කෙටි කථා

ජයතිලක අන්කල් කම්ප්ලෙක්සය(Jayathilaka Uncle Complex- 1 කොටස)

Off

සුපුරුදු විවධ වෙබ් සයිට්වල පිවිස ලංකාවේ නිව්ස් කියවන්නට පටන් ගන්නා විට නෙත ගැටුනු සිරස්තලය විසින් මා කම්පනයට පත් කරන ලදි. වෙනත් ලිපියක් ලිවීම අවසන් කිරීමේ ඒකාග්‍රතාව බිඳ දමමින්, මෙතරම් නොනසන්සුන් කිරීමට ඇති හේතුව මා තුලම සොයන්නට උත්හාහ ගනිමි.

එම සිරස්තලයත් සමගම ප්‍රවෘත්තිය කියවන්නටත්, එම ප්‍රවෘත්තිය වෙනත් වෙබ් අඩවි හා පුවත් පත්වල පල කර ඇති අන්දම ඉන් අනතුරුව සොයන්නට පටන් ගත්තේ නාට්‍යමය විඝඨනයක් ඇති කරවන අතීතයට සිත ගමන් කිරීමෙනි. ඒ මැගසින් බන්ධනාගාරයේ පී (P)වාට්ටුවේ දී ජයතිලක අන්කල් මුන ගැසීම හා ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතා, සම්බන්ධතා,හිතවත්කම්, සාකච්ඡා, විවාද ගැටීම් හා අමනාපකම් ආදී සංකීර්ණ මිනිස් ජීවිතයක විනිශ්චය කරගත නොහැකි අත්දැකීම්වලට මුහුණ දීමේ කාලකණ්නි ක්ෂතියක් මා තුල උපද්දවමිනි. එබැවින් මෙම සටහන ඉදිරියට ගෙන යෑම සමාජමය වැදගත් කමක් ඇති බව විශ්වාස කරමින් මෙම සටහනට ඇතුල් වීම පිණිස ජයතිලක අන්කල් පිළිබඳ පල වී ඇති සිංහල බසින් ඇති වාර්තා කිහිපයක් නැවත උපුටා ගනිමින් මෙලෙස පල කරන්නට අදහස් කරමි. ඉන් අනතුරුව මගේ මගේ ආත්මීය කම්පනයේ මූල හේතුන් වෙත හා සමාජ දේශපාලනික කියැවීම වෙත යොමු වීම ඉදිරියට තබමි.

උදය ආර්. තෙන්නකෝන්

මහපරිමාණ වැට් බදු වංචාව – ගුණසිරි ද සොයිසා ජයතිලකට කෝටි 1198 දඩයක් ( video )

Derana video
දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වු ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට අද රුපියල් කෝටි 1198ක දඩයක් නියම කර තිබේ.

එසේම ඔහුට එරෙහි චෝදනා 34ට අදාළව පැනවූ අවුරුදු 102ක සිරදඬුවමක් අවුරුදු 3කින් ගෙවීයන ලෙසට මෙම තීන්දුව ලබාදී ඇත.

මේ අතර මෙම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාර ගුණසිරි ද සොයිසා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන මස හය වැනිදා මෙකී නඩුව යළි විභාගයට ගැනීමට ද තීන්දු වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුණි වික්‍රමසිංහ මහත්මිය විසින් අද මෙම තීන්දුව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

පසුගිය 26දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීමෙන් පසුව ඔහු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අද (08) දිනට කල්තැබීය.

විත්තිකරුගේ පෞද්ගලික දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එදින විනිසුරුවරිය දැනුම්දී තිබුණි.

අගය මත එකතු කරනු ලැබු මහජනයාගෙන් අයකරගත් රුපියල් කෝටි 399ක් ව්‍යාපාරිකයින් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව වංචා කර ඇති බවට අධිකරණය හමුවේ පැමිණිලි කර තිබිණ.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 14ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරාද තිබුණි.

ආරම්භයේ සිටම මෙම නඩුවෙහි විත්තිකරුවන් 8 දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැරි අතර ඒ අනූව වසර කිහිපයක් තිස්සේ මෙම නඩුව විභාග වූයේ නඩු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිවය.

මීට පෙර ඉන් පස්දෙනෙක් වරද පිළිගත් අතර කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරිය ඔවුන්ට සිරදඬුවම් හා දඩ මුදල් නියම කළාය.

දඩ මුදල් නොගෙවන අයගේ පෞද්ගලික දේපළ රජය සතු කිරීමට ද විනිසුරුවරිය විසින් නියම කරන ලදී.

වැට් බදු වශයෙන් රජයට ලැබීමට තිබූ රුපියල් කෝටි 399 කට අධික මුදල් වංචා කිරීමට අදාළ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට එරෙහි සාක්ෂි මෙහෙයවීම පසුගිය වසරේ මැයි 16දා ඇරඹිණ.

ඒ ඔහු මෙම සිද්ධිය පිළිබඳ වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

මෙම මහ පරිමාණ වැට් බදු වංචාව 2002-2004 අතර කාලයේදී සිදුව ඇති බව අනාවරණය විය.

කෙසේ වුවද මේ ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ 2006 වසරේදීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර විදේශගතව සිටින සෙසු සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන්ද සහය ඉල්ලා තිබුණි.
Page 94- http://www.page94.com/2014/05/1198-video.html
adaderana – http://sinhala.adaderana.lk/news.php?nid=43078

වැට්‌ බදු වංචාවට අවුරුදු 102 ක්‌ හිරේට දඩය කෝටි 1200 යි

සමන්ත ඉලේපෙරුම

දකුණු ආසියාවේ විශාලතම බදු මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට්‌ බදු වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්‌ අගම්පොඩි ඥනසිරි ද සොයිසා ජයතිලක හට කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (8 දා) වසර 102 ක සිර දඬුවමක්‌ හා රුපියල් කෝටි 1200 ක දඩ මුදලක්‌ නියම කළාය.

එක්‌ චෝදනාවකට වසර තුන බැගින් එකවර ගෙවී යන ලෙස සිරදඬුවම් නියම කෙරේ

වසර හතකට ආසන්න කාලයක්‌ පුරා පැවති නඩු විභාගයෙන් පසු ගොනු කර තිබූ චෝදනා 34 ට වරද පිළිගැනීම මත එක්‌ චෝදනාවකට වසර තුන බැගින් එකවර ගෙවී යන පරිදි සිර දඬුවම් නියම කරන බවත් වංචා කර ඇති මුදල් මෙන් තුන් ගුණයක්‌ දඩ මුදල් ලෙස අයකර ගැනීමට නියම කරන බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කළ විනිසුරුවරිය දඩ මුදල් ගෙවීමට මසක කාලයක්‌ ලබාදෙන බවත් එසේ නොගෙවන්නේ නම් තහනමට ලක්‌ කර ඇති විත්තිකරු සතු සියලු දේපළ රාජසන්තක කර අයකර ගැනීමට නියෝග කරන බවත් සඳහන් කළාය.

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුව අවසන් වරට විභාග කළ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මේ වන විට පානදුර මහාධිකරණ විනිසුරුවරිය ලෙස සේවය කරන අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ (08 දා) පස්‌වරුවේදී කොළඹ මහාධිකරණයේ විනිශ්චාසනාරූඪ වූවාය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර දඬුවම් ලිහිල් කර ගැනීමට ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා විත්තිකරු වෙනුවෙන් කරුණු දක්‌වා සිටියේය.

ජනාධිපති නීතිඥ – තිලක්‌ මාරපන මහතා – ඉතා දීර්ඝ, සංකීර්ණ නඩු විභාගයක්‌ වූ මෙම නඩුවෙන් කියෑවුණු චෝදනා 34 සනාථ කිරීමට නඩු විභාගය පටන් ගත්තේ 2007 ජනවාරි 24 දා. 2011 මැයි මාසයේදී පැමිණිල්ල අවසන් කළා. එදා විත්තිකරු වෙනුවෙන් ඉල්ලා සිටියා ඔහුගෙන් විත්ති වාචිකයක්‌ කැඳවීමට අවශ්‍ය නොවන බව. ඒ නඩුවේ තිබූ දුර්වලතා කීපයක්‌ නිසා.

එනම් විත්තිකරුට කුමන්ත්‍රණ චෝදනා නැඟිය නොහැකියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසරකට වැට්‌ බදු ඉල්ලීම් හැත්තෑ පන් දහසක්‌ පමණ ඉදිරිපත් වෙනවා. චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ දෙසීය හැටක්‌ ගැන පමණයි. එය මුළු වැට්‌ බදු ඉල්ලීම්වලින් 0.5% ක්‌ පමණ වෙනවා. එම ඉල්ලීම් 260 ට විත්තිකරු වංචාවක්‌ කර ඇති බවට දක්‌වා නෑ.

විගණන වාර්තා අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 388 ක අහිමි වීමක්‌ සිදුවෙනවා. විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ රුපියල් බිලියන 3.9 ක ප්‍රමාණයක්‌. දෙපාර්තමේන්තුවේ යම් යම් හේතු නිසා අහිමි වන බදු මුදල් ගැන කිසිම පැමිණිල්ලක්‌ පරීක්‍ෂණයක්‌ හෝ නඩු විභාගයක්‌ නැත්තේ ඇයි කියා ඕනෑම අයකුට මෙහිදී සිතෙන්න පුළුවන්. දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්භාවය හා අකාර්යක්‍ෂමභාවය නිසා විශාල මුදලක්‌ අහිමි වෙනවා. ඒ ගැන කවුද වගකියන්නේ.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීමට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්‌සේරුකරු වූ රාජරත්නම් කියලා සාක්‍ෂිකරුවකු කැඳෙවා වංචාව සනාථ කර ගැනීමට උත්සාහ කළා. ඔහුත් මීට පෙර මෙයාකාරයේ ගෙවීම් කළ නිලධාරියෙක්‌. ඔහු පිළිගත්තා ඔහු ගෙවීම් කළේත් විත්තිකරු කළ අයුරින්ම බව.

මෙහි තවත් සාක්‍ෂිකරුවකු ලෙස තිස්‌ස පෙරේරා නමැති අයෙක්‌ පැමිණිල්ල කැඳව්වා. ඔහු ඔහුව පිළිගත් වංචාකරුවෙක්‌. අපරාධ සහායකයෙක්‌. නීති පතිගෙන් සමාව අරන් සාක්‍ෂි දෙන්න ආවා.

රජයේ නීතිඥ – ශනිල් කුලරත්න මහතා –

ජනාධිපති නීතිඥවරයාගේ කීම පිළිගන්න බෑ. එහි පිළිගත හැකි කරුණු දක්‌වා නෑ ස්‌වාමීනි.

ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා – රාජරත්නම් ගැන කීවාට රජයේ නීතිඥ මහතා විරුද්ධ නෑ. තිස්‌ස පෙරේරා ගැන කියන කොට කැක්‌කුමක්‌ ඇතිවෙලා – එයා කවුද?

විනිසුරුවරිය – දඬුවම් නියම කිරීමේදී සාක්‍ෂිකරුවන් ගැන කියන්න බෑ. දඬුවම් ලිහිල් කරගන්න කරුණු දක්‌වන්න.

ජනාධිපති නීතිඥ – තිලක්‌ මාරපන මහතා –

දැන් ඒ ගැන කියලා වැඩක්‌ නැති බව දන්නවා ස්‌වාමීනි. යතුරු ලියන 15,000 යි, පැමිණිලි ලේඛන 4000 යි, විත්තියෙනුත් 1000 ක්‌ පමණ නම් කර තිබුණා. විනිසුරුවරුන් තුන් දෙනයි. ඔබතුමිය ඉදිරියේ විභාගයට ගන්නා විට මුල සිට ඇසිය යුතුයෑයි කියා කීවේ නෑ.

විනිසුරුවරිය – මතක්‌ කිරීමක්‌ කරනවා.

ජනාධිපති නීතිඥ තිලක්‌ මාරපන මහතා – එසේයි ස්‌වාමීනි, විත්තිකරු අවුරුදු 64 වයස්‌ගත පුද්ගලයෙක්‌.

කැලණි සරසවියේ උපාධිධාරියෙක්‌. 1980 දී තමයි සහකාර තක්‌සේරුකරුවෙක්‌ ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැඳුණේ. වසර දෙකක්‌ නවසීලන්තයේ පදිංචිව සේවය කරලා බිරිඳ හා දුව එහි නවතා යළි දෙපාර්තමේන්තුවේ සේවයට එක්‌ වුණා. මේ විමර්ශනය පටන් ගත් දිනයේ සිට ආවා. පැනලා ගියේ නෑ. 2006 මාර්තු 22 දා ඉඳලා රිමාන්ඩ් එකේ. ඒක ලෝක වාර්තාවක්‌. මෙතරම් දිගුකලක්‌ කවුරුත් රිමාන්ඩ් වෙලා ඉඳලා නෑ.

විත්තිකරු විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක්‌. අවුරුදු 30 ක්‌ වයසැති දියණියක්‌ සිටින පියෙක්‌. ඇය නවසීලන්තයේ පදිංචි වෙලා ඉන්නේ. ඇය විවාහ වීමට සිටින තරුණියක්‌ වසර 08 ක්‌ රිමාන්ඩ් වෙලා ඉන්නවා කියන්නේ වසර 12 ක සිර දඬුවමක්‌ ගෙවනවා වගෙයි. ඔහු තවදුරටත් නඩුව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු නෑ. වරද පිළිගන්න කැමතියි. මීට පෙර කිසිදු වරදක්‌ නොකළ ඔහුට ලිහිල් දඬුවමක්‌ නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

රජයේ නීතිඥ ශනිල් කුලරත්න මහතා –

මෙම නඩුවේ හැම චෝදනාවක්‌ම විත්තිකරු හරහා සිදුවූ ඒවා. කැඳවූ හැම සාක්‍ෂියක්‌ම විත්තිකරු මුල් කර ගත් ඒවා. විත්තිකරු වරද පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ විත්තියත් කැඳවීමෙන් පසුවයි. මෙම නඩුව විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව විභාග වුණා. මීට පෙර 5 දෙනකුට වරද පිළිගැනීම මත දඬුවම් නියම කළා.

විත්තිකරු රජයේ සේවය කළ අයෙක්‌. එහෙත් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීම් ඉතා ප්‍රශ්නගතයි.

ෆ ඔහු බිරිඳ නමින් කොළඹ 07, හේවා ඇවනිව්වල රූඩ් 02 යි පර්චස්‌ 08 ක ඉඩමක්‌ රුපියල් මිලියන 97 ක වියදමින් අරන් තියෙනවා.

ෆ කුරුණෑගල හෙම්මාවල අක්‌කර 31 යි රූඩ් 02 යි පර්චස්‌ 08 ක පොල් වත්තක්‌ අරන් තියෙනවා.

ෆ දියණියට නාවල ප්‍රදේශයේ පර්චස්‌ 10.03 ක ඉඩමක්‌ මිලට අරන් තියෙනවා.

ෆ කොළඹ 03, පේදිරික්‌ පටුමගේ බිරිඳගේ නමින් නිවසක්‌ අරන් තියෙනවා.

ෆ කුරුණෑගල ඉඩම්ගොල්ලේ අක්‌කර 05 යි රූඩ් 03 යි පර්චස්‌ 13 ක පොල් වත්තක්‌ අරන් තියෙනවා.

මෙපමණ දේපළ අත්පත් කර ගැනීමක්‌ සිදුකළේ කෙසේ දැයි පිළිගත හැකි කරුණු දක්‌වා නෑ.

සමාගම් 25 කට අදාළව ගෙවීම් කිරීමට නියම කරන ලද චෙක්‌පත් 258 ක මුදලක්‌ බැංකුගත කිරීමෙන් තමයි විත්තිකරු මෙම මුදල් සොයාගෙන ඇත්තේ.

විත්තියෙන් මෙහි නඩුවක්‌ නොමැති බවට කීවද පැමිණිල්ල චෝදනා ඔප්පු කරලා ඉවරයි. නඩුවේ ප්‍රධාන විත්තිකරු මෙම විත්තිකරුයි. නඩුවට ප්‍රශ්නගත වූ චෙක්‌පත් 258 ට අත්සන් කර ඇත්තේ ඔහුයි. ඒ ගැන සිතා බලා සුදුසු දඬුවමක්‌ නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

විනිසුරුවරිය – මීට පෙර විත්තිකරුවන් කීපදෙනෙකුට වරද පිළිගැනීම මත ඔවුන්ට දඬුවම් නියම කරලා තියෙනවා. විත්තිකරුවන් කීප දෙනකු නැතිවයි නඩුව විභාගයට ගත්තේ. කෙසේ වුවත් විත්තිකරු වරද පිළිගැනීම සැලකිල්ලට ගනිමි. එසේම ඔහුගේ වයස හා රෝගී තත්ත්වයද පෞද්ගලික කරුණුද සැලකිල්ලට ගනිමි.

විත්තිකරු විත්ති වාචිකය කැඳවීමට වසර ගණනාවක්‌ කල්ගත කළද ඔහු අත්පත් කරගෙන ඇති දේපළ උපයාගත් ආකාරය ඉදිරිපත් කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. පැමිණිල්ල සඳහන් කළ ඔහු සතු සියලු දේපල මේ වන විට තහනම් කර තියෙනවා.

සියලු කරුණු සැලකිල්ලට ගෙන චෝදනා 34 ට වසර 3 බැගින් එක වර ගෙවී යන පරිදි විත්තිකරුට සිර දඬුවම් නියම කරමි.

චෝදනා පත්‍රයේ සඳහන් මුදල මෙන් තුන් ගුණයක මුදලක්‌ දඩයක්‌ ලෙස අය කර ගැනීමට නියම කරමි. ඒ සඳහා මාසයක කාලයක්‌ ලබා දෙමි. එම නියම කළ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් විත්තිකරුගේ දේපළ රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රාජ්‍ය අරමුදලට බැර කිරීමට සලකා බලමි.

විත්තිකරු දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනුම් දීමට නඩුව ලබන 06 දා යළි කැඳවන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

2002 නොවැම්බර් 15 හා 2004 දෙසැම්බර් 15 කාලය අතරතුරදී කේ. ධර්මදාස වත්තලගෙදර නමැත්තා ඇතුළු පැමිණිල්ල නොදත් තවත් අය සමග එක්‌ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් මුදල් පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම. එකී වංචාව සඳහා එකතුවීමෙන් හා වංචා කිරීමේ පොදු අරමුණක්‌ සහිතව එක්‌ව ක්‍රියා කිරීම හා කුමන්ත්‍රණය කිරීම මගින් රජයට අයත් රුපියල් 399,6008152.55 ක්‌ වංචා කිරීම ඇතුළු අධි චෝදනා යටතේ විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

එම නඩුවේ දෙවැනි විත්තිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස්‌ ආනන්ද අඹේපිටිය ඇතුළු විත්තිකරුවන් පස්‌ දෙනකු පෙර අවස්‌ථා දෙකකදී වරද පිළිගැනීම නිසා මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩ හා සිරදඬුවම් නියම කර තිබුණි.

විත්තිකාර නියෝජ්‍ය ආදායම් කොමසාරිස්‌වරිය ඇතුළු විත්තිකරුවන් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් අය කළ වැට්‌ බදු ආපසු ගෙවූ බව පෙන්වා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයත් එකී මුදල් වංචා කොට ඇතැයි පැමිණිල්ලෙන් කියෑවුණි.

2006 මාර්තු 15 දා මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක පී. විශ්වනාදන් මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ වසරකට වැඩි සුළු කාලයක්‌ තුළ දී පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක්‌ සලකා බැලූ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
දිවයින- http://www.divaina.com/2014/05/09/news04.html

වැට් බදු වංචාවේ ප්‍රධාන චූදිතට වසර 102ක සිර දඬුවම් වංචා කළ මුදල මෙන් තුන් ගුණයක් දඩ
රෝෂන් තුෂාර
රුපියල් කෝටි හාරසියයකට ආසන්න මහා වැට්බදු වංචාවක් සිදුකිරීමේ ප්‍රධාන චූදිත වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ඥානසිරි සොයිසා ජයතිලකට එක් එක් චෝදනාවන්ට වසර තුන බැගින් වසර 102ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණ ඊයේ (8) නියම කළේය.

වංචා කළ රුපියල් තුන්සිය අනු නම කෝටි හැට ලක්ෂ අටදහස් එකසිය පනස් එකක මුදල මෙන් තුන්ගුණයක මුදලක් දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය එක් එක් චෝදනාට වසර තුන බැගින් චෝදනා 34 ට නියම කළ සිර දඩුවම වසර තුනකින් එකවර ‍ගෙවීයන බවද නියෝග කළාය.

චුදිත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අට වසරක කාලය, වයස අවුරුදු 65 කට ආසන්නවීම, සෞඛ්‍ය තත්ත්වය හා අධිකරණයේ කාලය ඉතිරිකරමින් වරද පිළිගැනීම යන කරුණු සැලකිල්ලට ගෙන මේ දඩුවම නියම කරන බව සඳහන් කළ විනිසුරුවරිය අදාළ දඩ මුදල වන රුපියල් කෝටි 1197 කට අධික මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙසට නියෝග කළාය.

සියලු දඩ මුදල් ගෙවා සම්පුර්ණ කිරිමට අපොහොසත් වන්නේ නම් පොදු දේපළ පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද දේපළ රාජසන්තක කිරිමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට විනිසුරුවරය නියෝග කළාය.

ආසියාවේ ලොකුම බදු වංචාව ලෙස සැලකෙන මේ නඩුව වසර හයක් විභාග කිරිමෙන් අනතුරුව මේ දඩුවම නිකුත් කළේය.

නඩුවේ දෙපාර්ශවය මගින් ලේඛන පන්දහසකට අධික ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර පිටු පහළොස් දහසක සාක්ෂි සටහන් කිරිම සිදු කර ඇති බව මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළාය.

මේ දඩුවම නියම කිරිමට පෙර පැමිණිලේ දේශනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සනිල් කුලරත්න මහතා ප්‍ර‍ධාන සැකකරු වු මේ චූදිත වසර දෙකක කාලයක් තුළ රජයේ සේවකයකු ලෙස සිටිමින් මේ වංචාව කර ඇති බවත්, සමාගම් 25 ක නමින් ව්‍යාජ චෙක්පත් 258 ක් නිකුත් කරමින් මුදල් ගිණුම් 39 ක තැන්පත් කර ඇති බවත් කරුණු දැක්වීය. මේ අනුව මේ නඩුව හුදෙක් අස්වාභාවිකව සිදුවු වංචාවක් හෝ ආරෝපනයක් නොවන බව නඩුවේ අටවන විත්තිකරු සමඟ එක්වී සැලසුම් සහගතව සිදුකළ එකක් බවද පැවසීය. මේ අනුව ප්‍රධාන සැකකරු ගිණුම් දහයක් කොටහේන පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය බවද හෙතෙම කරුණු දැක්වීය.

රජ‍යේ සේවකයකු ලෙස සිය මුදලින් උපයාගත නොහැකි දේපළක් උපයා ඇති බව පෙන්වාදුන් කුලරත්න මහතා රුපියල් මිලියන 97 ක් වටිනා කොළඹ 7 පිහිටි ඉඩමක් හා නාවල , කොළඹ 03, කුරුණැගල ප්‍රදේශවල ඉඩම් ඇති බව පෙන්වා දුන්නේය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා විත්තිකරුට මේ චෝදනා ඉදිරිපත් කළ වසර දෙක තුළ දේශිය අදායම් දෙපාර්තුමේන්තුවේ අකාර්යක්ෂමතාවයෙන් රුපියල් මිලියන 388ක් රටට අහිමි වී ඇති බවත්, ඒ අනුව මේ චුදිතට එල්ලකර ඇත්තේ එම මුදල මෙන් සියයට එකකටත් අඩු මුදලක චෝදනාවක් බවත් කරුණු ඉදිරිපත් කළේය. 2002 නොවැම්බර් 15 දින හා 2004 දෙසැම්බර් 15 දින අතර කාලය තුළ දී රුපියල් තුන්සිය අනු නම කෝටි හැට ලක්ෂ අටදහස් එකසිය පනස් එකක වැට් බදු වංචාවක් සිදුකරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ වගන්තිය හා 102 වගන්තිය සමඟ කියැවෙන 386 වගන්තියේ විස්තර කෙරෙන වරද සිදු කිරීම හා 1982 අංක 76 සහ 1999 අංක 28 දරන පනත්වලින් සම්මත 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ විෂයෙහි වරදක් සිදුකරීම යටතේ චෝදනා 34 ගොනු කරමින් නීතිපතිවරයා මේ නඩුව 2007 වරෂයේ දී ගොනු කළේය.

නඩුවේ විත්තිකරුවන් ලෙස නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු 14 දෙනකු නම්කර සිටි අතර එම විත්තිකරුවන්ගෙන් නව දෙනකු අධිකරණයේ පෙනී නොසිටියේ ය . එම විත්තිකරුවන්ට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇත.

අනෙක් විත්තිකරුවන් තිදෙනකු මීට ඉහත දී අදාළ චෝදනාවන්ට අධිකරණයේ දී වරද පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් පමුණුවා ඇත.

අදාළ දඩ මුදල ජුනි 06 දිනට පෙර ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරිය නඩුව එදින යළි කැදවන ලෙසට නියෝග කළාය.

දිනමිණ- http://www.dinamina.lk/2014/05/09/_art.asp?fn=n1405097

කෝටි 400 වැට් වංචාවේ වරද පිළිගනී

ඉෂාර රත්නකාර

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් බදු අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයාට වසර 3 බැගින් අධි චෝදනා 34ට වසර 102ක සිර දඬුවමක් නියම කළ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විත්තිකරුට රුපියල් කෝටි 1,200කට ආසන්න දඩ මුදලක්ද නියම කළාය.

අදාළ සිර දඬුවම එකවර ගෙවී යන ලෙස විත්තිකරුට නියම කළ විනිසුරුවරිය රුපියල් කෝටි 1,200කට ආසන්න දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට විත්තිකරුට මාසයක් කල් ලබා දුන්නේය.

මෙසේ සිර දඬුවම් සහ දඩ මුදල් නියම වූයේ වැට් බදු නඩුවේ ප්‍රධාන විත්තිකරුවන අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලක නමැත්තාටය.
කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය දැනට පානදුර මහාධිකරණයේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන අතර වැට් බදු නඩුව විභාග කරනු ලැබුවේ එම විනිසුරුවරිය ඉදිරියේ බැවින් විනිසුරුවරිය කොළඹ මහාධිකරණය වෙත පැමිණ ඊයේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවාය.

2002 නොවැම්බර් 15 වැනි දින සහ 2004 අගෝස්තු 15 දින අතර කාල සීමාවේදී කොළඹදී දැනට මියගොස් ඇති යටිරුවන ධර්මදාස රාජපක්ෂගේ නෙවිල් ශාන්ත වත්තලදෙණිය යන අය සහ පැමිණිල්ල නොදත් අන් අය සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු රුපියල් කෝටි 400කට ආසන්න මුදලක්, එනම් රුපියල් 399,600,81,51ක මුදලක් (රුපියල් තුන්සිය අනූනව කෝටි හැට ලක්ෂ අටදහස් පනස් එකක) සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව මේ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.

නඩු විභාගය අතරතුරදී ආනන්ද වික්‍රමසිංහ අබේපිටිය, සින්නයියා සුබ්‍රමනියම්, සලවුඩීන් මොහොමඩ් අස්රොෆ්, මොහොමඩ් ඉස්මයිල් මොහොමඩ් රිස්වින්, සහබ්දීන් අබ්දුල්ලා යන විත්තිකරුවන් 5 දෙනා වරද පිළිගත් අතර ඒ අනුව ඔවුන්ට මහාධිකරණය දඬුවම් නියම කර තිබිණි.

රසීඩ් මොහොමඩ් මුර්පීඩ්, බාකිර් මොහොමඩ් රිෆාන්, මොහොමඩ් සුබයිර් ෆවුසල් අවාම්, මොහොමඩ් මවුජුල් අමීර් ඉර්ෂාඩ්, කාදර් අඩුමෙයි මෙහොමඩ් නස්මි, මොහොමඩ් කාමිල් කුතුබ්දීන්, අබ්දුල් බවුඩ් මොහොමඩ් සාෆි, මොහොමඩ් කාසීම් මොහොමඩ් සෆීක් යන විත්තිකරුවන් 8 දෙනා නඩු විභාගය ආරම්භයේදීම රටින් පලාගොස් ඇති අතර ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය හරහා වරෙන්තු නිකුත් කර තිබේ. එම විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනිණි.

අනෙක් විත්තිකරු වූ මේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ඥානසිරි ද සොයියා ජයතිලක නමැත්තාට එරෙහිව නඩුව විභාගයට ගත් අතර, අදාළ නඩු විභාගය 2007 වසරේ පටන් මහාධිකරණය හමුවේ විනිසුරුවරුන් කිහිප දෙනකු ඉදිරියේ විභාගයට ගැනිණි.

පැමිණිල්ලේ නඩුව අවසන් කර විත්තියේ නඩුව කැඳවමින් සිටියදී විත්තිකරු ස්ව කැමැත්තෙන්ම අදාළ චෝදනාවලට වරද පිළිගත්තේය.
ඒ අනුව විනිසුරුවරිය විත්තිකරුට දඩ මුදල් සහ සිරදඬුවම් නියම කළාය.

විත්තිකරුට නියම කළ දඩ මුදල ගෙවීමට ලබන ජුනි 6 වැනි දින තෙක් විනිසුරුවරිය කල් ලබා දුන්නාය. එදිනට පෙර සම්පූර්ණ දඩ මුදල ගෙවීමට විත්තිකරු අපොහොසත් වුවහොත් පොදු දේපළ රාජසන්තක කරන බවද විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද, පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා ද පෙනී සිටියහ.
මව්බිම- http://www.mawbima.lk/86-57755-news-detail.html

වැට් හොරාගේ දේපොළ
2014 මැයි මස 09 09:40:08 | . , මනෝප්‍රිය ගුණසේකර

රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝටි 1198ක දඩ මුදල නොගෙවන්නේ නම් දැනට තහනම් කර ඇති ඔහුගේ දේපොළ රාජ සන්තක කිරීමට මහාධිකරණය නියෝග කළේය.
ලංකාදීප- http://www.lankadeepa.lk/index.php/articles/231884

මහා වැට් බදු වංචාව කළැයි ආදායම් හිටපු නි. කොමසාරිස් පිළිගනී
වැට් බදු වංචා නඩුවේ පළමු චූදිතයා වන හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඥානසිරි ද සොයිසා ජයතිලක අදාළ චෝදනා 34ට වරද පිළිගත් නිසා එක් චෝදනාවට අවුරුදු 03 බැගින් වසර 102ක සිර දඩුවමක් අධිකරණය විසින් අද නියෝග කළේ ය.
එමෙන්ම රුපියල් බිලියන 12ක දඩයක් ද අද දින කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ මහත්මිය විසින් නියම කර ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ සිදුකළේ ය.
රිවිර-

උපුටා ගැනීම – http://diasporadiarynotes.blogspot.ch/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල