සඳැස් / නිසඳැස්

නියත මරණයට සුන්දරව මුහුණ දුන් සංජය – උදේනි සමන් කුමාර

Off

“නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතුවී
ඔබේ පා මුදු හඬ ඇසේ
අහස් ගඟ බඩ හිමව් කුළුමත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ….”

නිදා සිටි ඇඳ අසල රැඳී සිටි පෙම්වතියටත්,
නැඟණිය සුබාටත් මඳ සිනහවකින් සංග්‍රහ කළ සංජය
රමණීය වූ මරණය කැටුව ගිය පුවත අසා
හදවත මොහොතකට නතර වූවා සේ දැනිණි.
මහගම සේකරයන් ඉහත කවි පදවල ලීවා වගේම
නිහඬ නිල් මිටියාවත තුළින් මතුවී
මරණයේ පාමුදු හඬ සංජයට ඇසෙන්නට ඇත.

නොවැළැක්විය හැකි නියත මරණයට
සංජය තරම් සුන්දරව මුහුණ දුන් මිනිසකු පිළිබඳ
මෙතෙක් අප අසා හෝ කියවා නැත.
සංජයගේ මරණය
අපූර්වත්වයෙන් යුතු මරණයක් වන්නේ ඒ නිසාය.
සංජය පිළිබඳ කෙටි සිදුවීම් පෙළ දිගහැරෙන්නේ මෙසේය.

ඔහු නමින් සංජය සේනානායකයි.
වෘත්තියෙන් ප්‍රවීණ වාර්තා සිනමාකරුවෙකි. පරිගණක මෘදුකාංග සම්බන්ධ ඉහළට උගත් ඔහු ‘ග්‍රැෆික් ආට්’ විෂයයෙහි කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළේය. ඉංගී්‍රසි හා සිංහල භාෂා දෙකෙහි පරිණත දැනුමක් සංජයට තිබුණේය. ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත්වූ චිත්‍රපට රැසක ඉංගී්‍රසි උප සිරැසි යොදනු ලැබුවේ සංජය විසිනි. සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු ප්‍රවීණ සිනමාකරුවෝ රැසක් සංජය සමීපයේ සිටියෝය.

ධර්මසිරි බණ්ඩාරනායකයන් මා සමඟ පැවැසුවේ සංජය වර්ල්ඩ් වීව්, යූ.එන්.ඕ., යූ.එන්.සී.එච්.ආර්, යුනිසෙෆ් ජාත්‍යන්තර ආයතන සඳහා වාර්තා චිත්‍රපට රාශියක් කර ඇති බවය. ඔහු සිනමාකරණයේදී ඊට අයත් අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාකරණය, ශබ්ද පරිපාලනය ඇතුළු සෑම අංගයකම ඉහළම දැනුම ලබා සිටි තරුණයකු වීම සුවිශේෂී විය. සංජය තුළ විවිධ හැකියාවලින් යුතු චරිත ගණනාවක් තිබිණි.
“අශෝක හඳගමගේ නැඟෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලි නිර්මාණයේ භික්ෂුවකගේ චරිතය සංජය රඟපෑවේය.
සංජයගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු වූ කෙලී සේනානායකයි. මව මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කීර්තියට පත්ව සිට වසරකට පෙර මියගිය සුනිලා අබේසේකරයි. සුනිලා ගායිකාවක ලෙසද ජනාදරය දිනා සිටියාය. සුනිලා ඉකුත් වසරේ මියගියේ සුවකළ නොහැකි පිළිකා රෝගයට ගොදුරු වීමෙනි.

සංජය 2012 වසරේ මඩකළපු නැඟෙනහිර වනාන්තරයේ වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණයේ නිරතව සිටියදී ඔහුට උණ රෝගය වැලඳී තිබුණේය. අවසනාවන්ත උණ බැස ගියේ සුවනොවූ කැස්සක් ඉතිරි කරමිනි. ඒ ඔස්සේ වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණ දුන් සංජය තමා පිළිකා රෝගයට ගොදුරුව සිටින බව හඳුනා ගත්තේය. ඒ වන විට සංජය තිස් දෙහැවිරිදි වියේ පසු විය.
සංජය බිඳක්වත් වැටුණේ නැත. ඔහු ලැප්ටොප් පරිගණකය රෝහල් ඇඳ මත තබාගෙන තම අවසන් සිනමා නිර්මාණයේ සංස්කරණ කටයුතු දිගටම කරගෙන ගියේය. වම් පෙණහැල්ලට රුධිරය ගෙනයන නාළයෙහි හටගත් කුඩා ටියුමරිය ක්‍රමයෙන් වැඩෙමින් පවතින බව ඔහු දැන සිටියේය.

සංජය වටා බිතුසිතුවම් රූමෙන් රැඳුණු මිතුරු මිතුරියෝ පිරිසක් සිටියහ. ඔවුහු සංජය රැක ගැනීම සඳහා මෙහෙයුමක් අරඹා සිටියහ. ආරෝහ පරිණාහ දේහයකින් හෙබි සංජයගේ බාහිර ස්වරූපයෙහි කිසිදු වෙනසක් නොවීය. ඔහු වෙනදා මෙන් සියල්ලන් සමඟ සුන්දර ලෙස සිනාසුණේය. අඩුවෙන් කතා කළේය. පෙණහලු දෙකටම හානිවීමේ අවදානම හේතුවෙන් ඔහු ශල්‍යකර්මයට භාජන කිරීමේ අවස්ථා අත්හරින්නට වෛද්‍යවරුන්ට සිදු විය.
හිතවතුන් ඔහුව සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කොට පිළිකා රෝගය හඳුනා ගන්නට පරීක්ෂණයට භාජන කළේය. එතෙක් ලබා දුන් බේත් රෝගය පාලනය කරගන්නට අපොහොසත් වන බව වෛද්‍යවරුන්ට අවබෝධ වී තිබිණි. ඇමෙරිකාවේ රසායනාගාරයකට යැවූ ආදර්ශයක් මඟින් සංජයට වැලඳී තිබෙන්නේ මෙතෙක් ලොව කිසිම ප්‍රතිකාරයක් සොයාගෙන නැති ක්රාස් (ම්අඒඉ) නමැති පිළිකා රෝගය බව හඳුනා ගත්තේය. සංජයගේ මරණය නියත බව එයින් නිගමනය කොට තිබුණේය.

සංජය ලංකාවට පැමිණියේය. රෝගයට ප්‍රතිචාර නොදක්වන බේත් නතර කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔවුහු එයට කන් දුන්හ. සංජය පරිගණකය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ලෝකයේ පිළිකා රෝග විශේෂඥයන් සමඟ ගනුදෙනු කළේය.
මෙම පිළිකා රෝගයට පිළියම් සොයා ගැනීමට තම ජීවිතය යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ලොව සිටින ඉහළම වෛද්‍ය විශේෂඥවරු සංජය සමඟ ඊ-මේල් පණිවුඩ හුවමාරු කරගත්හ.
ඔවුන් හරහා රෝගීහුද නොයෙක් රටවල සිට සංජය හා මිතුරු වූහ. එම රෝගීන් හැම දෙනාම ආසන්න දිනෙක පෘථිවියත්, ජීවිතයත් හැර යන්නට නියමව සිටි මිනිසුන්ය. තම ජීවිතය දවසින් දවස මරණය කරා ළංවෙමින් පවතින අන්දම පැහැදිලි කෙරෙන දත්ත වෛද්‍යවරුන්ගේ නියැදි සකසා ගැනීම සඳහා දිනපතාම යැවීම අතපසු නොකළේය.

මේ අතර ඔහුට ඇවිද යා හැකි දුර ප්‍රමාණය ක්‍රමයෙන් සීමා වූයේය. ආලින්දයේ සිට මුළුතැන්ගෙට ගිය ඔහුට ආපසු පැමිණෙන්නට බොහෝ වේලා විඩා නිවන්නට සිදු විය. වෛද්‍යවරුන් විසින් සංජය ජීවත් විය හැකි යැයි තීරණය කරන ලද කාලයද අවසන්ව තිබුණේය. එහෙත් ඔහුගේ සිරුරේ බාහිර පෙනුම සාමාන්‍ය විය.
හුදෙකලාව නිබඳ රළ නඟන සයුර දෙස බලාගෙන විවේකීව සිටීමේ ආශාවක් ඔහුට ඇති විය. ඔහුගේ හිතවතුන් සංජය මීගමුවේ ජෙට්වින් හෝටලයට පිටත් කර හැරියේය. එහි යන අතර ඔහු සිනාසෙමින් මිතුරන්ට පැවැසුවේ මේ ගමන ඔහුට ලැබුණු අමතර බෝනස් එකක් බවය.

එහෙත් පුදුමය නම් වෙසක් පොහොය එළඹෙනතුරුත් ජීවිතය ඔහු අතහැර නොයෑමය. දින කිහිපයකට පෙර ඔහු සිය අවසන් කටයුතු සිදුවිය යුතු ආකාරය සඳහන් ඊ-මේල් පණිවුඩය තාත්තාටත්, නැඟණිය ඇතුළු ළඟම හිතවතුන් වෙත යවා තිබිණි. ඉතාමත් චාම් ලෙස කිසිවකුට කරදරයක් නොවන අයුරු වැඩ අවසන් කරන්නැයි එහි ඉල්ලා තිබී ඇත.
සංජය භෞතිකවාදියෙකි. අදේවවාදියකු වූ ඔහු කිසිදු ආගමකට ඇතුළත් නොවීය. පුළුල් සමාජමය දැක්මක් ඔහුට තිබුණේය. ජාති, ආගම්, කුලවර්ග ආදී සියලු බෙදීම් හා වෙන්කිරීම්වලට තරයේ විරුද්ධ වූ ඔහු ඊට විරුද්ධව එඩිතරව ක්‍රියා කළේය.

ආගම් අතර විරසක ඇති කරන්නට එපා යැයි විරෝධය පළ කරමින් ඉටි පහන් රැගෙන තුන්මුල්ලේ උද්ඝෝෂණයක යෙදෙන බව වෙබ් අඩවියක දුටු සංජය ඒ සන්ධ්‍යාවේ එහි ගොස් ඉටි පහනක් දල්වාගෙන ඉදිරියෙන්ම සිටියේය. ඡායාරූපය ඔස්සේ සංජය සොයා පැමිණි රහස් පොලිසිය මරණාසන්නව වැතිර සිටි සංජයගෙන් කටඋත්තරයක් ලබාගෙන පිටව ගියේය.
අඟහරුවාදා රාත්‍රිය සංජයගේ අවසන් රාත්‍රියයි. එදා ඔහුගේ සමීප මිතුරු ආනන්දගේ උපන් දිනයයි. ඒ පිළිබඳ කිසිවකු කතා නොකළත් සංජයට එය මතක් විය. ඔහු කුඩා හෝ සාදයක් තියන්නට යෝජනා කෙළේය. එයද ඉටු විය.
රාත්‍රිය නිහඬව, නිසලව ගෙවී ගියේය. සංජය පහන් සිතින් අවදිව සමුගැනීම සඳහා සූදානම්ව පැහැපත් මුහුණින් බලා සිටියේය. නැඟණිය සුබාත්, පෙම්වතියත් සංජය වෙත සමීප වූයේ ඒ අවසන් නිමේෂයේය. සිනා පොදක් දෙතොල් මත තැවරී මිලිනව යද්දී රමණීය වූ මරණය ඔහු කැටුව යන්නට පැමිණ සිටියේය.

පෙළ ගැසී දිගු වන්දනාවක
ඉගිළ යන රන් සමනළුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ
උපුටා ගැනීම – http://www.mawbima.lk/57-60188-news-detail.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල