කෙටි කථා

මරණ තුනක් සහ මීයක්

Off

සර්පයාගේ කොලම 21
අනන්ත නාග රාජයා තුන් කල් සිසාරා බලා හුන්නේය.

මේ වනාන්තරය ඇතිවූ දා පටන් මෙතුවක් කෙතරම් නම් උත්පාද වීම් සිදුව ඇත්තේද? එපමණකටම මරණයන්ද සිදුව ඇත්තේය. උත්පත්තීන් කෙතරම්ද මරණයන්ද එපමණටම වන්නේය.

අමරණීය යැයි සලකන ලද දෙවියන්ද මරණයට පත් විණි. දෙවියන්ගේ මරණය වනයේද සතා සීපාවන්ගේද මහත්වූ සංක්ෂෝභයට හේතු ප‍්‍රත්‍ය විණි. දෙවියන් මරණයට පත්වීමෙන් පසු බොහෝ දෙන යළි දෙවියන්ට ප‍්‍රාණය ලැබ දෙන්නට තැත් දැරීය. බොහෝ කතුවරු තමන්ගේ ආදි කර්තෘවරයා වූද, පියාණන් වූද, දෙවියන්ට පුනරුත්පත්තිය දීමට අර ඇන්දාහ. එහෙත් අවසානයේ කතුවරයාද අටලෝ දහමට අනුකූලව , මෙලොව නියාම ධර්මයන්ට අනුකූලව මරණයට පත් විය.

කතුවරයාගේ මරණයෙන් පසු ඒ පිළි ගනුව බොහෝ දෙන සූදානම් නොවීය. ඉතින් කතුවරයාගේ මිනිය කුණුව යන්නට පටන් ගත්තේය. එහෙත් විද්‍යාවන්ට එරෙහිව විනිසුරන් වැඩ වරා හුන් හෙයින්, උනය සහයට අධිකරණ මරණ පරීක්ෂකයන්ද වැඩ වැරූ හෙයින් මරණ පරීක්ෂණයට කිසිවෙක් නොවීය. කතුවරුන්ද දෙවියන් මෙන් අමරණීය යැයි සැලකූ ගොබිලන් මේ මරණය කිසිසේත් පිළි නොගත්තේය.

දෙවියන්ගේ මරණය පිළි නොගත් ඒ නිසා ඒ මිනිය වළ නොලෑ දේවභක්තිකයන් සේම කතුවරයාගේ මරණය පිළි නොගත් පාඨකයන් සහ විචාරකයන් ඈ කතුවරයාගේ ඇවිදින මළ මිනිය සමග විවිධ ජවුසං නැටූහ.

මෙයින් වූයේ දෙවියන්ගේ මිනිය කුණු වීමෙන් වනය හරහා හමා ගිය කුයිලට තවත් මිනී කුයිලක් එකතු වීම පමණි. ඒ කතුවරයාගේ කුණුව යන මිනියේ දරා ගත නොහෙන කුයිලයි.

පේ‍්‍රත පිසාච පාඨකයන්ද , කුම්භාණ්ඩ ප‍්‍රකාශකයන්ද , අතීත මළ මිනී නැගිටුවා එවන ලද විචාරක පිල්ලීන්ද ආදී බොහෝ අමනුෂ්‍ය කාරකාදීන් මේ මිනී කුණු ගඳම සේවනය කොට දිවි හරිත්. ඒ මිනී කුණු ගඳම කතුවරයාගේ ජීවන සුවඳැයි සිතත්.

පාඨකයාගේ උපත වනාහී කතුවරයාගේ මරණයයි. එහෙත් කතුවරයා ජීවත්ව සිටින තාක් පාඨකයා බිහි නොවේ. පිළිසි`ද නොගනී. පාඨකයාගේ ගර්භයෙහි පිළිසිඳිනුයේ ලේඛකයාගේ ගන්ධබ්බ ආත්මයයි.

වනයේ ගහ කොල තම පලයන්ට උරුම කම් නොකියයි. සතා සතුන් ඒ පල වැල තමන් රිසි පරිදි භුක්ති විඳියි. තමන්ගෙන් කඩා ගත් පල වැල මෙසේ පරිභෝජනය කරන්නැයි ගහ කොල නොකියයි. අණ පනත් නොපනවයි. ඒවායේ බීජ අසුවල් අසුවල් තන්හි අත හරින්නැයි ඒවා කඩා ගෙන යන වවුලන්ට හෝ කුරුල්ලන්ට ගහ කොල නොකියයි. සතකු තම විස පල කන කල්හි ඒ විස යැයිද ඒ නොකන්නැයිද ගහ කොල එසේම නොකියති.

තුරු පල භුක්ති විඳිනා සත්වයෝ ඒ තුරු සිය කැදලි වෙත, තිප්පලවල් වෙත රැගෙන නොයති. එහෙත් පාඨක පේ‍්‍රත පිසාචයෝ කතුවරුන්වද ගෙදර ගෙන යති. උන් සමග නිදි වදිති. කතුවරුන්ට කියා තමන්ගේ අවල කෙලීන්ට පාන අල්වා ගනිති. මේ අඹ ගෙඩිය මෙතුර විසින් උපද්දා ඇත්තේ මා වෙනුවෙන්ම යැයි සිතන්නට තරම් කිසිදු කුරුල්ලෙක් මෝඩ නැත. එහෙත් පාඨක පේ‍්‍රත පිසාචයෝ මේ පොත ලියා ඇත්තේ මා වෙනුවෙන්ම යැයි , මේ ලියා ඇත්තේ මා ගැනම යැයි, මේ ලියා ඇත්තේ මාගේ කතාවමයැයි සිතන්නට තරම් ගොබ්බ ගොබිල ගොබිලියෝ වෙති. කැඩපත් ඇල්ලූ විට ඒ පාන ඇල්ලීමක් කර ගනිති. ලේඛකයන් හා හැමනෙන්නට යති. ලේඛිකාවන් හා නිදි වදින්නට මාන බලති.

මේ පේ‍්‍රත දෝෂය මින් පෙර වූයේ නළු නිළියන්ටත් ගායක ගායිකාවන්ටත්ය. දැන් දැන් ඒ පේ‍්‍රත දෝෂය ලේඛකයන්ටත් වැටේ . පාඨක පේ‍්‍රත බැල්ම සේම ලේඛක පේ‍්‍රත බැල්මද දෙකම ජාඩියට මූඩිය මෙන් ගැලපේ. බොහෝ ලේඛකයෝද පේ‍්‍රත පිසාචයන් හෙයින් ඒ එසේම වන්නේය.

මේ පාඨකයන්ටත් ලේඛකයන්ටත් පොදුවේ සමෝසමේ තනිකම් දෝෂ වෙත්. අභිමානා , කලූ කුමාරයා මෙන්ම මෝහිණී ද මේ තනිකම් දොස් නිසා උනට දර්ශණය වෙයි. මේ තනිකම් දෝෂ , මල්වර දෝෂ, පේ‍්‍රත දෝෂ හෙයින් මුන් කුණුව යන මළ මිනියකට ලොබ බඳිති. අටලෝ දහමට අනුව ඒ පස්ව යන්නට , මේ වනාන්තරයට, මේ මහී අංගනයට ,මේ වායෝ ගර්භයට එකතු වන්නට නොදෙති.

ලේඛකයෝ අමරණීයද? රූපය දිරයි . නාමය නොදිරයි . නාම හොත්තං නජීරතී.

දේවියන් මළේය. බුදුන් පිරිනිවන් පෑයේය. ධර්මය අමරණීය වෙත්. කුරුල්ලන්ට කැමති ලෙස පල භුක්ති විඳිනට දුන් මහ රුකක් හෙයින් ඒ එසේ විය. ලේඛකයෝද එසේ වූ කල්හි අමරණීය වෙති. තමන් මිය පරලොව ගොස් සුවහසක් පාඨකයන්ට උපත දුන් සියල්ලෝ එසේය. අමරණීය ලේඛකයෝ යැයි කවුරුහරි ලියන්නෙක් බත් වේලට පොත් පඩංගු ලිවූ පමණින් උන් ඒ ලියන ලේඛකයෝ අමරණීය නොවෙති.

බුදුන් අමරණීය වූයේ දහම සරණ යන්නාට උපදින්නට ඉඩදී පරිනිර්වාණයට වැද හොත් හෙයිනි. පෞරාණික කිසිවක් අමරණීය නොවේ. ඒ තමන්ගේ අතීතය ගැන හීනමානයෙන් පෙලෙන්නන්ට හා ඒ හීනමානය අලෙවි කරන ඇන්ටික් සාප්පුකාරයන්ටම පමණක් සරිලන මමියකි. බුදු දහම මමියක් නොවී. ඒ සුවහසක් උත්පත්තීන්ට ඉඩ හසර විවර කොට තැබූ හෙයින්ම විවෘත පෙළක් හෙයින්ම සදා නූතන විණි.

සර්පයා මෙසේ මේ මරණයන් සහ මේ අමු සොහොනෙහි මේ මළ මිනී සමග විවිධ වූ විප‍්‍රකාරයන්හි නිරත වන්නාවූ පෘතග්ජනයන් දෙස බලා හුන්නේය. එකල්හි තවද වූ මරණයක පණිවිඩය සුල`ග වනාන්තරයට රැගෙන ආයේය. ඒ මියෙන රුව අමරණීය කළ ජායාරූප ශිල්පියාගේ මරණයයි.

උහු මිය ගොස් තිබුනේ ඩිජිටල් කැමරාකාරයන් සහ ග‍්‍රැෆික් නිර්මාණකරුවන් අතිනි. සියවසක් ආයු වළඳා ජායාරූප ශිල්පියා මිය ගොස් තිබිණි. උහුගේ මළ මිනිය මරණ පරීක්ෂණයට බඳුන් කරනුවද කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර පවත්නා දෙය , තීරණාත්මක නිමේෂය , ඇති හැටියට සිය ශිල්පීය නිපුනතාවෙන් , සතතාභ්‍යාසයෙන් වාර්තා කළ ජායාරූප ශිල්පියා මිය ගොස් තිබිණි.

සර්පයාට මේ මරණය අභිමුඛ වන විට, ඒ ආරංචිය කණ වැකෙන විට කලෙක එක් ගන්ධබ්බ උත්පත්තියක ජායාරූප ශිල්පියකු වූ සර්පයාම ඒ මරණය අත් විඳ තිබිණි. සර්පයා මිය ගිය සයිමන්ව අමරණීය කළා යැයි සර්පයා ගත් ජායාරූපයක් ගැන බොහෝ දෙන සර්පයාට කීවේය. සයිමන්ද ඒ ජායාරූපය ගැන මහත් ආහ්ලාදයෙන් කතා කළේය. සයිමන්ගේ පුත් කුමාර කාශ්‍යප සයිමන්ගේ දෙන ඉදිරියේ වූ සර්පයා විසින් ගත් ජායාරූපය ගැන කීවේ ‘තාත්තා පන පිටින් ඉන්නවා වගේ ’යි කියාය.

එහෙත් එක්තරා ජායාරූප-ග‍්‍රාෆික ශිල්පී වෙළඳ ගොබිලෙක් සර්පයාගේ කිසිදු අවසරයකින් තොරව ඒ ජායාරූපය සංස්කරණය කොට සර්පයාව ඝාතනය කළේය. සර්පයාව පමණක් නොව සයිමන්වද ඝාතනය කළේය. සයිමන්ගේ අතවූ සිගරට්ටුවද, මුවින් පිටවන දුමද, ඔහුගේ අනන්‍යතාවද සංස්කරණය කළේය. ඒ මදිවාට ඒ කැලේ කැලෑ සඟිස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ඒ ජායාරූපය යළි සංස්කරණය කොට සර්පයාවද සයිමන්වද යළිත් එකම මළ මිනී ගොඩට දැමා ඇති සැටි සර්පයා ඊයේ පෙරේදා මහ වනයේ බඩ ගා යන අව් අස්සේ දුටුවේය.

දෙවියන් මිය ගියේ නම් , බුදුන් පිරිනිවන් පෑයේ නම්, කතුවරයා මිය ගියේ නම් ජායාරූප ශිල්පියා මිය යාම කවර නම් අරුමයක් වන්නේද? කලින් නම් සර්පයා ගෝලූ ගෙන මේ ගැන කියා හිමිකම් පරකාසයක් සයිමන් ගැන සර්පයාගේ පොතේ අව්අස්සක දැමුවේය. ඒ ජායාරූප ශිල්පියාවත් ලේඛකයාවත් ඝාතනය නොකර පළ කිරීමේ නිදහස ඇතිය කියාය. නැතිනම් නීති මගින් කටයුතු කොරනවාය කියාය. ඒත් සර්පයා තව පාරක් සයිමන්ව ඝාතනය කරන්නට අකමැතිය. ඒ නිසා යකඩ මල්ලට ගුල්ලො ගැසූ කොට හාල් මල්ලට මොන කතාද කියා හිත හදා ගත්තේය.

දෙවියන් මළේය. බුදුන් පිරිනිවන් පෑයේය. කතුවරයා මළේය. ඡායාරූප ශිල්පියාද මළේය. ඒ ලෝක ධර්මයය. පශ්චාත නූතන තත්ත්ත්ත්ත්වයය.

එහෙත් මේ මරණයක් නොව ඝාතනයකි. ඝාතනයට -සොරකමද මොනොවට පෑහේ. නැත සොරකමට- ඝාතනය පෑහී ඇත.

කැලේ නීතිය අනුව කැලේ සත්තුන්ට ඝාතනය දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. සත්තු මරන්නේ බඩට කන්නටය. සත්තුන්ට පව් පින් කියා දෙයක් නැති නිසා හෘදය සාක්ෂියක් නැත. කම් නැත. සර්පයා තමන්ගේ දරුවාට අමතරව මේ පායාරූප -ග‍්‍රාෆික මංකොල්ලකරුවන්ගේ දරුවන්ටද එක වේලක් හෝ කන්නට දී ඇත. සර්පයා පින් කරන්නේ නැති නිසා එය පිනකි.

ඩිජිටල් කැමරාවත් පරිගණකයත් ජායාරූප ශිල්පියාගේ මරණයට හේතු විය. එය නියාම ධර්මයකි. එහෙත් මේ කැලෑ කොදෙව්වේ ඒ උපද්දනු ලැබූයේ සොරුන් මංකොල්ලකරුවන් මිස බාස්ලා සහ අත් වැඩකරුවන්, පදික වේදිකා වෙළ`ද ගොබිලන් මිස නිර්මාණකරුවන් නොවේ. ජායාරූප කලාකරුවන් නොව පායාරූප හිල්පීන්වය.

ඌරන් ගූ වලවල්වලට බසිති. ගූම කමින් ජිවත් වෙති. එහෙත් සර්පයන් ගූවලවල්වලට නොබසිති. බඩගින්නේ මළත් සර්පයෝ ගූ නොකති.

කේ. කේ. සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල