කාලීන සංවාද

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!

Off

කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ… මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක 😉 එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත
මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

dtp lisha 2
ගෝෂා – චින්තක ගීතදේව
අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.
සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.

කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.
පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!

පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල