කාලීන සංවාද

තේ ගස යට හෙවත් Under the tea tree – 3 (බෙහෙත් ගැහිල්ල, දළු කැඩිල්ල)

Off
දැං තේ පැලේ පැලවෙලා ටිකෙන් ටික උස්වෙන කාලෙ. තේ ගහට උදව්වට කෙනෙක් ඉන්න ඕනි. හරිනං මේ වෙනකොටත් එයා මෙතන ඉන්න ඕනෑ. ඒ තමයි ලාඩප්ප ගහ. දන්නෑ නේද? එහෙනම් “නංචි”? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං “ග්ලිරිසීඩිය”, “වැටමාර”? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි. ඔය ලාඩප්ප ගහ හිටවන්නෙ තේ ගහට හෙවනක් වෙන්නලු. ඒ වුනාට එක ලාඩප්ප ගහක ඉඳං අනික් ගහට අඩි පහලොවක් විස්සක් දුර හිංදා ඒ හැටි හෙවනක් ගන්න අමාරුයි. ඒක හරියට වැස්සෙං බේරෙන්න ඔලුවට උඩිං අත ඇල්ලුව වගේ වැඩක්. හැබැයි ලාඩප්ප ගහෙන් වෙනිං ප්‍රයෝජන තියෙනවා. දලු කඩන්න යද්දි ගෙනියන කැම ජාති කවරෙක දාලා එල්ලල තියන්න පුළුවං ලාඩප්ප ගහේ කරුවක. නැත්තං පොඩි ලමයින්ගෙනුයි බල්ලංගෙනුයි එවා බේරගන්න අමාරුයි. හැබැයි ඒවෙනුවට ලේන්නුයි, කුරුල්ලොයි ඒවාට වහ වැටෙනවා. පිහියක් එහෙම ගහේ උලගහල තියාගන්න පුලුවන්. ඒ වගේම වලියක් වෙලාවට බොහොම ලේසියෙන් පොල්ලක් කඩාගන්න පුලුවං ගහක්. කලින් කලට ගහ උස යනකොට කපලා දාන ලාඩප්පා අතු දරට ගන්න පුලුවං. එහෙම කපල තේ ගහයට දාපු ලාඩප්ප පොලු සමහර වෙලාවට කකුලෙ පැටලිලා හොස්ස කට තැලෙන්න “දෙරි ගහන්නත්” පුලුවං.
තේ පැලේ තේ ගහ බවට පත් කරගන්න තව බොහොම ආවතේව කරන්න තියෙනවා. නමුත් එව්වා එකින් එක කියන්න මට මතකත් නෑ. අනික එව්වා ඒ තරං ලියන එක තේ වවන්නෙක්ට මිසක වෙනිං කෙනෙක්ට වැදගත් වෙන්නෙත් නෑ. ඒ හංදා අපි තරුණ වසයෙ තේ ගහ වෙත යොමුවෙමු.
අවුරුදු තුනෙං පස්සෙ තේ ගහේ දළු කඩන්න පුලුවං. දළු කඩන්න පටංගත්ත ගමං හැකි ඉක්මනට තේ ගස් ටික එකට යා කරගන්න ඕනි. ඒ කියන්නේ තේ ගස් අතර හිඩැසක් නැතිවෙන්න, තේ ගහ යට පොලවට ඉර එලිය නොවැටෙන්න තියෙන්න ඕනි. එයිං ඇතිවෙන ලොකුම ප්‍රයෝජනය වල්පැල හැදෙන එක පාලනය වීම. ඉර එලිය වැටුනෙ නැතුවහම වල්පැල වර්ධනය බාල වෙනවනෙ. ඒත් මාස හය හතකට සැරයක් තේ ගස් යට “උදුලුගාන්න“ ඕනි. තේ ගහ යට උදැල්ලෙන් වැඩ කරන්න අමාරුයි. අනෙක් ගස්වල වදිනවා. ගහ මුල සුද්ද කරද්දි තේ ගහේ මුල් කැපෙනවා. ඒ හිංදා ‘සොරඬිය‘ කියලා ආවුදයක් තමයි වතුවල පාවිච්චි කරන්නෙ. මම නං දන්න හොඳම ක්‍රමය තමයි වල් පැල අතිං ගැලවීම. ඒ වුනාට සේවක කුලිය වැඩි නිසා අපේ අය හුඟක් දෙනා කරන්නෙ ‘බෙහෙත් ගැහිල්ල‘.  තේ අක්කරේක විතර එක දවසින් බෙහෙත් ගහල ඉවර කරන්න පුලුවං. නමුත් තේ අක්කරයක් අතින් සුද්ද කරන්න ගියොත් දවස් පහකටත් වඩා යනවා. ඒ හංදා බෙහෙත් ගැහිල්ල ලාබයි. බෙහෙත් ගහන්නෙ ටැංකියෙන්. ටැංකි හැමෝටම නෑ. කුඩා තේ වතු සමිතිවල තියෙනව ටැංකි. සමිතියෙ අයට කුලියට දෙන්න. තව ගමේ පෝසත් අය ගාවත් තියෙනවා. එව්වා දෙන්නෙ තෝරාගත්ත කීප දෙනෙකුට විතරයි. ජාතුංගම බාප්පලෑ ටැංකිය දෙන්නෙ හේමිචන්දර මාමටයි, අපේ ගෙදරටයි විතරයි. වෙනිං කෙනෙක් ගිහිං ඇහුවොත්
“නිපල්ලෙක කැල්ල. කෑල්ලක් දාන්න වෙනව අලුතෙං“
“අර මද්ද ගිනිහිං බිම ඇතෑරල පැත්තක් තැල්ල. පොම්පෙ හිරවෙලා තියෙන්නෙ“
“ලෙදර්රෙක උනුවෙලා. බෙහෙත් වදින්නෑ. නැහ්නං නොදී ඉන්නෑ. ඕන්නැං ගිනිහිං බලන්නකො. අපරාදෙ බෙහෙට්ටික අහක ඉතිං“
වගේ මොකක් හරි කියල නොදී යවනව. එහෙම නැත්තං ටැංකිය ගෙයි හංගල තියල
“ඔන්න ඊයෙ පියදාසයිය ඉල්ලං ගියා. ෂෙක් අම්ප ඊයෙ ආවනං ගිනියන්න තිබ්බ ඉල්ලුවහං නොදී බෑනෙ“
කියල වෙනිං කවුරුහරි ගෙනිච්ච විදිහට නොදී අරිනව. ඒ වගේම තමයි බෙහෙත් ගැහුවට පස්සෙ ටැංකිය හොඳට හෝදල, වේලල, පොම්පෙ ලෙදර් කෑල්ලට ඔයිල් ටිකක් එහෙම දාලා ගිහිං දෙන්න ඕනි. නැත්තං
“ආයිනං කිසියම්ම කිසි දවසක ඕකලට දෙන්නෑ ටැංකිය.“
කියලා ටැංකිය අයිතිකාරය වෙනිං මිනිස්සු එක්ක කියනවා. ඒ වගෙම තමා ආයි ඉල්ලුවට ටැංකිය හම්බුවෙන්නෙත් නෑ. ඒ අතරෙ සමහර ටැංකිහිමියො ටැංකිය දෙන්නෑ. එයාට කිව්වහම එයාම ඇවිල්ල ටැංකියෙං බෙහෙට්ටික ගහල දෙනවා. හැබැයි එයාගෙ දවසෙ කුලිය දෙන්න ඕනි. ඒක මේසන් බාස් කෙනෙක්ගෙ කුලිය තරම්ම ලොකු ගානක්.

ටැංකියක්
බෙහෙත් ගැහිල්ලෙං පස්සෙ එක වතාවක් හොඳට දලුත් ඇදෙනවා. මැරිච්ච තණකොළ ගස්වල සාරෙත් උරාගෙන. හැබැයි මේ හිංදා තේ ගහේ දළුවල අතරින් පතර වෙනස් විදිහෙ කොල හැදෙනවා. සාමාන්‍ය තේ දල්ලක කොලේට වඩා දිග, එයිං කාලක් විතර පළල කොල තියෙන දල්ලක් ගහක හැදිල තිවුනොත් ඉස්තිරේටම කියන්න පුලුවං
“මේ කෑල්ලට සර්පාස් ගහල තියෙන්නෙ“
කියලා.

බෙහෙත් ගැහිල්ල වගේ නෙමෙයි දලු කැඩිල්ල. ඒක සතියක් ගානෙ කෙරෙන්න ඕනි වැඩක් නෙ. තේ කොල විකුණන දැන්වීම් වල ඕන හැටියෙ තියෙනවා දලු කඩන විදිහ. හරියට කොල දෙකයි අරිම්බුවයි තියෙන්න තේ ගහෙන් උඩට මලක් වගේ මතුවෙලා “ඉඳා කඩාගනිං“ කියල ඉන්න තේ දල්ල මාලු ලැල්ලෙ විකුනන්න තියෙන දැල්ලංගෙ පාට රෝසම රෝස ඇඟිලි වලින් අල්ලල යන්තං අංශක තුනක් නමපු ගමං පුඩ් සිටියෙ තියෙන බෝංචි කරලක් කැඩෙනව වගේ “ටික්“ ගාල කැඩෙනව. දල්ලෙ අග තිවුන පිනි බිංදු කීපයක් හඳේ ගුරුත්වාකර්ශණයට අහුවුනා වගේ හිමීට පාවෙලා යනව. ආං එහෙමයි දලු කඩන්නෙ.හැබැයි ඒ මහ පොලොවෙ නෙමෙයි හඳේ.

දලු කඩන්න ඉගෙනගන්නවනං ඊට කලිං ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි. නැත්තං දලු කඩනවාට වඩා තේ ගස් උගුල්ලා දැමීම සිද්දවෙන්න පුලුවන්. තේ ගහේ දලු හැදෙන්නෙ වැවේ මානෙල් පිපෙනව වගේ කොලවලට වඩා උසින් නෙමෙයි. ගහේ කොලවල මට්ටමෙන්මයි. ඒ නිසා කොල නොකඩා දලු විතරක් තෝරලා කඩන්න ඕනැ. ඒකයි තවමත් දලු කඩන්න යන්ත්‍රයක් හරියාකාරව හදන්න බැරි. ටික දවසක් යනකං දල්ලෙන් දල්ල තෝරලා කඩන්න ගියහම දවසටම දලු කිලෝ දහයක්වත් කඩන්න බෑ. බලන්නකො මේ පින්තූරෙ. එතකොට තේරෙයි දලු කැඩිල්ල මොලේ කොලොප්පං වෙන වැඩක් කියලා.

මේ රතු පාටිං ලකුණු කරල තියෙන ඒවා තවම ඇදිල මදි. ඒවා කඩන්න හොඳ නෑ. නිල් පාට එක කඩන්න ඕනි. ඒක නියම ගානට ඇදිලා. හැබැයි ඒක කඩන්නෙ ගහේ මට්ටමට. එතකොට තමයි ඊළඟට දලු ඇදෙද්දි එක මට්ටමට ඇදෙන්නෙ. එතකොට කහපාට ඒවා? හොඳින් බැලුවොත් පෙනෙයි ඒවයෙ අරිම්බුව නෑ. ඒ කියන්නෙ මෙතනිං එහාට කොලයක් ඇදෙන්නෙ නෑ. එ් නිසා මේවා කඩලා අයින් කරන්නම ඕනි. හැබැයි මේවා මෝරලා නං කඩලා අහක දානව මිසක් දලු කවරෙට දාගන්නෙ නෑ. සාමාන්‍යෙයං දලු කඩන්නෙක් තප්පරේට දලු දෙකක්වත් කඩනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම කාරනාව තමයි මේවා කඩනවද? කඩන්නෙ කොතනින්ද? කඩල කවරෙට දානවද? අහක දානවද? කියන කාරණා හිතල තීරණය කරන්න තියෙන්නෙ තත්පරෙන් තුනෙං පංගුවක විතර කාලයයි. ආං ඒ හන්දා දළු කඩන කෙනාටත් වේගවත් මොළයක් තියෙන බව තේරුම් ගන්න ඕනි. ඒ වගේම තමයි තේ ගහේ අස්වැන්න තීරණය කරන තීරණාත්මක සාධකයක් වෙන්නෙත් දළු කඩන කෙනාගෙ “හොඳකම“.

තේ අක්කරයක් හමාරක් විතර තියෙන පවුලක නම් “මහ ජෝඩුවට“ පුළුවං ඉඩමෙ දළු ටික කඩාගෙන, නඩත්තු කරගන්න. නමුත් අක්කර දෙක තුනට වඩා තියෙනකොට “දළු කඩන අය“ හොයාගන්න වෙනවා. ඉස්සර නං අපේ ගමේ ඕන තරං දළු කඩන අය හිටියා. ඒ දවස්වල එතරං තේ ඉඩං තිවුනෙත් නෑ. නමුත් පස්සෙං පහු හැමතැනම තේ වැවිල්ල පටං ගනිද්දි  දළු කඩන අය මදිවුනා. ඒ හංදා කලිං “කියල තියන්න“ වුනා.
දළු කඩන අය අතරිං අපේ “දැතිහුලහ“ නැන්දයි, එයාගෙ මනුස්සයයි ඒ අවට ප්‍රසිද්ධයි. ඒ දෙන්නව හොයාගෙන හැන්දෑවට ඉඩං අයිතිකාරයො එනව. අපේ ගේ ගාව කන්ද උඩට ඇවිත් කෑගහනව. අපේ ගෙවල් මණ්ඩියෙ එක සන්නිවේදන ක්‍රමයක් තමයි කෑගැහිල්ල.
“පීසේන මල්ලී….. පීසේන මල්ලී…. චන්දරා නංගියේ….. චංදරා නංගියේ“
මෙහා කන්දෙ ඉඳං නැංදා උත්තර දෙනව
“ඕ ඕ රාලාමි අයියේ… මේ ඉන්නෝ….“
ආයිත් රාලහාමි මාමා කෑගහනව
“හෙට අපේ දළුටික කඩන්න ආවැක්ද දෙන්නටම. ඈ…“
නැංද උත්තර දෙනව
“හා හා… එන්නං එන්නං“
“ඔන්නෙහෙනං නොවරද්දම එන්න ඕනී. මයියනව එහෙනං“
පෝස්කාඩ්ඩෙක දැම්ම වගේ ඒ සංවාදෙං අපි හැමෝම දැනගන්නව හෙට “දැතිහුලස්“ ජෝඩුව දළු කඩන්න යන්නෙ රාලාමිගෙ කියල.
ඔන්න ආයි ටිකකිං කන්ද උඩිං ආයිමත් කෙනෙක් කතා කරනව ඇහෙනවා.
“පියසේන….. පියසේන…….“
ඒ ඇහෙන්නෙ කනත්තෙ පත්මසිරි මහත්තයගෙ කටහඬ. එයාගෙ සද්දෙ නැන්දලගෙ ගෙදෙට්ට ඇහෙන්න තරං ප්‍රබල නෑ. ඒ හංදා මට මැදිහත් වෙන්න සිද්දවෙනවා. පත්මසිරි මහත්තයගෙ සද්දෙ රතු පාටයි, නැංදගෙ සද්දෙ නිල් පාටයි, මගේ සද්දෙ කොලපාටයි.
“නැංදේ….. නැංදේ…. මෙන්න කවුද කතාකොන්නෝ…..“

“කවුදෑඈ..“

“මම් මම් මේ මං“

“ඈ……“

 “කනත්තෙ පත්නසිරි මහත්තෙයා“

“ආ…. මට ඇහුන්නෑනෙ“

“හෙට අපේ ගෙදර වත්තේ දළු ටික කඩලා දෙන්න එන්න පුළුවන් වෙයිද?“

“හෙට ඒගොල්ලංගෙ දළු කඩල දෙන්න එන්න පුලුවංද අහනව“

“දෙන්නටම කියන්න“

“දෙන්නටමලුඌ“

“හා හා…. එන්නං එන්නං.. අපි දෙන්නම එන්නං“

නැංද වැඩේ බාරගන්නවා. පහුවදා උදේ නැංදයි මාමයි අපේ මිදුල උඩිං යනගමං අපෙ අම්මට කතාකරගෙන යනව.

“ජයක්කේ……. ජයක්කේ……. අපි කුසුංසිරි අයියෑ දලුඩිංග කඩාදෙන්න යනව. චූටිට කියන්න ඉස්කෝලෙ ඇරුනහං පොඩි චූටිවත් එක්කං එහෙට එන්න කියල“

“ඈ මැණිකො උඹල ඊයෙ කනත්තෙ මහත්තයටයි, රාලාමිටයි දෙන්නටම පොරොන්දූනා නේද අද දලු කඩා දෙන්න එන්නං කියල?“

 “අද උදේ එලිය වැටෙන්න කලිං කුසුංසිරි අයිය ඇහිල්ල කිව්ව දල්ටික දඩා දෙන්න එන්නම කියල. ඉතිං නොගිහිං හරිනෑනෙ. “
ඒ දෙන්නට කෑම බීම හදාගෙන, කහට උණුකරගෙන දලු ගෝනි තුනකුත් අරගෙන රාලහාමි මාමා තමුංගෙ ඉඩමට වෙලා ඉන්දැද්දි, පත්මසිරි මහත්තයගෙ නෝනත් ඒ දෙන්නට කෑම බීම හදාගෙන බලං ඉන්නව. අන්තිමට ඒ සේරමත් අහක විසි කරන්න වෙනව. එදා හවසටත් ආපහු ඉඩං හිමියො ඇවිත් කන්ද උඩ ඉඳං කතා කරනවා. රාලහාමිටයි, කනත්තෙ මහත්තයටයි ලැබෙන්නෙ මෙහෙම උත්තර
“මගෙ කකුලෙ උලක් ඇනිල අද දවසෙම ගෙදර හිටියෙ. ඒකයි ආවෙ නැත්තෙ නෙවැරදීම හෙට එන්නං.“
“මේ චූටිට උනක් හැදිල ඉස්සිතාලෙ ගියා බෙහෙග්ගේන්න. හෙට එන්නං.“

ඔය විදිහට මාසයකට වැඩිම ආපදා ගණනකට ලක්වෙන පවුල හැටියට ගිනස් වාර්තා පොතට යන්න තරං හැකියාවක් “දැතිහුලස්“ පවුලට තියෙනවා.
අන්තිමට තවත් දවස් දෙකකට විතර පස්සෙ තමයි ඒ දෙන්න රාලහාමිගෙත්, පත්මසිරි මහත්තයගෙත් දළු කඩන්න යන්නෙ. එතකොට දළු කොල දෙකහමාර වෙනුවට අඩි දෙකහමාරක් තරං උසට ඇදිලා. පුංචි කොලේ ගාවින් කැඩුවොත් සමහර දළුවල කොල හතරටත් එහා. ඒ නිසා අතට පහසු හරියෙං කඩල දානව. ඉතුරු ටික ගහේ තියෙන්න අරිනවා. රාලහාමි ළඟම හිටියොත් විතරක් ඒ කොටස කඩල දානවා. අන්තිමට දළු වෙනුවට අතු වගේ ජාතියක් පැට්ටේරියට යැවෙනවා. තේ කෑලිවල දලු කඩන වාර ගාන මාසෙට දෙපාරක් හෝ තුං පාරක් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු දෙකෙං තේ ගස් කරවටක් උස් වෙනවා.
දලු කඩන අයගෙ ප්‍රධාන හතුරා තමයි කූඩැල්ලා. වැස්සක් ඇතොත් නිමක් නැති පෑව්වොත් පොඩ්ඩක් අඩු වෙන කූඩැල්ලො නිසා තේ ඉඩමකට ඇතුල්වෙන කෙනෙක් ආපහු ඒකෙං පිටවෙන්නෙ පිහි ඇනුමකට ලක්වෙච්ච කෙනෙක් වගේ ලේ පෙරාගෙන. සමහරු ලුණු වතුර, නිල් සබං ආදිය ඇඟේ ගාගෙන යන්නෙ ඒවා කූඩැල්ලට විසයි කියන හින්දයි. ඒ වුනත් කූඩැල්ලංගෙ බේරිලා තේ ඉඩමකට ගිහිං ආපු කෙනෙක් මම තාමත් දැකලා නෑ. කකුල දිගේ නැගගෙන යන කූඩැල්ලා ඔබේ ඇඟේ ඔබට හිතාගන්න පුලුවං ඕනිම අස්සක රිංගලා කන්න පුලුවං. එක වැහි දවසක මගේ කටේ උඩුතල්ලෙත් කූඩැල්ලෙක් හිටියා. ඕනිම කූඩැල්ලෙක් අතිං අරං දාන්න අපේ ගමේ මිනිස්සුන්ට පුලුවං. කූඩැල්ලා අපිට හිරිකිත සතෙක් නෙමෙයි. ඒ වුනත් චාරිත්‍රයක් වසයෙං නිල් සබං කැල්ලක් හරි සල්ලයිට් කෑල්ලක් හරි දලු කඩන අයගෙ කවරෙ තියෙනවමයි.

 

දලු කඩන්න යද්දි ඇඳං යන ඇඳුමෙන් දළු කඩන්න බෑ. ඇඳුං සවුත්තු වෙනවා. ඒ නිසා  ඒකට වෙනමම “හඩු ඇඳුමක්“ දළු කඩන අය ගාව තියෙනවා. බොහෝවිට මේවා ගෙදරට ඇඳලත් අහක විසි කරන “පාංකඩ“ වර්ගයේ, වැරහැලි වෙලා ඉරිලා ගිය කුණු තට්ටු කීපයකින් වැහිච්ච සුගන්ධවත් ගොමස්කඩ විශේෂයක්. තව ඉටිරෙදි කීපයකුත් කොහු ලණුවකුත් ගෙනියන්නේ වතුරෙන් බේරෙන්න. එයින් එකක් ඉන වටේට ඇඳගන්නවා. තේ ගස්වල තියෙන පින්නෙන් තෙතබරි වීමෙන් වලකින්න. තව එකක් වැස්ස වෙලාවට ඔලුවෙ හිටං වැහෙන්න කුල්ලක් වගේ හදලා දාගන්නවා. මේ කොයිකත් ඇඟට තියල ගැටගහගන්නෙ කොහු ලණුවෙන්.

“උඩරට කඳුකර සිරියා පරදන“ ලඳුන් හොඳ ලස්සන වේවැල් කූඩයකට දලු කැඩුවට ඇත්තටම දලු කඩන්නේ කවරෙකට. පෝර දාපු කවරයක් හෝදලා අරගෙන ඒක ඔලුවෙ දාගන්න රෙදි පටියක් හරි ලනුවක් හරි දාගත්තම දළු කඩන්න කවරයක් හදාගන්න පුලුවන්.
දළු කඩන අයගෙ ප්‍රධාන බයිට් එක තමයි බුලත්විට. ගෙවල්වලට ගේන කිරිපිටි පැකැට් එකකින් හදාගන්න “විට මල්ල“ දුංකල ඉරුවක්, බුලත් කොළ අටක් දහයක්, හතරට පලාපු පුවක් ගෙඩ්ඩක් දෙකක්, හුණු පැකැට් බාගයක් ආදියෙං පුරවපු වතුර නොවදින්න හොඳින් නවපු වටිනා දෙයක්. දළු කඩන අයගෙ කටේ බුලත් විටක් නැත්තෙ ඒ අයගේ  ප්‍රධාන පානය වන “කහට“ බොන වෙලාවටත්, ප්‍රධාන ආහාරය වන “සොටි“ හරි “පාං“ හරි කන වෙලාවටත් විතරයි.
http://www.laurelleaffarm.com/item-photos/big-old-tinned-copper-tea-kettle-vintage-Revere-Laurel-Leaf-Farm-item-no-w42449t.jpg
මෙන්න මෙහෙම පෝච්චියක් පුරවලා තේ කහට ගෙනිච්චොත් යංතං දෙන්නෙක්ට ඇති.
කවරයක් පිරෙන්න දලු කැඩුවයින් පස්සෙ ඒ ටික ගෙනත් ඉඩමෙ තියෙන පැලේ බිම ඉටිකොලයක් උඩට හලනවා. එහෙම හලන හැම සැරයකම අල්ලට හලාගන්න සීනි ටිකක් එක්ක කහට පොල් කට්ටක් හිස් කරලා බුලත්විටක් කටේ ඔබාගත්තම ඊළඟ “දළු මඩියට“ බලය, ජවය, ශක්තිය ලැබෙනවා. උදේ හතට විතර පටන්ගන්න මේ රස්සාව හවස තුන විතර වෙද්දි අවසන් වෙනවා. ඒ හංදා දළු කඩන අය දවල්ට කන්නේ ගෙදර ගිහිං.

දළු කඩන අයට ගෙවන්නෙ දවස් කුලිය. නැත්නම් කඩන දළු කිලෝ ගානට. දවස් කුලියට නං දැන් දවසට රුපියල් පන්සීයක් විතර ලැබෙනවා. එතකොට දළු කඩන කෙනාට ටාගට් නෑ. ඒ නිසා කඩන දළු ප්‍රමාණය කිලෝ දහ අටක් විස්සක් විතර වෙනවා. හැබැයි වැඩේ පිලිවෙලට කෙරෙනවා. කිලෝ ගානට කඩන කෙනාගෙ අරමුණ කඩන දළු කිලෝ ගාන වැඩිකර ගැනීමයි. ඒ හිංදා එක පොකුරට අහුවෙන තරමක් දළු බුරුතු පිටිං කඩලා තේ ගහ හූරලා ඉදලක් වගේ කරන්නත්, ආයි සති දෙකකටවත් දල්ලක් ඇහැට නොදකින්න වැඩ සිද්ද කරන්නත් ඒ අය රුසියෝ.

මේ කොහොම වැඩ කලත් දළු කඩන කෙනෙක්ට දවසට ලැබෙන උපරිම වැටුප රුපියල් හත්සීයට අඩුයි. බහුතරයක් දෙනාට තවම ලැබෙන්නෙ රුපියල් පන්සීයකට අඩු ගානක්. ඒ එක්කම බෝනස් හැටියට මෝරපු දළු වලට පැලිලා කළු වෙලා ගොරෝසු වුන ඇඟිලිත්, බුලත් කහටට කළු වෙලා වලවල් හෑරුණු දතුත්, දළු කවරෙ එල්ලගෙන ඉඳලා හැදුනු කොන්දෙ අමාරුවත් හැමෝටම අඩු නැතුව ලැබෙනවා.

සියලු හිමිකම් බ්ලොග්කරු සතුය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල