කාලීන සංවාද

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

Off

පෙර ලිපියෙන් මා පැහැදිලි කළේ නිපදවන ‘භාණ්ඩය’ ගබඩා කිරීමේ හැකියාවක් නැති වෙළඳපොළවල් වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී මිල හා නිෂ්පාදන මට්ටමට අමතරව ගනුදෙනුවක් සිදු වන තුරු බලා සිටිය යුතු කාලයද මේ සමතුලනය තුළ වැදගත් සාධකයක් වන බවයි. මෙහිදී, මෙසේ ‘බලා සිටිය යුතු’ කාලය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය වන්නේ මේ එක් එක් පාර්ශ්වය හා අදාළව කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය අනුවය.

ආප්ප කඩයකදී, ඉල්ලුම වැඩිම හැන්දෑ වරුවලදී පොරොත්තු කාලයේ පිරිවැය පාරිභෝගිකයා විසින් දරද්දී, ඉල්ලුම අඩු දිවා පැය වලදී නිෂ්පාදකයා විසින් මේ පිරිවැය දරයි. ත්‍රිරෝද රථ සේවා ගනුදෙනුවකදී බොහෝ විට පාරිභෝගිකයාට කාලය නාස්ති කරගෙන බලා සිටින්නට සිදු නොවේ. ඒ, පාරිභෝගිකයාගේ නාස්තිවන කාලයේ බර සේවා සපයන්නා විසින් දරන බැවිනි. සේවා සපයන්නා විසින් අය කරන මිලට පාරිභෝගිකයෙකු පැමිණෙන තුරු මෙසේ නාස්ති කරන්නට සිදුවන කාලයේ පිරිවැයද ඇතුළත්ය.

වෙනත් උදාහරණ අතරින් හොඳම එකක් වන්නේ ගුවන් තොටුපොළ නිල කුලීරථ සේවාවයි. මේ සේවාව ලබාදීම සඳහා ලියාපදිංචි වී සිටින අටසියයකට අධික වෑන් රථහිමියන්ගෙන් අයෙකුට ගනුදෙනුවක් ලැබෙන්නේ දින තුනකට පමණ වරකි. එහෙත්, එසේ දින තුනකට වරක් පමණක් කුලීරථ සේවා සැපයීම වුවද ලාභදායක බව පෙනේ. සේවාව සඳහා ලියාපදිංචි වීම දේශපාලන සම්බන්ධතා මත පමණක් සිදුවන ‘වරප්‍රසාදයක්’ වී ඇත්තේ එබැවිනි.

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ට මෙසේ කාලය නාස්ති කරන්නට සිදුවී ඇත්තේද අදාළ පාරිභෝගිකයන්ගේ කාලයේ වටිනාකම ඉතා වැඩි නිසාය. දිගු හා වෙහෙසකර ගුවන් ගමනක් නිමා කර රටට ගොඩබසින මඟියෙකුට සිය නිවෙස කරා ලඟාවීමට කුලීරථයක් සොයාගන්නා තුරු නාස්ති කරන්නට කාලයක් නැත. ඒ නිසා එවැනි පාරිභෝගිකයෙකුට ක්ෂණිකව සේවාවක් සපයාගත හැකි මට්ටමේ සැපයුමක් බිහිවී ඇති අතර එම මට්ටමට සැපයුම පවත්වාගැනීමට සේවා සපයන්නන්ට සැලකිය යුතු කාල නාස්තියක් කරන්නට සිදුවේ.

හරියටම මෙහි අනිත් පැත්ත සිදුවන තැනකට උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම පෙන්වා දිය හැකිය. රුපියල් 1000-2000 අතර මුදලක් ගෙවීමෙන් පසුව, විනාඩි දෙකතුනක සේවයක් ලබා ගැනීම සඳහා බොහෝ විට පාරිභෝගිකයෙකුට පැය දෙකතුනක් රස්තියාදු වන්නට සිදුවීම මෙය කියවන බොහෝදෙනෙකුට අරුම අත්දැකීමක් නොවේ. මෙහිදී පාරිභෝගිකයින් විසින් කාල නාස්තියේ පිරිවැය මුළුමනින්ම වාගේ දරද්දී නිෂ්පාදකයා කිසිදු වියදමක් නොදරයි. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ පාරිභෝගිකයින් රජයේ රෝහලකින් නොමිලේ ලබා දෙන සේවාවන් වෙනුවට මුදල් ගෙවා වෛද්‍යවරයෙකු චැනල් කිරීම තෝරාගන්නේ රජයේ රෝහලක රස්තියාදු වන්නට ඇති අකැමැත්තද සලකා බලමින් වීමයි.

මෙය මෙසේ වන්නේ ඇයි කියා පසුව සලකා බලමු.

http://economatta.blogspot.co.uk/2016/06/blog-post_9.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල