අතීතකාමය

මමත් ඔයා වගේ …

Off

සලාං බලාං …සලාං බලාං රෝහල් කොරිඩෝව දිගට දම්වැල් ඇතිල්ලෙන සද්දෙත් එක්ක මට සිහිවෙන්නේ පෙරහැරක යන අලි ඇතුන් ය. අත් දෙකෙත් මාංචු , කකුල් දෙකෙත් මාංචු, ඇතැම්විට ඒ දෙක අතරත් දම්වැලක්… ඒ එක්කම බොහොම භය බිරාන්ත වූ මුහුණු. ඇතැම් විට රකුසු වෙස් ගත් මුහුණු.‍
අනිත් කොන නමින් මා යුද්ධය අවසන් වූ තැන පටන් ජීවිත ගොඩ ගැනීමේ මානුෂීය මෙහෙවරට උරදුන් ආකාරය ලීවේ ඒකාලේ ඒ මොහොතේම ය.
පොත බවට පත්වුනේ ද ඒ කතාම ය. නමුත් දැන් මා ලියන්නේ මේ කොනේ අගනුවර සිට ය. කතා සිදුවීම් මතකයේ ඇති තැන් පීරා සොයා පිරිපහදු කරගෙන ය.

මට ඔහු හමුවෙන්නේ කායික රෝග වාට්ටුවේදී…
අර සලාං බලාං සද්ධ… යුනිෆෝම් කට්ටිය… ඇඩ්මිෂන් මේසයට ඇවිද විත්…

“මේවා ගලවන්න ඉතින්… මට කතා කරන්න බෑ ඔහොම” මම කාරුණිකව ඔහුගේ අත් පළඳනා මාංචු ඉවත් කරන්නට නියම කළෙමි.

“ඩොක්ටර් අලුත් ?” ඔහු ඇසුවේ දෙමළෙන්…

“ඕම් ! ” මම එහෙම කියද්දී ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳුනා. මාත් දමිල බව හිතන්න ඇති ..

රෝගියා ඇතුලත් කරද්දී ඒ වෛද්‍යවරයා ලියූ සටහන දෙස මදකට මා දෑස යොමු කරද්දී මා සිතූ ආකාරයෙන්ම, කඳවුරු වල අත් අඩංගුවේ සිටින්නන් මෙහි ගෙන එන පොදු හේතු ගණනාවෙන් එකක් ! ලේ වමනය යෑම. එහෙම නැත්නම් මම මීට පෙර සඳහන් කළා වගේ, ෆිට් එකට දෙන පෙති නොබී සිටීම. ඒකෙන් වෙන්නේ ෆිට්ස් හෙවත් වලිප්පුව වැඩි වෙලා අසාධ්‍ය තත්වයෙන් මොවුන්ව රෝහල් ගත කරන එකයි. එහෙම ඇතුලත් වූවන් මුල් කාලයේදී නම් බොහෝ විට මා මග හරින බවක් වැටහුනා. නමුත් ඔවුන්ගේ බස හුරුවූ පසුව මා සමග වඩා මිතුරු වුනා.

“මම සිංහල, ඒත් ඔබට පහසු බසකින් කතා කරන්න, මොකද්ද ප්‍රශ්නෙ ”

මා හිතූ අයුරින්ම, ලේවමනය ගොස් ඇත්තේ සිර කඳවුරේදීය. දුටු කෙනෙක් නැත.

“හරි එහෙනම් ආයෙ ගියොත් අපිට පෙන්වන්න ! යැයි කීවත් මොවුන් බහුතරයක් කැමැති දින කිහිපයක් රෝහලේ ගත කරන්නට නිසා රෝගවලට මුල්වෙන කිසිත් සොයා ගැන්ම අපහසු ය.

“ඩොක්ටර් මමත් ඔයා වගේ ඩොක්ටර් කෙනෙක්… ” ඔහු එක්වරම පවසද්දී මට පුදුම සිතිනි.

“කොහොමද ඔබ අත් අඩංගුවට පත් වුනේ” මට ඕනෑ වුනා ඔහුගේ කතාව දැන ගන්න.

අප රටේ දශක දෙකකටත් වඩා ඔඩු දුවපු තුවාලයක් වී, ජීවිත හානි , ආර්ථිකමය අවපාත එක්කම සාමකාමි සහජිවනය විනාශකරන ලද්දේ යුද්ධය නිසා ය.

“මම ඒ පැත්තේ (ත්‍රස්තයින්ගේ) වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මගේ දුවයි නෝනයි ඉන්දියාවේ ඉන්නේ…”

“එතකොට ඔබ ඉගෙන ගත්තේ ?”

“ඉන්දියාවේ..” ඒ රටේ නගරයක් සඳහන් කරමින් ඔහු පැවසීය.

“හොඳට ඉගෙන ගත් නිසා මට ඉන්දියාවට යන්න එහෙ ඉගෙන ගන්න ලැබුනා. මෙහෙ ආවේ මේ ගම නිසා. ඉතින් එයාලට වැඩ කරන්න වුනා. ” ඔහු ශෝකී මුහුණෙන් අතීත මතක එකිනෙක දිග හරින්නට විය.

“මම —-රමෙත් වැඩ කළා, ඉන්පසු එහෙ තියෙන රෝහලේ වැඩ කලේ අත් අඩංගුවට ගන්නකම්ම”

මොහු එහෙම කියද්දී , මට මතක් වුනේ ඒ කියූ සැනින් අප අහමුවට පැමිණෙන රෝගීන්ගේ නොයෙක් සංකූලතා වලට වගකියන්න වුනෙත් ඔය කියූ රෝහලෙන් පුහුණු නුපුහුණු ද වත් නොදන්නා වෛද්‍ය සභාවෙන් අනුමත හෝ ලියාපදිංචිය නොගත් වෛද්‍යවරු පිරිසක් විසින් කරන ලද සැත්කම් සහ ප්‍රතිකාර බවයි.

එසේ පැමිණි එක් ආච්චි අම්මා කෙනෙක් අපට පැවසුවේ මුත්‍රා කරන්නට දැඩි සේ තැටමිය යුතු බව ය. පරීක්ෂා කරද්දී ඇගේ යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී තිබුනේ කුඩා හෝ සිදුරක් දකින්නටවත් නොමැතිව ය. ඇය අතේ තිබූනු කාඩ් පතකින් කීවේ ඇය ඒ කියූ ත්‍රස්තවාදීන් විසින් පාලනය කළ ප්‍රදේශයේ රෝහලෙන් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් කර ඇති බවය. එය යෝනිමාර්ගය හරහා කරන ලද VH& R යන නමින් හඳුන්වන සැත්කම කි. එහිදී ඇතිවූ සංකූලතා මගින් අර එවැනි ගැටළු සහගත තත්වයක් පැන නැංඟේ. ඒ ආත්තම්මාගේ මුත්‍රා මාර්ගය නැවත සකස් කරන්නට සිදුවුනා.

දැන් මොහු පවසන්නේ ඔහුත් ඒ කියන රෝහලේ වෛද්‍යවරයෙක් බව ය. සරම් කමිස හැඳගත් මොහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇත. කොණ්ඩය වැවී ඇත. දිස් වෙන්නේ ඉතා අසරණ සේයාවකි. එකම මේසයක දෙපැත්තක අප දෙදෙන ඉගෙනීමෙන් සමාන වුවත් තෝරාගැනීමෙන් වෙනස් වූ නිසා අද ඉරණම් දෙකක් උරුම වී ඇත. මට ඇති වුනේ කණගාටුවක්… තවත් වෘත්තීය සගයෙක් ගැන ඇතිවන දුකට සමාන දුකක්, කම්පාවක් සහ කළකිරීමක් !

“ඔබේ අපහසුතා මග අරින්නට හැකි පහසුකම් සලසන්නම් ” මම ඔහු අස්වසමින් පැවසීමි. වාට්ටුවේ සැප පහසු ලෙස තනි ඇඳක් ( ඇතැම් විට එක ඇඳක දෙදෙනෙකු සිටින්නේ ) දෙන්නත් අපි වග බලා ගත්තා.

“මිස්, මේත් ඩොක්ටර් කෙනෙක්. ” කියමින් අලුත් නර්ස් මිස් ටද ඔහුගේ කතාව පැවසූ අතර අපි දෙදෙනාම ඉන්පසු කම්පා වීමු.

මා නැවත කෑම පැයට නේවාසිකාගාරය වෙත ගිය අතර නැවත වාට්ටුවට ගිය සවස් යාමයේ… සේවා මුරයේ යෙදී සිටියේ පළපුරුදු මෙහි වසර ගණනක් සේවය කරන හෙදි සොයුරියකි.

“අනේ මිස් පව්නේ ඩොක්ටර් කෙනෙක් අර අත් අඩංගුවේ ඉන්නේ” මම මිස් ට මා ඇසූ කතාව කියද්දී…

“අයියෝ ඩොක්ටර් අලුත්නේ , ඩොක්ටර් ට හොඳ ලණුවක් දීලා.. ඔය ඩොක්ටර් කෙනෙක් නෙමේ..ත්‍රස්තයෙක්… ඔය මනුස්සයා ඔහොමමයි. බොරු කියලා ඇටෙන්ෂන් ගන්නවා… අලුත් අයව අන්දනවා. ඩොක්ටර්ව රවට්ටලා ” මිස් හිනාවෙවී කියද්දී මට හිතා ගන්නට බැරි විය.
“වෙන්න බෑ මිස්… ඔයාලට නොකියා ඉන්න ඇති… මම මගේ හිතට දැනෙන දේ පවසුවෙමි.

“එයා එහෙම තමයි. අනික් ඩොක්ටර්ස්ලා දන්නවා එයා ගැන” ජේෂ්ඨ හෙදි සොයුරියත් එහෙම කියද්දී මට පිළිගන්නට ම විය. ඉන්පසු අපේ ජේෂ්ඨයින්ගෙන් විමසද්දී ඔවුන්ද ඒ බව සනාථ කළෝය.

සමහර විට මා අලුත් නිසා ඔහුට විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමට එසේ බොරුවක් ගෙතුවා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අවධානය ලබා ගන්නට මෙසේ කියුවා වෙන්න පුළුවනි.

ඇයි මෙහෙම බොරු කිවේ යැයි ඔහුගෙන් මා ඇසුවේද නැත. මා ඔහුගේ බොරුව දන්නා බවක් පැවසුවේ ද නැත.
ඔහු මට ඒ ගැන කියන්නට ආවේත් නැත්තේ කනින් කොනින් කිසිවෙකු මගින් ඔහුගේ බොරුව අපි දන්නවා යැයි ඇසුන නිසා දෝ යැයි මට සිතුනි. ඔහු වාට්ටුවේ කෙරෙන සායනික වට වලදී පවා සිටියේ බොහොම භය පක්ෂපාතීව ය.
නැවත මට ඔහු මුණ ගැසුනේ මනෝවෛද්‍ය ඒකකයේදී ය. (ඒ තවත් කතාවක් ! ඉක්මනින්ම ලියන්නම් )

බෝධිනී සමරතුංග

-http://anithkona.blogspot.co.uk/2016/04/blog-post_53.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල