සාහිත්‍ය කළා විචාර

දර්ගා නගරයේ අමිහිරි අත්දැකීම

Off

අලූත්ගම දර්ගා නගරයේ ගැටුමට තුඩුදුන් මහජන රැස්වීමේ දී බොදුබල සේනා නායකයාගේ කථාව මම ඇසුවෙමි. දල්වාලන ලද වර්ගාන්තර ආතතියක් සහිත වටාපිටාවක විශාල පරිමාණයේ ගැටුමක් සඳහා ඕනෑතරම් පෙළඹවීම් එම කතාවේ ගැබ්ව තිබුණි.

‘නටන්න එන්න එපා…. නැටුවොත් දෙවන පියවර අලූත්ගම, බේරුවල යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබසරණයි.’

‘අදින් පස්සේ එක මරක්කලයෙක් එක සිංහලයෙකුට, සිවුරකට නෙවේ එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගෙම අවසානය බව අපි කියන්න ඕනෑ.’

මේ ඔහුගේ බලගතු ප‍්‍රකාශවලින් උපුටා ගත්තකි. සංහිඳියාව පිළිබඳ සංවේදී රජයක් මෙවන් ප‍්‍රකාශ කරන කවර තරමේ පුද්ගලයෙකුට වුවත් නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනවාද? එහෙත් මෙකී ප‍්‍රකාශයන්හි හිමිකාර භික්ෂුව නිදැල්ලේ සිටිනවා පමණක් නොව, තම ව්‍යාපෘතිය තුළ තව තවත් කි‍්‍රයාකාරීව සහභාගි වෙමින් සිටී. ඒ ආකාරයට ඔහු නිදැල්ලේ හැසිරෙන්නේ ආණ්ඩුවේ බලවත් උදවියගේ රක්ෂාවරණය යටගේ බව තේරුම් ගැනීමට අපහසුවක් නැත.

යුද්ධාවසානයට පෙරාතුව රටේ ඇති වූ භීෂණ රැුල්ල විසින් බොහෝ සමාජ කි‍්‍රයාකාරීන්ට මරණය කැඳ වූ අතර ඇතමුන් පණ බේරා ගැනීම සඳහා තානාපති සේවා මාර්ගයෙන් රටින් පිටව ගියහ. එහෙත් මේ සා විශාල විනාෂයකට පාර කපන මෙම ව්‍යාපාරය නිරුපද්‍රිතව සිටී. ඔවුන් ඇතැම් විට රාජ්‍ය නායකයාද විවේචනය කරයි. එ් පවෙුල් උදවියද, මැති ඇමතිවරුද විවේචනය කරයි. එහෙත් ඔවුන් පිටුපස සුපුරුදු භීෂණය හඹා එන්නේ නැත.. එයින් කෙරෙන ඇඟවුම් කවරේද? ආණ්ඩුවේ ගැඹුරුම තැනින් ලැබෙන ආශිර්වාදයක් සහිතව මෙකී ජාතිවාදී ව්‍යාපෘතිය ගොඩ නැගී ඇති බවයි එ්. පාලක පවුලට නිය පිිටින් පහරක් එල්ල කිරීමට ඉඩ දීම මගින් මෙකී තිරස්චීන ව්‍යාපාරයට තමන්ට ඇති සම්බන්ධය හෙළි නොවේයැයි ඔවුන් සිතනවා විය හැකිය.

1983 කළු ජූලිය එවක බලයේ සිටි ආණ්ඩුවේ නිර්මාණයක් වන්නා සේම, සංහිඳියා සම්පන්න අනාගතයක් බලාපොරොත්තු වූ සුලූතර දෙමළ ප‍්‍රජාව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට ආශිර්වාද කරන තැනකට තල්ලූ කරන ලද සිදුවීමක්ද වූයේය. 1982 ජනමත විචාරණයේදී කල වංචා නිසා ආණ්ඩුව අර්බුදයකට යෑමෙන් වැළකී සිටීම හා නැගී එන සක‍්‍රිය දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයා සන්ථතිය නැවැත්වීම 1983 කළු ජූලිය නිර්මාණය කිරීමට ආණ්ඩුවට තිබුණු ඇත්ත හේතු විය.

අද උන්නතිකාමී හා හීනමානී භික්ෂු ප‍්‍රතිරූපකයන් සහ අදේශපාලනික ජාතිවාදී ගිහියන්ගේ උපකාරයෙන් නැති මුස්ලිම් ප‍්‍රශ්නයක් සමාජගත කරන්නේද ආණ්ඩුව වෙලී පවතින අර්බුදයන්ගෙන් ගොඩ එ්මට සිතාගෙනය. යුද්ධයෙන් පසු ආණ්ඩුවේ කි‍්‍රයා සන්ථතිය ආණ්ඩුවේ හිත සුව පිණිස නොවන බව නායකයෝ හොඳාකාරවම දනිති. ගෙවී ගිය මැතිවරණ කිසිවක් ආණ්ඩුවේ අනාගත පැවැත්ම සඳහා කොළ එළි පත්තු කළේ නැත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සියයට හැටකට වැඩි ප‍්‍රමාණයක් නායකත්වය පිළිබඳ කලකිරීමෙන් පමණක් නොව වෛරයෙන් ද පසුවේ. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි පිරිස ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතන්නේ තමන්ගේ බඩජාරිකමට සාපේක්ෂව පමණි. ඔවුන්ට වගකීම් ඉෂ්ට කිරීමට තමන් පිටුපස ජනබලවේගයක් නැත. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට එසේ නැත. ඉතිහාසයේ නොවූ විරු තරම් ප‍්‍රගුණ කළ දූෂණ හරහා වෙනස් පාලනයකදී වත්මන් පාලකයනට ගැලවුමක් තිබිය නොහැකිය. මෙවැනි වටාපිටාවක තමන්ගේ අනාගතය කවර නම් භීෂණයක් මතින් හෝ සකස් කර ගැනීමට ආණ්ඩුව කල්පනා කරයි. මුස්ලිම් ජනයාට එරෙහි සිංහල වර්ගවාදයට ආණ්ඩුවේ උඩගෙඩි දීම තේරුම් ගත යුත්තේ් මෙවැනි පසුබිමක සිටය.

1977 විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භවීමත් සමග ලංකාවේ ආණ්ඩුකරණ ක‍්‍රියාවලියට සම්බන්ධ දේශපාලන කි‍්‍රයාදාමයේ පමණක් නොව, සිවිල් සමාජයේද, මහජන කතිකාවන් ඔස්සේ ගොඩ නැගුණු ප‍්‍රජාතාන්ති‍්‍රක වටාපිටාව බලවත් ලෙස හැකිලී ගියේය. ලංකා සමාජයේ ආණ්ඩුවට පරිබාහිර මහ ජාතියට අයත් සමාජ ආයතන බොහොමයක් ආණ්ඩුවේ අසීමාන්තික බලයට යටත්ව අවනත විය. ලංකාවේ භික්ෂු සංස්ථාව ගත හැක්කේ ද එ් යටත් වූ හා අවනත වූ ප‍්‍රමුඛ පෙළේ සමාජ කණ්ඩායමක් ගනයටය. අද දේශපාලනික හා සමාජ ක්ෂේත‍්‍රයේ ඉතාමත් අශීලාචාර ලෙස හා ප‍්‍රචණ්ඩකාරී ලෙස වැඩකරන කිසිදු භික්ෂුවක් පාලනය කිරීමේ හැකියාවක් එකී නිකායන්හි අධිපතීන්ට අහිමිව ගොසිනි. ඔවුන් අද පත්ව ඇත්තේ යම් යම් අවස්ථාවන් අලංකරණය කරන සැරසිලි විශේෂයක් ලෙස මිස ආධ්‍යාත්මික මෙහෙවරක් කරන පිරිසක් ලෙස නොවේ.

ලංකාවේ නිරපරාද භීතියට ගොදුරුවී සිටින මුස්ලිම් ජනයාට එසේ වීමට තරම් වන බලගතු කිසිදු වරදක් ඔවුන් කර නැත. හලාල් සම්බන්ධ ඔවුන්ගේ ආගමික පිළිවෙත ලෝකයේ සියලූ ප‍්‍රජාතන්ති‍්‍රක රටවල ඉඩ දී ඇති ආගමික අයිතියකි. ලංකාවේ ද මෙතෙක් ඒ තත්ත්වය මැනවින් රැකුණි. කොරහේ කිඹුල්ලූන් දකිනවා සේ තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට හලාල් ආදි ගැටලූ කරලියට ගෙනවිත් ඇත.

මුස්ලිම් ජනයා එක්තරා අයුරකින් දෙමළ ජනයාටත් වඩා අනාරක්ෂිතය. දෙමළ ප‍්‍රජාවට වැඩුනු දේශපාලන ව්‍යාපාරයක් තිබුණි. එමෙන්ම ජන බහුතරයක් ජීවත්වන සුවිශාල ප‍්‍රදේශයක් ඔවුන්ට තිබේ. මුස්ලිම් ජනයා වැඩි කොටසක් ජීවත් වන්නේ රට මැදට වන්නට අනෙකුත් ජනයා අතරේය. ඔවුන්ට ධෛර්ය සම්පන්න දේශපාලන නායකයන්ද, ව්‍යාපාරද නොමැත්තේය. එහෙයින් බාහිරින් එන පීඩනයකදී ඔවුන් පහසුවෙන් ගොදුරු බවට පත් වේ. එහෙත් මුස්ලිම් ජනයාට වන විපතකදී ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී සිටිය හැකි අන්තවාදී සංවිධාන ලෝකය පුරා විසිරී සිටී. ඔවුනට මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි වුවත් එකී ජනයා පීඩාවට පත්කරන රට බලවත් ලෙස අස්ථාවර කළ හැකිය.

පසුගිය 16 වනදා දර්ගා නගරය ආශි‍්‍රතව ඇති වූ වාර්ගික කලකෝලාහල පිළිබඳ අවසන් වගකීම රජයට බැර විය යුතු ය. රජයක් මෙවැනි අවදානම් සහගත අත්හදා බැලීමකට යන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය විසින් හිතුවක්කාර වීමට සලසා ඇති ඉඩ හසර නිසාය. ජේ.ආර් ජයවර්ධන සිය පාලන කාලය තුලදී විවිධ ක්ෂේත‍්‍රයන්හි මෙවැනි ප‍්‍රචංඩකාරී අත්හදා බැලීම් ගණනාවක්ම කොට අනාගත නායකයන්ට ඇති තරම් පූර්වාදර්ශ සපයා දී ඇත. එහෙත් ඒ පූර්වාදර්ශවලින් රටටවත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයටටවත් යහපතක් වූයේ නැත.

අද මෙවැනි අත්තනෝමතික පීඩාවන්ට ලක්වන ජන කොටස්වලට සහනය සඳහා යා හැකි ආයතන ව්‍යුහයක් ශී‍්‍ර ලංකාව තුළ නොමැත. අධිකරණය තවදුරටත් යුක්තිය ඉෂ්ට කරන සමාජ ආයතනයක් නොවේ. අධිපතියාගේ කැමැත්ත පමණක් නීතිය බවට පත් වී ඇත. එහෙයින් වඩාත් ධෛර්ය සම්පන්න දේශපාලන ව්‍යාපෘතීන්ට පමණක් මේ තිරස්චීන අශෝභන තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.

උපුටා ගැනීම – http://iranamvila.blogspot.ca/2014/06/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල