කාලීන සංවාද

කඩාකප්පල්කාරී ජනතාවක් එක්ක සමාජය වෙනස් කිරීමේ අරගල

Off

ගම්වල මහින්දවාදීන් කියන්නේ ඇත්තෙන් ම අමුතුම බුවාලා ටිකක්. පහුගිය දිනවල මං කතා කරපු ඇතැමෙක් හරියට අයියෙස්කාරයෝ වගේ. පෝලියෝ එන්නත දෙන එක වළක්වන තලේබාන්කාරයෝ වගේ. නැතිනං මරාගෙන මැරෙන කොටි වගේ.

මේක තේරුම් ගන්න ඕනැ තත්වයක්. උන් ඉන්නෙ බද්ධ වෛරයෙන්. උන් මුළු රටටම වෛර කරනවා. බලාගෙන ඉන්නෙ රටට කෙළවෙනකල්. බුද්ධිමත් එවුන් ආර්ථිකය කඩා වැටෙනකල් බලන් ඉන්නවා. ඒවා ගැන නො දන්න එවුන් බලන් ඉන්නේ කොටි යළි නැගිටිනකල්. රට කැඩෙනකල්. මේ වෙනකොට විග්නේශ්වරන් උන්ට දෙයියන් වගේ.

උන් එක්ක කතා කරන්නත් බැහැ. අසූහාරදාහට නගිනවා. මොන දේ පැහැදිලි කරන්න හැදුවත් කියන්නේ ‘හරි බලමුකෝ. අපිත් ඉන්නෙ මෙහේනේ.’

වැඩේ කියන්නේ ගම්වල ඉන්න මේ වගේ මහින්ද පිස්සන්ගෙන් ඇතැමෙකුට මහින්දගෙන් ලැබුණු අලගෙඩියකුත් නැහැ. මහින්දගේ කාලෙ රජයෙන් කඩා වඩා ගත්ත එවුන්ට උන්ට තරම් අමාරුවකුත් නැහැ. උන් බලන්නෙ මේකෙනුත් ඒ වැඩේ ම කර ගන්නනේ. මුන්ගේ මහින්දවාදය කුළු ගැන්වෙන පොයින්ට් එක තියෙන්නේ දෙමළුන්ට කෙළවීම කියන සාධකය ඇතුළෙ. ඒක බෙහෙත් නැති ලෙඩක්.

මේ මට්ටමේ සමාජ විරෝධයකින් පෙළෙන තවත් කොටස් ඉන්නවා. කණගාටුවෙන් වුණත් කිව යුතු දෙයක් තමයි වාමාංශික අන්තවාදියෝත් මේ ගණයට අයත් වන බව. දියුණු මිනිසුන් හැදීම වෙනුවට කෙසේ හෝ තමන්ගේ අතට බලය ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. ඒ නිසා ඔවුනුත් මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට කැමතියි.

පහුගිය දින කීපයක් ම මම දැක්කා මතුගම ටවුමේ ප්‍රධාන පාරවල් කීපයක මේ වගේ බරසාර කුණු මලු වීසි කරලා තිබෙනවා. අප්‍රේල් 23දා උදේ මේ ෆොටෝ එක මං ගත්තෙ මතුගම – නෑබඩ පාරේ හිරිකැටිය පහු කරලා වෝගන් කන්ද නගිද්දි. මෙතන දකුණු පැත්තෙ ඡායාරූපයේ නැති හරියේ තියෙන්නේ මනරම් තේ වත්තක්. මේ පැත්තේ මතුගම අලුත්ගම පාරේ ලෙව්වන්දුව දක්වා හරිය අැරෙන්නට මේ පැත්තේ සියලු ප්‍රධාන පාරවල් මේ වන විට සංවර්ධනය කරලායි තිබෙන්නේ. ඒත්, කිසි කෙනෙක් මේ පාරවල් පරිස්සං කරන්නේ නැහැ. තමන්ගේ කුණු ගෙනත් දාන්නේ පාරට. ඒ විතරක් නෙමෙයි, මළ ගෙවල්, අවුරුදු උත්සව ආදියෙදි පාරවල් දෙපස සැරසිලි කරනමුත්, ඒවා ඉවත් කරන්නට කිසි කෙනෙක් නැහැ.

මේ කුණු මල්ලේ හිස් ළූනු බෑග් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවල්වලට එහෙම ළූනු මලු ගේන්නෙ නැහැ නේ. මේක බොහෝ විට කඩේක එකක් වෙන්න පුළුවන්. අප්‍රේල් 22දා කලුතර පාර දිගේ බස් එකෙන් යද්දිත් පාන්තිය කිට්ටුව පාරේ මේ වගේ කුණු මල්ලක් විසි කරලා තිබුණා. මේවා දාන්නේ ගෙවල් දොරවල් අඩු තැන්වල පාරටමයි. පාර අයිනටවත් නෙමෙයි.

මතුගම ප්‍රාදේශීය සභාව කියන්නේ කුණු ටික හරියට අදින එකක් නෙමෙයි. ඒක ඉතින් මුළු ලංකාවෙම එහෙමයි. මේ කුණු මල්ල දාලා තියෙන හරියට කිසිම දාක කුණු ට්‍රැක්ටරය එන්නෙ නැහැ. ප්‍රාදේශීය සභාව ප්‍රදේශය ඇතුළෙ වෙනම සීමාවක් ලකුණු කරගෙන ඒක ඇතුළෙ විතරයි කුණු අදින්නෙ.

පරිසර පොලිසිය කියලා එකකුත් නං ඔය තියෙන්නෙ. හැබැයි ඉතින් මොන නීති ගෙනාවත්, මොන පොලිසි දැම්මත්, මේ වගේ කුණු පොරවල් නං නැති කරන්නට බැහැ. මේව ඇවිල්ලා ත්‍රස්තවාදී වැඩ වගේ දේවල්.

මේ වන විට, ලංකාවේ රජය අසමත් වී තිබෙන ප්‍රධාන කාරණයක් තමයි කසල කළමනාකරණය. ඇත්තම කියනවා නම්, රජය මෙය පෞද්ගලීකරණය කරනවා නම් වඩා ඵලදායී වෙන්න පුළුවන්. රජය උත්සාහ කළ යුත්තේ එය නියාමනය කරන්නට හා එම කටයුතුවල යෙදෙන සමාගම් දිරිගන්වන්නටයි. ඒ වගේ ම ජනතාවගේ ආකල්ප වෙනස් කරන්නටත් මැදිහත් වීම ඉතා වැදගත්.

මේ කර්තව්‍යයට නිෂ්පාදකයන් හා කඩකාරයනුත් සම්බන්ධ කර ගත යුතුයි. කිසිදු වගකීමකින් තොරව ප්ලාස්ටික් පරිසරයට මුදා හරින්නේ ඔවුනුයි. ඔවුන් මෙහිදී කරනු ලබන දායකත්වය වෙනුවෙන් බදු සහන එහෙම ලබා දී ඔවුන් දිරිමත් කරන්නට පුළුවන්. තමන් නිකුත් කරන ප්ලාස්ටික් හා පොලිතින් ආපසු එකතු කර භාර දෙන්නට හෝ තමන් ම ප්‍රතිචක්‍රීයකරණය කරන්නට ඔවුන් පොළඹවන්නට පුළුවන්.

ලංකාවට අවශ්‍ය ඇත්ත සමාජ වෙනස ඇතුළෙ බල දේශපාලනයෙන් පරිබාහිර මෙවැනි සාධක රැසක් තිබෙනවා. ඇත්ත සමාජ වෙනසක් අපේක්ෂා කරනවා නම් දේශපාලන ව්‍යාපාර මේ සියල්ල අන්තර්ග්‍රහනය කර ගත හැකි ඒවා විය යුතුයි.

වත්මන් ආණ්ඩුවේ තිබෙන මූලික ම ගැටලුව වන්නේ එය පහළට විහිදුණු එකක් නො වීමයි. කොළඹ තිබෙන ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙන්න පුරවැසියන්ට අවශ්‍යතාවක් තිබුණත් ඒකට ක්‍රමයක් නැහැ. බිම් මට්ටමට විහිදෙන කිසිදු සමාජ නායකත්වයක් නැහැ. පළාත් පාලන ඡන්දය වෙනුවෙන් කොළඹ මාධ්‍යවලින් උද්ඝෝෂණ කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ වන විට බිම් මට්ටමේ වැඩ ආරම්භ කරලා නැහැ. ඒ වෙනුවෙන් කිසිදු මුලපිරුමක් කිසිම පක්ෂයක නැහැ. වාමාංශිකයන්, විප්ලවවාදීන් කියන අයත් එහෙමයි.

වෙලාවකට මට මෙහෙම හිතෙනවා. මේ රට ඇවිල්ලා කඩාකප්පල්කාරීන්ගේ දේශයක්. විශේෂයෙන් ම ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් පෙළෙන පිරිසක්. ඔවුන් කිසිදාක රාජ්‍ය පාලනය තුළ තමන් කොටස්කරුවන් වන බව හා තමන්ටත් වගකීම් ඇති බව පිළිගන්නේ නැහැ. එවුන් පුරවැසියන් බවට පත් නො කර මේ රටේ කුමන හෝ සමාජ දේශපාලන වෙනසක් ඇති කරන්නට බැරි බව කවුරු කවුරුත් සිතා ගත යුතුයි. එය වර්තමානයේ දේශපාලන ව්‍යාපාර විසින් තමන් තුළ ඇති කර ගන්නට උත්සාහ කළ යුතු ලක්ෂණයක්.

සරළව කියනවා නම් දේශපාලන පක්ෂ ජනතාව එක්ක නිරන්තර සමාජ දේශපාලන සංවාදයක් පවත්වාගෙන යන්නට උත්සාහ කළ යුතුයි. එහෙම නැතිනම්, වෙනත් කිසියම් සමාජ ව්‍යාපාරයක් හෝ ඒ කටයුත්තට අතගැසිය යුතුයි. නැතිනම් අප විනාශය දෙසට යන ගමන වළක්වන්නට බැහැ.

http://www.w3lanka.com/2016/04/blog-post_98.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල