කාලීන සංවාද, විශේෂ

නෙළුම් යායෙදි හමුවෙමු.

Off

 

අම්මගෙ අම්මා ( අපි කියන්නෙ ලොකු අම්මා..) බලන්න මහ ගෙදර යන්නෙ වෑ කන්ද උඩින්.. වටරවුමෙන් තාර පාරක් තිබුණත් වෑ කන්ද උඩින් වැටුණු ගුරු පාරෙ මේ ගමන යන එක මං හරිම ආස වැඩක්. එකාතකින් ඒ මං ආසම කරන ගම්මැද්දෙ පුංචි චාරිකාවක්..

චූටි මිමීවත් චැලියේ තියාගෙන වෑ කන්ද උඩින් මහ ගෙදර ගිය දොහක වැව පුරාම නෙළුම්, ඕලු, මානෙල් පිපිලා තිබුණා.. චූටි මිමීට ඕන වුණා මල් කඩන්න… ඒත් වැවට බැස්ස කාලයක් මතක තිබුණෙ නැහැ..

‘‘මල් කඩන්න බෑ මැණික ඈත නෙ තියෙන්නෙ. මඩ ඇති එරෙයි. ගිලෙයි..‘‘

මල් කඩන්න බහින්න කම්මැලිකමට, මඩ ගෑවෙනවට අකමැත්තට මම ඇයට සමාවට කාරණා දාහක් කිව්වා. නමුත් ඈ නෙවෙයි සැලුණෙ. ඇයට මලක් ඕනමයි. ඉතින් මැයි ගස් හෙවණක පුංචි මොටෝව ගාල් කරල පරිස්සමින් උඩටම වෙලා ඉන්න කියල අවවාද අනුශාසනා ටිකකුත් කරල, ඈත මෑත බලල මං වැවට බැස්සා..

වැඩිය දුර නොයා අත දිග මානෙන් නෙළුම්, ඕලු මල් කීපෙකුයි නෙළුම් කොල දෙක තුනකුයි කඩන් ආයෙම උඩට නැග්ගා. චූටි දෝණි පරිස්සමට තිබ්බ තැනම එහෙමම ඉන්නවා. ඒත් ඇගේ ඇස් නොඉවසිල්ලෙන් දිලිහෙනවා. අත් දෙකම මං දිහාට දිගු වෙලා..

ඇය මල් ටික අතට ගත්තෙ හරිම ආසාවෙන්… එච්චරටම සිඟිති හිතක් එළිය කරන්න නෙළුම් මලකට පුලුවන් ද?

………………

මෑතක ඉඳන් හැම තැනම කසු කුසු. බ්ලොග් අවකාශයෙත් නෙළුම් මල් යායක්ම පිපෙනවලු.

පහුණු සන්දියෙ සයිබර් සැණකෙලි, අවුරුදු උත්සව, සයිබර් චාරිකා, බ්ලොග් සම්මාන උළෙල මේ හැම සයිබර් මංගල්ලයක්ම නොපෙණුනා නොදැණුනා සේ උන්නෙ.. එකක් කම්මැලිකම.. අනික නොදන්නා සංගෙදි අස්සෙ එකෙල මෙකෙල වෙන්නට තිබුණු අකමැත්ත.. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන වැඩි කැමැත්ත…

මෙදා වංගියෙ නම් නෙළුම් කයිය මගාරින්න බැරි තත්වයක් තියෙන්නෙ. එක හේතුවක් සයිබරයෙ අකුරු අමුණන බොහෝ දෙනෙක් දැනටමත් මහ පොළව මත දැන හඳුනා ගත් සොඳුරු සිතැත්තන් වීම.. මේ නෙළුම් මල් පුප්පන වැඩේටත් එයින් කීපදෙනෙක්ම සෑහෙන්න මහන්සි වෙද්දි අහක බලන් ඉන්නත් බැහැනෙ. ඉතින් පළමු වතාවට නෙළුම් කයියෙ අසිරි සිරි බලන්න එන්නයි හිතන් ඉන්නෙ.

නෙළුම් සුවඳක් අරන් යන්නට සයිබර් සංහිඳ නෙළුම් යායෙදි හමුවෙමු…

matha

http://tharurasi.blogspot.co.uk/2016/03/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල