කෙටි කථා

සර්පයාගේ කොලම -10

Off

අනේක ජාති සංසාරං

සර්පයා මේ සිතුවිලි වනාන්තරය සිසාරා පෙනය නගා බැලීය.

සිතිවිලි වනාන්තරයේද අනෙකුත් වනාන්තරවල මෙන් අනේක ජාති ගහ කොල වන්නේය. අනේක ජාති පැවත ඇත්තා වූ නමුදු ඒවා එසේම වාගේ බැලූ බැල්මට විද්‍යාමාන වන්නේය. එද ඒවා නිත්‍යව එසේම නොපවත්නේය. එනම් අනිත්‍යය.

අනිත්‍යය කිව්වාට ඒවා සැබැවින්ම නම් අනිච්චය. එනම් කාගේවත්, තමාගේවත් ඉච්චාවකට ඒවා නොපවතී. එහෙත් සියල්ලෝ ඒවා තමාගේ ඉච්චත්වයට අනුකූලව පවතිතැයිද සිතා සිටිති.
අනෙකුන්ගේ ඉච්චාවට පවතින්නට යන ගස්වලට සැමදා තමාගේ ඉච්චාව පසෙක ලන්නට වේ.

ප‍්‍රශ්නය වන්නේ සමහර සිතිවිලි ගස්වලට අනෙකුත් ගස්ද තමාගේ ඉච්චාවට අනුව පවතින්නට ඕනෑවීමයි.

ඒ කෙසේදයත් අනෙක් ගස්වල සෑදෙන ගෙඩි ගැන අවසාන විනිශ්චය දෙන්නට වරමක් ලෝක නිර්මාතෘ විසින් හෝ සිතිවිලි වනයේ පලවැලින් රස්සා වන කුරුල්ලන් විසින් ප‍්‍රදානය කොට ඇති මෙන් සමහරක් සිතිවිලි ගස් සිතා සිටී. මේවා මහා වනස්පතියන් වන්නට වලිකන ඇහැටු ගස්වන්ය. ඊටද වඩා මේවා බොහෝ විට තවත් ගස් මත වැඩෙනා පිලිළයන්ය.

මේ පිළිල අනෙකුත් ගස් මත සිය අණසක පතුරන්නට උත්සාහ දරති. ගෙම්බන් මෙන් පිම්බෙති. එහෙත් පිම්බෙන්නට කාලයක් සේම පුපුරන්නට කාලයක් ඇත්තා සේ මේ පිළිලවල ආයුෂද වැඩිි කල් නොවේ. එහෙත් මේ පිළිලය අවසන්ව කණාටුව යන විට ඒ විසින් සාරය උරා බිව් ගසද අවසන් සුස්ම පිට කරන්නේ වෙයි.

එසේම මේ පිළිල ගිල දැමූ ඇතැම් කුරුල්ලන්ගෙන් පැතිරෙන බීජයන්ගෙන් ඒවා පැතිර ගොස් තවද ගස්වල සාරය උරා විනාස කොට දමති. කෙසේවුව මේ ධර්මතාවක් වන්නේ වෙයි. මහාමාරිය විෂබීජ හට්ටි මුට්ිටි ඇ`ද ඇතිරිලි අල්මාරි පෙට්ටගම් අස්සේ වසර සිය දහස් ගණන් හිඳ ලෝකය අධර්මයෙන්ද , අයුක්තියෙන්ද, නොමිනිස්කමින්ද පිරී ගිය විට මිනිසුන්ට මනුෂ්‍යත්වය මතක් කර දෙන්නට මී වාහනවල නැගී එන බව කැමූ කී මෙන් මේ පිළිළද ලෝකයට යමක් කියා දෙන්නටම පැමිණෙයි.

සිතිවිලි මහාමාරීන්ද වරින්වර ලෝකයට මෙසේ පහළ වෙයි. පිළිලයන් පැතිර යති. මහා වනස්පතීන්ගෙන් ඒවා සාරය උරා බී ඒ වනස්පතීහු හප කොට තූ තූ ගා කෙල ගසා බිම දමති. පිළිල බොහෝ විට මහා වනස්පතියන් මුදුනේ වැඩෙති. කාක්කන් රෙන්නේ හැම විටම මහ ගස් උඩමය. ඉතින් පිළිල මහ ගස් මුදුන්හි පැල වෙති. වනස්පතීන් මත සෙවුනා පිළිලයන් තමන් අනෙක් ගස්වලට වඩා උස යැයි තුමූම සිතා ගනිති.

එකල්හි එක් ගසක් ඵල දරන්නේ ඒ තුමූ අනෙක් ගස්වලට වඩා තමන් අග්ගෝ හමස්මියි සිතා ගත්තේ තමන් මත වන පිළිලයන් ජෙට්ඨෝ හමස්මියිද ඒ පිළිල බිජු වනය පුරා පතුරන කාකයන් සෙස්සෝ හමස්මියිද සිතූහ. එකල්හි අනෙක් ගස්වල වන ඵලයන් ඵලයන් නොවන බැව් සිතනා ගස් වනයෙහි පහල විය. ඵල නම් තම ඵලයන්ම පමණකැයි ඒ ගස් සිතන්නට වන්හ. අනෙක් ගස්වලට ඵල දරන්නට අයිතිය නොවෙතැයි සිතන්නට වන්හ. පල දැරුවද ඒවා ඵලයන් නොවෙතැයිද ඵලයන් යනු තම ඵලයන් පමණකැයිද සිතන්නට වන්හ.

ඒ ඵල අනුභව කළ හැක්කේ තමන් රිසි කුරුල්ලනට පමණකැයි ඒ ගස් සිතූහ. තමන් රිසි කුරුල්ලන් පමණක් කුරුල්ලන් වෙතැයිද ඒ ගස් සිතූහ. ඒවා සියලූ පක්ෂීන්ට ලැගුම් ගත හැකි ඒවා නොවිණි. මෙසේ වනයේ නීතිය උඩුකුරුව ගියේය.

මෙසේ උමතු ගස් වනයේ තැන තැන දක්නට ලැබිණි. තමන් වනස්පතීන් යැයි සිතා උජාරුවට සිටින පිළිල හා වල් පැල කැලය පුරා බෝ වන්නට විණි.

මේ උමතු ගස්වල කොල සුළඟින් නොසැලිණි. සුළඟ කෙරේ පසමිතුරු හැඟුමින් ඒවා ඇලලී තිබිණි. සුළඟ ඔත්තුකාරයෙකැයි ඒවා සිතූහ. එතැන් සිට සුළ`ගද මේ ගස් හි නොවැදී හි`දින්නට වග බලා ගත්හ. ඒ නිසා මේ ගස් බුම්මාගෙන වනය මැද ගල් ඉබ්බන් සේ උන්නේය.
මේ අතර වරා මල්ද හොර කුරුල්ලන්ද සුළඟේ පාවී අනන්තයට ඇදුනේය.

සර්පයා මේ සියල්ල දැක දැක වනය සිසාරා යමින් සිටියේය.

පිළිල ප‍්‍රචාරණය කරන කාකයෝ වනස්පතීන් මත පැහැරූහ.

මේ අතර ඵල බර රුක්ද වනයෙහි වීය. ඒවා ගණිකාවන් මෙන් සියල් සතුනගේ බඩ කට පිරූහ.

අනේක ජාති වෘක්ෂයෝද අනේක ජාති ලතාවන්ද මෙලොව ඇත්තෙහිය. ඒ ධර්මතාවක් වන්නේය. එක් ආකාරයක වෘක්ෂයන් හෝ ලතාවන් වනයෙහි නොපවතී. එවන් වගාවන් බිහි කළ හැකිදු ඒ ධර්මතාවක් නොවන්නේය. ඒ ලොවෙහි සමතුලනය උදෙසා නොවන්නේය. ඒ වවන්නාගේ බඩ ගෝස්තරය උදෙසාම වන්නේය.

එක්තරා දිනෙක ගස් ඇවිදිනු සර්පයා බලා සිටියේය. අනෙක් සතුන්ද කර නගා බලා සිටියෝය.

මෙසේ ඇවිද ගිය ගස් ගම් නියම් ගම් සිසාරා හමුදාවක් මෙන් සියලූ ගොවිපලවල්ද තවාන්ද වගාබිම්ද ගෙවතුද පුරා විසිර යමින් තැන් තැන්වල මුල් අල්ලමින් පැල වූවෝය. මුළු ලොවම එකම වනාන්තරයක් වීය.

එහෙත් වනයේ වූ උමතු ගස් සියල්ල වනයේම උන්හ. ඒ ගස් ටික දිනක් ඇවෑමෙන් තමන් තනිව ගිය බැව් දැන ලෝකය නම් වූ වනය පුරා නැවත විසිර යන්නට වන්හ.

නැවත පිළිලයන්ද සෑම අතකම පැතිර යන්නට විය.

උමතු ගස් නැවත නන් දොඩන්නට වන.

මේ චක‍්‍රය නැවත එසේම යළි යළිදු අටලෝ දහම මෙන් කැරකෙන්නට වන. මෙයද ධර්මතාවක් වන්නේය සර්පයා සිතුවේය.
වරා මල් සහ හොර කුරුල්ලන් ආකාශයේ පාව ගියේය. කුරුල්ලන් ඵල වැල තුඩින් ගෙන පියා හඹා ගියෝය. වවුලන් ඵලබර රුක්හි වසා ඒ රජ දහන් බවට පත් කොට ගත්හ. උන් ඒවාහි එල්ලී උන්නේ කිසිදා ඒ හැර දමා නොයන්නා මෙනි. එද පසුදා හිරු නැග එද්දී උන් තම තමන්ගේ ලැගුම් පලවල් කරා ඇදී යන්නට වන්නේය.

උමතු ගස් ඇවිද්දේ නැත . ඒ ගස් සිතූයේ අනෙක් ගස් තමා වටා ඇවිදින සේය. ලෝකයම තම වට කැරකෙනා සේය. එහෙත් අනෙක් ගස් මේ ගස් ගැන වගේ වගක් නැතිව තම තමන්ගේ මාර්ගවල යමින් හුන්නෝය.

අනේක ජාති සංසාරයේ අනේක ජාති ගස් ඇත. අනේක ජාති කුරුල්ලන් ඇත. අනේක ජාති රසයන් ඇත.
ලෝකය භින්න රුචික වන්නේය.

පිළිලයන්ටද කාකයන්ටද කොයි ගසත් කොයි රසත් එකමය. කාකයන්ගේ මස් කිසි සතෙක් නොකති. එහෙත් කාකයෝ සියලූ සතුන් මස් කති.
පිළිල සියල් ගස් මත ලගිති. ඒවායේ සාරුව උරාබොති. එහෙත් කිසිදු කුරුල්ලෙක් පිළිලයක් තම ලැගුම් පල කොට නොගනී. කුරුල්ලන් ලගින්නේ ගස්වලම පමණි. බොහෝ කුරුල්ලන්ට සෙවන දෙන්නේ වනස්පතීන් පමණි.

කුරුල්ලකුට සෙවන දුන් පිළිලයක් මේ අනන්ත කාලාවකාශයෙහි මෙතෙක් තිබී නැත්තේය සිතූ සර්පයා තුඹසට ඇදෙන්නට වන.

කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල