කාලීන සංවාද

ජාතිකවාදී ප්‍රවනතාව [රිටිගල ජයසේන]

Off

අද මෙහෙ නිවාඩු නිසා ලැබුන අවසරයෙන් මගේ “දේශපාලන ඥාතියෙක්” වෙනත් තැනෙක සංවාදයකදි දාලා තිබුන කමෙන්ට් එකක් ඇසුරින් මේ පෝස්ට් එක හැදුවෙ. දීර්ඝ ලෙස කමෙන්ට් කරන්න බලාපොරොත්තුවක් නෑ.

මේක අන්තර්ජාලයෙ ඇති තරම් පට්ට ගසන ලද පරන මාතෘකාවක්. නමුත් මේ මාතෘකාව මුල් කරගෙන මම ප්‍රශ්න කරන්නෙ අද ලෝකය පුරාම රැල්ලක් වගේ නැගගෙන එන “ජාතිකවාදී ප්‍රවනතාව”. තමුන්ට මොකක් හෝ දෙයක් නැති වෙලා තියෙනවාය හා ජාතිකවාදයට ආපසු ගමන් කිරීමෙන් ඒ නැතිවූ දේවල් නැවත ලබා ගන්න පුලුවන් කියල ලෝකෙ පුරාම ඉන්න ජාතිකවාදී දේශපාලකයන් සාමාන්‍ය මිනිස්සු අතරෙ මතයක් ගොඩ නගාගෙන යනවා. ඇමරිකවෙ “මේක් ඇමරිකා ග්‍රෙට් අගේන්” කැම්පේන් එක උදාහරණයක්. මේ කැම්පේන් එක නිසා උඩට මතුවෙන මිනිස්සුන්ගෙ හා ජනප්‍රිය වන මතවාද වල කොලිටිය බොහොම ප්‍රශ්නකාරියි. තුන්වන ලෝකයේ දුප්පත් රටවල් වල සිද්දවෙන ජාතියේ වැඩ තමයි මේ දවස් වල ඇමරිකාවෙ ජනාධිපති ඡන්දෙදි වෙන්නෙ. පාලනය කර නොහැකි තරමට වෙන ජනගහන පිපිරීම හා ඒ නිසා ඇතිවෙන සම්පත් අර්බුදය මේ ජාතිකවාදයන් හී නැවත නැගීම පිටිපස තියෙනවා කියල මම පෞද්ගලිකව හිතනවා. ඒ ගැන නොයෙකුත් මත තියෙන්නෙ පුලුවන්. එහෙම සරල තනි කාරනාවකට ලඝු කිරීම වැරද්දක් වෙන්න පුලුවන්.

පහත කමෙන්ටුව, ලංකාවෙ සිංහල හා දෙමල ජාතිකවාදයන් ගැන.

සිංහල ජාතිකවාදී කඳවුරේ අය දෙමල ප්‍රශ්නය සම්බන්දව මාතෘකාවක් උඩට ආ ගමන් නැවත නැවත පෙන්වා දෙන්නෙ දෙමලාගෙ වෙනම රාජ්‍යය ඉල්ලීමෙ ඇති අසාධාරනත්වය, එහි අප්‍රායෝගික බව, අප්‍රායොගික අසාධාරන ඉල්ලීමක් සාධාරනීකරනය කිරීමට ඔවුන් කරන අයහපත් දේශපාලනය වගේ කරුනු. ඕවා ගැන ඇත්තටම මට නම් විවාදයක් නෑ. බොහෝ දුරට එකඟයි. හැබැයි මම ඒවාට එකඟ වෙන්න් සිංහල-බෞද්ධ ජාතිකවාදී පදනමක ඉඳල නෙමෙයි. එතකොට අර දේවල් තර්කයෙන් නිශ්ප්‍රහා කලා කියල එතැනින් ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ. තව සංවාදයක් ඉතිරියි. “දෙමලාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මොකක්ද?” කියල ජාතිකවාදි කඳවුරෙන් ඇහෙන ප්‍රශ්නයක් තියෙනවානෙ බොහොම ප්‍රසිද්ධ. ඒ ගොල්ලො අහන්නෙ දෙමලාට දෙමල වීම නිසා තියෙන දුක් ගැනවිලි (grievances) මොනවාද කියන එක. දෙමලාට දෙමල වීම නිසා අපේක්ෂා (aspirations) තිබීම ඔවුන්ට අනුව ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ජනවර්ගයකට ඒ ජනවර්ගයෙ සංස්කෘතියට බද්ධ අමුතු අපේක්ෂාවන් තිබීම කියන එක මට නම් ගනන් ගතයුතු දෙයක් නෙමෙයි. ඒ මම ජාතිකවාදියෙක් නොවන නිසා. නමුත් ජාතිකවාදින් එහෙම කියන්නෙ කොහොමද?

මේ දෙමල අපේක්ෂා හීලෑ කරගෙන කලමනාකරනය කරන්නෙ කොහොමද කියන එක යුද්දෙ දිනුවාට, බෙදුම්වාදය මතවාදිව පරාජය කලාට ඉවර වෙන්නෙ නැති ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් සාකච්ඡා වීමක් වත් වෙන්නෙ ඔනේ නැ, “දෙමලුනේ උඹල ඇදගෙන නෑවා නම් දැන් වේලෙනකන් ඔහොම හිටපියව්” වගේ අධිපති මතවාදයක් තමයි ජාතිකවාදී කඳවුරේ ප්‍රධාන පිලිතුර.

සිංහල බෞද්ධ ප්‍රජාවට ‘ජාතිකවාදයක’ අවශ්‍යතාවය මොන වගේ එකක්ද? ඒක එදා වේල හොයාගෙනෙ ජීවත් වෙලා ඉන්නවට වඩා එහා ගිය මානසික අවශ්‍යතාවයක්. එහෙම මානසික අවශ්‍යතාවයක් නැත්තම්; හුදෙක්ම ‘පුලුවන් විදිහකට සතුටින් ජීවත් වීම’ වගේ සරල අවශ්‍යතාවයක් විතරම නම් තියෙනෙ, ‘බටහිර සංස්කෘතික/දැනුම් ආධිපත්‍ය’ වගේ ඒවට විරුද්ධව කැරලි ගහන්න ඔනෙ නෑ. මොනව හරි හේතූන් නිසා බලවත් වෙලා තියෙන දේශපාලන සංස්කෘතික ප්‍රවාහයන්ට අනුගත වෙලා කාල ඇඳල කියල ජීවත් වෙන්නනෙ තියෙන්නෙ. එහෙම කරන්න ලෑස්ති ලොකු පිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේම ලොකු පිරිසක් ඉන්නවා තමන්ගෙ අනන්‍යතාවය ලෙස ප්‍රධාන කතිකාවෙදී එන සංකේත, හර පද්ධතීන් වෙනුවෙන් දේශපාලනයක් කරන.

ඔය කිව්වෙ සිංහල බෞද්ධ ප්‍රජාවගෙ කතාව. ඔය කතාව ඔහොමම අනෙක් ජන කන්ඩායම් වලත් තියෙනවා. ජාතිකවාදී පදනමක නොඉඳ ඔය ප්‍රශ්නය දිහා බලන මම වගේ කට්ටියට දෙපැත්තෙම තියෙන මානසික අවශ්‍යතාවයන් පේනවා. දෙපැත්තෙම තියෙන දේශපාලන ප්‍රවාහ පේනවා. සිංහල කඳවුර ඉදිරිපත් කරන ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර තුල දෙමලාගෙ මානසික අවශ්‍යතාවයන් වත්, දෙමලාගෙ ජාතිකවාදය තුල සිංහලයාගෙ මානසික අවශ්‍යතාවයන් වත් ආමන්ත්‍රනය වෙන්නෙ නෑ. ඔය දෙකම පෑහෙනෙ නෑ.

විසඳුම විදිහට දෙමල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ අප්‍රායෝගික දික්කසාදයක් හෝ වෙන්ව විසීමක්. සිංහල ජාතිකවාදීන් යෝජනා කරන්නෙ නොකෙරෙන දීගයක්. අපි යෝජනා කරන්නෙ කෙරෙන දීගයක්. ඒකට සිංහලයාගෙ සිංහල කමත් දෙමලාගෙ දෙමල කමත් දෙකම අඩු වැඩි වශයෙන් අඩු කරගන්න වෙනවා. දෙගොල්ලොම ප්‍රවේශය වෙනස් කරගන්න වෙනවා. තනි අතින් අප්පුඩි ගහන්න බැරි නිසා මේක එක පාර්ශවයකින් විතරක් වෙලත් හරියන්නෙ නෑ. මීට සමගාමී දෙමල සමාජයේ මේ විදිහෙ කතිකාවක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිංහල ජාතිකවාදයෙ වර්තමාන මුහුනුවර නිසා එහෙම කතාවක් වෙන්න තියෙන ඉඩත් අඩු වෙනවා.

සිංහල ජාතිකවායේ වර්තමාන මුහුනුවරට දෙමලාට විතරක් නෙමෙයි මම වගේ ‘අවජාතිකවාදි’ (ජාතිකවාදී නොවන අය හැඳින්වීමට ජාතිකවාදි කඳවුර යොදාගන්න ආදරණීය වචනයක් wink emoticon ) සාමාන්‍ය සිංහල මිනිස්සුන්ටත් එකඟ වෙන්න අමාරුයි. දෙමලා ගැන කවර කතාද.

-රිටිගල ජයසේන ෆේස්බුක්හි තැබූ සටහනකි.

“සසර සැරිසරන පාදඩයා” කියන්නෙ බුකියෙ ඉන්න අපේ සංවාද සගයෙක්. ඔහුගේ බ්ලොග් අඩවියට මෙතැනින්….

http://raj1st.blogspot.com/2016/08/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල