කාලීන සංවාද

එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම

Off

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ භාන්ඩ අත්පත් කරගැනීම සිය ජීවිතයේ පරම නිෂ්ඨාව බවට පත්කරගත් ආධ්‍යාත්මික වශයෙන් දිලිදු සත්වයෙක් බවට ඌනනය වන ආකාරයත් මෙහිදී ඔහුගේ අවධානයට හසුවේ. කලාව වෙලඳපොලකරනය වීමේ විපාක ගැන සරච්චන්ද්‍ර එම කෘතිය තුළ විශාල සාකච්ඡාවක් ගොඩ නගයි. සයිබර් යුගයේ ජීවත් වන වත්මන් මිනිස් පරම්පරාව මේ පොත ගැන සමහර විට අසාවත් නැති වීමට ඉඩ තිබේ. උසස් පෙල සිංහල විෂය කරන උදවියට විෂය නිර්දේශයට නියමිත වී තිබෙන නිසා ‘මනමේ’ හෝ ‘ මලගිය ඇත්තෝ’ පරිශීලනය කිරීමට බල කෙරී තිබෙන නිසා සරච්චන්ද්‍ර ගැන යම් පමනකින් දැන සිටියත් ඒ දැනුම ‘ධර්මිෂ්ඨ සමාජය’ දක්වා ව්‍යාප්ත වූවක් නොවන බවට නම් සැකයක් නැත.

සරච්චන්ද්‍ර මිය ගොස් දැන් වසර ගනනාවක් ගත වී ඇත. සරච්චන්ද්‍රගේ ’ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා දැන් දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබේ. සරච්චන්ද්‍රගේ ජීවිතය අවසාන කාලයේ සමාජය මත යම්තම් පතිත වී පැතිරෙමින් තිබුනු නව ලිබරල් ධනවාදය මේ වන විට මුලූ සමාජයම සිය ග‍්‍රහනයට ගත් යථාර්ථයකි. වෙළඳභාන්ඩකරනය සමාජය තුළ එහි තාර්කික උපරිමය කරා ගමන් කරමින් තිබෙන අතර ‘සංවර්ධනය’ ලෙස වර නගා තිබෙන්නේ මෙලෙස සිදුවන වෙලඳභාන්ඩකරන ක‍්‍රියාවලියයි. ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට පැමිනියේ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ගොඩනගන බවට ප‍්‍රතිඥා දෙමිනි. එක් අතෙකින් නව ලිබරල් ප‍්‍රතිසංස්කරන හඳුන්වා දෙන ගමන් අනිත් අතින් ආගම හා ජාතිය ගැන මතවාදී තලයේ අලංකාරිකයක් පවත්වා ගැනීමට ජයවර්ධන රජය දිගටම ක‍්‍රියා කළේය. පන්සල් වලට අතහිත දීම, භික්ෂූන් ඉදිරියේ ව්‍යාජ ගෞරවයක් පෙන්වමින් සංඝ සමාජය සමග වංක සහයෝගයක් පවත්වා ගැනීම ජයවර්ධන විසින් සිදු කරන ලදී. ජාතික ප‍්‍රශ්නය විෂයෙහි ජයවර්ධන සිංහල වාර්ගික ජාතිවාදය මත පදනම්ව තීරණ ගත් තැනැත්තෙකි. ඒකීය ලංකාව රැකීම සඳහා දෙමළ සන්නද්ධ කන්ඩායම් විනාශ කරදැමිම ජාතික ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ ද ඉදිරි දැක්ම වූයේය.

රොනල්ඩ් රේගන්ට ඇතෙක් පූජා කරන ජේආර්
වර්තමානයේ ‘මහින්ද චින්තනය’ නමින් ක‍්‍රියාත්මක වන්නේ ජේ.ආර්.ජයවර්ධනගේ මෙම නව ලිබරල්වාදී මොඩලය මය. වෙළඳභාන්ඩකරන ක‍්‍රියාදාමය සඳහා සියලූ පහසුකම් සපයන ගමන් අනිත් අතට වාර්ගික ජාතිවාදයත්, ආගම පිළිබඳ අලංකාරිකයත් මතවාදී තලයේ මහින්ද රාජපක්ෂ රජය විසින් නඩත්තු කරනු ලබයි. ස්වකීය ප‍්‍රතිසංස්කරන සඳහා වූ මහජනය සහයෝගය පාලකයින් රඳවා ගන්නේ මෙලෙස නඩත්තු කරන මතවාදය හරහාය. මේ අනුව ‘මහින්ද චින්තනය’ වූ කලී ‘ධර්මිෂ්ඨ සමාජය’ සංකල්පයේ දෙවන සංස්කරනය යැයි කිව හැක.

සිංහල සාහිත්‍යය සමාජය තුළ ධනවාදී සමාජයක් තුළ මිනිසා ගොදුරු වන ආධ්‍යාත්මික දිලිදුබව පිලිබඳ අදහස් දැක්වූ බොහෝ ලේඛකයින් හා කලාකරුවන් සොයාගත හැක. සරච්චන්ද්‍ර එම විවේචනය විධිමත්ව ගොනු කළ අතර මහගමසේකර, කේ.ජයතිලක වැන්නවුන්ගේ රචනා තුල ද මේ විවේචනය හඳුනාගත හැක. මාර්ටින් වික‍්‍රමසිංහ ද ධනවාදී සමාජය ගැන විවේචනාත්මකව ලියූ පුද්ගලයෙකි. මොවුහු මාක්ස්වාදීන් නොවෙති. මෙම සාහිත්‍යකරුවන් මධ්‍යම පංතික බුද්ධිමතුන් පිරිසකි. ධනවාදී සමාජය ගැන මොවුන්ගේ විවේචනයේ සීමාවන් රාශියකි. ඒ සීමාවන් මොනවාද කියා වෙනම සාකච්ඡාවක් සිදුකළ හැක. කෙසේ වුවද සැලැකිය යුතු කාරනය වන්නේ ලංකාව තුළ ධනවාදී සමාජ කොන්දේසි යටතේ මනුෂ්‍යයාගේ ගොදුරු වන ඉරනම පිළිබඳ සාරවත් අදහස් දැක්වීමක් සිදුකල ලේඛක පරම්පරාවක පැවැත්මයි.

ලංකාවේ සාම්ප‍්‍රදායික සාහිත්‍යය කතිකාව තුළ මේ ලේඛකයින් ‘මහා සාහිත්‍යවේදීන්’ ලෙස හුවා දක්වනු ලැබේ. පාසල් හා විශ්ව විද්‍යාල විෂය නිර්දේශ වල මොවුන් සහ මොවුන්ගේ කෘතීන් අන්තර්ගත වේ. මාර්ටින් වික‍්‍රමසිංහ ‘හෙලයේ මහා ගත්කරු’ය. සරච්චන්ද්‍ර සම්බන්ධයෙන් ද එවැනි ප‍්‍රතිරූපයක් නඩත්තු කරනු ලැබේ.

එහෙත් මොවුන් විසින් සිදුකළ සමාජ විවේචනය මේ සාකච්ඡාවන් තුළ දී හලා දමා ඇත. උදාහරනයක් ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර ගැමි නාට්‍ය ගැන පර්යේෂන කළ බුද්ධිමතෙක් ලෙස විනා ධනවාදී සමාජය ගැන විවේචනය කළ විචාරකයෙක් ලෙස හඳුන්වා දීමක් සිදුවන්නේ නැත. මාර්ටින් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ද එසේය. ධනවාදී සමාජයේ පරිභෝජනවාදී ජීවිතය සහ හරසුන් වටිනාකම් ගැන විවේචනයක් කරන ලේඛකයෙක්ට වඩා සොකරි සහ නාඩගම් ගැන සොයමින් ගම්මාන පුරා ඇවිදින මහාචාර්යවරයෙක් ගේ ඉමේජය විවාදාත්මක බවින් අඩුය.

අධිපති කතිකාව විසින් බහිෂ්කරනය කරන ලද මෙම කොටස – එනම් මෙම සාහිත්‍යකරුවන් විසින් සිදුකරන ලද සමාජ විචාරය – නැවත සාකච්ඡාවට ගැනීම මේ මොහොතට අදාල වැදගත් කටයුත්තකි. උදාහරනයක් ලෙස සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ඨ සමාජය‘ ගැන සංවාදයක් මේ මොහොතේ සමාජය තුළ ඇති කල යුතුය. සයිබර් යුගයේ මිනිස් පරම්රාව සමග ‘ධර්මිෂ්ඨ සමාජය’ තුල සරච්චන්ද්‍ර සාකච්ඡා කල දේවල් නැවත සාකච්ඡා කිරීම පටන් ගත යුතුය. එනම් සරච්චන්ද්‍ර ධනවාදී සමාජය පිලිබඳ ඉදිරිපත් කළ අදහස් ජනප‍්‍රිය තලයේ සාකච්ඡාවට ගත යුතුය. එම අදහස් වල තිබෙන සාරවත් කොටස සහ ඒවායේ තිබෙන සීමා වෙන් කරනු ලබන දේශපාලන විචාරයක් අවශ්‍ය කෙරෙන අතර එවැනි සංවාදයක් තමා ජීවත් වන සමාජය ගැන නැවත සිතා බලනු වස් මිනිසුන් පොළඹවන සාකච්ඡාවක් බවට පත්කරගැනීමේ විභවතාවයෙන් යුක්තය.

උපුටා ගැනීම – http://ramachandrageadaviya-ramachandra.blogspot.co.uk/2014/06/blog-post_7.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල