කෙටි කථා

සර්පයාගේ කොලම 19

Off

හුඹහෙන් ඇදෙන සිතුවිලි

හුඹහින් ඇදුනු මම හුඹහ දෙස ආපිට හැරී බැලීමි. වසර හතලිස් නවයක් පරණ මගේ හැව හුඹස් කටේ රැඳී තිබේ. මම ඒ ආරම්මණයට ගෙන එතැන සිට බවුන් වඩන්නට ගතිමි. බඩ ගානා කුර ගානා සියල්ලෝ මට සිනාසෙන්නට වන්හ. කුණ්ඩලිනී ශක්තිය එක්තැන් කර ගන්නට ගිය මට වූයේ හරිම හරි අකරතැබ්බයකි. වලිග කොනට වෙර දී නැගී සිටිනා සඳ මගේ සිරුර තුන් කුදුව ගියේය.

හුඹහින් එළියට එන සඳ මගේ අඳ නෙත්වලට ගිනි බිඳින්නාක් මෙන් කඩන් පැන්න ඉර දෙවියන්ගේ පිහිටෙන්, දැන් ඊට පිටුපා සිටින මට තුනේ ඉලක්කම මෙන් තුන් කුදුව ගිය මගේ හෙවනැල්ලේ ඡායා මාත‍්‍රය මගේ අන්ධ නෙතු කෙවෙනි අස්සෙන් මගේ දෘෂ්ටි විතානය මත පතිත වනු හඳුනා ගත හැකි විණි. ඒ හාම තුන යන සංකල්පයද මගේ චිත්ත සන්තානයෙහි පිළිසිඳියේය. තුන අපූරු ඉලක්කමකි. මන්ද යත් සියල්ල ඇරඹෙන්නේ පවතින්නේ මෙන්ම වැනසෙන්නේ තුනෙනි. දැන් මනුස් ආත්මය ලද පසුව මා හඳුනා ලෙන ඇති පරිදි ශිව , විෂ්ණු ඊශ්වර සේමය. ඒ ගැන සිතන්නට ගනිත්ම මහා ගාලගෝට්ටියක් ඇසෙන්නට වන. කුර ගානා බඩ ගානා සතුන් සක්වල ඒක ගර්ජනා කරන්නා වූ වාදයක පැටලී හුන්හ. ඒ මදිවාට අහල දොල පාරේ හුන් මසුන්ද ඊට පැටලී සිටියහ. කිරලෙක් ද, කපුටෙක්ද කොහෙක්ද ආදි කොට තටු ගානා ඈයෝද ඊට පැටලෙන්නට ආහ. තුන් වලාමේ තුන් ඉලව්වේ කියා කොහේදෝ නිදා ගෙන සිටි බස්සෙක්ද ඊට හූමිටි තිබ්බේය. කන් දී බැලූ කොට ඒ ගොල්ලෝ කතා කළේද තුනක් ගැනය. ඒ තුනට ඒ ගොල්ලෝ කීවේ තිස් තුන් කෝටියක් නම්ය.

මුලින්ම ඒ ගොල්ලෝ රණ්ඩු කළේ මේ තිස්තුන් කෝටිය තුනකට බස්සා ගන්නටය. අන්තිමේ හුඹහ ඉස්සරහට වී ඒ වචන තුන මගේ චර්ම පටහ පටලයට දැනෙන තෙක් බලා උන්නෙමි. තාත්තලා තුන් දෙනෙක් ගැන ඒ ගොල්ලෝ කතා කරන බව මට තේරුම් ගියේය. මම කැලේ අස්සට හක්කලංවී යන විට දැවැන්ත නාග රාජයෙක් මට මුලිච්චි විය. තමා අනන්ත නාග රාජයා බව කී ඔහු මට කාල සර්ප යෝගය ලබා ඇති බව කීය. මම ඒ දැවැන්ත නාග රාජයාට ඉඩදී අන් අතකට ඇදුනෙමි. සම කීරි ගස්වන හඬකින් දැපනෙ වැටී ගිය මම අන්තිමේ අහිකුණ්ඨිකයකු යැයි මා බොහෝ කලකට පසුව සංකල්පීයව දැන හඳුනා ගත් කෙනෙකු විසින් පෙට්ටියක දමා ගෙන බොහෝ කලකට පසුව මා එසේම හඳුනා ගත් නගරයට ගෙනාවේය . මා මිනිසකු බවට පත් කළ තාපස උන්නාංසේද මට මුන ගැහෙන්නේ මේ මණ්ඩියේදීය . අහිකුණ්ඨිකයා මා නටවනු බලා සිටි තාපසයා කහපාට දිලිසෙන යකඩ පෙති මොනවාදෝ දී මාව ඉල්ලා ගත්තේය.

ඊළඟට මාව බිමින් තබා මොනවාදෝ හෙමිහිට කියන්නට විය . මා මීට පෙර ආත්ම දෙකක් ඇඹල පෝතකයකුව සිටි බවත් ඒ අතරතුරද ඇඹල ආත්මම පැතූ ඇඹල බිජු ලෙසම හුන් බවත්, එහෙත් ඊට පෙර මා මනුෂ්‍යයකුව හුන් බවත් හේ කීය. ඒ මනුෂ්‍යයාගේ වග කෙසේද යත් ලේඛක නමින් හැඳින්වූ බඩ රස්සාවක් කොට දිවි රැක ගත් වගත්, එහෙත් ඒ රස්සාවට සාප කරමින් ඉන් නිපැයූ පොත් නමැති දෑටද සාප කරමින් සිටි හෙයින් මිය පරලොව ගොස් ඒ පොත් අතරෙහිම ඇඹලයකුව ඉපිද පැනි හැලිවලට ලොබ බැඳී බවත් උන් වහන්සේ කීය . ඒ අතර පැනි හැලිය සිදී ගොස් මා එතනින් ගිය වැලහින්නකගේ පයට ඇඹලයකුසේ පොඩි පට්ටම්ව ගොස් සර්පයකුව උපන් බවත් තමාට හමු වූයේ එකල්හි බවත් විස්තර කළේය. ඇඹල ආත්ම දෙකට පෙර මිනිසකුව සිටියදීද අනෙක් මිනිසුන් මා සර්පයකු ලෙස හඳුන්වා ඇතැයිද තාපසයා තවදු කීය. යළි මා මනුෂ්‍යාත්මභාවයකට පැමිණ වූයේ ඒ තාපසයා විසිනි. අනන්ත නාග රාජයා අසල මා තබා මගේ කුදු බවද මේ ලොවෙහි කුදු බවද පෙන්වූයේ එතුමාය. ඒ සමගම මා පුනරුත්පත්තිය ලදුව අනන්ත නාග රාජයා පුරුක් දෙකක් බඩගාද්දී කරඳඩු උස්ව ගියෙමි. මේ ආත්මයේ මා ජීවිකාව පෙර ආත්මයක සදිසිවම ලේඛනය බව එසැණින් පසක් කළෙමි. එහෙත් නව උත්පත්තියකට වෙනස්ව මෙය ඇඹල ආත්ම දෙකකට සහ ඇඹල බිජු ආත්ම දෙකකට පෙර ගෙවූ මිනිස් ආත්මයම විය. ඒ සංසාර පුරුදු සියල්ල මට නිරායාසයෙන්ම පිහිටි වැනිය. මිනිසුන්ද මා පිළිගත්තේ මා ඊට පෙර පටන් ලේඛකයකු සේය. මා ලියන ලද පොත් ගැනත් ඔවුන් කතා කළෝය. එහෙත් ඔවුන් වැඩිපුර කතා කළේ මා නොලියන ලද පොත් ගැනය.

ඉතින් දැන් පෙර ආත්ම ගැන, පෙර ආත්මවල කරුම ගැන අමතක කොට ඔන්න ඔහේ ලේඛකයෙක් හැටියටම මැරෙනාතුරු ඉන්නවා යැයි මට නිකමට සිතුණි. ඉතින් එහෙම සිතා ලේඛකයකු හැටියට පිරිය යුතු වතාවත් පුරන්නටද පටන් ගතිමි. පොත් කඩ ගානේ ඇවිද ගියෙමි. පත්තර ගානේ ඇවිද ගියෙමි. ප‍්‍රකාශකයන් ගානේ ඇවිද ගියෙමි. විචාරකයන්ගේ දේශන අහන්නටද ගියෙමි. සම්මාන උළෙලවල් ගානේ ඇවිද්දෙමි. ඉස්කෝලවල විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශ අස්සේ බඩ ගෑවෙමි. අවසානයේ වටහා ගතිමි. සියල්ල පවතින්නේ තුන නිසාය. සියල්ල පවතින්නේ තුන හැටියටය. සියල්ල අහවර වන්නේද තුන හැටියටය. ඉතින් මා දන්නා එකම දෙය වන පොත් වලටද ඒ පොදුය. අපේ රටේ පොත් වර්ග තුනකි. මා ගුහාවෙන් එළියට එන විට ඇසුණු ගාල ගෝට්ටියෙන් අහුලා ගත් වචන තුන ඊට අලවන්නට මට සිතුණි. එසේ ඇලවූ විට පොත් වර්ගද තුනකි. සංකේතීය පොත්. පරිකල්පනීය පොත් යථා පොත් සංකේතීය පොත් අර ගාලගෝට්ටියේදී කියවුණු තාත්තලාගෙන් කෙනෙකු වන සංකේතීය තාත්තා වැනිය. ඒවා රජුන්ගේ පිළි ගැනීමට ලක් වේ. පඬුරු පාක්කුඩම් ලබයි. ඒවා අනෙක් අතට රජුන්වද පිළි ගනී. තක්සලාවල ඉගැන්වේ. ඒ නිසා හැමෝම ඒ පොත් ගැන දනී. රජා මෙන්ම සිහසුනින් බැස ගිය පසු කිසිවකු ඒ පොත් මතක් නොකරයි. පරිකල්පනීය පොත් අම්මෙකු වාගේය. ඒවා නීති නොදමයි. ඒවා පිළි ගැනෙන්නේ අම්මා මෙන් තාත්තා නැති තැනය. නැති විටය. එහෙත් ජීවිතයේ හැලහැප්පීම්වලින් අපව ආරක්ෂා කරන්නේ අප සිත් පිරිමදින්නේ මේවාය. යථා පොත් අරින් යථා තාත්තා වැනිය. නීති කඩමින් නීති දමයි. කකුලූවා මෙන් පැත්තටම යමින් පැටවුන්ට කෙළින් යන්නට කියයි. ඉස්කෝලයක් පලාතට මේවා වැද්ද ගන්නේ නැත. එහෙත් ඉස්කෝලවල ඩෙස් උඩ නොව යටින් හැමදාම කියෙව්වොත් කියවන්නේ මේවාය. කුණ්ඩලිනී ශක්තිය ඒකරාශී කර ගන්නට ගොස් තුන් කුදුව ගිය කොන්ද මට සිහිවේ. හුඹහෙන් එළියට එන විට ඇසුණු ගාලගෝට්ටිය මට සිහිවේ. කොහොම වුනත් තුන ඉතාමත්ම වැදගත් වේ.
කේ. කේ. සමන් කුමාර
http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල