අතීතකාමය, විශේෂ

කයිවාරු හෙවත් කෙබර – 1

Off

අපි කොතැනකට වුනත් ගිය පයිං එන සිරිතක් නැත. වෙනිං රටවල්වල ඇතත් අපේ රටේ නැත. අපේ රටේ ඇතත් අපේ ගමේ නං ඇත්තේම නැත. ඒ හංදා එහෙම නොඑන හේතු හොයාබලන්න වටී.
ගිය පයිංම ආපහු ඒම කියන්නේ මොකද්දැයි කවුරුත් දන්නවා ඇත. බැරිවෙලාවත් ගෙදරකට ගිය සැනිං ආපහු ආවොත්
“හුහ් උං උඩ ගිය තරං. ගෙට ගොඩවෙන්නෙවත් නැතුව ආපහු ගියහැටි බලහල්ලකො“
ආදී වසයෙං අසාගන්න පුලුවන. ඒ හංදා අපේ ගෙදර හොද්ද කරවී වලං ගිනිගත්තත්, ගෙට හොරු පැන්නත්, ළමයි බිල්ලො අල්ලං ගියත්, ගිය පයිං ආපහු ඒම හිතන්නවත් හොඳ නැත. මේ ආකාරයට කොතැනක හෝ ගිහිං ටික වෙලාවක් රැඳී සිටින්න වීම කැමැත්තෙං හෝ අකමැත්තෙං වන්නේය. මගුල් ගෙදරක ගියොත් මගුල් ජෝඩුව එනකං ඉන්න ඕනෑය. ආයි කන්න දෙනකං ඉන්න ඕනෑය. ආයි පොටෝ ගහනකං ඉන්න ඕනෑය. මළ ගෙදරකත් පැයක්කත් ඉඳලා එන්න ඕනෑය. ගෙදරකට ගියත් ‘කහට ඩිංගක් බීලයන්න‘ ඉන්න ඕනෑය. ඉතිං මේ ඉඳිල්ල එපාවෙන හිංදා කරන්න වෙන වැඩක් තිබේ.
ඒ වනාහි සංවාදයයි. කතාබස් කිරීමයි. අපේ ආච්චම්ම කියන හැටියටනං ‘කෙබර කියවිල්ලයි‘. නැත්තං ඇත්තෙංම කියතොත් කයිවාරු ගැහිල්ලයි. කයිවාරු කෙලීම කියන්නේ ලේසිපාසු වැඩක් නොවුණත් ඒකටත් කෙලපැමිනියෝ අපේ ගමේ එමටයි. අපේ පවුලේ කයිවාරු කෙලින්න උපන් හපන් අපෙ ආතා ඒ කියන්නේ අර සුපර් ඉස්ටාර් ආච්චම්මගෙ සාමිපුරුසයාය. ආතගෙ කයිවාරු කියවිල්ලට “කෙබර කෙලිනවා” කියලා ආච්චම්මා පිප්පුවට මං හරිම ආසයි ඒ කයිවාරු අහන්න. “ඩීයැස් හාමු”, “දඩ්ඩි හාමු”, “බණ්ඩාරනායක උන්නැහේ” ආදී දේශපාලනඥයින් ගැන ආතා කියන කතාවල යාංතං වගේ බොරු අඩංගු උනත් ඒවායේ තියෙන පරණ විස්තර වලට මං හරිම ආසයි. ඉස්සර සුද්දගෙ කාලෙ අහස් බෝක්කුව බඳින්න ගෙනාපු කාබේරිංගෙ වැඩ ගැනත්, සත පහේ කොලේ දෙකට ඉරලා සත දෙකක් හා සත තුනක් විදිහට වියදං කරන්න හදල තිවුන හැටි, ජපනා කොළඹට බෝම්බ දාපු හැටි, ඒ වෙලාවෙ කාලතුවක්කු වගේ පේන්න ලී කොටවල කලුතෙල් ගාලා අහසට උරුක්කරලා තිබුන හැටි ආදිය ගැන මං ඇසින් දුටු සාක්කි ඇහුවෙ ආතගෙං තමයි. ඔය කොයිහැටි වෙතත් ආතා ආච්චම්මව කසාද බැඳලා ගෙනාපු මගුල ගැන කියනව ඇහෙද්දි නං ආච්චම්මා මාව ගෙන්නල කෑගහනව.
“ඔය මිනිහා කියන කෙබර අහන්නැතුව පොතක් පත්තරෙයක් බලහං”
ආතා ආච්චම්මව බලන්න ගිය ‘මුල් වංගියේ ‘ ඇරං ගියපු ‘පවුඩර බෙලෙක්කෙ‘ පුංචි එකක්ය කියලා ආච්චම්මා ආතගෙ මූනවත් නොබලා දොර රෙද්ද පිටිපස්සෙ හැංගුන බව කියනකොට ආච්චම්මට කොයි තුංලෝකෙ හිටියත් යස්සයා ආරූඪ වෙනවා. ආතා පස්දුං කෝරලේ හිට කුකුලු කෝරලේට ආච්චම්මව කැංදං ආපු පෙරහැර ගැන කියද්දි මගුල් සූට්ටෙක හැටියට ඇඳපු කිතුල්ගොඩ මුදලාලිගෙං ඉල්ලා ගත්තු කෝට්ටෙක ගැන කියන්න වෙනම වෙලාවක් ගන්නවා. ඒ කෝට්ටෙකේ බොත්තං විදිහට තිවිල තියෙන්නෙ රැජිනගෙ රූපෙ තියෙන “රංපවුං“. තාර පාරක් නොතිබිච්චි හංද ආච්චම්මලෑ ගමේ ඉඳං අපේ ගමට එනකං මගුල් පෙරහැර පයිං එද්දි ඉස්සර වෙලාම රබංකාරයො දෙන්නෙක් රබං ගගහ ආපු විත්තියත් ඔය විස්තරේට අඩංගුයි. කාගෙං බැනුං ඇහුවත් හැන්දෑවට ආතගෙ නිංදට බාදා කරමින් ආතගෙ ඇඳ ගාව බිම ඉඳගෙන ඔය කයිවාරු අහන එක පොත් පත්තර කියවන තරමටම මට රහ වැටිලා තිවුනෙ.
ආතගෙ කයිවාරුවට තවත් එකතුවෙන කීප දෙනෙක් තමයි ආතගෙ මස්සිනාල දෙන්නා ඒ කියන්නෙ ආතගෙ බාල දුව බැංද කෙනාගෙ තාත්තයි එකම පුත්‍රයා බැඳපු කෙනාගෙ තාත්තයි. මේ දෙන්නා ආතට අහුවෙන්නේ කලාතුරකිං උනත් ඒ අහල පහලම හිටපු ගුණවර්ධන මාමා නිතරම ආතගෙ කයිවාරුවට එක්කහු උනා. ආතට වඩා අවුරුදු පහලොවක් තරම බාල උනාට ගුණවර්ධන මාමා අපේ ආතට සෑහෙන දුරිං නෑ කමට පුතා. හවස තුන හතර වෙද්දි ගුණවර්ධන මාමා කුඩේකුත් ඇරං මහගෙදර ඉස්තෝප්පුවට ගොඩවදින්නේ කෙබර බර ඔලුව දෙකට නමාගෙන. ඒ වෙලාවට හංදි කැක්කුං, අතපය කැක්කුං, ඉන්න හිටින්න බැරි කොංදෙ අමාරු, ආදී ලෙඩ දාහක් තිවුනත් අපේ ආතත් සාලෙට ඉබේම එවෙනවා. ඒ වෙලාවට මාත් එතෙන්ට ඇදී එන එක වලක්කන්න අමාරුයි.
“මං මේ ඩිංගක් නිදාගන්න කියල බැලුවෙ ගුනොවද්දන. මේ බතල කරිටි ඩිංගක් හිටොවන්න කියල ගියා අව්කූටකේ ඉන්න අමාරුවෙ දමල ගහල ආව එන්න“
“මාටත් මේ ගෙදර ඉන්න කම්මැලි කමට පාට්ට ආ ගමං මාමෙ. මාම කොහෙංද බතල කරිටි ගෙනාවෙ“
“ආං අර එබෝවිටේ ආඩතාඩෙ දුවාපු වැල් දෙකතුනක් තිවුන. මං එන ගමං ඇදං ආව. නිකං ඇන තියන්න.“
“මාමට කියන්න මාමෙ..“
මේං මේ වෙලාවෙ ගුණවර්දන මාමා කුඩෙත් පැත්තකිං තියලා පුටුවකිං ඉඳගෙන හේතුතවකුත් දාගන්නව.
“ඔන්නොය එක ගමනක් මං ගමනක් ගිහිං එද්දි කොහෙද මංද දිහාවකිං ගෙනාව නිකමට බතල කරිටි දෙකතුනක්“
මේ කොහෙද මංදා දිහාව යනු එකෝමත් එක රටක් වැනි එකකි. මේ කයිවාරුවල ‘කොහෙද මංදා දිහාවක්‘, ‘කවුද මංද මිනිහෙක්‘, ‘මොනවද මංද ජාතියක්‘ ආදිය බහුලය.
“ඉත්තීඊඊං“
ආතාත් වැඩේ ඇදගෙන යන්න ඇලපිල්ලක් දානව.
“ඉතිං කියන්නෙ මාමෙ මං ඒ ටික එහෙම්ම ගෙනාවට හිටොවන්න බැරි උනා. එහෙම්ම දොරකොඩ තීල මේ අපේ ගෙදර එක්කෙනා අතුගාද්දි කොලසුඩු එක්ක ගල්වැටියෙං පල්ලට අතුගාල දාල.“
“හීංමැණිකෙ ලමෙය දකින්නැතුව වෙන්නැති“
“අනෙමංදන්නෑ මාමෙ. ඉං පස්සෙ මාස දෙහෙකිං ඉතර පස්සෙ ගල්වැටියෙ ගල් දෙක තුනක් යංතං ඉස්සිල තිවුන. මං ඉතිං එච්චර ගනං ගත්තෙ නෑ ඕක“
“ඔය ඌරු මීයො හාරනවනෙ ගුනොවද්දන ලමෙයො. උංට පුදුමාකාර හයියත්තියෙන්නෙ“
“මාත් හිතුවෙ එහෙම තමා මාමෙ. ඒ උනාට ටික දවසක් යද්දි ආයි අර ගල්ගෙඩි ටික තවත් ඉස්සිල. ඒ ගමං මං කඩේ අයියලෑ ජෑසූරියටත් අඬගැහුව. පස්සෙ ඌත්තාව. මට තනියෙං අර ගල්ගෙඩි පෙල්ලන්න බෑනෙ. ඒ ගමන අපි දෙන්නත් එක්ක යංතං ගල්ගෙඩි දෙකතුන ඉස්සුව බලන්න මොකද මේ කියල. මාමාට කිව්වට විස්සාස කොන්නෙකක් නෑ මහ විසාල බතල ගෙඩි හතාටක්ම තිවුන. අර මං ගෙනාපු බතල කරිට්ටක් පැලවෙලා ගල්වැටිය අස්සට මුල්ලැදල. බතල බහින්න ඉඩ නැතුවං යටිං තියෙන ගල් පුපුරන්න බැරි හිංද අල බහින්න බහින්න උඩිං තිවිච්චි ගල්ගෙඩි උඩ ගිහිල්ල. එයිං බතලෙයක් රාත්තල් හතරකට වැඩී මාහිතේ. ඒ ගමන මං අපික්කොටහක් තියාගෙන, කඩේ අයියලටක් කොටහද්දීල මෙහෙටත් එව්වද කොහෙද.“
“ආ වෙන්නැති වෙන්නැති ගුනොවද්දන. ඔව්වගෙ සිද්දි අනංත සිද්ද වෙනව. ඉන්නකො මට වෙච්චි යස වැඩක් කියන්න.“
මෙයිට හපං එකක් කීමේ ආසාවෙං ආතා ගෙට ගිහිං බුලත්විට වට්ටියත් ගේනව.
“ඔයිං කන්නකො ගුනොවද්දන විටක්. මං තව පුවක් ගෙඩියක් කපන්නං. ආ… ඉතිං මට වෙච්චි වැඩේ කියන්නංකො.“
ආතා පුවක් කපන පිහියයි පුවක් ගෙඩියකුයි ඇරං ආයිත් පුටුවෙං වාඩි වෙනව.
“ගුනොවද්දනට මතකද අපේ ඔය මැරිච්චි තෝමස් සිංඥෝ. මේ අපේ මේ ගොල්ලංගෙ ලොකු අයිය. අර පහුගිය කාලෙ මලේ“
“මොකෝ මට මතක නැත්තෙ. මාග්ගියානෙ මරනෙට“
“ආං හරි. මිනිහ ඉස්සර මෙහෙ එද්දි හිස්සතිං එන්නෑ. දොහක් මිනිහා මෙහෙ එද්දි මහ විසාල ගෝනිමල්ලක් බැඳං ආව.“
මේ වෙලාවට ආතා අත්දෙක දෙපැත්තට විහිදුවලා ගෝනි මල්ලෙ විසාලෙ පෙන්නනව.
“මේං මෙච්චර හිටී ගෝනි මල්ල. ඕකෙ මිනිහ ගේනව නොයෙක් ජාති. අපිට මෙහෙ හාල්, පොල් ඕනහැටියෙ තිවුනට මිනිහත් ගේනව අපිට හාල්පොල්. මාත් ඉතිං මිනිහට යනකොට එව්වයෙංම මල්ලක් හරිගස්සල දෙනව. අතටත් කීයක්හරි එක්ක. ආ…. ඉතිං කියන්න බැරි උනානෙ. මිනිහ ඔය ගෙනා මල්ල ගැට ගහල තිවුන වැල් පොටකිං. එකම කොලෙයක්කක් නෑ. මං හිතුව මදුවැලක් කියල. ඕක ලිහල දාල වැල් කෑල්ල විසික් කොරල තිවුන මිදුලෙ ආං අර බුලත් වැල කිට්ටුව. මාං ඉතිං ඕක ඒ හැටි ගනං ගත්තෙ නෑ. පස්සෙං පහු කාලෙක මං බුලත් කොලෙයක් කඩන්න යද්දි මේං බොලේ අර වැල් කෑල්ලෙ හීං කොල ඇහිල්ල. බැලුවං බතල කොල“
“ආ…..“

“එහ්හෙනං.. හෙහ් හෙහ් හෙහ්. අරයකා මල්ල ගැටගහං ඇහිල්ල තියෙන්නෙ බතල වැලකිං. පස්සෙ මං නිකා ඉන්න ගමං ඒ වැල් කෑල්ල කිරිමුල් නොකැඩෙන්න ඇරං ගිහිං හිටෙව්ව පිල්ලෑවෙ පාවරේ අයිනක. විස්සාස කොරන්න ගුනොවද්දන. වැඩි කාලෙයක් ගියෙනෑ මා හිතේ බෑස්ස අල බෑ…හිල්ලක් හොඳේ පුදුමාකාර ඉදිහට. පස්සෙ මං එව්ව ගැලෙව්වෙ යකඩෙ ගිනිහිල්ල. කොලපතෙං එකයි අලේ. රාත්තල් අට හිටී එක අලෙයක්. උස්සං ඇහිල්ල උරපත ඇදුං දෙනව. එයිං ටිකක් මං මැනිකෙගෙ කඩේ තියල වික්කත් එක්ක. ගිය සුමානෙ ඕං ඒකෙ අංතිම අලේ ගලොවං ආවෙ. වේල් දෙකක් කෑව ඒකත්. දැන්නං වැලත් මැරිල. තිවිච්චි තැනක්කත් නෑ.“
ආතා අංතිම සාක්කියත් විනාස කරල දානව.
“හැබෑට මාමෙ. මට දෙන්නකො පුවක් කෑල්ලක්“
ඔය අතරෙ තමයි පුංචම්මා ඔතනිං ගෙට යන්නෙ.
“ආ ගුනවද්දන අයිය දැංද ආවෙ.“
“නෑ දැං ඩිංගක් වෙලයි මැනිකෙ. අපි මේ බතල ගැන කතා වෙයි වෙයි හිටියෙ“
“මාස ගානකිං බතල නං කෑවෙනෑ ගුනොවද්දන අයියෙ. මං මේ ගමන පොලෙංවත් ගේන්න ඉන්නෙ“
පුංචම්ම ගෙට යන ගමං කියාගෙන යද්දි ආත බිම බලාගෙන විටකට පුවක් ලියනව. ගුණවර්ධන මාමා ආයිමත් කයිවාරුව පටං ගන්නව. ඒ ගමන ගඟේ මාලු ගැන කතාව. ගුනවර්ධන මාමා රියනක් දිග ආඳෙක් බාද්දි අපේ ආතා තංගුස් දෙපොට දාලා බඹයක් දිග එකෙක් බානව. එයිට පස්සෙ ගුණවර්ධන මාමා බිලී පිත්ත නැතුව උන පඳුරක යොත ගැටගහලා නැගි අතක් දිග එකෙක් බානව. ඔය විදිහට රෑ වෙනකං කයිවාරුව ඇදිල යද්දි තව තව කතංදර ඇදෙනව. මාව එතනිං පලවාහරින්න ආච්චම්මයි, පුංචම්මයි දැඟලුවත් මං එතනිං හෙල්ලෙන්නෑ.
ඒ උනාට ආතගෙ මස්සිනාල දෙන්න ආපු දවසට ආත නිතරඟෙංම කයිවාරුවෙං දිනනව.
“හැඩිගල්ලෙ මල්ලියෙ ඒ ආඳා මං හිතන්නෙ බඹේකට වඩා දිගයි. මං හිතුවෙ පිඹුරෙක් කියල“
“මංනං දැකල නෑ අයියෙ ඒ තරං එවුං. අඩි දෙකහමාර තරං දිග ඈයොනං ඉන්නව ගංවතුර කාලෙට අපේ ලියදිඔල“
සත්‍යවාදී මිනිහෙක් වන හැඩිගල්ලෙ ආතා ඒ කයිවාරුවෙදි නිතරඟෙං පරදිනවා. මේ කතාවට ආතගෙ අනික් මස්සිනා වන මීගම ආතා අහුවුනොත් කියන්නෙ වෙනම කතාවක්.
“ෂීඊඊඊඊ.. ඔය පරාන ගාත අකුසල කර්මෙ කියන්නෙ ලේසි පාසු එකක් නෙමෙයි. ඒ කාලෙ බුදුහාංදුරුවොං ඉපදින්නත් ඉපිටහ කාලෙක ගෑනියෙක් එලුවෙක් මරල ඒ එලුවගෙ ඇඟේ ලොං ගාන්ට ආත්ම ගානක් ඉපිදි ඉපිදි ඉසගැසුං කෑවලු. මං නං ගැටෙය සංදියෙවත් සතෙක් මරල නෑ. දැං ඔය අපේ බාල මලෙය එහෙමනං දඩයං කරල ගෙනැත් තියෙනව. මං කවම කවර දාකවත් ඒ කිසියංම එකක් කන්නෑනේ.“
මෙයිං අපෙ ආතගෙ ලොකුකං බැහැල ලැජ්ජාව නගිනව.
“මං මේ නිකමට කිව්වෙ. දැංනං මං මාලුබාන්න ගිය කාලෙයක්කත් මතක නෑ.“
එයිං පස්සෙ ආතගෙ කයිවාරුව ආයිමත් නැගල යන්නෙ ඩීයැස් හාමු අඩි හයකට වඩා උස බවත් උන්නැහැගෙ අත් දෙක දනිස් දෙක ගාවට දිග බවත් මේයැස් දෙකෙංම ඒ බව දැකල තියෙන බවත් කියමිනි. සිය මස්සිනාලා දෙන්නගෙං එක්කෙනෙක්වත් ඩී.එස්.සේනානායක පන පිටිං දැකල නැති බව ආතා හොඳහැටි දන්න හිංදා ආතට මේ ගමන බයක් නැත.

http://yanhella.blogspot.co.uk/2016/03/1.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල