අතීතකාමය

කයිවාරු 2 හෙවත් පුරාජේරු

Off

කයිවාරුවේ එක් වර්ගයක් වන කෙබර ගැන තමයි මං කලිං විඩේ කිව්වෙ. දැං කාලේ ඒ විදිහට කෙබර කෙලින්න ඉන්නේ අපේ හිතවත් යාත්‍රා මුල්ලගේ (මේක අනික් පැත්ත ගහන්ටඑපා යකෝ) දැතියා විතරක් බවත් ඒ හංදා උන්නැහැව රෙද්දට පොතට (Red Data Book) ඇතුළත් කරන්ට ඕනෑ බවත් මට හිතෙනවා. අපේ ආතත් පරලෝ ගිය නිසා ඒ යුගාසන කෙබර දේසනාවල යෙදුන ගුනොවද්දන මාමා විතරක් ඉතුරු වුනාට වැඩක් නැත. කොල්ලෑව නැති ඔරුව වගේ තමුන්ට හරියන සහයකයෙක් නැති කමිං මිනිහාගේ දක්ෂතාව නිකම්ම හේදිලා ගිහිං. ඒ උනාට කයිවාරු කලාව අභාවයට යවනවා බොරුය. ඒක නවීකරණය වෙමින් දිගිං දිගටම පැවතීගෙන යන දෙයකි.
කයිවාරු ගැසීමේ ඉහල පැලැන්තියේ ක්‍රමයක් වන්නේ පුරාජේරුවයි. මේකට කප් ගහපු අය සාමාන්‍ය මහජනයා අතරේ ඉඳං ඉහල තානාන්තර අසල රස්නේ වදින මානේ සිටින අය අතර පවා හොයාගන්න පුලුවනි. කලිං කෙබර කතාවේ හිටිය ගුනොවද්දන මාමා මේ වැඩේටද කප් ගහපු කෙනෙකි. ඒ දවස්වල අපේ ගමේ මොටෝසයිකලෙයක් තිවුනෙත් එහෙමත් කෙනෙකුටයි. ටීවිල් (Three wheeler හෙවත් තෙසක් රිය) තිවුනේද දෙකක් විතරයි. ඒ උනාට ගුණවර්ධන මාමාගේ ලොකු දුව වන රත්නපුරේ මහ ඉස්පිරිතාලේ වැඩ කරපු මේ කියන්නාවූ “** මිසී“ ට කාර් එකක් තිවුනා. හැකි සෑම වෙලාවකම මේ කාර්රෙක කරලියට වඩම්මන්න ගුනවර්ධන මාමා කොහෙං හරි පොටක් පාදාගන්නවාමයි. තමුංගේ ගෙවල් පැත්තට යන ‘වත්ත පාරෙ‘ ගල් ගෙඩ්ඩක් හරි ගැලවිලා තිවුනොත් එදාට උන්නැහැට පොටවල් ගානක් පෑදෙනවා. විශේෂයෙංම මේ ගල් ගෙඩ්ඩ ගැලවුනේ අපේ පුංචම්මාගේ කඩේ සහ මහගේ තියෙන හරියෙදි වීම උන්නැහැගේ ඉසේ මල්පෝච්චියක් පුප්පන වැඩක්. ඒ වගේ වෙලාවට අතේ තියෙන කුඩේ කඩේ ලැල්ල උඩිං තියලා සරම දෙකට නවාගෙන පටං ගන්නව දේසනාව.

“අම්ප මේ දල්ලොරිකාරයින්ට හිමිං සැරේ යන්න බෑ නෙවැ. බුරුස් ගාල අද්දල යනව. පලකො හිමීට මං කියන්නෙ. අර ගල් ගෙඩ්ඩ ගලෝල ගියා හෝටංනෙකේ ලොරිය ගිය යෑමට. දැං වැස්ස ගමං ඕක අලි වලක් වෙනව.“

“ඕක ඔහොම තමා ගුනොවද්දන අයියෙ. මුං රේස් යන්නනෙ ඉපිදිලා තියෙන්නෙ“
එනපොට නොදැන කඩේ ගාව ඉන්න කෙනෙක් කියනව.
“උන්ට නං වගේ වගක් නෑ. ලොරි කටු නං ගස් ගල් උඩත් යෑහැකි. බයිසිකලයක් එහෙම නං වල මගෑරල වෙට්ටුවක් දැම්මැකි. කාර්නෙ බැරි“
ඔන්න ඔය ගමන හිමීට වංගුව හරෝල කතාව වෙනිං පැත්තකට යනව. තාමත් මේක නොතේරිච්චි එකෙක් හිටියොත්
“ඔය පාරෙ මොන කාර්දැ ගුනොවද්දන අයියෙ? හීම්මහත්තෙයෑ පුතත් යන්නෙ ජිප්පෙකේනෙ“
කියල කියනව. ආං එතකොට ගුනොවද්දන මාමා බය නැතුව මයික්කෙක අතට ගන්නව.
“මේ ගං ඔලනං ආයි කොයි කාලෙක කාර් ගන්න පුතයෙක් හිටීද දන්නෑ. ඒ උණාට අපේ ලමෙය එහෙම ආවං කාර්රෙක ගේ ළඟට ගෙනිය ගන්න එපෑ. ගිය පාරත් කඩේ අයියලෑ ගේ ගාවිං එහාට ගෙනියන්න බැරිඋනා. මඩ ගොඩ හිංද. ආපහු ගියගාං බර්ර ගානක් වියදං කල්ල සේවිස් කලානෙ.“
කඩේ ගාව හිටිය එවුං තමුංම සුක්කානම කරකෝල කතාව පුරාජේරු පටුමගට හැරෙව්වා කියල දැනගන්නකොට පරක්කු වැඩියි. ගුනවර්ධන මාමා පාරෙං ගැලවෙච්චි ගල් ගෙඩ්ඩ ආපහු තිවිච්චි තැනිංම තියල තද කරනව. සමහර වෙලාවට ඒ ගල් ගෙඩ්ඩ හරිනෑ කියල වෙනිං ගලක් හොයං ඇවිත් එතනිං තියලත් බලනව. වටේට සක්ක කෑලි තියල බලනව හෙලවෙයිද කියලත්. ඒ මදිවට එතනිං යන දලු ලොරිවල ඩැයිබරලට කනිපිංදං කියල අර ගල් ගෙඩ්ඩ පොලවට ගිලා බහින විදිහට ලොරිය ඒ උඩිං යවනව. අංතිමට තමුං සෑහීමකට පත් වුනාට පස්සෙ ආපහු කඩේ ගාව ඉන්න එවුන්ට තමුංගෙ දූගෙ කාරෙකේ වර්ණනාව රෝදෙං රෝදෙ ගිල්ලනව.
ඔය කොයි හැටි පාර හැදුවත් ගුනවද්දන මාමගෙ දුව කාරෙකත් ඇරං ගුනොවද්දන මාමාව බලන්න එන්නෙ සිංහල අවුරුද්දට විතරයි. එයා එයිට කලිං තැපැල් කන්තෝරුවට ටෙලිපෝන් කරල කියනව අහවල් දවසට ගෙදර එනව කියලත්. කන්තෝරුවෙ කාන්ති නැංදා තමයි පණිවිඩේ ගුණවර්ධන මාමාට කියන්නේ. ගුණවර්ධන මාමා ඒ දවසට සතියකට කලිං විතර ඉඳං පාර හදනව. පස් රැහැල මට්ටං කරනව. පාරෙ යන දලු ලොරිකාරයන්ට හිමිංසැරේ යන්න උපදෙස් දෙනව. අන්තිමට වත්ත පාරෙං මහපාරත් ගුනවද්දන මාමගෙ ගෙයත් අතර කොටස පස්ස හිල් නොවී කොලපත් පදින්න ගානට මට්ටං වෙනව. මේ විච්චූරන හිංදා ගුනොවද්දන මාමාගේ දෝනියැන්දා කාරෙකේ ගමට එන බව ගමෙං බාගයක්ම දැනගන්නවා දවස වෙලාව එක්කම.

ඔය විදිහටම පුරාජේරු කියන්න සමතෙක් තමයි මගේ මාමණ්ඩිත්. තමුංගෙ දූ පොඩිත්ත කසාද බැංදෙ එසේ මෙසේ කෙනෙක් නොවන බව (මේ මං ගැන පුරාජේරුව තමා) කියන්න දවසෙං පැය හත අටක් උනත් වියදං කරන්න එයාට පුලුවං. පාරෙදි හම්බුවෙන ඕනැම කෙනෙක් එක්ක වචනයක් හරි කතා කරන හිතහොඳ මනුස්සයා හිංදා ගමේ ඉන්න සේරම එයාගෙ යාලුවො. එයාගෙ පුරාජේරුවත් මේ වගේමයි.

“ආ… *** අයියේ. කොහෙද මේ පාංදරම“

සයිලංසරේ කට කපාපු උණවෙඩිල්ලේ නැගලා පොලිස්කාරයෙක් වගේ පේන්න සුදු හෙල්මට්ටෙක දාගෙන, බුරුසු රැවුලත් කලුවට කලුවෙ ඩයි කරගෙන, තුංකාලෙ කලිසමයි, ටීසැට් එකයි ඇඳලා පාරේ යන අපේ මාමණ්ඩිව දකින කවුරුහරි අහනවා. අවුරුදු අටට වැඩි ඕනැම කෙනෙක් අපේ මාමන්ඩිගෙ මල්ලී හෝ නංගී තමයි.
“ආහ්…. මට අඳුරන්න බැරි උනා. මේ මං යනව පැට්ටල් ටිකක් ගහං එන්න. තෙල් ඇතිනේද සෙඩ්ඩෙකේ“
“සෙඩ්ඩෙකේ නං සුවර් නෑ. ඕන්නං ඔය සුගතෙගෙ කඩේ තියෙන්නෙ බෝතලෙයක් ගන්න බැරියැ“
“පෙට්ටල් බෝතලේ නං ගැවෙන්නවත් මදි. ලීටර් පහක්කත් ඕනැ“

“ඒ කොහෙ යන්නද බොලේ. ඒ“

මෙන්න මේ වෙලාවට අපේ මාමණ්ඩි ගියර් තුනක් ආපහු කඩල බයිසිකලේ නිවුටල් කරල හෙල්මට්ටෙක ගලෝල ගන්නව අතට. ඇඟිලිවලිං කොණ්ඩෙත් පීරනව උඩට.

“මේ අපේ දූලගෙ දිහාවෙ යන්න කියල. ළමයි දෙන්න බලන්න බැරි උනානෙ සෑහෙන කාලෙකිං. ඒ ගොල්ලන්ට එන්න හැටියක් නෑ ලේසියට අර බලලට තුංවේලට කන්න දෙන්න වෙනම කෙනෙක් ගෙදර නවත්තන්න එපායැ. අනික වැඩත් වැඩී ළමයට. මෙහෙ ආවත් දවසට දහදොලොස් වතාවෙ ටෙලිපෝන් කෝල් එනව. ඉතිං මං කල්පනා කලේ පොල් ටිකක් එහෙමත් ඇරං යන්න ඕන කියල ගිහිං එන්න. ඒකයි“
“ආ… ඒක මිසක්. හැබෑට ළමයි කොහෙද ඉන්නෙ.“
“ඇයි දන්නැද්ද? බදුල්ලෙනෙ ඉන්නෙ. පුතාට හම්බෙච්චි කෝටස්සෙකේනෙ“
“පුතා කිව්වෙ?“
“අපෙ මේ දූ කසාද බැඳපු ළමය. ***** දෙපාර්තමේන්තුවෙනෙ වැඩ. එයාගෙ කෝටස්සෙකේනෙ ඉන්නෙ“
“හැබෑට“
“ඔව්. හොඳ බංගලා වගේ ගෙවල්. මට වෙනමම කාමරයක් තියෙනවා ගියං ඉන්න. ඒක මටමම වෙංකරල තියෙන්නෙ“
මේ කියන වෙනමම කාමරේ අපේ ටිකිරිගේ කාමරේ බවත් මාමණ්ඩී ආ දවසට ටිකිරි අපේ කාමරේට ස්ථාන මාරු ලබන බවත් ගමේ එවුං තියා මාමණ්ඩිවත් දැනගතයුතු නැත.

“එච්චර විසාලෙට?“

“ළමයගෙ තනතුරේ හැටියටනෙ ඉතිං සුද්දගෙ කාලෙ ඉඳං නියම කරල තියෙන ඒවනෙ“

මේ වනවිට අහං ඉන්න කෙනාගෙ ඔලුවේ මැවෙන්නේ ටීවියෙකේ පෙන්නන ජාතියෙ විසාල බංගලාවක් මිස කාමර දෙක තුනක පරණ තාලේ ගේ පොඩ්ඩක් නොවෙයි.
“දර ඩිංගක්කුත් ඇරං යන්න තිවුන නේද? ඔව්වයෙ දර නෑනෙ. ටවුංබද හිංද “

“දරෙං උයන්නෑ. ගෑෂ් තියෙනවනෙ. නැත්තං දරනං ඇති ඒ වත්තෙ.“

සමහර විට ඔය කියන වෙලාව වන විටත් මම වැටේ තියෙන ලාඩප්පා අතු කපා හතරට පලා දරට වේලමින් ඉන්නවා වෙන්නට පුලුවන.

මේ පුරාජේරුවල අගය අපි දැනගන්නේ ගමට යන විටය. අපේ පවුලේ අය විතරක් දන්නා දේවල් ගැන ගමේ අය බලං හිටියා වගේ මගදි විස්තර අහනවා.

“ආ… අද බලලට සාත්තු කරන කෙනා කෝටස්සෙකේ නවත්තලද ආවෙ?“
“*** අයිය කිව්ව තමා අද දෙන්න එක්ක ගෙදර එනව කියල“
“දුවට ගිය සුමානෙ හෙම්බිරිස්සාව හැදිල තිවුන කිව්ව නේද? දැං සනීපද?“
“එහෙ ගම්බිරිස් ඉවරයිලු නේද? ආං අපේ ගෙදර ඇති වේලපුව ඕන්නං ඇරං යන්න“
වෙන එකක් තබා අපේ ඔපිස් එකේ එවුං මං ගැන නොදන්නා දේ චූටි මැණිකෙගේ ගමේ මොන්ටිසෝරි ළමයි පවා දනී. මෙව්වායේ සුලමුල හොයං යනවිට අපේ මාමණ්ඩී මුදුන් මුලේ ඉන්නා බව හොයාගන්න පුලුවන.

මේ විදිහටම අපට බලෙංම පුරාජේරුවලට සෙට් වෙන්නට වන්නේ මගුල් හා මරණ ගෙවල් වලදීය. මගුල් ගෙවල්වල ගියහම වෙල්කම් ඩ්‍රින්ක් එක බී දවල්ට කන්න දෙනකං බඩ පනුවන් මරන ලේඩිස්ලාත්, ඒ අතරෙම කුඩ මේස වටේ ඉඳං බයිට් තලු මරා සරුවත් බොන මහත්තුරුත්, මල ගෙවල්වල මඩුවල පැය දෙක ගෙවන අයත් කට පියාගෙන ඉන්න බැරිකමට කයිවාරුව මැදට ඇදගනී.

මෙතැංදී නොදන්න කීප දෙනෙක් වටේට එකතු වූ විට මේවැඩේ තවත් ලෙහෙසිය.

“ඔයාව මං දැකල තියෙනව. මේ කොහෙදිද කියල මතක නෑ. ම්….. කොහොද වැඩ කරන්නෙ“
කතාව පටංගන්න එක එක්කෙනා ඇදගන්නේ ඕං ඔය විදිහටය.

“මංද ආ… මං ***** කාර්යාලෙ ඉන්නෙ“

මෙතැනදී තමුං එතන කරන දේ මොකද්දැයි කියන්නේ නැත. අසන්නාට ඕනෑනම් මේ අදාල කන්තෝරුවේ ලොක්කා හැටියටම හිතන්නත් පුලුවනි. ඇත්තටම මේ ඉන්නේ ඒ කන්තෝරුවෙ කෙනෙක් නොවෙන්නත් පුලුවනි.

“ආ…… හරි හරි. එතෙන්දි වෙන්නැති. මං එතනිං යනවනෙ නිතරම.“

“ආ… එහෙමද. ඔයා මොකද කරන්නෙ?“

“මං බිස්නස් කරන්නෙ.“

මේ බිස්නස් එක කඩයක් පවත්වාගෙන යාමේ සිට කඩයප්පන්, බුලත්විට, ටොපි, ලොසිංජර, කඩල පැකැට්, දොදොල්, තලකැරලි ආදිය හදා කඩවල් වලට දැමීම දක්වා ඕනෑම වපසරියක වෙන්න පුලුවන. ඒ උනාට බිස්නස් කී විට ලොකු හාඩ්වෙයාර් එකක්, ඒජන්සියක් වුව හිතේ මවාගන්නට අසන්නාට පුලුවන. මීලඟට එන්නේ ඒ තැංවල ඉන්නා තමුං අඳුරන එවුං ගැන කීමයි.

“ඔයාලගෙ ඔෆිස් එකේ නේද ***** මහත්තය ඉන්නෙ“
“ආ… එයා ට්‍රාන්සර් ගියානෙ“
එසේ කියා සැනසුම් සුසුම් හෙලන්නේ නැත්තං තමුංගේ පැටිකිරිය උගෙං මූ දැනගන්නා බැවිනි.
“මගෙ හොඳ යාලුවෙක්. ඒකයි ඇහුවෙ.“

ඔය විදිහට තමුං දන්නා ලොකු ලොකු තනතුරු දරන, ප්‍රසිද්ධ අය ගැන කියමින් තමනුත් ඒ අයගේ සමානව පිහිටමින් පුරාජේරු කියවන මහත්වරුන් මෙන්ම තමුංගේ පවුලේ අයගේ පැටිකිරිය කියවමින් ඒ අය ඉන්නා රටවල් ගැන කියන නෝනලාද බහුල වෙති. එසේ කියන ඒවා පසුව ඇත්තදැයි සොයා බැලීමට ශ්‍රාවක නෝනලා තරයේ මතක තබාගනිති.

මේ විදිහට කරන පුරාජේරුවක් සුනු විසුනු කර දැම්මේ අපේ ජම්බල ආතාය. ජම්බල ආතා කිව්වේ අර වන්දනා ගමං ගැන කතාවේ කියවුනු රංඔල ආච්චම්මාගේ ‘මිනිහා‘ ය. නැති තැන ජම්බලයා කියතත් ඇති තැන ‘කරුනෙ මාමා‘, ‘කරුනාතා‘ හෝ ‘කරුනා‘ නමින් එයාව අදුන්වන්ට ඕනෑය.

අපෙ අම්මාගේ එකම මල්ලී හෙවත් අපේ මාමාගේ කසාදෙ දවසේ මනමාලියගේ ගෙදර දී මේ ආකාරයටම පුරාජේරු කමිටු කීපයක් දවල් කෑම ලැබෙන තෙක් අමුවෙන් බේගල් අදිමින් ඉන්නා වෙලාවේ මේක සිද්ධ වී ඇත. එතන උන්නු අය එකිනෙකා තමුං අසුවල් අය දන්නා බවත්, තමුංගේ හොඳම යාළු මිත්‍රයින් බවත් කියමින් එකිනෙකාගේ කර උඩ නගිමින් ඉන්නා අතරේ අපේ කරුනා ආතාත් මෙතැනට කඩාපාත් වී ඇත.

“පොඩ්ඩක් එහෙට්ට වෙයල්ල මටක් මේ පුටුව තියාගන්න“

කටේ ගාගන්න අරක්කු පොදක් නොලැබීමේ අසීමාන්තික පිපාසාවෙන් බාගෙට මල අතේ තියන් හිටි නිසාදෝ ගැමි කතා විලාශය ඒ වෙලාවේ ආතාගේ කටේ තිබෙන්නට ඇත.

“මොකද්ද ඔය කාණ්ඩෙ කතා වෙවී හිටියෙ. කියහල්ලකො මටත් අහං ඉන්න.“

මේ මිනිහාගෙං අනතුරක් නැතැයි දැනගත් පුරාජේරු කමිටුව ආයිමත් තමුංගේ පුරාජේරුව කියමින් මේ ගොඩයාටත් පේන්න හොඳ ලොකුකං ටිකක් පෑමේ අධිෂ්ඨානයෙන් දිසාපතිවරු, ලේකම්වරු, සභාපතිවරු ආදී රෑනක්ම තමුංගේ හොඳම යාලුවන්ය, බාප්පගෙ පුංචම්මගෙ පුත්තුය, කිරිඅම්මගෙ මල්ලිගෙ නගාගෙ එක්කුස උපං සහෝදරයාය, ආදී වශයෙං කියමින් කියවන්නට පටං ගත්තාලු. මෙයිං කතා දෙක තුනක් යනකං අහං හිටිය කරුනා ආතා ඈනුමක් ඇර මේ කතාව මැදට ගොඩවුනාලු.

“ඔය ළමයි දන්නවද මෙහෙ ඉන්නව මගෙත් ළඟම නෑයෙක්.“

“කවුද මාමා ඒ“

“ඔය…… බදුරලියෙ පොලීසියෙ ලොකු මහත්තෙය ඉන්නව නේද“

“ආ…. ඔව්වොව්. මේ ***** ඕඅයිසී මහත්තෙයා නෙ. “
“අපේ මල්ලි එක්ක එක පංතියෙලු හිටියෙ“
“මගෙත් හොඳ හිතවතා“
“එයාගෙ බාල ළමය ඉගෙනගන්නෙ අපේ පවුලගෙ පංතියෙ“

එක එක්කෙනා ලහි ලහියේ තම තමුංගේ ඇඳුනුම්කම කියන්න පටං ගත්තාලු. මේ ගොඩයාට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්නම දෙන්න ඒ අය හිතාගන්න ඇති. ඒ සේරම මැඩලමින් කරුනා ආතා තමුංගේ කට ඇරියාලු.

“දැන්නවද ඒ මගේ කවුද කියල? ඈ?“

“නෑ කියන්නකො බලන්න“

“ඒ අපෙ අම්මගෙ මිනිහනෙ“

මේ අතුල් පහරින් කට වැසීගිය සභාතොමෝ

“ටොයිලට්ටෙක කොහෙද දන්නෑ“

“ළමයි දෙන්න කොහෙද බලල එන්නං“

“මෙතනට අව්ව වැඩියි“
ආදී වසයෙං කියමින් මිනිත්තුවක් යන්නට මත්තෙං විසිරගිය බව ජාතුංගම බාප්පා ඇසින් දුටු සාක්කි වසයෙං මගෙත් එක්ක කිව්වේ.
අදටත් අපේ මාමාට ඔය අවස්ථාවට මුහුනදුන් කීපදෙනා එක්ක රෙද්දක් ඇඳගෙන කතා කරන්න

බැරිබව කියනවා මං අහගෙනය.
http://yanhella.blogspot.com/2016/03/2_20.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල