කාලීන සංවාද

මතුගං ටවුමට වඩින බුදු හාංදුරුවො

Off

අද අපේ ගමේ අඩි 135ක් උස ය කියන බුදු පිළිමයක් නිරාවරණය වෙනවා ය.

මතුගම ටවුම කියන්නේ මගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගෙවුණු තැනකි. මං ඉගෙන ගන්නට ගියේ එකම එක ඉස්කෝලෙකට ය. එය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයි. ඊට පස්සේ උගන්නන්නට නම් ඉස්කෝල දුසිමකට විතර ගොස් තිබේ. ඉගැන්නිල්ල අවසන් කළේ මතුගම ශාන්ත මේරියෙනි. එය ආනන්දයත් සමග අවුරුදු පනස් ගණනක් බිග් මැච් ගැසූ ඉස්කෝලයයි. ආනන්දයේ වෝටර් කැප්ටන්කම කර ඇති මම ශාන්ත මේරියේ ක්‍රිකට් මාස්ටරින්චාජ්කම කළෙමි. මගේ නිර්දේශය කෙටියෙන් කියන්නේ නම් මෙසේ ය: මේ පාසල් වෙන සෙල්ලමක් කළ යුතු ය.

පාසල්වාදයෙන් පිස්සු හදා ගන්න තරම් සිරා ඉස්කෝල මතුගම නැත. ඒවා නූතන අධ්‍යාපන සංකල්ප සමග ගැලපෙන, සාමාන්‍ය මිශ්‍ර‍ පාසල් ය. එහෙත්, පස්කුවල්ලා මුල් වී, ඔවුන්ට අයත් කඳු බෑවුමක හැදූ ආනන්ද ශාස්ත්‍රාලය අපට පොඩි කාලේ නියම ත්‍රාසජනක අත්දැකීම් සැපයූ ආතල් ම පාසලක් විය. එහි ගල් පල්ලෙන් වැටෙන්නේ නැතිව, අත පය කඩා ගන්නේ නැතිව, අවුරුදු 13ක් එහි ආ ගිය එකෙන් ම ජීවිතයට ලොකු අධ්‍යාපනයක් ලැබිණි. ඉගෙන ගත්තු දේවල් ද නැත්තේ ම නැත.

අපි පොඩි කාලේ දිය බිව්වේ උල්පත්වලට බට කොළයක් තියලා ය. ඉන්ටවල් එකට ඔන්චිලි පදින්නට පුස්වැල් වැනි අරටු සහිත වැල් ඇදුණු බැද්දක් පංතියට යාර කීපයක් ඔබ්බෙන් තිබිණි. වැස්ස කාලයට ගල් සෙවල උඩ ලිස්සා අපි ගත්ත ආතල් ගන්නට දැන් නම් ලෙෂර්වර්ල්ඩ් ම යන්නට ඕනෑ ය. වාර විභාග ඉවර වී නිවාඩු දෙනකල් සමය තුළ මතුගං කන්දේ අප ගත කළ වනගත ජීවිතය සුපිරි ම මතකයකි. වාරය ආ කල පොලු ගසා කඩා කන මොර ද, හොරෙන් කඩාගෙන කන වැල වරකා ද, ඇට තලාගෙන මද කන්නට පුළුවන් කොට්ටම්බා ද, කොල්ලන් මුත්‍රා කරන්නට ගිය හුජ්ජ ගල නම් පර්වතය ළග දං, බොවිටියා, එරමිනියා, ගල් අන්නාසි හා පහළ පැටි මහත්තයලාගේ ගෙයි වහලට ගල් වැටෙන මායිමේ පිහිටි කොහොල්ලෑ ලාවලු ගස ද, නගර සභාවේ කුණු පිරවූ බිමේ පසු කාලයක අප වැවූ සරුසාර එළවළු කොටවු ද, ටවුම මැද්දේ තානායම අසල තිබුණු ඉස්කෝලෙට අයිති කුඹුර ද, බිළිඳු කළල ෆෝමලින් දමා සංරක්ෂණය කර තිබුණු විද්‍යාගාරය ද, ඒ කාලේ නාට්‍ය පෙන්නූ රැස්වීම් ශාලාව ද, මිටියෙන් ගසන කල සීනුව වූ රේල් පීලි කෑල්ල ද, පාසලේ දේපලක් වැනි වූ මහජන පිට්ටනිය ද, පිට්ටනිය අයිනේ තිබුණු බස් ඩිපෝව හා පතුලක් නැතැයි අප ඒ දිනවල සිතූ උප දිසාපති කාර්යාලය පිටුපස ඩිපෝවේ තෙල් වල ද, පිරිසිදු සුදු කෝට් කලිසම් ඇඳ රැලේ බයිසිකල් කබලෙන් ඉස්කෝලෙට එන රොබින් පස්කුවල් ප්‍රින්සිපල් ද, ‘ආනන්දය ඔබ වේ – ආලෝකය ඔබ වේ’ යන පාසල් ගී අතර කලාතුරකින් අසන්නට ලැබෙන කලාත්මක පදමාලාව ද, ආදර පළහිලව්, වලි, මදාවිකම් ආදී ඇතුළු සොඳුරු මතකයන් රැසක් එහි තිබේ.

මතුගම ටවුම අපේ රස්තියාදු තිප්පොලයි. හතරමං හන්දියේ සිට උතුර පැත්ත බැලූ කල මතුගං කන්ද උඩ ඇති කොඩිගල මත අලංකාර නැරඹුම් ස්ථානයක් හැදිය හැකි ය. කන්ද නැගගෙන එහි යන ගමන ද විනෝදාත්මක ය. ශාන්ත මේරියේ ජනමාධ්‍ය හදාරන ළමයින් සමග ඡායාරූප වැඩමුළුවක් සඳහා වසර කීපයකට පෙර මම එහි ගියෙමි. එතැන් සිට බැලූ විට නගරයේ හාත්පස සියල්ල කුරුළු ඇසකින් සේ පෙනේ.

බුදු පිළිමය හදා ඇති බටමුල්ල කන්ද ඇත්තේ ටවුම මැද කන්නන්ගර මධ්‍ය විද්‍යාලයටත් තැපැල් කන්තෝරුවටත් අතර ය. එය මත හදන ලද බුදු පිළිමය හැම පැත්තට ම පෙනේ. ඉස්සර කාලේ මෙතන පන්සලක් තිබුණේ නැත. දැන් එහි ‘ජාත්‍යන්තර’ බෞද්ධ මධ්‍යස්ථානයකි. මේ කන්දේ උද්‍යානයක් හදන යෝජනාවක් හැත්තෑ ගණන්වල අග භාගයේ තිබිණි. එය පහසුවෙන් කරන්නට තරම් අවශ්‍ය පාරිසරික සම්පත් එහි තිබිණි. එහෙත් එහෙම වුණේ නැත. අවසානයේදී ජගත් පී. විතාන නම් ව්‍යාපාරික දේශපාලකයා එහි බුදු පිළිමයක් හැදුවේ ය.

එය හදද්දී තවත් අවුරුද්දක මම ජනමාධ්‍ය ඉගෙන ගන්නා ළමයින් සමග ඡායාරූප ගැනීමට කන්ද නැග්ගෙමි. කොඩිගලේ තරම් මනරම් දර්ශනයක් එහි තිබුණේ නැත.

මතුගම කියන්නේ දේශපාලන වශයෙන් කාන්තාරයකි. දයා ටී. පස්කුවල් මන්ත්‍රීවරයාගේ නිහතමානිකම ගැන යම් පුරාවෘත්ත කතා තිබේ. එහෙත්, මතුගම ඇති සුවිශේෂතා දැක එය සංවර්ධනය කරන්නට තරම් දැක්මක් තිබුණු දේශපාලකයෙක් කිසිදාක මතුගම සිටියේ නැත. ඉදිරියට බිහි වෙන ලකුණක් ද නැත.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගැන වුව ද කියන්න දෙයක් ඇත්තේ කන්නන්ගර විද්‍යාලයේ පමණි. මතුගම ජනතාව ඒ මහතා 1947 ඡන්දයෙන් පැරදවූයේ නැතිනම් ඔහු රටට මීට වඩා සේවයක් කර ඉතිහාසගත වන්නට තිබිණි. ඇතැම් විට නිදහස් ලංකාවේ අනාගත අගමැතිවරයෙක් මතුගමින් බිහි වන්නට පවා තිබිණි. එහෙනං ඉතින් හම්බන්තොටට වගේ අපටත් වරායක් හැදෙන්නටත් ඉඩ තිබිණි.

මතුගම යනු අලුත් සංචාරක කර්මාන්තයක් ප්‍ර‍වර්ධනය කරන්නට පුළුවන් මධ්‍යස්ථානයකි. ඒ අවට ඇති පාහියංගල, මාකෙළිය ඇල්ල, තුඩුගල ඇල්ල හා තවත් අප්‍ර‍කට සුන්දර ස්ථාන රැසක් ඒ වෙනුවෙන් උපයෝගී කර ගත හැකි ය.

එහෙත්, ඒ කිසිවක් නොමැතිව මතුගම නිදි වැදී ඇත. එහෙම දෙයක් හිතන්නට පුළුවන් නායකයෙක් මතුගමට නැත. ජගත්ගේ සල්ලි නිසා මතුගම ටවුමේ පොඩි කලඑළියක් ඇති විය. දේපල ආරාවුල් නිසා එලොවටත්, මෙලොවටත් නැතිව නගරය මැද දිරාපත් වන මළහෝන්තු ගොඩනැගිලි ටික කඩා දමා අලුත් බිල්ඩිමක් දෙකක්වත් හැදුණේ ජගත් නිසා ය. වෙල්ගම ගැන එහෙමවත් කියන්නට දෙයක් නැත.

බුදු පිළිම හැදිල්ල ගැන නම් මගේ මනාපයක් නැත. මේ පිළිමයේ කලාත්මක බවක් ද නැත. එහි ශරීර මිනුම් ද අවුල් ය. පුරුෂ ලිංගය එතරම් ඉහළින් සවි කර එය එතරම් ඉස්මතු කර දක්වා ඇත්තේ ඇයි ද යන ප්‍ර‍ශ්නය නිසා මම එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක්දැයි සොයා බැලීමි. මෙම ලිපිය අනුව එහෙම එකක් නැත. එය අවුකන බුදු පිළිමයේ අනුරුවකැයි කීම පැරණි හෙළ කලාකරුවන්ට කරන අවමානයකි.

එහි බැඳි බඹර වදය කඩන්නට ගොස් මතුගම වෙනුවෙන් දිවි දුන් දඹානේ කිරි බණ්ඩා වෙනුවෙන් පිළිමයක් හැදිය යුතු බව මම යෝජනා කරමි.

http://www.w3lanka.com/2016/04/blog-post_22.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල