කෙටි කථා

සංයුක්ත මිනිස් සබඳතාවන්ගේ ප්‍රතිවිරෝධය

Off

ජයතිලක අන්කල් සංකීරණය- Jayathilaka Uncle Complex- (දෙවැනි කොටස)

මෙම ලිපිය ලියන්නට හේතු වූ කාරණය මුලි දී සඳහන් කළ ආකාරයට හා ප්‍රවෘත්ති වාර්තාකරණයට අනුව, වැට් බදු වංචාව පිළිබඳ නඩුවේදී තීන්දුව ප්‍රකාශ කරමින් ජයතිලක මහතාට අවුරුදු 102 සිර දඬුවමක් වශයෙන් වූ සිරස්තලයෙන් මා තුල වූ කම්පනය නිසා බව සඳහන් කරන ලදී. එසේ වීමට හේතුව අවුරුදු 102 යනු මනුෂ්‍යකුට ජීවත් වීමට ඉඩ දෙන කාලයක් නොවේ. එහෙත් එම සිරස්තලය එසේ වුවද ඔහුට හිමි එම කාලය වසර තුනකින් ගෙවී යන ලෙස ලිහිල් කර ඇති බව, ප්‍රවෘත්තියේ අන්තර්ගතය කියවීමෙන් පසුව,ඇති වූ කම්පනය සමනය වන්නට විය.

එහෙත් මම මගෙන් අසන ප්‍රශ්නය වන්නේ එම සිදු වීම කියවීමෙන් මා කම්පනයට පත් කළේ ඇයි ද යන්නය. ඔහු විසින් වංචා කළ මුදලත්, ඔහු සතු දේපලත් පිළිබඳ ඇති විස්තර දකින අයෙකුට එවැනි කම්පනයක් ඇති විය හැකි ද. රටෙහි නීතිය සහ යුක්තිය පිළිබඳ සාධාරණ සිතිවිල්ලක ඡායාවක් තුලින් මේ හා සමානව වෙනත් සිද්ධීන් සම්බන්ධව ද බලාපොරොත්තුවක් ඇති වනු ඇති වන අතර චූදිතයා සම්බන්ධයෙන් ඇති විය හැකි වන්නේ අනුකම්පාවට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ලක් විය හැකිය. ඒ මුදල් සම්භාරය වනාහි රටෙහි ජනයාගේ බදු මුදල් නිසා එම කොල්ලකෑම අනුමත කරන්නෙකු වීමට කිසිවකුට පත්විය හැකි ද. එහෙත් මෙවැනි තත්ත්වයක් ජනාධිපත් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇති විය හැකි ද මා වුවද මෙම ප්‍රවෘත්තියට පාඨකයෙක් පමණක් වූවේ නම් ඇති වන සිතිවිල්ල ද එසේ විය හැකිය. එහෙත් මගේ ව්‍යාකූලත්වය ගොඩනැගෙන්නේ හා ඊට පදනම් වන්නේ ඔහුව පුද්ගලිකව හඳුනාගැනීමෙන් හා ඔහුව ආශ්‍රය කිරීමේ දී ඇති වන සම්බන්ධතාව නිසාය. කොපමණ ගණයේ අපරාධකරුවකු වුව ද ගොඩ නැගෙන මනුෂ්‍ය සම්බන්ධතාව, සම්මත කරන ලද අපරාධයට සෘජුව සම්බන්ධ වන්නේ දැයි කල්පනා කිරීමේ දී මට ලැබෙන උත්තරය වන්නේ නැත යන්නය.
ඉතා කුඩා ගණයේ ක්‍රියාවක සිට විශාලම ගණයේ ක්‍රියාවක් දක්වා ද මෙම ධර්මතාව පොදු වන්නේ ය. පුද්ගලයාගෙන් හා ක්‍රියාවෙන් වියුක්තව සිටින්නාට එය එසේ කළ හැකි වුවත් සමීප මිනිස් ඇසුරක් ඇති අයෙකුට පුද්ගලයාගෙන් ක්‍රියාව වෙන කර ශුද්ධ ලෙස ස්ථාවරයක් ගැනීමේ දී, ආචාර ධාර්මික හේතූන් විසින් යම් ශික්ෂණයකට පත් කරනු ඇත. එය එසේ නො වන්නට නම් නිසැකවම පසු මිතුරු සබඳතාවක් පැවැතිය යුතුය.එම සබඳතාව පුද්ගලික දෙයක් වීම නිසා සිදු වන්නෙකි. දේශපාලනයේ දී මෙය පැහැදිලිව මතු පිටට පැමිණෙන්නේ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පැවැති සම්බන්ධතාවන්ගෙන් ගැල වුණු පසුය. පුද්ගලයා හා කණ්ඩායම සතුරු ලෙස නිෂ්චය කිරීමෙන් අනතුරුවය. එහෙත් කලින් පැවැති සම්බන්ධතාවන්ගේ ඇති දෙබිඩි බව ප්‍රකාශ වන්නේ විවේචනයට හසු වන්නා තුල නොව විවේචනය කරන්නා තුලය. එය පුද්ගලත්වය හා දේශපාලනය කියා වෙන් කිරීමට වචන යොදා ගත්ත ද අප ජීවත් වන සංස්කෘතිය විසින් උරුම කරන ලද අගයන් හා විස්වාශයන්ට වඩා ආචාර ධාර්මිකව ආත්මය තුල හැඟුම්කාරක සංවේදනයන් විසින් අපව විපරිත කරනු ඇත.

සමාජය විසින් අනුමත කරන දෙයක්, ඒ ආකාරයෙන්ම අනුමත කිරීමට නොහැකි වන්නේ, ගොඩ නැගෙන මිනිස් සම්බන්ධතාවල ඇති ආත්මීය ආචාර ධාර්මික නීතිය විසිනි. මගේ කම්පනයේ හේතුව එය වනු ඇත. ඔහුට දඬුවම් නියම වීමෙන් වියුක්ත මිනිසෙකු ලබන සතුට මට විඳිය නොහැකිය. එහෙත් ඔහුව නිදහස් වූයේ නම් මා සතුටට පත් වනු ඇත් දැයි කල්පනා කළහොත්, ඊට ද ලැබෙන පිළිතුර නැත යන්නය. එවිට මා තුල ගොඩ නැගෙනුයේ ඊට ප්‍රති විරුද්ධ පැත්තය.

අනෙක් අතට දේශපාලනික වශයෙන් සලකා බලමින් සෘජුව ඔහු වරද කරු වීම සාධාරණීයකරනය කරමින් විවේචනයක් ‍ලිවීම හෝ එම සිද්ධිය අමතක කරමින් වෙනත් වැඩක් බලා ගත හැකිය. මෙයින් ඉහත කාරණා දෙකම වෙනස්කරමින් “ජයතිලක අන්කල් සංකීරණය“ යනුවෙන් ලියන්නට අදහස් කළේ හිර ගෙදරක ගොඩ නැගෙන මිනිස් සමිබන්ධතා වටහා ගැනීමටත්, හොඳ නරක හා කැත යන්න අතර ඇති සංකීර්ණත්වය තේරුම් ගැනීමටත් ය. මේ අනුව ජයතිලක අන්කල් සංකීර්ණය“ යන්න ජයතිලක සිල්වා මහතාටම පොදු කාරණයක්, සංකල්ප ගත කිරීමක් නොව අප ජීවිතයේ වටපිටාව තුල ඇති යථාර්ථයක් බව තේරුම් ගැනීමට ද හැකි වන බව මා තුල ඇති වූ වැටහීමට අනුවය. නීතිය හා සමාජය විසින් නිර්ණය කිරීම හා සත්‍ය හා ආචාර ධර්ම යනු සාමාජ ගොඩ නැංවීමක් වුවත් මිනිස් ජීවිතයේ ඇති සම්බන්ධතාවල ඇති සියුම් තැන් විසින් අපව සිර කර දමන අතර අප සංකීර්ණ වේදනාවට ද පමුණුවනු ලබයි. මෙය ද අතිශය සමාජයම සංසිද්ධියක් වන්නේ, එය ද මනුෂ්‍යත්වය යන කාරණාව පදනම් කර ගැනීම තුලිනි. එබැවින් මෙම සිදු වීමත් සමග මා තුල ඇති වූ අභිප්‍රේරණය විසින් මෙවැනි සම්න්ධතාවලින් ගහන වූ සිර ගෙදරක චර්යාව පිළිබඳ අතීත මතක සටහන් යලි අවුස්සා ගනිමින් මා නැවත ක්ෂතිමය රෝගියෙකු බවට පත්වීමය. එම මතකයන් අතීතයට වළ දැමීම වෙනුවට, යළි හාරා අවුස්සා ගොඩට ගෙන දැමීම අත්දැකීමට මුහුණදුන්නෙකුගේ යුතුකම වනු ඇත.

එබැවින් මෙතැන් පටන් සාමාජ ද්‍රෝහීන්ගේ, අපරාධකරුවන්ගේ, සැකකරුවන්ගේ චර්යාවන් හිර ගෙදරක් තුල සැසිරෙන අන්දම හා අනන්‍යතාවන් විසින් කරනු ලබන බලපෑම ද ධනය බලය හා දේශපාලනය ආදී සාධක විසින් හිරගෙදරක් මෙහෙයවන ආකාරය ද යුක්තිය හා සාධාරණත්වයෙන් ඔබ්බට කටයුතු කරන අයුරු හඳුනා ගැනීමට මෙම ලිපි පෙළ මගින් ගන්නා උත්සාහයකි. මෙහි පරස්පරතා, මතකයේ අඩුපාඩු හා වෙනස්කම් පැවැතිය හැකි වුව ද සිදුවීම්වල ඇත්ත ස්වභාවය මා අත්විඳ ප්‍රමාණයට මගේ භාෂාවට පෙරළීම තුල අනන්‍යතාව හා බැඳුනු සෙසු බොහෝ දෑ වෙනස් විය හැකිය.

උදය ආර්. තෙන්නකෝන්
උපුටා ගැනීම – http://diasporadiarynotes.blogspot.ch/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල