අධ්‍යාපනික, ඉතිහාසය, විවිධාංග

භාරතයේ විත්ති 31 – ‘කුම්භ මේලා’

Off

ලොව විශාලම හින්දු ආගමික සැණකෙළිය වන්නේ කුම්භ මේලාවයි. මෙය ලොව විශාලම ජන සහභාගීත්වයක් ඇති ආගමික උත්සවය ලෙසත් සැළකෙනවා….

මෙවර (2019 ජනවාරි 15 සිට මාර්තු තෙක් ) ප්‍රයාග් රාජ්හි පැවැත්වෙන එය සදහා මිලියන බැතිමතුන් 120 සහභාගී වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම ප්‍රමාණය පෙබරවාරි 4 දිනට යෙදෙන සුහම නැකැත් යෙදෙන දිනදී මීට වැඩි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

කුම්භ මේලාව (පූර්ණ කුම්භ මේලාව) පැවැත්වෙන්නේ වසර දොලහකට එක් වතාවක්. එම නිසාම ලෝ පුරා හින්දූන්ට එය ඉතා විශේෂ අවස්ථාවක් වෙනවා. පූර්ණ කුම්භ මේලාවට අතර මැද අර්ධ කුම්භ මේලාවන් පැවැත්වෙනවා. ඒ වසර හයකට වතාවක්. ඊයේ පටං ගත්තේ ඒ වගේ අර්ධ කුම්භ මේලාවක්. ප්‍රයාග් රාජ්හි අවසාන පූර්ණ කුම්භ මේලාව පැවැත්වුනේ 2013 අවුරුද්දේ. ඊලග පූර්ණ කුම්භ මේලාව පැවැත්වෙන්නෙ 2025 අවුරුද්දෙ. මහා කුම්භ මේලාවක් පවත්වන්නෙ පූර්ණ කුම්භ මේලාවන් දොලහකට පස්සෙ. ඒ කියන්නෙ අවුරුදු එක්සිය හතලිස් හතරකට එක් වතාවක්.

මොකක්ද මේකෙදි වෙන්නෙ.

මේකෙදි සිද්දවෙන්නෙ ගංගා සහ ජමුනා (යමුනා) නදීන්ට පුරවෘත්තවල සදහන් වන සරස්වති නදිය එක්වන සංගම් නම් ස්ථානයේ බැතිමතුන් ස්නානය කිරීමයි.

(Sagam = එකතු වීම)

නමුත් එම ස්ථානයේ හැර කුමන හෝ කුම්භ මේලා පැවැත්වෙන නගරයක තිබෙන ගංගාවක ස්නානය කිරීමත් සිද්ධ වෙනවා. නමුත් මේ උත්සව පැවැත්වෙන්නේ වෙනස් වෙනස් කාලවල. එම කාලය තීරණය වන්නේ හින්දූන්ගේ වික්‍රම්සම්වාත් නම් ලිත සහ ජ්‍යෝතිෂ්‍යයට අනුව..

මේ අනුව
නාස්කිහිදී ගෝදාවරී නදියේ සහ උජ්ජයිනී (උදේනී) හිදී ක්ෂිප්‍රා නදියේද එකම වසරේ හෝ එකකට එකලඟ වෙනස් වර්ෂවලදී ග්‍රහ මණ්ඩලයේ සූර්ය, චන්ද්‍ර සහ ගුරු ග්‍රහයන්ගේ හැසිරීම අනුව තීරණය වන දිනකදී; එනම් උජ්ජයිනීහිදී ගුරු සිංහ රාශියේද සූර්යයා මේෂ රාශියේද හෝ ගුරු, හිරු සහ සඳු තුලා රාශිගත වන කාර්තික අමාවක් දිනකදීද සහ නාසික්හිදී ගුරු සිංහ රාශියේ හෝ ගුරු, හිරු සහ සඳු තිදෙනාම කටක රාශියේ ස්ථාන ගත වන අමාවක් දිනකදීද,

හරීද්වාර්හිදී ගංගා නදියේද, ප්‍රයාග්‍ රාජ් (2018 වන තෙක් අලහාබාද් ලෙස හැදින් විය. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ) හිදී සංගම් (ඉහතින් සඳහන් කල ලෙස) හි වර්ෂ හයකට හෝ දොලහකට එක් වරක් බැගින් ගුරු, හිරු සහ සඳු ග්‍රහ හැසිරීම මත තීරණය වන දිනකදී; එනම් ප්‍රයාග්රාජ් හිදී ගුරු මේෂ රාශියේද හිරු හා සඳු මකර රාශියේද හෝ ගුරු වෘෂභ රාශියේ සහ හිරු මකර රාශියේ ස්ථානගත වෙද්දී හෝ ගුරු වෘෂභ රාශියේද සහ හිරු මකර රාශියේද රාශිගත වන දිනකදීද. හරීද්වාර්හිදී ගුරු කුම්භ රාශියේද හිරු මේෂ රාශියේද ස්ථාන ගත වෙද්දී මෙම උත්සවය පැවැත්වෙනවා.

මෙම ස්ථාන හතරෙන් විශාලම උත්සවය පැවත්වෙන්නේ ප්‍රයාග්රාජ්හිදීය.
(@ Sangam ; Prayagraj)

මීට අමතරව කුම්භකෝණම්හි වසර දොළහකට වරක් පැවැත්වෙන මහාමහම් උත්සවය හා කුරුක්ෂෙක්ත්‍ර හා සෝන්පත්හි පැවැත්වෙන සමාන උත්සවත් එම උත්සව සිදුකරන පූජකයන් විසින් කුම්භ මේලා ලෙසින් හඳුන්වනු ලබනවා.

මෙම උත්සවය පැවැත්වෙන දිනයන්හිදී මෙම ස්ථානවල ස්නානය මගින් සිය පවු සේදී යන බව හින්දූන් අදහනවා. තවද ගංගා නදියේ සුදුවන් ජලයත් ජමුනා නදියේ කලුවන් ජලයත් එකතු වන සංගම්හි ස්නානයෙන් නැවත උප්පාද වීමක් (වසර දහසකදීවත්) සිදු නොවෙන බවත් ඔවුන් අදහනවා.

මෙම උත්සවය කොයි කාලෙක ඉඳන් සිද්ද වෙන දෙයක්ද යන්න අපැහැදිලියි.

මොකක්ද මෙහෙම නාන්න විශේෂ හේතුව ?

හින්දු පුරාණවලට අනුව මෙම උත්සවයේ නිධානයට එක් එක් හේතු සඳහන් වෙනවා. නමුත් පොදු කාරණය නම් සුර අසුර යුද්ධය සහ අමෘත කලයයි.
(Churning the sea bu Suras and Asuras)

සමුද්‍ර මන්තන් (මුහුද කැළඹීම) නම් ග්‍රන්ථයේ මේ පිළිබඳ මුල්ම සඳහන් වෙන බව විශ්වාස කෙරෙනවා.

සුරාසුර යුද්ධය අතර වෛශ්ණව් විසින් කිරි මුහුද කැළඹීමේදී නොයෙක් වස්තූන් හමු වූ අතර ඉන් ප්‍රධාන දෙකක් වන්නෙ හලාහල විෂ සහ ඊට සපුරා විරුද්ධ දෙය වන අමෘතයයි. (අම්‍රිත්) අමෘතය සොයා ගැනීමෙන් පසුව එය කලයක දමන සුරයන්, අසූරයන් විසින් එය උදුරා ගනීවි යැයි බියෙන් එය එතැනින් පිට කරවනවා. සමුද්‍ර මන්තන්ට අනුව මෙය ගෙන යන ලද්දේ දෙවියන්ගේ වෛද්‍යවරයා වන ධනවන්තරී විසින් වන අතර වෙනත් විවිධ පුරාණෝක්තිවලට අනුව එය ගෙනයන ලද්දේ ගරුඩ හෝ ඉන්ද්‍ර හෝ මෝහිණී විසිනි. සමුද්‍ර මන්තන්ට අනුව ධනවන්තරී අමෘත කලය (අම්‍රිත් කුම්භ) රැගෙන යන අවස්ථාවේ කුම්භ මේලාව පැවැත්වෙන නාසික්, හරීද්වාර්, උජ්ජයිනි සහ ප්‍රයාග්‍ රාජ්හි නැවතී සිට තිබෙනවා. අනෙක් කතාවන්ට අනුව ආකාෂයෙන් අමෘතකලය රැගෙන යන විට අමෘත බින්දු මෙම ස්ථාන හතරට වැටී තිබෙනවා. මේ අනුව විවිධ පුරාණයන්ට අනුව විවිධ ගුරුකුල විසින් විවිධ විශ්වාසයන් දරනවා.

චීන දේශාටක හ්‍යුංසාං භික්ෂුව විසින් ඔහුගේ වාර්තාවල ශෛලාධිත්‍ය රජු විසින් පවත්වනු ලැබූ කුම්භ මේලාවක් ගැන සටහන් කරනවා. මෙය ගංගාවන් දෙකක් එකතු වන තැනක සිද්ද වුන බැව් සඳහන් වන නිසා එම වාර්තාවේ සදහන් වන්නේ ප්‍රයාග් රාජ්හි ‘සංගම්’ විය හැකියි. එය කුම්භ මේලාව ගැන සඳහන් වන ඓතිහාසික වාර්තාවලින් වැදගත්ම එකක්.

1903 දී ප්‍රයාග් රාජ්හි කුම්භ මේලාවට බැතිමතුන් 400,000 ක්ද
1998 හරිද්වාර් කුම්භ මේලාවට (අප්‍රේල් 14 දින) බැතිමතුන් මිලියන 10 ක්ද
2001 ප්‍රයාග් රාජ් පූර්ණකුම්භ මේලාවට දින 55 ක් තුල බැතිමතුන් මිලියන 70ක්ද
2007 ප්‍රයාග් රාජ් අර්ධකුම්භ මේලාවට දින 45 ක් තුල බැතිමතුන් මිලියන 70ක්ද
2013 ප්‍රයාග් රාජ් පූර්ණකුම්භ මේලාවට බැතිමතුන් මිලියන 120 ක්ද සහභාගී වූ බවට වාර්තා වෙනවා.

ප්‍රයාග් රාජ්හි දැන් පැවැත්වෙන අර්ධ කුම්භ මේලාව සඳහා ඉන්දීය රුපියල් බිලියන 42 ක් (ඇ.ඩො. මිලියන 580 ක්) වැය වෙන බව කියවෙනවා. මෙහිදී ලොව පුරා නන් දෙසින් පැමිණෙන හින්දූන්ගේ නවාතැන් සඳහා හෙක්ටයාර 2,500 ක තාවකාලික නගරයක් ඉදිවන අතර තාවකාලික වැසිකිලි 122,000 ක් ඉදි වෙනවා.

මෙහිදී තනි පුද්ගලයෙක් සඳහා සුදුසු වන ටෙන්ට් (dormitory tents) සිට තරු පහේ ටෙන්ට් වන තෙක් පරාසයක ටෙන්ට් මෙම තාවකාලික නගරයේ ඉදි වෙනවා. (A part of the temporary town created for 2019 Kumbh mela)

ඉන්දීය දුම්රිය සේවය මගින් විශේෂ දුම්රිය වාර 800 ක් මේ සඳහා සැළසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ආරක්ෂාව සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මිනිසුන් මිලියන ගණනින් ගැවසෙන ස්ථාන ත්‍රස්තවාදීන්ගේ හොඳ ගොදුරු බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩිවීම ඊට හේතුවයි. ඉන්දීය සෞඛ්‍යය සේවය, ඉන්දීය ජලසම්පාදන සේවය සහ තවත් සිය ගණනක රාජ්‍යායතන සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය මේ සඳහා ලැබෙනවා.

මේ වනවිට කුම්භ මේලාව ආගමික උත්සවයකට අමතරව සෑම තැනකම සිදුවන්නාක් සේම විශාල ව්‍යාපාරික අවස්ථාවන් රැසක් බවට පත්ව තිබෙනවා. මීට අමතරව කුම්භ මේලාව ලොව පුරා සිටින හින්දූන් විශාල ප්‍රමාණයකට එක තැනකට රැස්ව සිය අදහස් උදහස් අත්දැකීම් දැනුම හුවමාරු කරගැනීමට ඉඩක්ද සලසා දෙනවා.

මේ වනවිට යුනෙස්කෝ සංවිධානය විසින් කුම්භ මේලාව අස්පෘෂ්‍ය සංස්කෘතික උරුමයන් යටතේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශකොට තිබෙනවා.

කෙසේ හෝ කුම්භ මේලාව අවසන් වනු ඇත. එහෙත් අවසානයෙන් පසු තාවකාලික නගර ඉවත් කිරීමටත් වඩා බරපතල වන්නේ ගංගා අපවිත්‍ර වීම කරණකොටගෙන ඇතිවන ජල පිරිපහදු කිරීමේ අපහසුතාවයන් සහ ඒත් සමග ඇතිවන අධික පිරිපහදු පිරිවැයයි. සෑම කුම්භ මේලාවකටම අමතරව ඉන්දීය රජයට මේ සඳහා අතිරේකව ඉන්දීය රුපියල් කෝටි ගණනක් වෙන් කිරීමට සිදු වෙනවා. මෙය කුම්භ මෙලාවට අමතරව ගංගාවන් ආශ්‍රිතව සිදුවන අනෙක් සෑම ආගමික උත්සවයකින් පසුවත් සිදුවන්නක්. නමුත් කුම්භ මේලාව සැමටම වඩා ලොකු බැවින් බලපෑමද කෙතෙක් වේදැයි සිතන්න. ඉන්දියාව වැනි ආගමික උත්සව පිරි රටකට මෙම පිරිවැය වසරකට කොතෙක්දැයි යන්නත් අපට හිතා ගැනීමට අපහසුයි.. (Labours cleaning Jamuna after a religious festival)

ජල දූෂණයට අමතරව එකතු වන ඝණ අපද්‍රව්‍ය, වායු දූෂණය, ශබ්ද දූෂණය අනෙකුත් පාරිසරික බලපෑම් වේ. මෙම උත්සවයෙන් පසු ඇතිවන බෝවන රෝග පැතිරී යාම සීඝ්‍ර වීම ඉන්දීය සෞඛ්‍ය සේවයට බලපාන එක් ලොකු ගැටලුවක්. එහෙත් ඉන්දියාවට එය ගැටළුවක් නොවෙනු ඇත. මොන ක්‍රමයකින් හෝ තව සියවස් ගණනාවක් යනතුරුත් එය පවත්වාවි.

නැවත හමුවෙමු
– අමිල –

http://ekaahasakyatadi.blogspot.com/2019/01/31.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල