කෙටි කථා

මුණුබුරාගේ කොළම – 01

Off

නාකි ඉලන්දාරියා ”සීයා මගෙ වීරයා”

මගේ සීයාට විනෝද අංශ රාශියක් තිබුනි. කසිප්පු බීම සතියට දෙතුන් වරක් ඒ අතර විය. එහෙත් ඔහු වෙරිමතින් අසිහියෙන් සිටි බවක් මගේ මතකයේ නැත. බීඩි බීම සෑම පැයකට කීප වරක්ද ද සිදුකලේය. බුලත් කෑමේ පුරුද්ද හා දුන්කල නැට්ටක් කටේ දමා සිටීමේ පුරුද්දක් නිතර දැකිය හැකි විය. කටේ ඉදිරියේ දතක් හෝ දෙකක් ඔහු දුටු මුල් කාලයේ තිබුනි. පසුව ඒවාද අතුරු දහන් වීය. සෑම දිනකම අලුත් යමක් කියා මා අන්ද මන්ද කර සිනාසුනේය. සමහර දිනක ඔහු මගෙන් පැනයක් ලෙස අසන ලද යමකට මා දින ගණන් කල්පානා කලේය. එය විසදා ගැනීමට නොහැකි වූ කල හිස අතගා “මේක තියෙන්නේ කල්පනා කරන්නත් එක්ක” කියා ගැටලුවේ පිලිතුර කියයි. එයින් දසක දෙකකට පමන පසු කලෙක සීයාගේ ගැටලු රුසියානු ගණිත විනෝදය නැමති පොතේ මා දකින විට සීයා සිය දිවිය සියතින්ම කෙලවර කරගෙනද වසර කීපයක් ගතවී තිබුනි.

මගේ දිවියේ පලමු මිතුරාද, ගුරුවරයාද, වීරයාද සීයාම විය. ගම් වැසියන් ඔහුට විවිධ නම් පට බැඳ තිබුනි. ඒ නම් පමනටම සීයාට විවිධ හැකියාවන් මෙන්ම කුසලතා තිබුනි. මග තොටේ මුණ ගැසුනු පිරිස් හා සීයාගේ සමකාලීනයන් හෝ වැඩිහිටියන් “ඕයි ඒජන්ත තුමා” යනුවෙන් ඇමතූ අතර ළමයින් වන අප ඒජන්ත කිරි අත්තා, තුමා,ජන්තු, යන නම් භාවිතා කරමින් ඔහු ඇමතීය. එම නම් කුමක් නිසා පටබැඳුනේ දැයි මම නොදනිමි. ඔහුගේ දෙමාපියන් විසින් ඔහුට දී තිබූ නම රංබණාඩා විය. නමුත් කිසිවකු එම නමින් ඔහු අමතනවා මා අසා ඇත්තේ කලාතුරකිනි. ඒ ග්‍රාමසේවක මහතා පමනි. ගැමියන් ග්‍රාමසේවක ඇති හෝ නැති තැන ග්‍රාමසේවක මහත්තයා හෝ රාලහාමී නමින් ඔහු ඇමතුවද? සීයා ඔහු නැති තැන ග්‍රාමයා කියූ අතර මූනට කිවේ ”ආයිබෝං රාලහාමී” කියාය. ඒ සීයා හැම විටම හාමුදුරුවරුන්ට කීවේ තට්ටයෝ, කහකඩයෝ, හෝ හොර ඝනයෝ කියාය. පංසලේ සිල් සමාදන් වන සියල්ලන් හා ගමේ ප්‍රභූන් හැමදෙනාම සීයා නැති තැන කීවේ “ඒජන්තයා මිත්‍යා දුෂ්ඨිකියා” කියාය. අපේ අම්මා සීයා හැදින්වූවේ “ඒජන්ත බාප්පා කියාය”. ඒත් ඔහු ඇගේ පියාගේ මල්ලී නොවුනු අතර දුර නෑකමක් තිබුනි. ඒ කුමක්දැයි මම නොදනිමි.

සීයා සමග අහල පහල වැඩිහිටි ලමා කවුරුත් හොඳය. ඒත් සීයා එක් අයකු සමග අමනාපය. ඒ සීයාගේ වැඩිමහල් සොයුරාය. සීයා ඕනෑම අයකු සමග ඔහු ගැන කතා කලේ ”හොර උපාසකයා” නමිනි. එනමුත් ගමේ අන් සියල්ලන් “උපාසක මහත්තයා” යනුවෙන් ඔහු ඇමතීය. නමුත් ”හොර උපාසකයා” ගමේ ප්‍රභූ පිරිසට අයත්ය. විරසකය කුමක් සඳහා ඇතිවීදැයි මම නොදනිමි.

අහල ගම් හතම සිංහල බෞද්ධයන්ගෙන් සැදුම් ලත්ය. එම වට පිටාවේ බහුතරය ගැමියන් වූ මගේ නෑයෝ ගොවි තැනින් දිවි ගෙවූහ. ගන්තුලානේ එක නිවසක සියල්ලන් හා තවත් නිවසක එක කාන්තාවක් ක්‍රිස්තු භක්තිකයන් විය. ගමේ කවුරුත් ඔවුන් හැඳින්වුයේ ආගම්කාරයන් නැති නම් ආගමේ ගෙවල් කියාය. මේ සියල්ල අටුවා ටීකා පැවසුවේ මෙගේ ජීවිතයට සීයා බලපෑ ආකාරය විස්තර කිරීමටය.

බූරු ගැසීම, කැට ගැසීම, අජූත ගැසීම, දාන් ඇදීම සහ නෙරෙන්ච් ඇදීම යන ක්‍රීඩා සඳහා අසල ගම් හතේම ඔහු කප්ගසා සිටියේය. තවද තුන්සි හතර, පන්සිය හතර, සීය ඇදීම යන ක්‍රීඩා හා හත් වාසි බැලීම සමග කාඩ් කුට්ටමෙන් නොයෙක් මැජික් කර පෙන්වා මා විශ්මයට පත් කරන ලද අවස්ථා අපමනය.

ඒවායෙන් සීයා පැරදවීම මාගේ එකම අරමුණ විය. ඒත් මාගේ අරමුණ සැමදා සිහින පමනක්ම විය. සියා කීවේ කවදා හෝ මගේ සිහින ජය ගැනීම මගේම වැඩක් කියාය. ගණන් බැරි මොඩයෝ මෙයින් පරදින බවය. මොලේ කිරිමැටි වලින් මහ බබා අඹන උන්ටද දාන් ඇද දිනීමට බැරි බවය.
මා යන්තම් වයස අවුරුදු දහය වන විට නිවසින් ප්‍රතම වතාවට පැන යන්නේ ය. මාගේ ආරක්ෂිත නවාතැන සීයාගේ නිවස යැයි සිතාය. මාගේ සිතුවිල්ල නිවැරදි විය.

සීයා මා දන්නා කිසි දිනක රැකියාවක් නොකලේය. කිසිම ආගමක් හෝ මතු බවයක් විශ්වාස නොකලේය. අනුන්ගෙන් නොකෑවේය. සැම දා උයාගෙන කෑ සීයා මා වෙනුවෙන්ද කෑමට යමක් ඉතිරි කර තැබීය. ඉඳහිට කුඩා කසිප්පු වඩියක් නිවසේම පෙරුවේය. පොල් සිල්ලරට මිලදී ගත්තේය. සමහර කාලවල වී සිල්ලර වෙලදාම සිදු කලේය. ඔහු විවාහ වී නොතිබිණි. ඉද හිට නගරයට යාමට හැර සීයා කිසි දිනක උඩුකය වැසුවේ නැත. හැම විටම සරම වලාපොට ගසා සිටි අතර පිහියක් කොලපතකින් සැකසූ කොපුවක දමා ඉනේ රඳවාගෙන සිටියේය. පැත්තක් ගරා වැටුණු පාලු විශාල නිවසක අනිත් පැත්තේ සීයා තනිවම ජීවත් විය.

“පිනට කන්න පුරුදු වෙන්න එපා මිනිහෝ” යැයි දවසක් සීයා මට බැන්නේය. ඒ මට කූපන් පොතක් ඇති බව සීයට ආඩම්බරයෙන් කී දිනයේ බව අද මෙන් මට මතකය. මම ගෙදර තිබුන කූපම් පොත ඉරාදමා හරි ජංජාලයක පැටලිනි. එය කෙරවල වූයේ ග්‍රාමසේවක පොලීසි ගෙනියන බවට තර්ජනය කර නැවත එවැන්නක් නොකරන බව ලිපියක අස්සන් කර දීමට මාගේ අම්මා හා ග්‍රාමසේවක මට බල කලේය. මට වයස අවුරුදු දොළහක් පමන ඇත. මම අත්සන් කල බව දැන ගත් සීයා කීවේ “තෝ කොන්දක් නැති පෙන්දෙක් බොල” කියාය.

සීයා පිහිනීමේ උපන් හපනෙකි. එය කෙතරම්ද යත් දෙගොඩ තලායන ”කොලමුනු” ඔය ”ගුරුළු” ඇල තරණය කරයි. වාන්දාන වැවේ ඕනෑම තැනකට මා කරේ තබා ගෙන පීනා යයි. ගමේ කොල්ලන් හය දෙනෙක් එක පිලකට ද ,සීයා හා තවත් එක කොල්ලකු පමනක් ප්‍රති විරුද්ධ පිලේ සිට වොලි බෝල ගසයි. බෝල කෝට් එකේ කොහේ සිටියත් සීයා දිවවිත් බෝලය පාලනය කර සගයා වෙතට බෝලය යොමු කර ඊ ලඟට උඩ පැන වේගවත් ඩෑස් පාරක් ගසන හැටි මම පසෙකට වී දෙනෙත් අයා බලා සිටින්නෙමි. සීයාගේ ඒ වන විට හිසකෙස් සියල්ල සුදුවී තිබුනි.

සීයාට සමාජ සුභ සාදන වැඩ තිබුනි. ඒ පාසැලේ අකුරු බැරි අයට ලියන්න කියන්න කියා දීමය. ගමේ තරුණයන් පමනක් නොව අසල ගම්වල තරුණයන්ද සීයා සොයා ආවෝය. ඒ තම පෙම්වතියන්ට පෙම්පත් කවියෙන් ලියා ගැනීමටය. සීයා ඒ වෙනුවෙන් මුදල් හෝ වෙන යමක් ගත්තා දැයි මම කිසි දිනක දැක නැත. සීයාට දිනපතා මට අලුත් කතන්දර කීමට තිබුනි. අවුරුදු ගාණක් එක දිගට කතන්දර කියා දුන්නද එක කතාවක් දෙවරක් කියාදී නැත. සීයා කොහෙදෝ ගිහින් සති දෙක තුනකට වරන් පොත් කීපයක් රැගෙන එයි. ඒවායේ කවර වල තිබූ සමහර නම් මට අද ද මතකය. දෙවියෝ සහ බූතයෝ, මාකළ ගවේෂණ, මනෝලිංගික බොළඳතා ,සෙබාදහමේ දෛලෙක්තිකය, කලයුක්තේ කුමක්ද?, කැලෑ හද වැනි පොත් ඇදඳ අසල කුඩා බංකුවක් මත විටින් විට තිබුනේය. ඔහු ඒවා ටික කලෙකින් කොහේදෝ රැගෙන ගියේය. එදිනට ඔහු කමිසය ඇරගෙන යයි. සීයා රෑ එලිවෙතුරු සමහර දිනවල කුප්පි ලාම්පු එළියෙන් බංකුව උඩ තිබූ එම පොත් කියෙව්වේය. පසු කලෙක මා අරාබි නිසෙල්ලාසය කියවන විට සීයා ගේ කතා මට නැවත නැවතත් ඒ තුල හමුවිය. මා කියවූ අරාබි නිසොල්ලාසය කියවන විට සීයාගේ කතා තරම් එය රසවත් නැතැයි මට සිතුනි.

ඔහු මටද කවි කියාදී තිබේ. ඒවා සීයා මා වෙනුවෙන්ම ලියන ලද ඒවා බව අද වුවද මම සිතමි..
මේ වන විට එම මතකයට වසර හතලිහක් ඉක්ම ගොස් ඇත. මා උපන් ගම පමනක් නොව රටද මේ වන විට මා අතහැර හැර දමා ඇත. සීයා මා හැර ගොස් තිබුනද සීයා මාවෙනුවෙන් කියූ සමහර කවි තාමත් මා මතකය හැර ගොස් නැත. එම කවි වල එකල විදි රසයට හා අර්ථකයට වැඩි යමක් ඇතැයි අද මට සිතේ. වයස අවුරුදු දහයේ දී එනම් 1978 මාර්තු මාසයේ මගේ පියාගේ මල ගමට ගොස් ආපසු පැමින සීයාට මගේ පියා මල බව දැනුන් දුන්දා සවස ඔහු මට කවි කියා දුන්නේය. එම කවි සීයාම නිර්මාණය කලේදැයි නොදනී. එහෙත් වෙනත් මූලාශ්‍රයක් මට මෙතෙක් හමුවී නැත.
උඩහා ගෙදර අර කිරි දෙවියාට පොඩී
කලිසම් කමිස පමනක් සියයකට වැඩී
මට එක කලිසමයි එහි බොත්තනුත් කැඩී
අපෙ අම්මාට නෑ කවදාවත්ම පඩී

පෙට්ටිය කට දමා දවසක් හැන්දෑවේ
පියතුම ගෙනිච්චා මිනිසුන් මහ පාරේ
හෙට එයි කියාලයි කවුරුත් මට කීවේ
තාමත් මොකද පියතුම ගෙදරට නාවේ

දවසක් අම්මා අයියා ඇතුලු පිරිස මම නිවයේ දමා වන්දනා ගමනක් ගියෝය. මම අඬමින් යාමට සූදානම් වූ විට අයියා “ගුටි නොකා ගෙදර හිටු” කීවේය. අම්මලා නිවසට පැමිනිසේ පසු දින දහවල්ය. මෙය තාත්තාගේ මල ගමට වසර කීපයකට පෙර සිදුවූවක් යැයි අනුමාන කරමි. දින වකවානු අඩමානය. නමුත් සීයා ඊට පසුදින කියා දුන් කවිය තාම මතකය.

ඉරිදා රෑත් අපෙ මිදුලේ කවුද ගියා
සදුදා උදෙත් අපෙ මිදුලේ කවුද ගියා
අපෙ අම්මා මට නොකියා කොහෙද ගියා
පුවක් මලේ ඇට තරමට කදුලු ගියා.

එයින් වසර දහයකට පසු 1988 දී සුනන්ද හා මැණික් අක්කාගේ වැඩිමහල් දියණිය පබා කුඩා කල ඔවුන් පූර්ණ කාලීන දේශපාලනයේ යෙදීම නිසා අක්කා නිවසෙන් පිටව ගොස් ආපසු එන විට මම මෙම කවිය පබාට පාඩම් කර තැබුවෙමි.

සකස් කලේ ජයම්පති මුණුබුරා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල