අධ්‍යාපනික, ඉතිහාසය

බෙලිඅත්තට කෝච්චියක් !

Off

මාතර ඉඳලා බෙලිඅත්තට කෝච්චියක් වැටීම පහුගිය දවස් වල ගොඩක් අය කතා කරපු දෙයක්නේ. ඒ කතාබහත් වෙනත් ගොඩක් දේවල් වගේම කතාකරන පුද්ගලයින්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මත ධ්‍රැවීකරණය වෙලා තිබුණු බව පෙනෙන්නට තිබුණා. සුද්දෝ ගියාට පස්සේ පළමු වතාවට මේ ආකාරයට ලංකාවේ කෝච්චි පාරක් හැදුනු එක ගැන සමහර අය උදම් අනද්දී, තවත් සමහර අය මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් විදිහට දැක්කා.

කිලෝමීටර 26ක් වන මේ දුම්රිය මාර්ග කොටස හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 278.2ක් වියදම් වෙලා කියල කියනවා. ඒ ගාන ඕනෑවට වඩා වැඩිද, ඔය ආයෝජනය ආපහු ලැබෙන්න කොයි තරම් කාලයක් යනවද වගේ බරපතල ප්‍රශ්න අපි පැත්තකින් තියමුකෝ. කොහොම හරි දැන් බෙලිඅත්තට කෝච්චියක් යනවනේ!

ලංකාවේ හැදුණු පළමුවෙනි කෝච්චි පාර කොළඹ නුවර පාරයි. ඒකෙනුත්, මුලින්ම හැදුනේ කොළඹ අඹේපුස්ස දක්වා කොටසයි. හැතැම්ම 34.5ක් (කිලෝමීටර 55ක් පමණ) වන මේ කොටස හදන්න වියදම් වෙලා තියෙන්නේ ස්ටර්ලින් පවුම් 258,795ක් පමණයි. කිලෝමීටරේකට පවුම් පන්දාහකට අඩුයි. ඒ දවස් වලම සුද්දා රේල්පාර කතරගමටම හදල තිබුණානම් කිලෝ මීටරේකට ඩොලර් මිලියන දහය පන්නල වියදම් කරන්න වෙන්නේ නැහැ. කොහෙද ඉතිං පහු පහු වෙද්දී රේල් පාරවල් හදන එක සුද්දා අතෑරලා දාලනේ!

මේ කොළඹ අඹේපුස්ස පාරේ මුලින්ම මගී දුම්රියක් දුවවල තියෙන්නේ 1865 අන්තිම හරියේදී. නමුත්, ඊට පෙර විශේෂ ගමන්වාර ගණනාවක් දුවවල තියෙනවා. හරියටම හෙටට අවුරුදු 154කට කලින් ලංකාවේ පළමු දුම්රිය අනතුර සිදුවෙලා තියෙන්නේ නිල වශයෙන් ලංකාවේ මගී දුම්රිය ධාවනය ආරම්භ වෙන්නත් කලිනුයි. හරියටම කියනවනම් 1865 ජනවාරි 14 වෙනිදා. රේල් පාර හදන කටයුතු බාරව හිටපු ලිපිකරුවෙක් වන ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයාගේ නොසැලකිල්ල නිසා රාගම කිට්ටුව සිදුවෙලා තිබෙන මේ අනතුරෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.

කොළඹ සිට අඹේපුස්ස දක්වාම නැග්ම අඩි 180ක් පමණක් වූ මේ දුම්රිය මාර්ගයේ මුලින්ම නිල වශයෙන් දුම්රියක් ධාවනය කර තිබෙන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. මේ ගමනට විශේෂ අමුත්තෙක්ද සහභාගී වී තිබෙනවා. ඒ මේ කියන දවස් වල ලංකාවේ දින 12ක සංචාරයක යෙදුනු හා වසරකට පසුව දෙවන ලියෝපෝල්ඩ් නමින් බෙල්ජියමේ රජ වූ බ්‍රබන්ට්හි ඩියුක් වරයා. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ටෙරන්ස් ඕබ්‍රයන්, යටත් විජිත මහලේකම් ගිබ්සන්, විගණකාධිපති, බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඇතුළු ආණ්ඩුවේ ඉහළම නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වල අයත් මේ ගමනට සහභාගී වෙලා තියෙනවා. මේ මංගල දුම්රිය ධාවනය කරල තියෙන්නේ ගිල්ෆඩ් මෝල්ස්වර්ත් විසිනුයි.

බොහෝ දෙනෙක්ව උද්දාමයට පත් කරපු ඔය ගමන සාර්ථක ලෙස අවසන් වෙලා සති දෙකකට පමණ පසුවයි මම මුලින් කියපු අනතුර සිදු වෙලා තියෙන්නේ. ඒ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරල තියෙන්නෙත් මෝල්ස්වර්ත්මයි. දුම්රිය මැදිරි 16ක් තල්ලු කරගෙන ඔහු එන්ජිම ධාවනය කර තිබෙන්නේ පසුපසින්. දුම්රිය මැදිරි වල වැඩිපුරම ඉඳලා තියෙන්නේ පාර හැදීමේ කටයුතු වල නිරත වූ කම්කරුවන්.

ඔය දුම්රිය පාර හදන දවස් වල රාගම පැත්තේ තිබිලා තියෙන්නේ ගැඹුරු මඩ වගුරු. ඒ නිසා පාර හදල තියෙන්නේ අඩි හය හතක් පස් පුරවලයි. දුම්රිය මාර්ගයේ වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් විශාල පිරිසක්ද ඇවිත් තිබෙනවා. කඩිනමින් වැඩ නිමකර මගී ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ගය පොරොන්දු වූ දවසට විවෘත කරන්න ඉඩ සලසනු පිණිස කොන්ත්‍රාත්කරු වැඩ වේගවත් කරමින් සිටි කාලයක්. දවස පුරාම දුම්රිය ධාවනය කර තිබෙන්නේ මාර්ගයේ හතරවන හා දහවන සැතපුම් අතර පස් ඇදීමටයි.

වෙලාව හවස හය පමණ වෙද්දී රේල්පාරේ ට්‍රොලියක් නවත්වා තිබෙන බව දුම්රිය නියාමක හාඩින් විසින් දකින කොට කෝච්චිය හා ට්‍රොලිය අතර යාර විස්සකවත් දුරක් තිබී නැහැ. අඳුර වැටෙමින් තිබුණු මේ වෙලාවේ කිට්ටුවට එන තුරුම ඒ හරියේ තිබුණු පාලමේ වහලය හා ට්‍රොලිය වෙන වෙනම පෙනිලා නැහැ. ට්‍රොලියේ වැදුණු දුම්රිය මැදිරි දෙපැත්තට වැනිලා එකින් එක මඩ වගුරට පෙරලිලා. පෙට්ටි 16න් 14ක්ම. එන්ජිමත් පිටිපස්සේ නිසා නිකම්ම තල්ලු වෙලා යන පෙට්ටිනේ. අනිත් එක කෝච්චිය පැයට සැතපුම් විස්සක පමණ, පැවති තත්ත්වයන් යටතේ තරමක් වැඩි වේගයකිනුයි ධාවනය කරලා තියෙන්නේ.

ට්‍රොලිය රේල්පාරේ නවත්තලා ගිහින් තියෙන්නේ ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයා. ඔය මනුස්සයා කුලීකාරයින්ට පඩි ගෙවන්න ඇවිත් තියෙන්නේ ට්‍රොලියේ. කුලීකාරයින් දෙන්නෙක් ලවා තල්ලු කරගෙනයි ඇවිත් තියෙන්නේ. ඔය වගේ වැඩක් කරන්න ඔහුට බලයක් තිබී නැහැ.

අන්තිමට 36 දෙනෙක් මිය ගිහින්. ගොඩක් අය මඩේ ගිලීම නිසා. ඔය අතර එක් අයෙක් සුද්දෙක්. ජෝජ් ඉන්ග්‍රම්. ඉතිරි අයගෙන් තුනෙන් දෙකක් සිංහල. තුනෙන් එකක් දෙමළ. ඔය කුලී කාරයෝ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ රාගම හරියේ. ඔවුන් හවස පහමාරට වැඩ ඉවර කරලා ගෙවල් වලට යමිනුයි ඉඳලා තියෙන්නේ. වැඩ පාටියේ කුලීකරුවන් 129ක් හිටියත් ගොඩක් අය කොහොම හරි පැනගෙන තියෙනවා. එහෙම නැත්නම් කෝච්චියට නැගලා නැහැ.

දුම්රිය නියාමක හාඩින් රියදුරුට සංඥා කරමින් දුම්රිය පසුපසට මැදිරියෙන් මැදිරියට දුවගෙන ඇවිත් තිබුණත් ඔහුට වැඩි දුරක් එන්න ලැබිලා නැහැ. දුම්රිය මැදිරි පෙරලෙද්දී ඔහුටත් බරපතල තුවාළ සිදු වී තිබෙනවා. තුවාලකරුවන්ව ප්‍රතිකාර ලබා දීම සඳහා වැලිසර රෝහලට හා අහල පහළ ගෙවල් වලට ගෙනිහින් තියෙනවා. ආණ්ඩුකාරවරයා වෛද්‍ය කණ්ඩායම් හා අනෙකුත් නිලධාරීන් සමඟ ඇවිත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පසුව පත් කරලා තියෙන 13 දෙනෙකුන් යුතු ජූරිය තීරණය කරලා තියෙන්නේ වැරදිකාරයා නායිදු බවයි.

අනතුර සිදු වී දවසකට පස්සේ ඒ කාලයේ ලංකාවේ හිටපු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වූ හිපොලයිට් සිල්වාෆ් විසින් මේ ස්ථානය දැකපු ආකාරය ලිපිය ආරම්භයේ තිබෙන චිත්‍ර සටහනෙන් දැකිය හැකියි. පහළ චිත්‍ර සටහන් වල තියෙන්නේ ඔහු දැකපු ඒ කාලයේ කොළඹ (කොටුව) දුම්රිය ස්ථානය. අන්තිම චිත්‍ර සටහනේ ඈතින් පේන්නේ කොළඹ කොටුව.

https://economatta.blogspot.com/2019/01/blog-post_13.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල