෙන් ඒවා ගලවා දැමුවේ දෙවතාවක් ඒ ගැන නොසිතාය. තමා රාහුගේ ඇවිද්දිල්ලට තුඹසෙන් දොට්ට බහින්නට පෙර සිය කුටියේ කොණ්ඩ කුරුල්ලකු කරක් ගසනු දුටුවත් සර්පයාට ඒ ගනිච්චියක් නොවුනේය. උහු කූඩුවක් සාදනවා වනැයි සර්පයාගේ තුන්සිතටදු නැගුණේ ඒ කඩා දැමුවාටද පස්සෙන් පහුය. ඉන්පසු සර්පයා ඒ ගැන වරද සහගත සිත් ඇත්තේ වූ නමුදු කොණ්ඩ කුරුල්ලා යළි කූඩුව සාදන්නට නොආවේය. මෙවර ඒ එසැණින් සිතට ආ හෙයින් සර්පයා සිය ඇඳුම් හැව පටවල් ඉන් සීරුවට ඉවත් කොට ගත්තේය. එපමණකුදු නොව සර්පයා ඒ කුටිය කුරුල්ලාට බද්දටම ලියා දුන්නේය.

කූඩුව සෑදීම යසට කෙරී ගෙන ගියේය. සර්පයාගේ දියණිය නිවසට ආ දිනට ඕ සර්පයාට වාරුව ඉස්සී පෙනය නගා ඒ නැරඹීය. මේ ඇලූම් බැලූම් නිසා ඌ කූඩුව අතැර යාවි දැයි සර්පයාට සැක සිතුනද දිනෙක උහු සිය කිරිල්ලියත් කැටුව පැමිණ කැදැල්ල පෙන්වූවේය. කිරිල්ලද ගැහැණියක වූ නිසා ඈ ඒ තරම් මනාපයක් පෙන්වූවේ නැතත් ටික දිනකින් ඈ එහි ගෙවැදී එහි ලගින්නට පටන් ගත්තීය. තවද දින කීපයකින් උ`දුපියලිය ගාල්ද , පොල්පලා ගස්ද මුහු කොට කරන ලද ඒ විශ්වකර්ම නිවෙසේ කුඩා බිජු තුනක් දක්නට ලැබිණි. සර්පයා පළමුව පෙනය නගා බලද්දී එහි තිබුණේ බිජු දෙකක් පමණකි. පෙනේ හරියට නොනෑගූ නිසා පෙනුනේ නැති වන්නටත් පුළුවන. පසුව බලද්දී එහි බිජු තුනක් දක්නට වීය.

සර්පයාගේ දියණිය සිය පෙනය නගා ඒ සිය ලපැටි ඇසින් වින්`දාය. එද බැල්මෙන් වුව බිජු කුණු වනු ඇතැයි, කිරිල්ලිය බිජු අතැර දමා යනු ඇතැයි බියෙන් ඕ සර්පයා තරමකුදුවත් ඉන්පසු පෙනය නගා නොබලන්නට පරිස්සම් වූවාය.

දැන් ඒ බිජුවට පුපුරා මස් වැදලි කිහිපයක් එහි වෙයි.

කිරිලිය පනුවන් ඈ ගෙනවුත් පැටවුනට කවයි. මුලින් නැති උද්‍යෝගයකින් පැටවුන් තට්ට හිස් නගති. ඇසෙන නෑසෙන ගානට යාන්තම් කීචි බීචි ගාති. සර්පයාගේ දියණිය පෙනය නගා බලා තුටින් ඉපිලෙයි. විටෙක කුරුළු යුවලම කුටියට පැමිණේ . කුරුල්ලා ඈත සිට බලා සිටී. කිරිළියට පනුවන් ඈ ගෙනවුත් දේ.

මහ උන්ගේ කීචි බීචි හඬනිවස අරා නින්නාද දෙයි.

බිජු දමන්නට කැදැල්ලේ ලැග සිටින කාලේ දිනෙක උදැහැනැක්කේ කිරිල්ලිය ඒ කුටියෙන් හුඹහේ සාලයට අවුත් එහි නිදහසේ සැරි සරන්නට වූවාය. ඇය පහතටම ආයේ සර්පයා ගැන මේ ටික දොහට ඇති වූ විශ්වාසයෙනි. සර්පයා සමග තනි නොතනියට හුන් පූස් පැටවා ඌට කුරුමානම් ඇල්ලීය. පසුව අවදානම වටහා ගත් ඕ යළිදු සිය කුටියෙන් දොට්ට නොආවාය.

මේ කාලයේ මහ පූසිය යළිදු ගැබ්බරව උන්නාය. ගැබ්බර වූ කල්හි උහු පෙරද තමා සමග දැවටෙන්නට එන පැටවාට කෙනෙහිලිකම් කරයි. සපාකයි. පහර දෙයි. එලවයි. එහෙත් ළමා ලපටියකුගේ පොතක සිටින පූසකු වන් මේ පැටවා කෙතරම් කරද`ඩු උස් මහත් වුනද මව කෙරේ ආශක්තතාවෙන්ම පසුවෙයි. මව ඌට පහර දුන්නද ආදරයෙන් මවගේ මුහුණ දෙස බලා සිට යළි ඇෙ`ග් ඇතිල්ලෙන්නටම යයි. මව පැටවාගේ කෑම පවා උදුරාගෙන කන තරමට නපුරු වූවාය. සර්පයාට ඡාතක කතා මෙන්ම පංච තන්ත‍්‍රයද ජීවමාන කළේ සර්පයාගේ තනි නොතනියට සිටි මේ පූසන්ය. මේ මහ පූසිය ගොරවමින්ද , පිඹිමින්ද පැටවාට පමණක් නොව සර්පයාටද සැර දමන්නට විය. විටෙක උහු සර්පයා යමක් කී විට බැන බැන යන්නට පුරුදු විය. විවාහක බිරියක සහ පූසිය අතර වෙනසක් නොවූ බව සර්පයාට පසක් විණි.

දිනක් බැරිම තැන සර්පයා ඌව එලවා ගත්තේය.

දින කිහිපයක් පෙනෙන්නට නොසිටි ඇය සර්පයා යළි රාහු ඇවිදිල්ලකින් අනතුරුව තුඹසට ගොඩ වදින කල්හි පැමිණ ආදරබර , අවිහිංසක මෙන්ම කපටි ලෙස ඥාව් ගෑවාය.

‘ආ වදන්න ඕනෙ වෙලාද මතක් වුණේ’ සර්පයා ඇසුවේය.

ඌ ‘ඥාව්’ ගෑවාය.

එදා සිට ඌ නැවත හුඹහේ පදංචි වූවාය.

දැන් ප‍්‍රශ්නය ඌ සර්පයාගේ දියණියගේ කුටිය වැදුම් ගෙයට ගන්නට ඒ පිරික්සා බලන්නට විටින් විට ඒ බැහැ දැකීමයි . සර්පයා එහි අගුළු දැමුවේය. ඒ හැර තවද එක් කුටියක් එහි සදාකාලිකව මෙන් අගුළ දමා තිබුණේ තවමත් පවතින අයිතියක් පෙන්වන්නා සේය. ඒ හැර වූයේ සර්පයාගේ පිළිවෙලක් නැති කිලිටි කුටියයි. කොණ්ඩ කිරිල්ලිය සිය වැදුම් ගෙය කොට ගත්තේ එයයි.

සර්පයා පූසියට යන්නට බැරි වන්නට ඒ අවුරා දැමුවේය. එහෙත් සර්පයාගේ ඇවිරිලි පූසන්ට ඇතිරිලි එලා දුන්නා වන්ය. අන්තිමේ දිනක් තවදු දොහක රාහු සමග ගමනක් ගිය සර්පයා පසුදා තුඹසට එන විට පූසිය කුසින් හෑල්ලූව උන්නාය.

පැටවුන් කොහේදෝ හෝයි සර්පයාට කීප දොහක් යන තෙක් සොයා ගන්නට නොහැකි විය. අන්තිමේ බැලූ විට පූසිය වැදුම්ගෙය කොට ගෙන තිබුණේද කොණ්ඩ කිරිලියගේ වැදුම් ගෙය වූ සර්ප භවනමය.

යා දෙක නොරත රත මෙන් එකිනෙකට නොපෑහෙන ධර්මතාවන් දෙකක් එකට නොපවතිතැයි සිතා සිටියද පූසියට කිරිල්ලියගේ වගේ වගක් නැත. කෙසේ නමුත් බීජ නියාමය කොයි මොහොතේ හෝ ඉස්මතු වනු ඇත. එබැවින් සර්පයා පැටවුන්ගේ නවාතැන තුඹසේ සාලයට විතැන් කළේය. පූසිය මෙවර නිරෝගී ශක්තිමත් පුෂ්ටිමත් මෙන්ම පෙනුමේ හැටියට නම් නපුරු පැටවුන් දෙදෙනෙකු දමා උන්නීය.

කිරිල්ලිය සර්පයා ගැන කිසිසේත් බිය නොගනියි. පෙරදී කුරුල්ලාද එසේ විය. මුලින් මුලින් සර්පයා දුටු විට පිටතට පියාඹා ගියත් පසුව සර්පයා අනතුරක් නොවන වග දැන උහු හැඩ ගැසුනේය. කුරුල්ලා විසින් ඒ කිරිල්ලියට කියා ඇතිවා මෙන් කිරිල්ලිය කිසිදු විටෙක සර්පයා ගැන බිය නොගත්තා වන්ය.
නහන කුටියේ වහලයෙන් තුඹස ආක‍්‍රමණය කොට එල්ලෙමින් තිබූ කිරිමදුවැල් හිරු එළිය නැතිව රෝස පාටට හැරී ඇත. ඊට මරණාසන්න වූ වියපත් කාමිනියකගේ පෙනුමක් ඇත්තේය. සර්පයා ඒ ඇද ගලවා දැමුවේය. එහෙත් සර්පයා කිසිවක් දැඩිව නොගනී. ඒ ගලවා දැමුවේද නොදැමුවා මෙන්ය. බාගෙටය.

මේ අතරේ සෙයිලමේ තවත් තැනෙක කොණ්ඩ කුරුල්ලන් කැදැල්ලක් සාදන්නට පටන් ගෙන තිබිණි.

‘අතරමං වූ කුඩා පැනි කුරුල්ලෙක් එකිනෙකට ඈතින් පිහිටි රටවල් දෙකක වූ ඇගේ නිවෙසටත් මගේ නිවෙසටත් එක විටම අත්තටු සැලූවා. අහෝ ලොලීටා…ඔබ පේ‍්‍රම කළෙහිද මට මෙතරම්?’

කාකු බෝධි පැලය මත බට්ටිත්තෙක් කූඩුවක් සාදමින් සිටිනු දඩයක්කාරයා ඔහේ බලා සිටියේය. කූඩුවට එහායින් සංසාර නිම්වළලූ ඉම ඇවිද යන කුරා කුහුඹුන් පෙළක් දඩයක්කාරයාගේ නෙත ගැටුනේය.

කේ.කේ.සමන් කුමාර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල