කාලීන සංවාද

ලැප්ටොප් එක තුවායෙන් එතීම, දැන් හැදෙන ළමයි සහ ෆේස් බුක්

Off

අවුරුදු 3 වූ දෙවෙනි අයියගෙ පුතා, ලැප්ටොප් එකෙන් නොයෙක් ඒ වයසට හරියන අධ්‍යාපන සීඩී වල ඇති ක්‍රියාකාරකම් කරනවා මවුස් එකත් පාවිච්චි කරමින්. නමුත් මම ලැප්ටොප් එකක් ඇල්ලුවේ වෛද්‍යවිද්‍යාලයේ හතර වන වසරේදී මට අනුකම්පා කරල පිටරට සිටින මාමා සහ නැන්දා විසින් අරන් දුන්නු එකක්. ඒකත් දූවිලි නොවදින්න තුවායකින් එහෙම ඔතාගෙන තමයි බෑග් එකේ දාගෙන එහෙ මෙහෙ ගියේ. ඉස්සර යුද්ධෙ කාලේ අගනුවර චෙක් පොයින් එකකදී එහෙම මගේ ” තුවායෙන් ඔතපු ලැප් ටොප් එකට” ලැබුනේ හිනා සාගරයක්. ඒවගේම මා එක්ක යමින් ඉන්න යාළුවන්ගෙන් රැවුම් ගෙරවුම්. ඒක තමයි මේ තාමත් පාවිච්චි කරන්නේ. ඒත් ඉතින් අද කාලේ අවුරුදු තුනේ හතරේ දරුවත් දන්නවා ලැප්ටොප් එකක් ඔන් කරන හැටි.

අපි දන්නවා අපි ඒ කාලේ එහෙම නොවුනු විත්තිය දැන් කාලේ ළමයි හරි ඇඩ් වාන්ස්, දන්නවා වැඩියි පණ්ඩිතයි. චාරයක් නෑ, කියනවට වඩා අපි මේ සමාජමය උඩු යටිකුරුවීමත් එක්ක ඇතිවුනු වෙනස තේරුම් ගන්න ඕනෑ. අපිට සෙල් ෆෝන් ලැබුනේ කැම්පස් යද්දී කියලා අලුත් පරම්පරාවත් එසේ විය යුතු නෑ. අපිට කම්පියුටර් ලැබුනේ විශ්ව විද්‍යාලේ යද්දී කියා අපේ දරුවන්ට පරිඝණක හෝ ඒ ආශ්‍රිත දැනුම නොදී ඉන්න උවමනා නෑ.

3 වසරේ එක්තරා දැරිවියක්, ඇගේ අක්කා කොල්ලෙක් සමග යහළු බව කී විගස අපේ පන්තියේ එකියක් ගුරුවරියට එය පැවසූ අයුරුත්, ඒ ගැන බොහොම ලොකු කලබලයක් ගුරුවරියගෙන් සිදු වූ අයුරුත් ඒ දැරිවිගේ දෙමාපියන් පාසැලට ගෙන්වූ අයුරුත් මට මතක් වේ. එවැනි පුවතක් 3 වසර කුඩා වුන් අතරේ හුවමාරු වීම මහා ලොකු දෙයක් ලෙස ඒ ගුරුවරියටත් පාසැලටත් අපටත් දැනුනේ ඇයිදැයි මා තවමත් සිතනවා… එකළ ඔවැනි දෑ ඇසීම අපට පුදුමයක් ගෙන දුන්නා පමණක් නොවේ, දිවිය ලෝකෙන් සුරංගනාවියන් ගෙනැවිත් දුන් බබාලාත්, දත් වැටුනම දත් ගෙනත් දෙන ලේන්නුත්, දොස්තර හොඳ හිත, හෝ හඬ කැවූ අර සිංහල කාටුන් ටිකත් පමණක්ම අපේ දැනුම් පතයට වැටුනු කාලයකි. නමුත් අද දරුවන් ඊට වඩා ගොඩක් ඉදිරියෙන් සිටිනවා. මුළු 3 වසර පන්තියක් බය බිරාන්ත කෙරූ අර සිදුවීම අද මොන්ටිසෝරි ළමයින්ටත් බොහොම සුළු සිදුවීමක්. පසු කාලීනව රූපවාහිනිය පුළුල් වීමත් මාධ්‍ය භාවිතය වැඩිවීමත් සමග අද දරුවන් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටිනවා.

මෙන්න මේ වෙනස අඳුරගන්න බැරි වැඩිහිටියන් සිටින කල මෙවැනි බොහොම ඛේදනීය තත්වයන් ඇතිවෙනවාමයි.
තාක්ෂණික දැනුමෙන් පොහොසත් නොවූ ඒ කාලය…
යන්තම් ළමා විය පසුකරමින් යොවුන් වියට පා තබන දුවා දරුවන් , මීට අවුරුදු 10 – 20 කට පෙර අපි වැඩෙන කාලයේ අපි සිටි මානසික මට්ටමේ සිටින්නන් නොවන විත්තිය හැමෝම තේරුම් ගන්න ඕනේ. ගුරු බවතුන් විශේෂයෙන්ම , ඔවුන්ගේ වයසත් සමග මේ අවුරුදු 20 ඇතුලත සිදුවූ සංස්කෘතික වෙනස්කම් සහ විවෘත සන්නිවේදනය තුලින් අපිට වඩා කලින් කුඩා කලම ඔවුන්ව ලෝකෙට විවෘත වෙනවා. දැන් බලන්න මේ ලියන මටත් උසස් පෙළ කරන අවධියේ… මොබයිල් ෆෝන් එකක් කියන දේ බොහොම අලුත් ආම්පන්නයක්. මැද පන්තියේ පවුලක් වුනු අපේ පවුලේ මෝබයිල් ෆෝන් එකක් තිබ්බේ පියාට පමණයි. ඒකත් ගඩොල් බාගයක් විතර බර අර නොකියා වර්ගයේ එකක්. බොහොම පරිස්සමෙන් තමයි පාවිච්චි කලේ. උසස් පෙළ ඉවර කරලා අවුරුද්දකට පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දි තමයි මා අතට පියාගේ පරණ මෝබයිල් ෆෝන් එක ලැබෙන්නේ. ඒ වෙද්දි අපි පුරුදු වෙලා උන්නේ ගෙවල් වල තියෙන ලෑන්ඩ් ලයින් හෙවත් ටෙලිකොම් දුරකථන වලින් පණිවිඩ හුවමාරු කරගන්න. අපටම කියලා අතේ ගෙනියන්න පුළුවන් මොබයිල් ෆෝන් එකක් කියන දේ නිකම් හීනයක් වගේ. නමුත් අද වෙන විට ඒ තත්වය වෙනස්. මොන්ටිසෝරි යන කුඩා දරුවත් දන්නවා සෙල් ෆෝන් එකක් පාවිච්චි කරන්න, බොත්තම් ඔබන්න කතා කරන්න.

මේ සංස්කෘතික, අධ්‍යාපනික, සහ සදාචාරාත්මක පුපුරා යෑම වටහා ගැනීමට උත්සහ කරමු…

මතකද වසර කිහිපයකට කලින්, පාසැලට මොබයිල් ෆෝන් එකක් ගෙනාවා කියා දඬුවම් ලැබ, අගනුවර උසස් බාලිකාවක හත හෝ අට වසරේ දියනියක් තමන්ගේ පාසැලේම වැසිකිළියක් තුල ගෙල වැල ලාගෙන මිය ගිය සිදුවීම. මතකද උසස් පෙළ හෝ සා පෙළ හරි හොඳ ප්‍රතිඵල නොලැබී මව් පියන් වැඩිහිටියන් වෙතින් එල්ල වූ බැනුම් හෝ පීඩනය නිසා දිවි නසාගත්තු දරුවන් ප්‍රමාණය ?

මා කායික වාට්ටු වල සේවය කරන කාලයේ, විභාග ප්‍රතිඵල පැමිණියා යැයි ඇසූනු විට අපි කියන්නේ ” හපොයි එහෙනම් දිවි නසා ගැනීම් හෝ තැත්කිරීම් වැඩි වෙයි ” කියලයි. මේ තත්වයේ වර්ධනයක් එන්න එන්නම දකින්න ලැබුනා.

හැමදාම කිසියම් ඛේදනීය යමක් සිදුවුනවිට පමණක් ඒ ගැන කතා ලියලා, ෆේස් බුක් ස්ටේටස් යොදා කටමැත දොඩවා වැඩක් නෑ කියල මා හොඳින්ම දන්නවා. ඒ ඔස්සේ ඉදිරියට් පැමිණෙන වෙබ් පිටු වලිනුත් ෆේස් බුක් ස්ටේටස් වලිනුත්, අපිත් මේ කාලේ මෙහෙම දේවල් කලා, අපිට මෙහෙමයි ගුරුවරු සැලකුවේ යැයි කියවුනා. මේ සිදුවී ඇති ව්‍යසන දිගින් දිගටම සිදුවුනොත් ආත්ම ශක්තියක් නොමැති දරුවන් ගොන්නක් සමාජෙට ඉතිරිවෙන්නේ. සීමාවාසික කාලයේ සිට මේ දක්වා නිතරම හදිසි තීරණ නිසා ජීවිතේ නැති කරගත් පුංචි ඈයෝ, එහෙම කරගෙන වෙලාවට ඉස්පිරිතාලේ ගෙනත් අපි බේරාගත්තු පුංචි එවුන් ඕනේ තරම් මට මුණගැසී තිබුනා., ඔව් ඔබ කියාවි දැන්නම් ඉන්නේ පුංචි එවුන් නොවන විත්තිය. නමුත් ළමා ලෝකය නැති කරේ අපි වැඩි හිටියෝමයි. ඒකට වගකියන්න ඕනේ දෙමාපියන් පවුල් පරිසරය වගේම ජන මාධ්‍ය සහ පාසැල්. දරුවන් ගැන වඩා විමසිල්ලෙන් කටයුතු කළ යුතු කාලයක් මේ ඇවිත් තියෙන්නේ. ඉතා කුඩා ළමයි දිවි නහගන්නවා වගේ දේවල් අපි කුඩා කාලේනම් ඇසුවේම නැති තරම්.

ප්‍රින්සිපල්ගේ බැණ වැදීම් හමුවේ ෆේස් බුක් පින්තූර ප්‍රශ්නයක් එක්ක දිවි නසා ගත් දැරිය සම්බන්දයෙන් පුවත කණ වැකුනු මොහොතේ ඇත්තටම මට හිතට දැනුනු දුකත් තරහවත් එක්කම කණගාටුවක්. ප්‍රේම සම්බන්දතාවන් පැවැත්වීම දඬුවම් දිය යුතු වරදක් යැයි මට නම් සිතෙන්නේ නැත. නමුත් ඒ දේ සාධාරණීකරනය කරන්නත් බැරි තරම්. මොකද, පාසැල් පෙම දුර දිග ගිහින් අන්තිමේ අවුරුදු 14, 15 වියේදීම ගැබ් ගත් , දරුවන් වැදූ දියණියන් , තනිවුනු ළමා මව්වරුන් බොහෝමයක් මට එදත් අදත් හමුවෙන නිසා.

අපි කොහොමද මේ ප්‍රශ්නෙදී මධ්‍යස්ථව ක්‍රියා කරන්නේ ?

ඕක සාමන්‍ය දෙයක්, ඒ වයසෙදි ආදරේ කිරීම වරදක් නොවේ, අපිත් කලා, කියා වීර වැකි පළ කරනවාට වඩා ගැඹුරින් මෙයට පිළිතුරක් සෙවිය යුතුමය. මුලින්ම මෙවැනි අමනෝඥ ලෙස ක්‍රියා කරන ගුරුවරයින් ගැන පරීක්ෂා කල යුතුයි. අදාල බලධාරීන් මෙවැනි ගුරුවරුන් ගැන විධිමත් පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ මානසික තත්වය පරීක්ෂා කළ යුතුය. ළමා විය , පෙර ළමා විය, පසු ළමාවිය, නව යොවුන් විය යනුවෙන් ළමා මනෝ විද්‍යාව තුලින් ඔවුන්ගේ ගුරු අධ්‍යාපනයේ උගන්වන බව මා හොඳින්ම දන්නවා. අපේ විෂය මාලාවේ කවදාවත් සමාජ ආචාර ධරම හෝ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න පීරියඩ් එකක් තිබ්බේ නෑ, අපේ පාසැලේ වුනත් ගයිඩන්ස් කවුන්සෙලර් කෙනෙක් සිටි බවක් මට මතක නෑ . නමුත් දැන් පවතින තත්වය තුල එසේ දරුවන්ගේ සිතට කතා කල හැකි ඔවුන්ගේ මනස වටහා ගන්නා ගුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි කියා මට සිතේ.

මේ අනිත් කොණ විත්ති කතා වල ඔබට අනන්තවත් මෙවැනි දරු දැරියන් ගේ කතා දැක කියවා අපේ අවවාද, ප්‍රයත්නයන් සහ ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම් දිනුම් දකින්න ඇති. දරුවන් ගැන සැබැවින් කැක්කුමකින් ක්‍රියා කරන්නන් කල යුත්තේ මේ ගැන සමාජ පෙරළියක් ඇති කිරීමය එය බ්ලොග් ලෝකෙන් පටන් ගෙන ඇති වග දුටු විට මට බොහෝ සතුටක් දැනුනා. ඒ පරිඝණක ආශ්‍රිත රැකියාවැති, හෝ අඩුම තරමේ ෆේස් බුක් ගිනුම් ඇති වත්මන් දෙමාපියන් මේවා කියවාවි හැදේවි දරුවන් ගැන හිතාවි කියන සිතුවිල්ල නිසා. මෙන්න මේ කියන දේ තේරෙනවද බලන්න.

1st group – දෙමාපියන් ඉන්නවා, දරුවන්ට ෆේස් බුක් තහනම්, අන්තර්ජාල තහනම්, ඒවගේම ඇතැම් විට රූපවාහිනී තහනම් කරපු. විශ්වාස කරන්න, දෙමාපියන්ට හොරෙන් , මිතුරන්ගේ ගෙවල් වලට ගොස්, ඔවුන්ගේ පරිඝණකයෙන් ෆේස් බුක් පාවිච්චි කරන, යහළුවන්ගේ දුරකථන මගින් අන්තර්ජාලය පරිශීලනය කරන දරුවන් අනන්තවත් මට මුණ ගැසෙනවා. දෙමාපියන්ට වහකදුරු හෙයින් ඔවුන් ඒ ගැන පවසන්නේත් නෑ. ඔවුන්ගේ ෆේස් බුක් නිසා සිදුවන ප්‍රේම අලකලංචි, කලබල, හෝ ඒ ගැන උපදෙස් ගන්න එන්නේ අපෙනි. ඒ ඔවුන්ගේ වෛද්‍යවරුන් වන අපි ඔවුන්ගේ මනසට වඩා ළංවී ඇති නිසාය, ඔවුන්ගේ ප්‍රශ්න වලට අපි වඩා සංවේදී නිසාය. එසේ ෆේස් බුක්, අන්තර්ජාලය අජීර්ණ වූ දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් මේ දේවල් මොනවාද, මේවයින් දරුවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන විමසිලිමත් විය යුතුයි.

2nd group – සමහර දෙමාපියන් සිටිනවා තම පරිඝණකයෙන් තම යොවුන් දරුවන්ට අන්තර්ජාලය පරිහරණයට වෙලාව වෙන්කර දෙන, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ෆේස් බුක් පරිහරණය කරන, දෙමාපියන්ද ෆේස් බුක් ගිණුම් සාදාගෙන දරුවන් හා සම්බන්ද වෙන. එක අතකට මට හිතෙනවා ඔවුන් දිනුම් කියලා. තහංචි නැතිව හොර රහසේ පරිහරණය කිරීම් නැතිවීම තුලින් ඒ දරුවන්ට එය තවත් එක විනෝදාස්වාද දෙයක් පමණක් වෙන්නේත්, ලෝකයම එය නොවෙන්නේත් ඒ නිසාය. ඒ තවත් පැතිකඩකි.

ඒ එක්කම මට තවත් කාණ්ඩ දෙකක් පෙන්වා දෙනවා, හෙන් රි බ්ලොග් වෝකර් සහ ඇනෝනිමස් කියවන්නෙක්.

3rd group: (Majority is this.)ළමයින්ට අන්තර්ජාලේ එක්ක, ෆේස් බුක් එක්ක, ඕනෙ දෙයක් කරගෙන ඉන්න ඇරලා ඔහේ ඇස් කන් පියාගෙන නිර්වින්දනය වෙලා වගේ ඉන්න දෙමව්පියො. මේ අය අවංකවම ලමයි මොනවා කරනවද කියලා තේරුම් ගන්න තරම් දැනීමක් නැති නිසා හෝ නොසලකා සිටීම පහසුවක් නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා හෝ එහෙම කරනවා වෙන්න පුලුවන්.

4 th group : ළමයට ආදරේ වැඩිකමට කිසි දෙයක් තනියම කරගන්න දෙන්නෙ නෑ. ළමයාගේ හැමදේම පාලනය කරනව. අන්තිමට ළමයා දෙමව්පියන්ගෙ රූකඩ වෙලා. නිකම්ම ගේ ඇතුලට ජීවිතේ දිය වෙනවා. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. දෙම්ව්පියො පොඩ්ඩක් හිතනවනම් හොඳයි දරුවොන්ටත් ජීවිතයක් තියෙනව කියලා.

දෙමාපියනි මා ඉහත කරුණු දැක්වූ කාණ්ඩ ගැන සිතා බැලීම සහ ඔබ කුමන කාණ්ඩයක සිටින්නෙක්ද යන්න සිතා බැලීම ඔබ සතුය. ඔබට ඕනෑ හොරෙන් යමක් කර අමාරුවේ වැටෙන, ඇතැම්විට ඔබට අහිමි වෙන්නත් පුළුවන් දරුවන්ද නැත්නම් ඔබේ ඇස් මට්ටමේ සිට, සමාජයේ ඒ වයසේ දරුවන් අතර ප්‍රචලිත හෙයින් කැමති හෙයින් ඔබේ අනුදැනුම ඇතුව යම්කිසි තරමකට මේ දේවල් පරිහරණය තුලින් ඔබට හිමි වෙන දරුවන්ද ? කියන දේ තෝරා ගැනීම ඔබට බාරයි.

මට මතකයි අපි 10, 11 වසර වල සිටියදී අපිත් එකිනෙකා හා කතා කලේම සහෝදර පාසැල් වල පිරිමි ළමුන් ගැනමයි. පොඩ්ඩක් ඇහැට කනට පේන කොල්ලෙක් හිටියානම් ඔහු ගැන කුමක් හෝ කතාවක් ගොතනවා. අහවලා අහවලාට කැමතියි. අරයා අන්න අරයත් එක්ක යාළුයි, ස්කූල් බස් එකේ යන්නේ අර ඉස්කෝලෙ ගාවින්. ඔවැනි දෑ අනන්තවත් අපි අතරේ කතා වුනා. එකල බාල දක්ෂ ජම්බොරියකට ගියත්, තමා දෙස බැලූ හෝ ඉඟි කෙරූ කතා කෙරූ පිරිමි ළමුන් ගැන අපි අනන්තවත් කතා බස් වුනා… 10, 11 වසරේදී පන්තියේ බොහෝ කෙල්ලන්ගේ පෙම් පණිවිඩ ලියුම් පත් තැපැල් පෙට්ටි වලට දැම්මෙව්වේ පාසැලේ සිට ගෙදරට පයින් සහ ඇතැම්විට බස් එකේ තනියම ගමන් කල මා ලව්වාය. ඒවා ගැන කවුරුත් කිසිමාකාරයකින් සැලකිල්ලක් දැක්වූයේද නැත. පාසැල් වේලාවේ එසේ අසුවූ පෙම් පත් කාඩ්, පෝස්ටර් ෆොටො උනත් පාසැල් වේලාවෙන් පසු සුළු අවවාදයක් කර නැවත පත් කිරීම හැරුණු කොට , අප පන්තිවල කිසිම කෙල්ලෙක්ට, දඬුවම් විඳින්න සිද්ධවූ බවක්වත් අඩු තරමේ ප්‍රසිද්ධියක් ලැබුනු බවක්වත් අපි නොදන්නෙමු.

අපේ රිපෝට් කාඩ් එකක අඩු ලකුණක් තිබ්බයි කියලා දෙමාපියන් ගුරුවරුන් බැන්නත් අපි හිතුවේ පාඩම් කරලා ඊළඟ පාර හොඳට ලකුණු ගන්නවා කියලයි. එහෙම මානසිකත්වයක් අපි තුල ඇති වෙලා තිබ්බා. ඒකට විෂය මාලාව අනුභද්දිත පාඩම් මෙන්ම, කියවීම තුලින් අපිට ලැබුනු දැනුම සහ ආත්ම ශක්තිය වැඩියි කියලයි මට හිතෙන්නේ. අද වෙන විට විෂය මාලව කීප ගමණක් වෙනස් වෙලා. අපේ කාලේ සිංහල පොතේ පාඩම් නොවෙයි දැන් තියෙන්නේ. හැබැයි මේ ගැන විවේචනය කරන්න මම උත්සහ නොකරන්නේ, මම ඒ සම්බන්ධයෙන් දැන උගතෙක් නොවන නිසයි.

නව යොවුන් වියට පා තබන පිරිමි ගැහැණු දරුවන්ගේ, මනස සහ ශරීර ක්‍රියාකාරිත්වය හෝමෝන වෙනස් වීම් එක්ක ඔවුන්ට දරාගන්න තිබෙන දේවල් , පාසැල් විෂය මාලාව, ක්‍රීඩා හෝ අමතර පුහුණු කුසලතා, එක්කම ගෙවල් වලින් එන පීඩනය , දෙමාපියන් ගේ අඬදබර, ආර්ථික දුෂ්කරතා, විභාග නිසා ඇතිවන මානසික ආතතිය මේ දේවල් ඔක්කොම අත්දැකීම් අඩු ඒ කාලේ තනියම දරා ගන්න බැරි බව මේ කියවන ඔබත් ලියන මමත් හොඳින්ම අඳුරනවා කියා හිතනවා.

බැනුමක්, කෝප වීමක් විවේචනයක් දරා ගන්න නොහැකි වීම ඇත්තෙන්ම කණගාටුදායකයි. දරුවන් ඇති දෙමාපියන් මීට වඩා සමාජ දැනුම ඔවුන්ට දීම අත්‍යාවශ්‍යයි. බැනුම් ගර්ජන නොසරුප් වැනි දෑ වලින් කඩන් වැටෙන හිත් ඇති දරුවන් මෙවැනි තත්වයන්ට ගොදුරු වෙනවා. විශ්වාස කරන්න, කුඩා කල ගුරුවරුන්ගෙන් බැණුම් දඬුවම්, (අපේ කාලේ ගහන්නත් අවසර තිබ්බානේ) ඊට පස්සෙ, විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්, ප්‍රොෆෙසර්ලගෙන්, ජේෂ්ඨයින්ගෙන් බැනුම්. වෛද්‍යවරයෙක් වී රැකියාවක් කරද්දී මේ දේ අඩුවුනාද ? නෑ අපි, සීමාවාසික කාලයේ සිට අද දක්වා අපේ ජේෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් අහන බැනුම් කෑ ගැසීම්, බෙරිහන් දීම් කොතරම්ද ?, සායන වට වලදී ලෙඩුන්, ඔවුන්ගේ නෑයින් සහ සමස්ථ කාර් යය මණ්ඩලය ඉස්සරහා, තමන් යටතේ වැඩ කරන දොස්තරවරුන්ටම බොහොම අසබ්‍ය විදියට බනින විශේෂඥයින් සිටිනා බව ඔබ දන්නවාද, අනන්තවත් අපේ උන්, ඇස් වල කඳුළු පුරවගෙන වෝඩ් රවුන්ඩ් කරපු අවස්ථා එමටයි.

නමුත් ඒ හැම දේම ඉදිරියේ ආත්ම ශක්තියත් , දරා ගැනීමේ ශක්තියත් ඉතිරි වී තිබුනු නිසා, බැනුමක් , දඬුවමක් නිසා ජීවිතය අවසානයි කියා හිතුවේ නෑ. අන්න ඒ තත්වයට එන්නට අපේ කුඩා උන් පුරුදු කරන්න ඕනෑ. ආත්ම ශක්තිය ඇති කරන දෑ මාධ්‍ය මගින් පෙන්විය යුතුයි. ජීවිතය නැති කරගැනීම යනු පිළිතුරක් නොවන විත්තිය ඔවුන්ට වටහා දිය යුතුයි.

විභාගයක ප්‍රතිඵල , ප්‍රේම සබඳතාවයක බිඳ වැටීම, ගුරුවරුන්ගේ බැනුම් හෝ වැඩිහිටියන්ගේ කෝපය, ජීවිතය නවත්වන නැතිකරන දෙයක් නොවන බව ඔවුන්ට වටහා දිය යුතුමයි.

මේ වෙලාවේ මට මගේ අම්මා දුන්නු අවවාද මතක් වෙනවා. “ඔය විභාගේ ඔයා පාස් උනත් ඔයා අපේ දුවමයි, ෆේල් උනත් ඔයා අපේ දුවමයි. යන්තම් පාස් උනත් ඇති පුතේ හිත නරක් කරගන්න එපා” මට මේ වචන නිසා වැඩියෙන් පාඩම් කරන්නත් වැඩියෙන් ලකුණු ගෙන ඔවුන් සන්තෝෂ කරන්නත් උවමනා වීම පුදුමයක් නොවේ. මගේ මුහුණු පොතේ ඉන්න යහළුවන් බොහෝ දෙනෙක්, ඔවුන්ගේ අලුත උපන් දරුවන්ට මෙන්ම අවුරුදු 3, 4 දරුවන්ටත් ෆේස් බුක් ගිනුම් හදා ෆොටෝ දමමින් ටැග් කරමින් සිටිනවා. ඒ දරුවන් යහළුවන් හමුවීම තියා මොන්ටිසෝරි යන්නත් කලින් අර අම්මගෙයි තාත්තගෙයි යහළුවන් පිරිස ෆේස් බුක් හරහා ඔවුන්ගේ යහළුවන් වෙලා. මේ වගේ ලෝකෙක , ෆේස් බුක් ගිනුමක ටැග් වීම නිසා බැනුම් අහන්න සිදුවෙන දැරිවිය, ප්‍රේම සම්බන්දතාවයක් පැවැත්වීම නිසා ද්වේශසහගත බැනුම්වලට ලක් වෙනවා. සමාජ වෙනස්වීම් සංස්කෘතික උඩු යටිකුරුවීම් නොදන්නා ගුරුවරු ෆේස් බුක් පැමිණීම මේ තත්වය ඇතිවීමට තවත් හේතුවක් මේ එක එක මට්ටමේ දරුවන් පිරිසක් තේරුම් ගන්න, ඊට වඩා වෙනස්ම පරිසරයක සමාජයක ගොඩ නැගුනු ගුරුවරුන් හුරු කරොත් ඒකත් බොහොම වටිනවා. මොකද, අපෝ ඒක හරී භයානක දෙයක් කියන්න කලියෙන් හොයා බැලීම හෝ සිතා බැලීම වටිනවා. අපේ කාලේ ඔය ගුරු දෙගුරු රැස්වීම් වල කිව්වේ ටීවී තහනම් කරන්න. බලන්න දෙන්න එපා කියලයි , නමුත් අද වෙන විට කියන්නේ ෆේස් බුක් තහනම් අන්තර්ජාලය තහනම් කරන්න කියලයි.

සිද්ධ වෙන දේවල් එලෙසින් දිගටම සිදුවීමත්, වලක්වන්න බැරි ලෙස අප ඇද බැඳ තැබීමත් යන මේ කාරන නිසා බොහොම කළකිරීමෙන් ඉන්න මාස ගණනාවක් ගෙවිලා ගියා. බාගෙට ලියවුනු කතා ගොඩක වර්ඩ් ෆයිල් අත පත ගගා ඉන්නේ, තවම හරියට හිත එකලස් කරගෙන ලියන්න බැරි වුන නිසාමයි අවුරුදු 4 තිස්සේ ලීවත් මේ බ්ලොග් එකේ මාසෙකට එකක් හෝ දෙකක් ලිපි පළ වෙන්නේත් ඒ නිසාමයි.

මෙන්න මෙවැනි දේවලුත් සිදු වෙනවාලු… පින්තූරය ගත්තේ ෆේස් බුක් එකේ හුවමාරු වූ පිටුවකින්

උපුටා ගැනීම – http://anithkona.blogspot.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල