කෙටි කථා

සර්පයාගේ කොලම 17

Off

කත , ගත සහ යථ

පොත් වර්ග තුනක් ගැන පසුගියදා මට සිතුනි. එය තුන් සිතකවත් කලින් තිබුනක් නොවේ . පොත්වලට රත්නය කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන පොත්වලටද යන්න එකිනෙකාට අනුව වෙනස් විය හැක . කාන්තාවන්ටද රත්න කියා ඇතැමුන් කියති. රත්න කියා කියන්නට පුලූවන් මොන විදිහේ කතුන්ටද යන්නත් ප‍්‍රශ්නයකි.

කතත් ගතත් යථත් අතරද අපූරු සම්බන්ධයක් තිබේ. බොහෝ ගත් බිහිවන්නේ කතත් යථත් අතර හැලහැප්පිලිවලිනි. කත පිළිබඳ මත යථ විසින් සුන්නද්දූලි කළ විටය. නැතොත් කතගේ යථ මතු වී ජීවිතයේ යථ හොම්බෙහි ඇනුණු විටය. ගත ඒ අතරින් බිහිවේ. කතගේ ගත විසින් අපගේ ඈ ගැන ඇති මත පුපුරුවා හැර අපට යථ අභිමුඛ කරයි. එවිට අපගේ ගත විසින් අත් දුටු කතගේ යථත් අපගේ සිත තුළ ඇටුවම් බැස ඇති ඈ පිලිබඳ මතත් අතරින් ගත පැන නගී.

කතුන් ත‍්‍රිත්වයක් බොහෝ විට දකිත හැත . රායිගේ තීන් කන්‍යා, ඝටක්ගේ මේඝේ දාකා තාරා මෙන්ම ජයලත්ගේ පොත්වලද මේ ත‍්‍රිත්වය දකිත හැකිය . කාලි, පත්තිනි, සීතා, ලිලිත්, කුවේණි , යසෝදරා, සුද්දි, බෙරකාරයාගේ දුව, ගෝමරී , ලමාතැනී, අම්බපාලි, ධම්මි, කුසුම් සියල්ලෝ මේ ත‍්‍රිත්වය තුළ සැරි සරති.
ලෝක තුනක් ගැන බුදුදහමෙහි මතයක් වේ. දේව, මනුස්ස, අමනුස්ස යනුවෙන් ඒ අභිමුඛ වේ. සංකේතීය, පරිකල්පනීය, යථ යනුවෙන් කතා කරන ඒවාට මේවාහි සමබවක් තිබේ. මිනිස් විෂය තුළ පූර්වජ බව -යථ -අමනුස්ස ලෙසද, සංකේතීය තත්වය දේව ලෙසද, පරිකල්පනීය තත්වය මනුස්ස ලෙසද සංකල්ප ගත වනු දකිත හැක.

අමනුස්ස තත්වයට අප පොලා පැන්නොත්, එනම් යථ – පූර්වජ බව ක‍්‍රියාත්මක වුවහොත් සංකේතීය තත්වය – නීතිය බිඳ වැටේ. එවිට අපට සිරගෙට පිය නැගිය හැක. එහෙත් අපට යථ අහිමි වුවහොත් දිවි නසා ගන්නට හෝ මරණයට මුහුණ දෙන්නට සිදුවේ . පරිකල්පනීය තත්වය අපට අහිමි වුවහොත් අවසානයේ යන්නට වන්නේ පිස්සන් කොටුවටය.

පරිකල්පනීය පොත් ලියන වුන් හඳුන්වන්නේ පිස්සන් කියාය. පිස්සන් කියන්නේ සංස්කෘතික තර්කනය – පියාගේ නීතිය – සංකේතීය පටිපාටිය දන්නේ නැති වුන්ය. එවැනි පොත් ලිවූ බොහෝ වුන් පිස්සන් කොටුවල ලැග තිබේ. උන්ට පොත් ස්වයං මානසික ප‍්‍රතිකාරයක් වේ. පිස්සන් කොටු යන්නේ ඉන්ද පලක් නොවුණු තැනය.

මුන්ගේ පරිකල්පන යථ තුළින්වත් ගත තුළින්වත් කත තුළින්වත් සන්සිඳුනේ නැති විට එසේ සිදුවීම සාමාන්‍යයකි. සංකේතීය පටිපාටි තුළට ඒවා වලංගු නැත. යථාර්ථයට මුහුණ දුන් රටවල් නම් යථත් පරිකල්පනයත් අතර යථාර්ථයක් ස්ථාපිත කොට ඇත. එය පරිකල්පනයත් යථත් අතර දෝලනයේදී මිනිසුන්ව ගැහැණුන්ව මරණයට හෝ පිස්සන් කොටුවටත්, සිරගෙටත් තල්ලූ නොවී රැක ගන්නට ආරක්ෂිත දැලක් වියා ඇත. පරිකල්පනයත් යථත් අතර පාන සර්කස්වලින් ඒ නිසා ඔවුන් ආරක්ෂිතය.

යථත් සංකේතීය පටිපාටියත් අතර පරිකල්පනය අතර අප දෝලනය කරන තරමක් දෝලනය කරන්නේ කතය. එසේම අපව යථ නමැති පොළවේ ගසන්නේද ඇයමය. පරිකල්පනීය අවකාශයේ අප යථට එහායින් යමක් ඇතැයි සිතා, ඊට වඩා යමක් වෙතැයි සිතා ඒ අත්කර ගන්නට සංකේතීය පටිපාටියට ගාල් වෙමු. එහෙත් ඒ ඇතැයි සිතන ක්ෂුද්‍ර වස්තුව, ප‍්‍රමෝදය ඊට ගාල් වූ තැන පටන් සිඳී ගොස් අපට යථ අබිමුඛ වේ. අප යළි යළිදු ඒ සොයා පටිපාටියෙන් කට්ටි පැන ගියද අපට හමුවන්නේ නිරුවත් යථමය. නිරුවත් ගතමය.

අප පරිකල්පනීය වතින් සරසා නිරුවත් ගත වසා යථ වසං කරමු. සංස්කෘතික වතින් යථ මෙන්ම පරිකල්පනීය ගතද වසන් කෙරේ. කතගේ යථා ගත සොයා අප පරිකල්පනය තුළ අතරමං වෙමු. මේ අතරින්ම සෑම විටම ගත් බිහිවේ. කතුන් නොවී නම් මෙලොව බිහිවූ ගත් ගණන අතේ ඇ`ගිලිවලින් ගණින්නට හැකිවන්නට තිබිණි.

කෙසේවුව කතටද ගතටද රත්නයැයි කියති. පුස්තකං වනිතා රත්නං පරහස්තං ගතං ගතං කියා කියා ඇත . කත ගැන යථ අපට මෙසේ පෙනෙන විට කතට මේ යථ පෙනෙන්නේ කෙසේදැයි සර්පයාගේ සිතේ නැත. කතට කතට කියා බසක් නැතිය කියන නිසා ඒ එසේ වන්නේද යන්න සර්පයාට නම් නොතේරේ. කෙසේ වුව කතුන්ගේ වත ගතින් පළ වෙද්දී ඒ අපේම වතය කියා සිතා ගන්නටද බැරිකමක් නම් නැත.

කේ. කේ. සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල