කාලීන සංවාද

චීනයේ පෞද්ගලික දේපළ තිබේද?

Off

අපගේ චීන සංචාරයේ දී විශාල මාධ්‍ය ආයතන (CCTV, Shinhua Radio, CRI) නැරඹීමට යන විට අපගේ දේශීය මාධ්‍යවේදීන් අදාළ ආයතනවල ප්‍රචාරක නිලධාරීන්ගේ අවධානයට ලක් කරන ලද ප්‍රධාන ප්‍රශ්නයක් මෙසේය. “මේ ආයතන අයිති රජයටද? නැත්නම් පුද්ගලික අංශයටද?” ඔවුන්ගෙන් හැම විටම ලැබුණේ එකම උත්තරයකි.“දෙකටම” (Both) මේ උත්තරය කෙනකුගේ සිහිය අවුල් කරනසුලු උත්තරයකි.
පසුගිය දිනෙක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වූ කට වැරැදීමකින් ඉහත ප්‍රශ්නයට උත්තරයක් සොයාගත හැකිය. වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මාක්ස්වාදී ධර්මයෙන් තවදුරටත් ඉදිරියට යන්න බැරි හින්ද චීනයට අලුත් මාර්ගයක් (හරියට ලංකාවට විවෘත ආර්ථිකය ජේ.ආර්. හඳුන්වා දුන්න වගේ) ඩෙන්ග් ෂියා ඕ පිං විසින් හඳුන්වා දුන්නා. ඒ තමයි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය.

මාක්ස්වාදය යනු ධනවාදී සමාජ ක්‍රමය ක්‍රියාත්මක වන විධි ක්‍රමය ගැන වූ සූත්‍රයකි. එබැවින් ධනවාදී සමාජ ක්‍රමය මේ ලෝකයේ පවතිනතුරු මාක්ස්වාදයේ පැවැත්මට කිසිවකුට අභියෝග කළ නොහැකිය.

නමුත් ගැටලුව වන්නේ මාක්ස් විසින් ධනවාදය අබිබවා යන ආකාරය ගැන පුරෝකථනය කළ ආකාරය වැරැදී යාමයි. රනිල් වික්‍රමසිංහ මහතා න්‍යායිකව මෙම අන්ත දෙක පටලවා ගනියි.

චීනය තුළ අවසන් වී ඇත්තේ සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය නොවේ (එපමණක් නොව භූදේශපාලනික උපායික මෙහෙයුම් සිට ජාතික මට්ටමේ සැලසුම් දක්වා තවමත් ඔවුන් යොදා ගන්නේ මාක්ස්වාදයයි. චීනය තුළ අවසන් වී ඇත්තේ නූතනකරණයට අදාළ කරගත් බටහිර සමාජ මාදිලියේ යුතෝපියාවයි. සංක්ෂිප්තව කිවහොත් චීනය තුළ අවසන් වී ඇත්තේ බටහිර යුතෝපියාවයි (මෙහි දී අප ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩු ක්‍රමයක් ලෙස වරදවා වටහා ගත යුතු නැත. ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය තුළ නගර සභාවට පාලකයන් පත් කර ගත්තේ ලොතරැයි ක්‍රමයකටය.

එ බැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු අනෙකාගේ අදහස්වලට තිබිය යුතු විවෘතභාවයයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු සම්භාෂණීය අනෙකකු සමඟ විවාද කිරීමේ කලාවකි). දැනට ඇති වී ඇති විවාදයේ ප්‍රධාන අක්ෂය වන්නේ චීනයේ ඇති වී ඇත්තේ නව සභ්‍යත්වයක්ද? නැතහොත් බටහිර දේශපාලන යුතෝපියාවත් අතහැර දැමූ ධනේශ්වර සංවර්ධනයක්ද යන්නය. සමහර බුද්ධිමතුන්ට අනුව චීනයේ හටගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ධනේශ්වර වර්ධනයකි. වාම බුද්ධිමතුන් කිහිප දෙනකු චීනයේ මෙම සංවර්ධනය මාදිලිය හඳුන්වා ඇත්තේ ආසියාතික ඇගැයුම් පද්ධතියක් සහිත ධනවාදය ලෙසිනි. (ආන්ද්‍රෝ ෆැන්ඩර් ෆ්‍රෑන්ස් චීනයේ දේශපාලන – ආර්ථිකය ගැන වෙනම අර්ථකථනයක් කරයි)
මේ ලිපිය මුල සටහන් කළ ප්‍රශ්නයට එක එල්ලේ උත්තරයක් දෙන්නේ නම් චීනයේ පෞද්ගලික දේපළ නැත. මන්ද, නෛතික වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් දෙයක් චීනයේ නොපවතින නිසාය. එහි ඇත්තේ සාමූහික දේපළය. නමුත් චීනය තුළ සංවර්ධනය වන්නේ ධනවාදී සමාජ සම්බන්ධකම්ය. යම් සමාජයක් ධනවාදී වන්නේ (මාක්ස්වාදී න්‍යායට අනුව) ශ්‍රමය හුවමාරු වටිනාකමක් වීමෙන් අනතුරුවය. මේ අර්ථයෙන් චීනය ධනවාදීය. නමුත් චීනයේ ‘රාජ්‍යය’ ධනවාදීද? ඇලන් බදියු නම් ප්‍රංශ දාර්ශනිකයාට අනුව චීනයේ සංස්කෘතික විප්ලවයට පසු තහවුරු වූයේ ධනවාදයයි.

ෆුකුයාමාවාදීන් තර්ක කරන මාදිලියේ ඉතිහාසය අවසන් වීමක් චීනයේ සිදු වී ඇත. එහි එක්තරා ඓතිහාසික මාදිලියක් අවසන් වී ඇත. චීනය තුළ විප්ලවවාදී දේශපාලනය අවසන් වී ඇත්තේ ද නැත. චීනය තුළ අවසන්ව ඇත්තේ ධනවාදය විසින් මතු කරන සමාජ ආර්ථික ගැටලුවලට 20 වන සියවසේ දී සමාජවාදී චින්තන සම්ප්‍රදායන් දුන් පිළිතුරු සමූහයයි. එරික් හොබ්ස්බොම් වරක් ප්‍රකාශ කළ පරිදි සැබැවින්ම 20 වන සියවස අවසන් වීමට පෙර එය 1989 දී මිය ගියේය. ඉන් පසු අප ගත කළ, කරන්නේ මිදුණු කාලය තුළ අයිස් බවට පත් වූ අවකාශයන් තුළය. මෙම අර්ථයෙන් ගත් විට නූතනත්වය අවසන් වී පශ්චාත් – නූතනත්වයට අප ඇතුල් වී ඇත. පශ්චාත් – නූතනත්වය යනු ප්‍රාංශුවා ලියෝතා වරක් ප්‍රකාශ කළ පරිදි ඔරලෝසුව නැවතී අවකාශ යළි යළිත් ප්‍රතිසංවිධානය වීමයි. රාජපක්ෂ යුගයේ දී කොළඹ පැවැති පන්ති පස මිතුරුතාවට කිසිවක් සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ චීන ප්‍රාග්ධනය හරහා කොළඹ නගරයේ අවකාශීය ගොඩනැංවීම් යළි යළිත් ප්‍රතිව්‍යුහගත වීමයි. සමාජ – ආර්ථික තලයේ පවතින ගැටලුවක් ගෝඨාභය හරහා අවකාශය සෞන්දර්යකරණය කිරීමේ කලාවක් බවට පත් විය. ගැටලුව විසඳීම හමුදාවට සහ ශෘහ නිර්මාණ ශිල්පීන්ට මැදිහත් වීමට සිදු වූයේ මේ නිසාය.

චීනයේ දී සිදු වන්නේ මෙවැන්නක් නොවේ. එහි සිදු වන්නේ නගර නිර්මාණය මිස අවකාශය අලංකාරය නොවේ.

අද වැනි ගෝලීය ආර්ථිකයක් ක්‍රියාකාරී වන යුගයක ‘විප්ලවය’ යනු සමාජීය දේශපාලනයේ නව ඓතිහාසික ආකෘතියකි. මෙය නොදැනුවත්ව නික් බීම්ස් විසින් ට්‍රොට්ස්කිවාදය සමතික්‍රමණය කරමින් නව ඓතිහාසික රාමුවක් යෝජනා කරනු ලබයි. ඔහුට අනුව ගෝලීය ප්‍රාග්ධනය රජ කරන යුගයක ජාතික ආර්ථිකය තුළ රැඳුණු කම්කරු පන්තියක් අන්තර්ජාතික රාමුවක් තුළ වෘත්තීය අයිතිවාසිකම් හරහා විඥානය වර්ධනය කිරීම ඉතිහාසයේ අප මෙතෙක් අත්දුටුවේ නැති අභියෝගයකි. නවසිය විසිගණන්වල දී ලෙනින් ජර්මානු මාක්ස්වාදීන්ට ඉදිරි දර්ශනයක් යෝජනා කරද්දී ඔහුට හමු වූයේ කම්කරු පන්තියේ වෘත්තීය සමිති ව්‍යාපාරය නොව ජර්මානු ෆැසිස්ට් සංවිධාන සෛල ය. ජර්මානු කම්කරුවා එම මංසන්ධියේ දී තෝරා ගත්තේ ෆැසිස්ට් අධ්‍යාත්මය මිස අන්තර්ජාතික සහයෝගීතාව නොවේ. සරලව කිවහොත් ලෙනින්ට සම්මුඛ වූ නව ඓතිහාසික තත්ත්වය සූත්‍රගත කිරීමට නොහැකි විය. අවසාන වශයෙන් එම ඓතිහාසික තත්ත්වය සූත්‍රගත වූයේ 93 වර්ෂයේ දී ස්ලාවොජ් ජිජැක් හරහා Enjoy Your
Nation as Yourself ! (ඔබ ජාතිය ඔබ මෙන් සලකා විනෝද වන්න – වෙනත් ආකාරයකට කියන්නේ නම් දේශපාලනයට වේදනාවෙන් සතුටු වන අඳුරු පැත්තක් ඇත යන මානය එනම් මිනිසුන් නිශේධනය සමඟ තාවර (රස්තියාදු වන්නේ) මන්ද?) යන ලිපියෙනි. ඒ සඳහා වසර 70ක දීර්ඝ කාලයක් ගත විය.

සෝවියට් දේශය නම් දේශපාලන ඒකකය තනිව සලකා බැලූ විට එහි ඇති ඉතිහාසයට හාත්පසින් වෙනස් ඉතිහාසයක් චීන ජනරජයට ඇත. මාඕ විසින් සිදු කරන ලද සංස්කෘතික විප්ලවය හරහා සෝවියට් ස්ටැලින්වාදී දෘෂ්ටිවාදයෙන් චීනය ගැලවී ගියේය. විප්ලවය නිලධාරිවාදය තුළ ස්ටාලින් විනාශ කලා යන ට්‍රොට්ස්කිගේ සූත්‍රය චීන කොමියුනිස්ට් පක්ෂයේ හිසට ගැළපෙන්නේ නැත. මාඕගේ භාෂාවෙන් කිවහොත් ඔවුන්ට රුසියානු සපත්තුව ලොකුය. අනෙක් අතට රුසියානු කොමියුනිස්ට් පක්ෂයට වෙනස්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට ඇත්තේ වෙනත් ඉතිහාසයකි. ස්ටාලින් මෙන් නොව මාඕ විසින් පක්ෂ නායකත්වයේ මැද මට්ටම ගම්වලට යවා ගැමියා සමඟ දේශපාලන සංවාදයක් ආරම්භ කළ නිසා පක්ෂය සහ සමාජය අතර පරතරය චීනයේ දී සහමුලින්ම වෙනස් ඓතිහාසික මානයක සිර වී තිබුණේය. සෝවියට් දේශයේ දී පෙරස්ත්‍රොයිකාව හරහා දේශපාලන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන විට චීනය විසින් ආරම්භ කරනු ලැබුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකි. (කුඩා ශරීරයක් තිබෙන නිසාම කුඩා චින්තනයක් නඩත්තු කරන කුමුදු කුසුම් කුමාර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය, ක්‍රියාවලිය ගැන නොදැන ‘සමබිම’ අතිරේකයට බයිලා ගසයි. ඔහුට අනුව කොමියුනිස්ට් චීනය ඒකාධිපතිය. ඇමෙරිකානු පශ්චාත් – කාර්මික සමාජ සංවිධානය තුළ කළු ජාතිකයකුගෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ගැන අහගන්න.)

1989ට පසු චීනයට හමු වූ ඓතිහාසික මානයේ අසමසම අපූර්වත්වය සඳහා අප නික් බීම්ස් වෙත හැරෙමු. (චීනය පශ්චාත් – ට්‍රොට්ස්කිවාදියකුගෙන් තමන්ගේ දේශපාලන වැඩසටහන අවිඥානිකව වටහා ගැනීම)

“ජාතික භූමියට ගැට ගැසුණු නිෂ්පාදනීය ප්‍රාග්ධනයට එය පිහිටා තිබූ ස්ථානය කරා ශ්‍රමය අද්දා ගැනීමට සිදු විය. දැන් නිෂ්පාදන ප්‍රාග්ධනයට (මේ මොහොතේ නම් අන්තර්ජාතික මූල්‍ය ප්‍රාග්ධනය – ලියන්නාගේ අවධාරණය) එහි වියදම් ව්‍යුහය (සබඳතා) අවම කරගැනීම පිණිස ලෝකය වටා ගමන් කළ හැකි ව තිබේ.

ඇත්ත වශයෙන්ම ලාභ ශ්‍රමය පිළිබඳ කතාන්දරයට වඩා වැඩි දේවල් සමඟ මෙය වෙළී තිබේ…

නිෂ්පාදන ප්‍රාග්ධනය කොතැනක ස්ථානගත කරනවාද යන්න නිර්ණය කිරීමේලා, ශ්‍රමයේ සාපේක්ෂ ලාභදායී බවට වඩා අමතරව තවත් බොහෝ සාධක බලපායි.”
(නිෂ්පාදනයේ භූගෝලීකරණය – පිටුව 50)

ගැටලුව වන්නේ මොනවාද මෙම සාධක යන්න සහ ඒවා දේශපාලනිකකරණය කරන්නේ කෙසේද යන්නය. චීනය අලුත් ගමන ආරම්භ කරන්නේ මෙතැනට පසුවය. පළමුව එය පශ්චාත් – ට්‍රොට්ස්කිවාදී ස්ථාවරයකි. දෙවනුව එය නූතන ධනවාදයේ ආර්ථික ප්ලග් පොයින්ට් එක නොව සංස්කෘතික ප්ලග් පොයින්ට් එකට සම්බන්ධය. මින් කියවෙන්නේ 21 වන සියවසේ ධනවාදයට ඇත්තේ ආර්ථික මානයක් නොව ආධ්‍යාත්මික මානයක් යන්නය. මාඕ නැවත – කියවීම වැදගත් වන්නේ මෙතැනදීය. ධනවාදයේ ආධ්‍යාත්මික ගොදුරු සෙවීමට අප යා යුත්තේ ඇපල් ෆැක්ටරියට නොව Facebook, Google,Gmail කරාය.

– දීප්ති කුමාර ගුණරත්න

 

උපුටා ගැනීම – සත්හඬ 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල