කෙටි කථා

“හේතු වාසනා ..”

Off

කෝමල් නලුවා 02

සතියක් තිස්සේ ම රටේ ලොකු ම ජාතික ප්‍රශ්නය වී තිබුණේ ජැකලින් නඟා ගේ ආප්පය ය. කෝමල් නලුවාටත් ජැකලින්ගේ ආප්පය රස බැලීමට හිතක් පහළ වී ඒ පැත්තේ රෝන්දයක් ගහන්නට මිදුලට බහිද්දී ම මිදුලේ හිටි මෑණියෝ කිවේ ” උඹට ඔය හින්දි නිළියොන්ගෙන් අපලයි, මතකනෙ එක පාරකුත් කතාවක් හදාගත්තා. බලාගෙන, කන දෙයක් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න පුරුදු වෙයන් තාත්තා වගේ නැතුව” කියා ය. ශේප් වෙලා ඇති කියා හිතන් හිටි අසින් කේස් එක මෑණියන්ගේ කටින් ම එළියට ඒමෙන් ලාම්පු තෙල් වැදුණු ගැරඬියා ගානට ඇඹරුණු කෝමලයා “හරි හරි ඉතිං, තාත්තා කුරහං තලප කන්න ගිහින්නේ තල්ලේ අලවා ගත්තේ. ඇරත් ආප්ප ගෑරුප්පුවෙන් කන්න බෑ නේ” කියා නෝමල් ලිස්සන ආන්සර් එකක් දාගෙන ම ගේට්ටුව පැන්නේ ය. බුවා එතකොට ම දැක්කේ තාප්පය ගාව ම කොට පොරක් ට්‍රැක් කිට් එකක් ගහන් එක්සයිස් කරන සීන් එකක් ය. බැලින්නම් වාරවිංසයා ය. මේකාට වැඩිමාල් සහෝදරයා කියා මෑණියන්ගෙන් අහගත් සම්බුව එවෙලේ ම මතකයට ආවත් වතාවක් හරි අයියා කිවූ එකා නිසා කෝමලය කෝකටත් මූ ගැන පොඩ්ඩක් හොයා බලන්නට හිතුවේය.

“අයියා, ඔබ මා දමා කිනම් දේශයකට යන්නේද අයියා” කියා පරණ ෆිල්ම් කෑල්ලකින් පොඩි කින්ඩියක් දැමූ නලුවාට වාරවිංසයාගෙන් රිප්ලයි එක හම්බුණේ “මං මේ පාර තනියෙන් ඌවට ඉල්ලන්න යන්නේ, පොඩි ප්‍රැක්ටිස් පාරක් දාල වෝමප් එකේ බහින්න ඕනෙ” කියා ය. ඌවේ හිටපු පංචායුද දෙකත් දෙපැත්තට පැනපු වෙලාවක මුගේ මොරාල් එක ගැන අවංකෙන් ම සන්තෝස හිතුණත් කෝමලයාට ඒත් එක්ක ම මතක් උනේ ශශින්දරයාත් දැන් දැන් එන්නේ හොඳ පොටකට නොවෙන බව ය. “අයියත් ලෑස්ති වෙන්නේ කතරගම් බස්සාට කඩේ යන්න නම් ඔය කරන මළදානයක් දියවන්නාව ගාව තියෙන නිල නිවාසයක් ඉස්සරහා ගිහින් කරගන්න එකයි ඇත්තේ” කියන කොට ම වාරවිංසයා හැරෙන තැපෑලෙන් කීවේ “තියෙන සිටුවේශන් එකේ හැටියට ඌවෙන් පය ලිස්සුවොත් කාගෙ කාගෙත් තාත්තලාට බඩු බනිස් වෙන්න පටන් ගයි” කියා ය. මූණ පොඩ්ඩක් නොරොක් කරගත් කෝමලයාට එවෙලේ ඇත්ත ම කියවුණේ තමන්ගේ පරම්පරාවේ මළගිය ඥාතියෙක් ඊයෙ පෙරේදා දවසක හීනෙන් ඇවිත් “ස්ත්‍රී රත්නං ආසන රත්නං පරහස්ත ගතං, ගතං ගතං” කියා ශ්ලෝකයක් කියා ගිය බවය. වාරවිංස පණික්කියාට එවේලේ ඇඬුම් ආවේ ස්ත්‍රී රත්නය ඊයෙ පෙරේදා දවසකත් ලොක්කා එක්ක සී ෂෙල්ස් ගිහින් තමුන්ව සේල් කර ආපු බව මතක් වෙලා ය. වාරවිංසයා විරවා පට්ටම් ගසා නයා නැති වෙච්ච අහිකුංටිකයා ගාණට වැටී හිටියදී ම එතනින් දිරා මාර් වුණු කෝමලයා ආප්පය සොයා ජැකලින් නඟාගේ කඩේ පැත්තට හැරුණේ ය.

අතර මග දී කොලුවාට ජනතාව ගැන ඇත්තට මත් දුක හිතුනේ ය. ඒ උන් රුපියල් විස්සට මිරිස් කරල් හතරක් ගන්න ගමන් ජැකලිනාගේ ලුණු මිරිසේ ගාණ අහන් මෝල් වී ඉන්න තරම ගැන කල්පනා කරලා ය.

ආප්පය කන්න ඔන්න මෙන්න තියෙද්දී නිව්ස් එක ආවේ කොනුර අමාර යා ඇක්සිඩන්ට් වෙලා කියලා ය. එතනින් එහාට නිව්ස් ලෝකය ම මඤ්ඤං වී ගොස් නඟා ගේ ආප්පය හැඳි ගෑවිලා ගිය අතර ටොප් හිට් එක උනේ කොනුර අමාරයාගේ ඩබල් කැබ් එකය. ඒ අතර අමාරයා අමාරුවෙන් ඇම්බියුලන්ස් එකෙන් බාන වෙලාවේ නර්ස්ලා සෙට් එකම වට වී පොටෝතෙරපි කරන සීන් එක බලන් හිටි කෝමලයාට හිතුණේ ‘යකෝ මාත් ඇක්සිඩන්ට් වෙන්න වටින කොල්ලෙක්’ කියා ය.

එතනින් එහාට ගිය ආටක නාටක සීන් එකේ තිබ්බේ ජෙප්පෝ සහ නන් ජෙප්පෝ දෙපැත්ත බෙදී කොනුරයා ගේ ඩබල් කැබ් සීන් එක ජස්ටිෆයි කරන්න ගහපු රගර් මැච් එකක් වගේ ගේමකි. පුස් බයිසිකලයක් ගන්න සල්ලි නැති උනුත් තියෙන බජාජ් සයිකල් කට්ටට පෙට්‍රල් ගහගන්න සල්ලි නැති උනුත් දෙපැත්ත බෙදී ටොයෝටා ඩබල් කැබ් එක්කට මරාගන්න කේස් එක පිස්සු කොර වී බලන් හිටි නලුවාට නිකම්ම වගේ මතක් උනේ තාත්තා දෙකක් දාගත්ත වෙලාවට නිතර ම කියන සින්දුව ය. සින්දුව මතක් උනාට වචන ටික ඔළුවට ආවේ ම නැත. ටියුබ් ලයිට් එක පත්තු වෙනකල් කොල්ලා මනෝ පාරක් ගහන් ඉඳිද්දී ම ආයෙත් චැනල් එක මාරු උනේ ය.

ඒ පාර කොනුර අමාරයාගේ කැබ් එකත් ගහගෙන ගිය සුනාමිය ගෙනාවේ මාලිංගයා ය. ෆාස්ට් බෝල් බුවා මෙදා පොටේ දකුණට පොල්ල තියා මුම්බායියන්ට අල්ලන්න සෙට් වෙන එකට දේශමාමක ජනතාවට අසූ කෝටියකුත් චුට්ටක් වැඩියෙන් මළ පැන තිබුණේ ය. ජනතාව හාල් පොල් මිරිස් තුනපහ පෙට්ට්‍රල් ලයිට් බිල් පොලිස් මර්ඩර් ඇතුළු මෙකී නොකී සබ්බ සකලමනාව ප්‍රශ්න රෝල් කර අහවල් එකේ ගහගෙන මාලිංගයා වළඳන්නට පන්නන වෙලාවේ කොලුවාට අප්පාගේ සින්දුව එකපාරට ම මතක් උනේ ය. ඒ,

“පින් කෙත රන් හෙළ දෙරණෙ මතු උපදින්නට … හේතු වාසනා …” සෝන්ග් එකය.

~ සුනිත් අරුණශාන්ත

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල