අතීතකාමය

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

2

හුරුපුරුදු ගම්පලාතේ මිනිහෙක් දුර ඈත නුපුරුදු ගෙන්දගම් පොළවට පය ගහපු අලුතම හම්බුනාම කාට වුනත් සතුටක් දැනෙන්නේය.
කොළඹට නුදුරු කුඩා නගරයකදී මට හමු වූ අපේ ගම් පලාතේ කරණවෑමියා නිසා මටද එවැනි හැඟීමක් දැනුණි .
ඒ මදිවාට මා ආසා කළ එළවලු වගාව, බෝංචි කෝටු කැපීම, තක්කාලි පෙට්ටි උස්සා ගෙන යෑම ආදිය ගම ගැන කියද්දී  ඔහු නිරතුරු මතක් කළ නිසා මම ඔහුගේ සැලුනයට යන්නට එන්නට  පටන් ගත්තේ මීට අවුරුදු පහළවකට පමණ පෙරය.

එම කඩ මණ්ඩියේ තිබූ බාබර් සාප්පු තුන අතරින් සෙනග අඩුවෙන්ම ගැවසුනේ ඔහුගේ සාප්පුවේය. වාහනය නවත්තන්න එතන ඉඩක්ද තිබුනෙන් පෝලිමේ ඉන්නත් ඕනෑ නැති නිසා මම කෙළින්ම ගියේ ඔහු ළඟටය. සති තුන හතරකට වරක් කොණ්ඩය වැවී තිබ්බත් නැතත් ඒ සැලුනයට ගොස් කොණ්ඩය හෝ රැවුල තරමක් ට්‍රිම් කරවාගෙන ගම රට තොරතුරු කතා කර එන්නට මම කැමැත්තෙන් සිටියෙමි. ඒ ගමේ කමටය.

ඒත් මේ මනුස්සයා මෙලෝ රහක් නැති කරණවෑමියෙක් බව මම හොඳින්ම දැනගෙන සිටියෙමි. ඔහුගේ උපකරණ නිසි පිළිවෙලට නඩත්තු කරන්නේ  නැත. කරට දමන සාලුව බොහෝවිට අපිරිසිදුය. මට වුවමනා ගානට කොණ්ඩය කප්පවා ගන්නට සැමවිටම ඔහුට කියලා දෙන්නට ඕනෑය. ඇතැම් විට ඔහු වෙත යෑම මට නොරිසි වුනත් මට තිබුණු කාල වේලා අර්බුදයත්  නිසා එතැනින්ම කොණ්ඩය  කපා ගැනිම පහසු විය.

ඔහු පත්තර කිහිපයක් මිලදි ගත්තේය. රටේ දේශපාලනය ගැන ටක්කෙටම දැනගෙන සිටියේය. රට හදන හැටි ගැන කීවේය. ගම්දොර, රටතොට සිදුවන අපරාධ, මිනීමැරුම්, සොර මැරකම් මෙන්ම දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා ගැන ආවේගයෙන් කථා කළේය.
මෙවන් අවස්ථාවල මට මතක් වුනේ 1988 විතර නුවරදී මට හමු වූ බාබර් උන්නැහේය. කැම්පස් එකේ ස්ට්‍රයික් හා රට තොට විස්තර දැන සිටි ඒ බාබර් තරම් මේ බාබර් සන්සුන් මනසක් ඇත්තෙක් නොවීය.

මේ අතර අපේ කරණවෑමි තැන නිතරම ආර්ථික අපහසුකම් ගැන ආඩපාලි කීවේය. දවසක් හැන්දෑ වෙලාවක කොණ්ඩය කපද්දී බ්‍රවුන්පේපර් කවරයක්  දැමූ එක්සයිස් පොතක් අතින් ගත් අයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටියේය. කරණවෑමි තැන වහාම කොණ්ඩය කැපිල්ල නවතා ලාච්චුව ඇද රුපියල් දෙසියක් ඔහුට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන පිට වී ගියේය.

මගේ කුහුල තේරුම් ගත් කරණවෑමි තැන මට ඒ සිද්ධිය පැහැදිලි කර දුන්නේය.

“මේකනෙ මහත්තයෝ මේ රටේ අපි වගේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට ඔලුව උස්සන්න බෑ. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්ණ. ඔය එන්නේ පොලීකාරයා. දවස්පතා පොලිය ගෙවන පොරොන්දුවට මම සල්ලි අරන් තියෙනවා. ගිනි පොලී. මේ ටවුමෙ මං වගේ බර ගානක් ඉන්නවා දවස් පොලී ගෙවන.”

කෙසේ වතුදු කල් යාමේදී මගේ දුරබැහැර හා රටින් පිට රස්සා කිරීම නිසා ඔහු හමු වීම අඩු වී ගිය ද නිවාඩුවට ආ විටත් මම ඔහු දැක බලා එන්නට ගියෙමි.
එවන් එක්තරා දිනෙක මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි.

මේ සිද්ධියෙන් පසු මට එතැනට යන්නට පිරියක් නොවීය.

ඊළඟ වතාවේ මම කොණ්ඩය කපන්නට තෝරා ගත්තේ තරමක් ඈතින් පිහිටි හුරුබුහුටි කුඩා සැලුනයකි. එහි සිටියේද එකම එක කරණවෑමියෙකි. මා යද්දීත් වෙන කිසිවෙක් කොණ්ඩය කැපීමට සිටියේ නැති නිසා අසුන පිස දැමීමෙන් පසු මට වාඩිවෙන්නැයි ඇරයුම් කළ ඔහු වචනයක් දෙකක් මට කතා කළේය. කොණ්ඩය කපන්නට කැමති විදිහ විචාලේය. කතුර අල්ලන විලාසයෙන්ම ඔහුගේ කාරියට  හුරුබුහුටි කමක්  ඇතිවග මට තේරිණි.  කොණ්ඩය කලබලයකින් තොරව හීන් සැරේ කපද්දී මේ ප්‍රියමනාප මිනිසා කතා කරන්නට පටං ගත්තේ ඒ වනවිට  නගරයෙන් ඇසෙමින් තිබු  ලවුඩ්ස්පීකර් නිවේදනයක් අරබයාය. ඒ මහා සංගීත සංදර්ශනයක් ගැනය.

“මේ මොන සංගීතද මහත්තයෝ අපේ පලාතෙනෙ ඉස්සර සංගීත සංදර්ශන තිබ්බෙ. මැණික් කාරයෝ ගෙන්වන්නේ හොඳම ගායකයෝ. ජෝතිපාල, එඩ්වර්ඩ්, ටී. ඇම් වගේ අය. ආයෙ නෑ ඒ කාලෙ අපි බයිසිකල් පැදගෙන කිලෝමීටර් පණහ හැට යනව සංගිත සංදර්ශන හොයාගෙන.”

“එතකොට ඔහේගෙත් ගම් පලාත මෙහෙ නෙවෙයිනෙ. මෙහෙට ආවෙ කොහොමද?”

මගේ ප්‍රශ්ණයට ඔහු සවිස්තර පිළිතුරක් ලබා දුන්නේය.

“මම සබරගමු පලාතේ. මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා පැල්මඩුල්ලේ. ඉතිං වැඩේ හොඳට ගියා.”

“ඉතිං?”

“පස්සේ මම කොළඹ ආ වෙලාවක අපේ නෝනා හම්බුනානේ. එයාගේ ගෙවල් මේ ළඟපාත. කාලයක් ආශ්‍රය කරලා පෙම් හබ විසඳිලා අපි කසාද බැන්දනෙ. මයෙ ගාව තිබ්බ සල්ලිවලින්  පොඩි තැනක් කුලියට අරං සැලුන් එකක් දැම්මා.”

“ඉතිං මේකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද?”

“අපෝ පුළුවන් මහත්තයෝ මම දවසකට තුන් හාරදහක් හම්බ කරනවා. හොඳට කාල බීල ඉන්නවා.”

මම ඔහුගේ සැලුනය හාත්පස බැලීමි. සරල පිරිසිදු තැනක් වූ එහි අමුත්තකට තිබුනේ පත්තර කිසිවක් නැතිවීමයි.
“මේ සැලුන් එකට පත්තර ගේන්නැද්ද?” මම ඇසුවෙමි.

“නෑ මහත්තයෝ”

එවිට මා දුටුවේ පොතක් අතින් ගත් පුද්ගලයෙක් ඔහුගේ දොරකඩ සිටගෙන සිටින අයුරුය.
අපේ අලුත් කරණයවෑමියාද ලාච්චුව ඇර රුපියල් දාහේ කොලයක් රැගෙන ගොස් අමුත්තාට දුන්නේය. අමුත්තා එය පොතේ ලියාගෙන තව කුවිතාන්සියක්ද නිකුත් කලේය. ඔය කිව්වාට මේ බාබරුත් පොලියට සල්ලි ඇරන් රන් එක දෙන කෙනෙක් කියා මම සිතුවෙමි.
කුහුල නිසාම මම ඔහුගෙන් ඒ කවුදැයි ඇසුවෙමි. ඒ අතරේ ඔහු ගෙනා රිසිට්පත මා ඉදිරියේ වූ ලාච්චුවට රුවද්දී එය ප්‍රසිද්ද  පුද්ගලික බැංකුවක  මුදල් තැන්පතු කොළයක් බව මට පැහැදිලිවම පෙණිනි.

“මේකනේ මහත්තයෝ මම දවසක් බැංකුවට ගිහින් කතා කරා මට දවස්පතා හම්බවෙන ගානින් කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් කියලා. ඉතිං එතකොට තමයි දැනගත්තේ බැංකුවෙන් කෙනෙක්  කඩවලට ඇවිල්ලම ඒ වගේ තැන්පතු එකතු කරගෙන යන පිළිවෙලක් තියෙනවා කියලා. ඔය ඒ මහත්තයා. මම විතරක් නෙමෙයි මේ පේලියේ තව කීප දෙනෙක්ම දවස්පතා සල්ලි ඉතිරි කරනවා ඔය විදිහට.”

ඔහු කීවේ තෘප්තිමත් සිනහවක් වත දවටාගෙනය.

මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වුයේ කෙසේදැයි හොයන්නට මම මේ දවස්වලටියුෂන් යමින් සිටිමි.

තිලක සිත

http://thilakasitha.blogspot.co.uk/2016/09/blog-post_28.html

Related Posts

2 Comments

  1. Nelumyaya_A October 6, 2016 at 5:32 pm - 

    මේක මරු ආසාවෙන් කියෙව්වා අජියෝ

  2. editor October 9, 2016 at 2:30 pm - 

    හොඳ බ්ලොග් සටහනක්

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල