කාලීන සංවාද

නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම

Off

පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා.

ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා.

ඒ තමයි වාමාංශිකයන් රැඩිකල් ලෙස මාක්ස් ලෙනින්වාදයෙන් කැඩීමේ අවශ්‍යතාව.

ඇත්තම කිව්වොත් වාමාංශිකයන් වැඩිදෙනෙක් භාවිතාවේදී ස්ටාලින්වාදියෝයි. ස්ටාලින්වාදය කොහොමත් මාක්ස් ලෙනින්වාදය නොවන නිසා වාමාංශිකයන්ට අමුතුවෙන් ඒකෙන් කැඩෙන්න දෙයක් නැහැ. ඒකෙන් කැඩිලා තමයි ස්ටාලින්වාදීන් බවට පත් වෙන්නේ.

නිර්මාල් කියන්නේ මං ඉතා ගරු කරන, ලංකාවේ දීප්තිමත් වාමාංශික බුද්ධිමතෙක්. දරුණු විවේචනයක් දරා ගන්න තරම් හැකියාවක් තිබෙන කෙනෙක්. එහෙත්, අසාර්ථක සන්නිවේදකයෙක්. මූලිකව ම අපට කොයි තරම් දේ කියන්නට උවමනාව තිබුණත්, වඩා වැදගත් වෙන්නේ ග්‍රාහකයා එයින් ලබා ගන්නා පණිවුඩය ය යන්න සන්නිවේදකයෝ මතක තබා ගත යුතුයි. නැතිනම් වෙන්නේ ජෝක් වෙන එක විතරයි.

නිර්මාල්ගේ සංවාද භාවිතාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකක් බව මම මීට කලිනුත් කියලා තිබෙනවා. උදාහරණයක් ලෙස ශාන්ත විජේසූරියත්, නිර්මාලුත් අතර ඇති වූ ‘සංවාදය’ අරගන්න. නිර්මාල් සෙසු අය හමුවේ නිරතුරුව ම අවධාරණය කරන දෙයක් තමයි අනෙක් අය දන්නේ නැති ය කියන එක. දන්නේ නැති අයට උගන්නන්න ඕනැනේ. ඉතින් නිර්මාල් උගන්නනවා. නිර්මාල්ට හැම අදහසක් ම එයාට යොමු කරපු ප්‍රශ්නයක්. ඒ නිසා එයා උත්තර දෙනවා. දිග උත්තර. ඒ අතරෙ කියනවා උත්තරය ඔබ සොයා ගත යුතු එකක් ය කියලාත්.

නිර්මාල් යෝජනා කරන රැඩිකල් ලෙස මාක්ස්වාදයෙන් ගැලවීම පටන් ගන්න ඕනැ මෙතැනින්. මාක්ස්වාදීන්ට පුරුදු ම මේ බණ වගේ දේශනා පැවැත්වීම නේ. ඒ අවිද්‍යාත්මක සන්නිවේදනයෙන් මිදෙන්න ඕනැ. ඒ අතින් නිර්මාල් ෆේස්බුක්වල කරන මැදිහත් වීම නිර්මානාත්මකයි.

අනෙක මාක්ස් ලෙනින්වාදයෙන් ගැලවීම කියන්නේ රතු කමිස වෙනුවට වෙන පාටක කමිස ඇඳීම හෝ රැවුල වැවීම වෙනුවට ෆුල් ෂේව් කිරීම හෝ ඒ භාෂාව වෙනුවට වෙන භාෂාවක් කතා කිරීම හෝ නෙමෙයි. ඔය ගැලවීම ගැන කතා නො කළත් කමක් නැහැ. භාවිතාවෙනුයි ගැලවෙන්න ඕනැ.

දැන් උදාහරණයක් විදියට නිර්මාල් ඒ ‘සංවාදයේ’ අන්තිම හරියෙදී පළ කරපු සංවාදයට භාජනය කරන්නට අවස්ථාව නො තිබුණු අදහසක් ගනිමු. නිර්මාල් රාජ්‍යය ගැන කියන්නේ රාජ්‍යයේ මර්දන අවයව දුබල කළ යුතුයි සුබසාධන අවයව ශක්තිමත් කළ යුතුයි කියන එකයි. මේවා නියම හතරබීරි කතා. මේවා කියන නිර්මාල් ඇත්තෙන් ම මාක්ස් ලෙනින්වාදයෙන් විතරක් නෙමෙයි දයලෙක්තික චින්තනයෙනුත් ගැලවෙලා ඉවරයි වගේ.

රාජ්‍යය කියන්නේ ම මර්දන උපකරණයක්. හමුදා, පොලිසිය, උසාවිය හා මානසික මර්දන මෙවලම් වන අධ්‍යාපනය, මාධ්‍ය නැතිව රජයක් පවතින්නට බැහැ. මූලිකව ම රජය පවත්වාගෙන යන්නේ බදු එක් රැස් කිරීමෙන්. ඇයි මිනිස්සු බදු ගෙවන්නෙ? රජයේ මර්දන බලයට බය නිසා.

පානදුර පැත්තෙ හිටිය ජවිපෙ හිතවතෙකුව 87දී විතර පොලිසියෙන් අල්ලන් ගියා. මේ සහෝදරයා මානසික රෝගී තත්වයක් වෙනුවෙන් බෙහෙත් ගන්නා කෙනෙක්. ඒ බව දන්න පොලිසියේ ස්ථානාධිපති ඒ සහෝදරයට මෙහෙම කිව්වා.

“උඹට මං ගහන්නෙ නැහැ. ඇත්ත කියපං.”

එතකොට අපේ මෑන් මෙහෙම කිව්වා.

“ගහන්නැත්තං මොකටද ඇත්ත කියන්නෙ?”

මර්දනය නැතිනම් මිනිස්සු බදු ගෙවයි ද?

ඒ වුණාට නිර්මාල්ට ඕනැ රාජ්‍යයේ සුබසාධන අංශය තව ශක්තිමත් කරන්න. ඒ කියන්නේ ඔහු වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවුරුදු පහකට වරක් තීරු බදු නැතිව වාහන දෙන්න. උසස් පෙළ සමත් සිසුන් අතරින් කොටසකට පමණක් නොමිළේ පමණක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන්න. ගොවීන්ට කුඹුරුවලට වීසි කරලා එන්න පොහොර දෙන්න. වැඩි වැඩියෙන් රජයේ රස්සා දෙන්න. රජයේ රස්සා කරන අයට විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද දෙන්න. මේ ලැයිස්තුව නිර්මාල් පෙනී සිටින අරගලවලට සම්බන්ධ ලැයිස්තුව. තව ඉල්ලීමුත් ඇති.

දැන් මේ ටික කරන්න රජයට සල්ලි කෝ? සල්ලි නැහැ. බදු අය කරන්නත් එපා. ණය ගන්නත් එපා. එතකොට ඔය සුබසාධන ආර්ථිකය පවත්වාගෙන යන්නෙ කොහොම ද? සුරංගනාවෝ සල්ලි ගෙනත් දෙයි ද?

මේ වන විට පවතින ධනේශ්වර සමාජ ක්‍රමය ඇත්තෙන් ම ධනපති පංතියේ ආධිපත්‍යයෙන් යුක්ත එකක් නෙමෙයි. එහි ප්‍රධාන ම සූරා කන බලවේගය වන්නේ මධ්‍යම පංතිය ද? ධනපති පංතිය ද? නැතිනම් මේ දෙකම ද? රටේ වැඩ කරන ජනතාව සූරා කන රාජ්‍යය සමග සම්බන්ධ සමාජ ස්ථර පීඩිතයන් වන්නේ කොහොම ද?

මේ ගැන මං කලින් ලියලා තියෙනවා. වාමාංශිකයන් පදනම් වෙන්නේ මධ්‍යම පංතිය මත නිසාත්, ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරයකට පදනමක් දැමූ සංවිධානයක් හෝ නැති නිසාත්, වාමාංශිකයන්ට රාජ්‍යයෙන් පරාරෝපණය වෙන්න අයිතියක් නැහැ. වාමාංශිකයන්ගේ ක්‍රම විරෝධය පුස්සක් වෙන්නේ ඒ නිසායි.

නිර්මාල් එට්කා ගැන මගේ අදහසට දුන් පිළිතුරත් ඒ වගේ. ඒ ගැන සංවාදයක් එතැනදී නො කෙරුණාට, වෙන තැන්වලදි මා කියලා තියෙනවා, ආර්ථික ජාතිකවාදයත් ජාතිවාදය ම බව. එට්කාට විරුද්ධව ජාතිවාදීන් සමග එකට එකතු වෙන නිර්මාල් මගේ අදහස ප්‍රතික්ෂේප නො කරමින් දක්වපු අදහස්වල තිබුණේ ජාතිවාදීන්ගේ තර්ක ම තමයි.

එට්කා සම්බන්ධයෙන් මා කියන කාරණය වන්නේ අප ඒ පිළිබඳව සලකා බැලිය යුතු වන්නේ එය පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට කෙතරම් ඉවහල් වෙනවා ද කියන සංදර්භය තුළයි. නිර්මාල් මතු කරන තාක්ෂණික ගැටලු අපි සාකච්ඡා කළ යුතුයි. එහෙත්, ඉන්දු ලංකා ආර්ථික සහයෝගිතාව කියන දරුවාත් එට්කා වතුර කොරහත් එක්ක විසි කරන්න තමයි නිර්මාල් යෝජනා කරන්නේ.

මාක්ස් ලෙනින්වාදය වෙනුවට නිර්මාල් යෝජනා කරන දෙය මොකක් ද කියලා අහපු ප්‍රශ්නයට නිර්මාල් පැහැදිලි පිළිතුරක් දුන්නේ නැහැ.

මං හිතන්නේ වම මේ සුබසාධනවාදී රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම නැවැත්විය යුතුයි. රාජ්‍ය ආයතන වෙනුවට සමාජ ආයතන ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

මෝස්තරයට වගේ වෙළඳපොළට බැන බැන ඉන්නවා වෙනුවට වෙළඳපොළ තුළ ලාභ නො ලබන සමාජ ආයතන ශක්තිමත් කරන්නට බැරි ද කියන කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ඔය තියෙන්නෙ හැටහුටහමාරක් රාජ්‍ය නොවන සංවිධාන. ඒවාට හරි ප්‍රගතිශීලී අදහසුත් තියෙනවානේ. සමහර ඒවා නමටත් ගැරන්ටි ලිමිටඩ් නේ. තව සමුපකාර ව්‍යාපාරය කියල එකකුත් තියෙනවානේ. ඒවයෙන් පටන් ගන්න බැරියැ. ඒ ගැන පස්සෙ වෙනම ලියමු.

නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම මං පොඩි කතාවකින් පැහැදිලි කරන්නම්. ඔය අපේ සමහරු බඩ එන නිසා රෑට බත් කන එක නවත්තනවා. ඒ වුණාට ඉඳියාප්ප හැටක් විතර කනවා. නිර්මාල්ගෙ මාක්ස්වාදයෙන් ගැලවීමත් අන්න ඒ වගේ එකක්.

http://www.w3lanka.com/2016/08/blog-post_3.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල