කාලීන සංවාද

වැලොන්ටයින් හා ගෑණු ළමයි

Off

මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් “සාදර කෝච්චිද” ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.

සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.

ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය

ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය

කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා “අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා” කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ “ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද” කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය

කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.

රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය

බව්වා : බව් බව්
ගෑණු ළමයා: බව් බව් බව්..
වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???

ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ “unpredictable” ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි

ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි

ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. “අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි” යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි

ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.

සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.
ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්…

http://rotiyababa.blogspot.co.uk/2016/02/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල