කාලීන සංවාද

දෙවොලේ කපුුවාගෙන් කෙලෙසෙන දේව මෑණි

Off

මෑතකදී ලංකාවේ පුරවැසියකුට උසාවියට අපහස කළා යැයි චෝදනාවට විශාල කාලයකට සිර දඬුවම් නියම වූ පුවතක් අසන්නට ලැබුණි. ඒ “දෙක දෙකෙන් බෙදූ විට ශේෂය බිංදුව” යැයි ලොවට නව ගණිතයක් හඳුන්වා දුන් නූතන පෛත්තියංගරස් හෙවත් විමල් වීරවංශට එරෙහිව නඩුවකදී, උසාවිය තුල “අත නඩුකාරයා දෙසට එල්ල කරමින් කෑ ගැසු” හෙයිනි. හොඳ වෙලාවට ඌ අත පමණක් ඔසවනවා නඩුකාරයා දැක තිබෙන්නේ; බැරිවෙලාවත් තව තවත් අවයව සෙලවෙනවා දැක්කා නම් එල්ලා මැරීමට නියම කිරීමටත් ඉඩ තිබුණේ යැයි සිතේ. මින්පසු උසාවි යන විට තදට “ලන්කට් එකක්” ඇඳගෙන යෑමට කවුරුත් සිතා ගත යුතුය.

දක්ෂ කථිකයකුගේ කට කක්කුස්සි කටක්ද රිදී සීනුවක්ද යන්න තීරණය වන්නේ එම හඬ කුමක් අරඹයා නැඟේද යන්න මතයි. ඒ අනුව, වීරවංශ පෝතකයා කූං කූං ගාන්නේද උඩු බුරලන්නේද සියලු සුනඛ වැඩ කළේද උදාරාර්ථයෙන් නොව උදරාර්ථයෙන්ම බව ඕනෑම පොඩ් එකෙකු දනී. එවුන්ට දිය හැකි උපරිම දඬුවම් නීත්‍යානුකූලව කඩිනමින් දිය යුතුය.

එසේ වුවත්, උසාවියේ දැන් කාලෙක සිට ෆැෂන් එකක් වී තිබෙන උසාවි අපහස චෝදනා එල්ල කරමින් චෝදනාවට සාපේක්ෂව අතිශය දුර්දාන්ත දඬුවම් නියම කිරීම කිසිසේත් මෙවන් දියුනු යුගයක අනුමත කළ නොහැකිය. මීට පෙර මුලු අධිකරණයම එකම අසූචි ගොඩක් කළ අගවිනිසුරුවෙකු විසින් එස්බීව අවුරුදු දෙක තුනකට හිරේ යැවේව්ද මෙවන්ම සරල පදනම් විරහිත චෝදනාවකටය. තරුණ ලේ ඉක්මනින් රත් වන නිසාදෝ එකල මා හදාරමින් සිටිය නීති උපාධිය පවා අත්හැර දැමුවේ නීතිය පන මෙන් රැකිය යුතු අයවලුන් විසින්ම එලෙස නීතිය ලංකා සමාජයේ වෛශ්‍යා වෘත්තියේ යෙදවීම අප්‍රිය කළ නිසාය (ඉන් මට නීති උපාධිය නැති වී පෞද්ගලිකව පාඩු විඳීමට සිදු වූවා පමණකැයි දැන් සිතේ).

දැන්වත් වහම ජනතා නියෝජිතයක් විසින් උසාවියට අපහස කිරීම (contempt of court) අර්ථ දක්වා ඊට දිය හැකි උපරිම දඬුවම් නිශ්චය කළ යුතුය පාර්ලිමේන්තු පනතකින්. කොන්දේසි විරහිතව අභිමතය (discretion) තිබීම තන්හා, ද්වේශ, මෝහ ආදියෙන් ගිලී සිටින සාමාන්‍ය මානවයා බොහෝ අකටයුතුකම්වලට පොළඹවන බව පුන පුනා ඉතිහාසය ස්ඵුට කරමින් තිබෙනවා. පිරිසක් විසින් තීරණ ගැනීමේ වටිනාකම මතු වන්නේ මෙතැනයි. විශේෂයෙන් තනි පුද්ගලයන් විසින් තීන්දු ලබා දෙන මහෙස්ත්‍රාත් උසාවි ආදියෙන් මෙම අභිමතය අන්තගාමි ලෙස භාවිතා විය හැකිය.

සදාචාරයෙනුත් නෛතිකවත් රටේ පරම අධිපතිත්වය (supremacy) පවතින්නේ රටේ ජනතාව සතුවයි. එහෙත් උසාවියක් වැනි තැනකදී රටේ සෑම තරාතිරමකම වැඩිහිටියන් වයස තිහේ තිස්පහේ පසුවන වයසින්, බුද්ධියෙන්, තපෝ බලයෙන් හෝ වෘද්ධි වී නැති බොහෝ විට තවම කසාදවත් බැඳ නැති මහෙස්ත්‍රාත් වරයෙකු හෝ මෙනවියක ඉදිරියේ පූස් පැටව් සේ හැසිරීමට නියමිනුත් අනියමිනුත් බල කෙරේ. යුක්තිය සාධාරණත්වය ලබා ගන්නැයි අපට කියන්නේ බෙලහීන නෝන්ජලයන් ලෙසයි (ඇත්තටම මීට වඩා වෙනස් සාධාරණ ආකාරයෙන් සිතන නඩුකාරවරුන්ද සිටින අතර ඔවුන්ට මෙම චෝදනාව අදාල නැත).

මිනිසෙකුට කිසිසේත් නවතා ගත නොහැකි තරමේ ස්වාභාවික ශාරිරික තත්වයක් වන කැස්සක් ගියත් නඩු කාරයාගේ සිට එහි දොර මුර කරන පොලිස් කොස්තාපල්ගේ ගැරහුමට ලක් වේ. කුඩා ළමයකු බැරිවෙලාවත් හැඬුවොත් තත්වය එයමයි. බැරිවෙලාවත් ඇඳුමේ බොත්තමක් බුරුල් කාසයෙන් ගැලවී ගියොත් සමහරවිට ටික වෙලාවකට හෝ ඌටත් බලු කූඩවක පහස හිමි කර දේ.

එහෙත් නීතිඳ කුලරත්නගේ දුරකතනය නාද වීම නිසා උසාවිය ඔහුට විරුද්ධව කටයුතු කිරීමේ සිද්ධියේදී එකට උඩුබුරපු අපේ මහා ලොකු බාර් ඇසෝෂියන් එකේ බලපෑමෙන් උසාවිය පූස් පැටියෙක් විය. එතෙක් කල් එම අසාධාරණය පොදු ජනයාට විඳීමට සිදු වීම ගැන බාර් එක නොදැන සිටියාද? අදටත් අපි වෙනුටවන් ඒ ගැන කතා කරනවාද? ඒ උන්ගේ රෙද්දෙ ප්‍රොෆෙෂනල් හැදියාවයි. උසාවිය තුල ඒ කියන්නේ එක් එක් මිනිසාට වෙනස් වෙනස් අයුරින් සලකන බවක් පෙනේ. එය මානව හිමිකම්වලටද විරුද්ධය. සාමාන්‍ය ජනතාවට යුක්තිය පසිඳලනවා යැයි කිව්වත් එතැන පොදු ජනයා හැසිරීමට සිදු වී තිබෙන්නේ පාතාල නායකයකු ඉදිරියේ සිටිනාව මෙනි.

ඉතාමත්ම සරල අවස්ථාවලට පවා කිසිදු ප්‍රායෝගික තත්වයන් නොසලකා නඩු කල් දැමීමටත් උපන් හපන් දක්ෂකමක් ඔවුනට ඇත. උදාහරණයක් ලෙස, යම් පවුල් ගැටලුවලදී එම උසාවියට අනුබද්ධ පවුල් උපදේශනයට යොමු කරතත්, එම තනතුර පුරප්පාඩුව පවතී. එය නඩුකාරයා නොදැන සිටීද? නැත. එය දැන සිටීම ඔහුගේ යුතුකමක් හා වගකීමකි. එසේ තිබියදීත්, නැවත නැවත කැඳවන අවස්ථාවලදී එයම සිදු කරයි. ඉතිං පවුල් ප්‍රශ්න මඳිවට එම අසරණ මිනිසුන් දැන් උසාවි ගානේ බඩ ගෑමට සිදු වේ. එවන් විටක ඒ චිත්ත පීඩාව නිසාම ගැහැනිට මෝල් ගහෙන් ගසා මරා දමා ඌ කොල නැති ගහේ එල්ලෙන්නට පෙළඹෙනු ඇත.

ජඩ වැඩ කරන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට අනෙක් වෛද්‍යවරුන් කටයුතු නොකරයි. බොහෝ වෘත්තින් එලෙසය. නඩුකාරයන්ද එසේමය. අලි හොරකමේ සිටි නඩුකාරයෙකුව කොතරම් ආරක්ෂා කරන්නට ක්‍රියා කළේද යන්න කවුරුත් දනී. ආබෲගේ සිද්ධියත් එසේය. ඒවා නිකංම ජාතක කතා වගේ කතා වස්තු පමණි. ඇහුව අමතක කළා. එහෙත් පුරවැසියෙකුට නැගෙන චිත්තාවේගයක් නිසා වරක් පිට කරන වචන ගොන්නකට නම් ඌව වසර ගණන්වලට සිරදඬුවම් ලබා දීමට තරම් ශුද්ධවන්තය. හරියට එම වචන වැදී උන්ගේ කන් බෙර හෝ කන්‍යා පටල පැලී ගියා වගේ හැසිරෙන්නේ.

මෙය අපේ නීතියේ තිබෙන වෛශ්‍යා ස්වභාවයයි. හැන්ද තිබෙන එකා හැදියාවක් තිබේ නම්, අනුන්ගේ බඩගින්න නිවා තමන්ට අවසානයේ බෙදා ගන්නේ. එහෙත් අපේ එවුන් මුලින්ම බෙදා ගන්නේ තමුන්ටයි. පාර්ලිමේන්තු මන්ත්‍රින් කරන්නේද එයයි. උන්ට ලක්ෂ ගණන් දීමනා, වාහන දෙක තුන ගැනීම, හා අවුරුදු 5ක් සිටීමෙන් ජීවිත කාලයටම ඉහල විශ්‍රාම වැටුප් පවා ලබා ගන්නේ පොදු ජනයාගේ දීමනා හා විශ්‍රාම වැටුප් ඉවත් කරමින්ය. උසාවියේ එවුන්ගේ උසාවි අපහස නීතිය ක්‍රියාත්මක වීමත් එබදුය. රාජාණ්ඩු සමහේ කැකිල්ලේ රජුගේ නඩු ඇසීම විසුළුවක් වන අයට ජනරජ සමයේ මෙම අතිබයංකර තත්වය වගේ වගක් නැත.

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://tekcroach.blogspot.co.uk/2017/02/blog-post_12.html

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල