අතීතකාමය

කාලි මුත්තු

Off

මමත් වෛද්‍ය සුජීව දහනායකත් සිකුරාදා දිනෙක සවස වාට්ටු වල වැඩ කිරීමෙන් පසු සීමාවාසික නිල නිවාසයට ආවෙමු. අප රාත්‍රී ආහාර ගැනීමට සූදානම් වූවා පමණි හදිසි රෝගියෙකු ශල්‍ය වාට්ටුවට ඇතුලත් කල බව කියමින් කෝල් බෝයි වාට්ටු පොත ගෙන පැමිනියේය​. මේ නිසා මම ලහි ලහියේ ශල්‍ය වාට්ටුවට ගියෙමි.

රෝගියා රත්තොට පැත්තේ ලයිමක මිනිසෙකි. වයස අවුරුදු තිහක් පමණ අයෙකි. තේ ගස් කපන පිහියකින් ඔහුගේ ශරීරය කපා දමා තිබුණි. අත් දෙක කටු දක්වා කැපී තිබේ. ඔහුගේ කමිසය රුධිරයෙන් තෙමිලාය​. වාට්ටුවේ සිටි එකම වෛද්‍යවරයා මාය​. මම වහාම ඔහුගේ රුධිර සාම්පලයක් ගෙන ලේ බැංකුව වෙත දිව්වෙමි. ඉතා ඉක්මනින් ඔහුගේ රුධිර වර්ගය සොයා ගත් මා ඊට අනුකූල රුධිර ෆ්ලැකොන් කීපයක් ගෙනැවිත් රුධිර පාරවිලනය ඇරඹුවෙමි. ඒ අතර ඔහුගේ ශරීරයේ තුවාල මැසුවෙමි.

මේ මිනිසාගේ මුළු ශරීරය පුරා කැපුම් තුවාලය​. ඔහු කෙරෙන් දාඩිය ගඳ මෙන්ම අමු රුධිර ගඳ හමයි. මා මේ ගන්ධයන් නොතකා ඔහුගේ තුවාල මසා ලේ වහනය නතර කලෙමි. මේ අතර සුජීවද පැමින මට උපකාර කලේය​. අප දෙදෙනා එක්ව මධ්‍යම රාත්‍රිය වෙන තෙක් මේ මිනිසාව මැසුවෙමු.

ඔහුගේ අත් දෙකේ කැනියුලා දෙකකි ඉන් රුධිර ෆ්ලැකොන් දෙකක රුධිරය එකවර ඔහුට ලබා දේ. එසේම කකුලේ රුධිර වාහිනියකට සවි කරන ලද සේලයින් බෝතලයකි. එයද ඔහුගේ සංසරන පද්ධතියට එකතු වේ. මගේ ග්ලවුස් සහිත අත් දෙකේ මෙන්ම සුදු වෙද කබායේ ලේ ගෑවී තිබේ. රාත්‍රිය නිසා මදුරුවන් මගේ වටා කැරකෙති. ඉතා දීර්ඝ වේලාවක් හිටගෙන මැහුම් දැමීම නිසා මගේ කොන්ද රිදුම් දේ. මම සුජීවට නිල නිවසට යන ලෙස කියා රෝගියා සමග සිටියෙමි.

මිනිසා තවමත් අඩ සිහියෙනි. රුධිරය විශාල ප්‍රමානයක් ගලා යාම නිසා ඔහුගේ හෘධයද ස්පන්දනය​ වන්නේ දුර්වල ලෙසටයි. මේ මිනිසා මිය යයිද ? මම මගෙන්ම ඇසුවෙමි. කෙසේ හෝ මේ මිනිසාගේ ජීවිතය බේරා ගත යුතුය​. මම යළිත් වරක් ලේ බැංකුවට ගොස් තවත් රුධිර ෆ්ලැකොන් කීපයක් ගෙනාවෙමි. හෙදිය ඒවා මඳ උණු වතුරක බහාලූයේ ඉක්මනට පාරවිලනය කිරීම සඳහාය​.

අධික වෙභෙස සහ නිදිමත නිසා මම රෝගියාගේ ඇඳේ දාරය අල්ලාගෙන සිටියෙමි. නමුත් රෝගියා ලඟින් ඉවත් වීමට මට සිත නොදේ.හෙදිය මට සීනි වැඩිපුර දැමූ ප්ලේන් ටී එකක් දුන්නාය​. ලේ වැකුණු ග්ලවුස් ගැලවූ මම තේ එක පානය කලෙමි. එය අමෘතයක් ලෙස මට දැනුනේය​. තවත් පැයක් පමණ රෝගියා අසල සිටි මම නාඩි වැටීම අඩු වුවහොත් හෝ රුධිර පීඩනය අඩු වුවහොත් මට කතා කරන ලෙස කියා වෛද්‍ය විවේකාගාරයේ පුටුවක ඇලවූයෙමි.

උදේ පහන් විය​. රෝගියාගේ තත්වය මඳක් යහපත් ය​. කෙසේ නමුත් වතු කම්කරුවා මරණය පරාද කලේය​. සතියකට පමණ පසු අප ඔහුව යළිත් ශල්‍යාගාරයට ගෙන ඔහුගේ කැපී තිබෙන පේශී, විලම්බක (ligaments ) හැකි පමණ එකට පුරුද්දා මැසුවෙමු. ඔහුගේ දෑත් වල ක්‍රියාකාරිත්වය යලි ලබා දීම අපගේ අභිප්‍රාය විය​.

තරමක සුවය ලැබූ පසු ඔහු අප සමග කථා කලේය​. නමින් ඔහු කාලි මුත්තු වේ. වත්තේ ගැහැණියක සමග යහළු වීම නිසා ඉන් උරණ වූ ගැහැණියගේ මල්ලී තේ පඳුරක් තුල සැඟවී කාලි මුත්තු ලයිමට එන විට ඉතා තියුණු තේ ගස් කපන පිහියකින් ඔහුට කෙටුවේය​. ගෙලට එල්ල කල පහරවල් වැලැක්වීම සඳහා ඔහු අත් දෙක පිහියට පෑවේය​. එයින් ඔහුගේ අතේ අස්ථීන් පවා ගැඹුරට කැපී ගියේය​. කාලිමුත්තු පහර පිට පහරකා අවසානයේදී බිම ඇද වැටුනේය​. ප්‍රහාරකයා දිව ගොස් සැඟවුනේය​. ලේ විලක වැටී සිටි කාලිමුත්තුව රෝහලට ගෙන එන්නේ ඥාතියෙකි.

ඔහු සිංහල කතා කලේය​. ඔහුගේ දිවි බේරා දීමට අප කරන ලද කර්තව්‍ය ඇගයූයේ සිනහවකිනි. කාලි මුත්තු කෑලි මුත්තු උනා නේද කියා හෙද නිලධාරියෙකු ඇසූ විට ඔහු දසන් පෙන්වා සිනාසුනේය​. ඒ අතරවාරයේ ඔහුගේ පෙම්වතියද කාලි මුත්තු බලන්නට වරින් වර ආවාය​. තුවාල සුව වූවද ඔහුට අත් දෙක එසවීමට නොහැකි විය​. වැසිකිලියට ගිය විට අන් රෝගීන් කාලි මුත්තුට උදව් කලහ​. ඔහුට යටත් පිරිසෙන් කමිසයක් ඇඳ ගැනීමට පවා අසීරු විය​.

මෙසේ මාසයක් පමණ අප කාලි මුත්තුව වාට්ටුවේ තබාගෙන ප්‍රතිකාර කලෙමු. ඉන් පසු ශල්‍ය සායනයට එන ලෙස දන්වා ඔහුගේ ටිකට් කැපුවෙමු. මාස දෙකකට පමණ පසු මට කාලි මුත්තුව සායනයේදී හමු විය​. ඔහුගේ තත්වය එලෙසමය​. දෑත් ක්‍රියා නොකරයි. අප ඔහුව නුවර වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කලෙමු. එහෙත් ඔහු දිගු මගක් ගෙවා මහ නුවර යයිද කියා සැකය මට මතු විය​.

කාලි මුත්තුට පිහියෙන් කොටපු මිනිහාට මොකද උනේ කියා මම ඇසුවෙමි : ” ඌ මාතියා මට රුපියල් අටදාහක් දුන්නා ඒ නිසා අපි ෂමාදාන උනා” ඔහු කීවේය​.

ඉන්ටන්වරයෙකු ලෙස ඒ කාලයේ මගේ මාසික වේතනය රුපියල් හත් දහසකි. රුපියල් අටදාහක් යනු කාලි මුත්තුට ලොකු මුදලක් වූවද දෑත් පණ නැති ඔහු ජීවිකාව ගැට ගසාගන්නේ කෙසේද කියා මා කම්පිතව සිතුවෙමි. කාලි මුත්තු මේ වියසනය ඉදිරියේ ප්‍රත්‍යාවර්තය. ඔහු මට සිනහවකින් සංග්‍රහ කොට යන්නට ගියේය​.

මා කාලි මුත්තුගේ ජීවිතය බේරාගත් නමුත් මට ඔහුගේ දෑත් බේරනු නොහැකි විය​. ජේෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිලධාරී ෆාහීම් ද , විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිලධාරීද කාලි මුත්තුගේ හානියට පත් වූ දෑත් යථා තත්වයට ගෙන ඒමට උත්සහ කල මුත් එය සාර්ථක වූයේ නැත​.

මේ සිදුවීම වී මේ වන විට වසර විසි දෙකක් ගතවී තිබේ. කාලි මුත්තු තවමත් ජීවතුන් අතර සිටින බව මගේ සිත කියයි. රත්තොට ප්‍රදේශයේ වතු පීරා කාලි මුත්තුව සොයා ගත හැකි නම් ? ඔහුගේ අත් දෙක යන්තමින් හෝ වැඩ කරනවා නම් හොඳය​. නැතහොත් ඔහු මිය යන තුරු අනුන්ට අතපා ජීවත් වනු ඇත​.

අදහස සහ අයිතිය බ්ලොග්කරුවා සතුය උපුටා ගත්තේ මෙතැනින්
http://transyl2014.blogspot.com/2016/04/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල