කාලීන සංවාද

බඹරු ඇවිත්….පරිස්සම් වෙයල්ලා

Off

ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක…. ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක…….

මා කුඩා කළ මේ වචන පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත් ඒ තේමා පාඨය ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය.

එය එකල චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි.මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ බණ්ඩාර කේ. විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක් කියවමින් සිටියදී ය.

එහි සඳහන්ව තිබූ දේවල් ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ බව සිහි වූයේ බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ කෘතිය නිසාය. ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත් අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති හෙයිනි.
චිත්‍රපටය – බඹරු ඇවිත්. අධ්‍යක්ෂක – ධර්මසේන පතිරාජ. මේ චිත්‍රපටය තිරගතව තිබුණෙ 1978 දී.ඒ ලංකාවෙ දේශපාලන සහමුලින්ම වෙනත් මගකට යොමුකල දේශපාලන සංස්කෘතියක ඇරඹු සනිටුහන් වෙමින් තිබූ යුගයක ආරම්භය. ඒ නිසාම බඹරු ඇවිත් චිත්‍රපටය නිර්මාණය වූයේ ඒ දේශපාලන සංස්කෘතිය කේන්ද්‍ර කර ගනිමිනි. ඒ නිසාම මේ චිත්‍රපටයේ පසුබිම් තොරතුරු කීපයක් සමගම චිත්‍රපටයේ තිබූ එකම එක ගීතය ගැන ලිවීමට කල්පනා කළෙමි. ඒ නිසා මේ චිත්‍රපටයේ මූලික කාර්මික තොරතුරුත් සමගම චිත්‍රපටයේ තේමා ගීය ගැන සොයා බලමු.

චිත්‍රපටය – බඹරු ඇවිත්( කලු සුදු)
තිර රචනය දෙබස් සහ අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ
සංගීතය – ප්‍රේමසිරි කේමදාස
ගායනය – ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
නිෂ්පාදනය – තිලක් ගොඩවත්ත, ධර්මසේන පතිරාජ
චරිත නිරූපණය –
විජය කුමාරතුංග – වික්ටර් (බේබි මහත්තයා)
මාලනී ෆොන්සේකා – හෙලන්
ජෝ අබේවික්‍රම – ඇන්ටන්
සිරිල් වික්‍රමගේ – සිරිල්
විමල් කුමාරද කොස්තා – වීරසේන
දයා තෙන්නකෝන් – ෆ්‍රැන්සිස්
අමරසිරි කලංසූරිය – සනත්

චිත්‍රපටයට පසුබිම් වූ පුවත
ඒ ඉතා දුෂ්කර පෙදෙසක පිහිටි මුහුදුබඩ ධීවර ගම්මානයකි. ඒ ගම දුෂ්කර ප්‍රදේශයක රාජ්‍ය පාලන තන්ත්‍රයේ හෝ රජයේ පාලනයේ මැදිහත් වීමකින් තොර වූ සාමයෙන් පිරුණු ගමකි. ඒ ධීවර ගම්වැසියෝ තමන්ගේ පාඩුවේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් මූදත් සමග ජීවන අරගලයක හැපෙමින් සිටිති.ඒ ගමේ බාහිරින් පැමිණි සංක්‍රමණික ධීවරයන් නැතුවාද නොවේ. ඒත් ගම සාමකාමීය. ඒත් එදිනෙදා ලැබෙන ආදායමින් ඔවුහු සුව සේ ජීවත් වෙති.
ඇන්ටන් – ඒ පාරම්පරික ධීවර ගමේ ඉපිද එහිම හැදී වැඩී ඒ වැල්ලේම මාලු මිලට ගනිමින් ධීවරයන් අතර හොඳ හිත පැතිරූ එහෙත් තොටුපලේ මාලු වෙළඳාමේ අනසක පැතිරූ මුදලාලි වුවද වැල්ලේ වෙසෙන ධීවරයන් සමග එකට අඩිපුඩි ගසන එකට දුක සැප බෙදාගන්නා කාගේත් හිතවතෙකි.

වික්ටර් : බේබි මහත්තයා – නගරයෙන් ඒ ධීවර ගමට සංක්‍රමණය වන කඩවසම් රූපකායකින් හෙබි තරුණයෙකි. ඔහු ගමට එන්නේ තනිව නොව තවත් පිරිවරක්ද සමගය. ඒ හිස් අතින් නොවේ. ටී ෂර්ට්ල ඩෙනිම් අඳින අවු කණ්නාඩි පළඳින මෝටර් බෝට්ටු නවීන ධීවර ආම්පන්න විස්කි බ්‍රැන්ඩි සිගරට් ආදී ගමේ නොතිබූ විවිධ රට බීම මෙන්ම තුවක්කු පිස්තෝල ආදී ගිනි අවිද සහිතවය. මොවුන් ගැමි සංස්කෘතිය තුළට පැමිණි සංස්කෘතික ආක්‍රමණිකයන් පිරිසකි.

හෙලන් – වැල්ලේම ඉපිද වැල්ලේම හැදී වැඩුණ ධීවර කර්මාන්තයේ යෙදෙමින් ජීවත්වන රූමත් තරුණියකි.

සිරිල් – ඒ ධීවර ගම්මානයේම ඉපිද එහිම වෙසෙන වැල්ලේම දුක සැප වළඳන තරුණයෙකි.හෙලන් නැමති තරුණිය සමග විවාහ ගිවිසගෙන සිටින ඔහුගේ අපේක්ෂාව වන්නේ හෙලන් සමග යහපත් පවුල් ජිවිතයක් අරඹීමය.

මේ චරිත වටා ගොඩනැගෙන ධීවර ගම්මානයේ ගැටුම් ඇරඹෙන්නේ වික්ටර් හෙවත් බේබි මහත්තයා වැල්ලට පැමිණ සිය බලය වැල්ල පුරා විහිදවන්නට පටන්ගත් මොහොතේ පටන්ය.ඊට මුලින්ම එරෙහි වන්නේ ඇන්ටන් ය.ඇන්ටන් වැලේලේ මුදලාලිය. වික්ටර්ගේ ප්‍රාග්ධනයේ නව ජවය හමුවේ ගමේ පැවති සමගිය මුලුමනින්ම බිඳ වැටේ.සියල්ල උඩු යටිකුරුවීම ගතවන්නේ කෙටි කාලයකි.බේබි මහත්තයාගේ නව ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එම ගම්මානය ගොදුරු වේ.චිත්‍රපටය ආම්භයේ දීම වික්ටර්ගේ ජීප් රිය දකින ඇන්ටන්ගේ මුවින් ගිලිහෙන්නේ මෙවන් වදන් වැලකි.

‘සිදාදියේ එවුන්ට මොන බිස්නස්ද මස්සිනා’.

‘තෙරේසා…..උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා…..බඹරු……..

ඇන්ටන් සමග වික්ටර් ද වැල්ලේ මාලු මිලට ගැනිමේ තරඟයට පිවිසිම හේතුවෙන් එතෙක් ගම අභ්‍යන්තරයේ තිබූ වත්කම් නගරය අතට පත්වෙද්දී ඇති වන ගැටුම් හේතුවෙන් මරණ තුනක් සිදුවේ .

හෙළන්ගේ අත ගන්නට පෙරුම් පුරමින් සිටි සිරිල් පළමුවෙන් මියයයි. ඒත් චිත්‍රපටයෙන් ඔහුගේ මරණය සිය දිවි හානිකර ගැනිමක්ද එසේ නැතහොත් ඝාතනයක්ද යන්න හෙළි නොවන රහසකි.

දෙවනුව වික්ටර්ගේ ගෝලයෙකු වූ ෆ්‍රැන්සිස් විසින් ඇන්ටන් වැල්ලේ වෙරිමතින් සිටියදී මන්නා පහරකින් මරාදමයි.ෆ්‍රැන්සිස් එසේ කරන්නේ වික්ටර් හෙවත් බේබි මහත්තයා ආරක්ෂා කර ගැනිමටය. ඇන්ටන් බොහෝ අමාරුවෙන් ඇවිද ගොස් වැල්ලේ වැටී මියයයි.ධීවරයන්ගේ හිත හොඳ මිනිසා වූ ඇන්ටන්ගේ මරණය ගැන දැඩිව කෝපවන ධීවරයන් විසින් ෆ්‍රැන්සිස් මරා දමයි.

මේ සියලු සිදුවීම් අතර එතෙක් තම පෙම්වතා වූ සිරිල් අහිමි වී සිදාදියෙන් වැල්ලට පැමිණි තම අලුත් පෙම්වතා වූ බේබි මහත්තයා නිසා කුසට ආ දරුවකුද සමග හෙලන් වැල්ලේ තනිවෙයි.

වීරසේන මේ සිදුන සියලු දේ මැනැවින් වටහා ගන්නා වික්ටර්ගේ මිත්‍රයෙකු වුවද ඔහු ගමේ සිදුවන විනාශය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වික්ටර්ගේ සමාජයෙන්ම නැගෙන තරුණ දේශපාලන හඬකි.එහෙත් වීරසේනගේ දේශපාලනය මගින් ගම්වැසියන්ට කියන්නට උත්සාහ කරන දේ ධීවර ගමේ කිසිවකු තේරුම් නොගනී.

අවසානයේ මේ හේතුවෙන් වික්ටර් තම ආරක්ෂාව පතා මුලින්ම ධිවර ගම් පියසට නාවුක හමුදා බල ඇණියක්ද, අනතුරුව පොලිසියද කැදවයි. ඒත් අවසානයේදී වික්ටර් සිය මිතුරා වන සනත් සමග නගරයට යයි.

වීරසේන කොළඹට යෑමට පෙර කඩමණ්ඩියේ සිටින ධීවරයන් අමතන්නේ තාප්පයක් මතට නැගී සිටය.

“ඔහෙලට මොනවද දැනගන්න ඕනෙ වුණේ කියලා මම දැක්කා. මට පෙණුනා ඔහෙලව සූරාකනවා…….. ඔහෙල ඊට විරුද්ධවෙන් ඕනෑ.”…….

සිය දීර්ඝ දේශනය අවසානයේ වීරසේනට වැටහෙන්නේ ඔහු පැවසූ යථාර්ථයට සවන් දිමට හෝ අවබෝධ කරගැනිමට තරම් උගත් කිසිවකු වැල්ලේ නැති බවයි.එවිට ගමට පිවිසෙන පොලිස් ජීප් රිය දකින වීරසේන මුවින් මහා සරදම් හිනා හඬක් නැගේ.අන්තිමේ දී ඔහු හිස් වූ බස් රථයට නැගී කොළඹ යයි. ඒ සමගම ගමේ සාමය ස්ථාපිත කිරිම පිණිස අවි ආයුධ සමග පොලිස් කණ්ඩායමක් ගමට පිවිසේග ඔවුහු පොලීසියක් නොතිබූ ඒ ගමේ පොලිසියක් පිහිටවති.

ලාංකේය සිනමාවේ දේශපාලන දැක්ම
මේ සිනමා කෘතිය මුළුමනින්ම ගොඩ නැගුණේ පුළුල් සමකාලින දේශපාලන කතිකාවක් ගොඩ නැගිම සඳහාය. ඒ 1977න් පසුව බිහිවූ නව ධනවාදී දේශපාලන සමාජ ක්‍රමය පිලිබඳ දේශපාලන කතාබහක් ගොඩ නැගිමටය.ධර්මසේන පතිරාජගේ සිනමා දෘෂ්ඨියේ තිබූ ඒ සමකාලින සමාජ යථාර්ථය මෙන්ම නව දේශපාලන දැක්මක් සහිත සිනමාවක අවශ්‍යතාවය ඔහු පැහැදිළි කර දුන්නේ බඹරු ඇවිත් චිත්‍රපටය හරහාය. රාජ්‍ය පාලනය අත පෙවිය නොහැකි දුරකින් තිබූ මේ ධිවර ගම්මානයේ සාමය කඩා ඉහිරවා දැමූයේ ධනවාදි ආර්ථිකයේ ප්‍රතිඵලයකින් බවටත් වික්ටර් හෙවත් බේබි මහත්තයා වැනි චරිත හරහා ඒ වන විට ගොඩනැගෙමින් පැවති ඒ නූතන දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රවාහය පිළිබඳව පතිරාජ ඉඟියක් කළේ බඹරු ඇවිත් චිත්‍රපටයෙනි.
පොලීසියක් නැති ගමකට පොලීසියක් අවශ්‍ය වුයේ ඒ ගමේ එතෙක් කල් සාමකාමීව විසූ ධීවර ජනාතවගේ ආරක්ෂාවට නොවේ. ඒ පොලිසිය පැමිණියේ ඒ වන විට ගොඩ නැගෙමින් තිබූ ධනවාදී සමාජ ක්‍රමයක් හරහා ක්ෂණිකව මුදල් උපයන බේබි මහත්තයා වැනි සමාජ දූෂිත චරිතවල ආරක්ෂාව පිණිස බව පතිරාජ සිය සිනමා කෘතියෙන් පැහැදිළි කර දුන්නේය. එපමණක් නොව බේබි මහත්තයා වැනි චරිතයක් නියෝජනය කල සමාජ පන්තියෙන්ම නැගී ආ විරෝධය වීරසේන වැනි චරිතයක් මගින් ඉදිරිපත් කළේය.

වාමාශික දේශපාලන න්‍යායන් ගොඩනැගිමට උත්සාහ කළ එවකට වූ සමාජ ප්‍රති විරෝධයන් ඒ නිර්ධන සමාජ පංති විසින්ම බැහැර කර හෙලන් සහ බේබි මහත්තයා නියෝජනය වූ ධනවාදි ආර්ථිකයේ නොවැටහුණු ගැඹුර බදා ගෙන ඒ කරා ඇදෙන සමාජයක් ගොඩ නැගෙන බවටත්ල ඒ සමාජ දේශපාලන ප්‍රති විරෝධයන් නොදකින ජනතාවක් වෙසෙන සමාජයක් තුළ තුළ තිබූ නිහඬ බියකරු හුදකලාව ධර්මසේන පතිරාජ බඹරු ඇවිත් සිනමා කෘතියට මැනැවින් ගොනුකර තිබුණි.

සිනමා සංගීතයේ කේමදාස
බඹරු ඇවිත් සිනමා කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා……..

ඉර අඳුරට හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට සංගීතයත් චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත් අපට දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.

මහ මුහුද මහ මුදේ හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අ‍ඳෝනා ‍ මුහුදේ නිතර වෙනස් වන ස්වභාවය ඔස්සේ කේමදාස සිය සංගීතයට හසුකර ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර මහ මුහුද” සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි. විටෙක මුහුදේ ඇති නිසල බවත් තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ මතු දැක්වෙන කොටසනි.

ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා….
හඳුනාගත්තොත් ඔබ මා……..

චිත්‍රපටයේ කතා පුවත සමග සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.

ටී.එම්. අයිවෝ සහ සුනිලා අබේසේකර
කේමදාස ඒ සඳහා ටී.එම් ජයරත්නගේ ගායනය මෙන්ම අයිවෝ ඩෙනිස්ගේ ගායනයද එකපිට එක නැගෙන මූදු රළ හා අනුගත වෙමින් ගායන හඬ මුසු කරවයි. වරෙක ටීගඑම්ගගේ හඬ උච්ඡ ස්වරයෙන්ද අයිවෝගේ හඬ මන්ද්‍ර සවරයකින්ද සංගීතයට හසුකර ගන්නේ මූද මෙන් ව්‍යාකූල වු ධීවරයන්ගේ ආත්මය ප්‍රකාශ කිරිමටය.

මීට පෙර දවසකද මා සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය වූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග අරගල කරන සුනිලා අබේසේකරගේ එදා තිබූ තියුණු ගායන ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුළින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා……
මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා…..
කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා…..
සිනා කදුළු වගුරනවා
ආදරයේගග ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා……
හඳුනාගත්තොත් ඔබ මා……
හඳුනාගත්තොත් ඔබ මා……
ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම……
හඳුනාගත්තොත් ඔබ මා……
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උදුම්බරා කඳුළු සළයි……
උදුම්බරා කඳුළු සළයි……
කදුළු සළයි…. කදුළු සළයි…..
ගීත රචනය- ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය ‍- ප්‍රේමසිරි කේමදාස
ගැයුම-ටී.එම්. ජයරත්න අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර

ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමා කෘතියෙන් ඔහු හෙළි කල දේශපාලනය අද දවසට ද වලංගුය. අද දවසේ අප සිටින්නේ එවැනි සමාජ පසුබිමක ය. ලාංකේය සිංහල සිනමාවේ ධර්මසේන පතිරාජ වැනි දැවැන්ත සිනමාකරුවකුගේ සිනමාව සහ ඒ සිනමා කෘතිවල නිරූපිත නිර්මානාත්මක දේශපාලන අරගලය මීට වඩා දීර්ඝව විමසා බැලිය යුත්තකි. එතරම් දීර්ඝ විමසුමක් කරන්නේ නම් සමස්ත සිනමා කෘතිය අරබයාග එකි විමසුම කල යුතුයග මා මෙහිදි උත්සාහ කළේ ඉතාමත් කෙටියෙන් පතිරාජගේ සිනමා කෘතියක් මගින් නිරූපිත දේශපාලන සිනමා සංස්කෘතිය සහ ඒ දේශපාලන සිනමාව සදහා කේමදාසයන්ගේ සංගීතමය දායකත්වය කෙසේ සිදුවුයේ ද යන්න විමසා බලන්නටය.

දයානන්ද රත්නායක විසිනි
උපුටා ගැනීම ‘අස්වැන්න’ බ්ලොග් අඩවිය වෙතිනි

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල