ප්‍රහසන, සංචාරක හා ඡායාරුප

නිමක් නොවූ සංචාරය 04

Off

දඹුළු විහාරයේ ටුවරිස් ගයිඩ් වැඩේ, ගිරිතලේදී මලියා දුන් ආතල් කෝටිය, ගිණිමැලය මැද නොනවතින ගී සමගින් පැරණි පූජා නගරයේ සංචාරය සහ බාගෙට හිඳුණු පරාක්‍රම සමුද්‍රයේ දිය කෙලිය

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්
නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්
නිමක් නොවූ සංචාරය 03 කොටස මෙතනින්

ගුණේ මාමාගේ සුපුරුදු විධාණයත් එක්ක පාන්දර හතරට සීතලේ මාතලෙන් පිටත් උන අපි පිටවෙන්නට මොහොතකට පෙර පන්සලේ නවාතැන් ගත්ත ශාලාව පිරිසිදු කරලා යන්න අමතක කරේ නෑ. පාන්දර පිට උනාට මොකද අවට නොපෙනෙන තරමේ ඝන මීදුමක් අප වෙලාගෙන තිබුනා. අපේ පරණ බස් එකේ විදුලි පහන් කොහොමත්ම ප්‍රමාණවත් උනේ නෑ මේ මීදුම එක්ක හැප්පෙන්න. පාරේ කියල වාහනයක්වත් නෑ. ඉඳහිට හම්බෙන ලොරියක්, ටිපර් එකක් අරුනාම. අපේ කට්ටිය හැමෝම වගේ නැගිටලා හිටියා. ජයේ අයියා පොඩ්ඩක් පිටිපස්සට ගිහින් හිටිය නිසා මම ගුණේ මාමා ලගට ගියා මොනවාහරි දොඩවන්න එක්ක. මොකද අපි කොයිම වෙලාවකවත් ගුණේ මාම රියදුරු අසුනේ තනි නොකරන්න තීරණය කරගෙන හිටියේ.

ගුණේ මාමා – දැන් කොහොමද පුතේ කකුල

මම – ටිකක් රිදෙනවා මාමේ, ඒත් ගානක් නැහැ.

ගුණේ මාමා – මට හිතාගන්න බෑ ඒ සිද්දිය, වෙලාවට පුතා පැන්නේ. නැත්තම් මෙතන මොනවයින් මොනා වෙයිද කියන්න බෑ.

මම – ඒක තමයි මාමේ. මලියාගේ වැඩ නේ.

ගුණේ මාමා – මේ හත්ඉලව් මීදුම තවම ඉවරයක් නෑ නේ, නිවී හැනහිල්ලේ එලවන්නත් බෑ. දැන් ටික ටික පෙනවත් අඩුයි නේ පුතේ.

මම – මම එලවන්නද මාමේ ?

ගුණේ මාමා – උඹ දන්නවාද පුතේ මේවා එලවන්න ? අනික කාර් එක වගේ නෙවෙයි නේ.

මම නිහඬ වීමි. බසය නාඋල, ලෙනදොර පසු කරමින් ඉදිරියට යන අතර මීදුම කෙමෙන් අඩු වීම අපට මහත් අස්වැසිල්ලක් විය. මට මතක විදියට උදේ හය වෙද්දී පමණ දඹුල්ලට පැමිණි අපි අසල කඩයකින් උණු බනිස් කා කහට කෝප්පය බැගින් බීවෙමු. පසුව ජයේ ලොක්කාගේ උවමනාව මත දඹුළු රජමහා විහාරය වන්දනා කරන්නට පිටත් උනෙමු. ගුණේ මාමා සහ පිරිවරේ කිහිපදෙනෙකු බසයේ නැවතුන අතර අප විහාරය බලන්නට වන්දනා කරන්නට ගියේ ගුනේ මාමාට ඉක්මණින් එන පොරොන්දුව පිටය. දඹුලු විහාරයේ සංචාරකයින්ට කියා සිටියේ අපත් මාර්ග උපදේශකයකු නොමැතිව පැමිණි සුදු ජාතික යුවලක් සහ ඔවුන්ගේ දරු දෙදෙනාත්ය. ඔවුන් සුහද සිනාවක් මා හා ජයේ ලොක්කා වෙත පෑ අතර ඔවුන් අපෙන් විමසුවේ ඉංග්‍රීසි කථා කරන්නට පුළුවන්ද කියාය. ජයේ ලොක්කා කෙලින්ම මට කීවේ “මල්ලි මුන් එක්ක කතා කරපං” කියාය. පසුව දැනගත් පරිදි ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර පළමු වර මෙහි පැමිණි අයය. ජයේ ලොක්කාගේ උපදෙස් මත මම දන්නා තරමින් විහාරයේ ඓතිහාසික වැදගත්කම පහදන්නට වීමි. අප හමුවීම මෙන්ම විස්තර කිරීම මත ඔවුන් බෙහෙවින් සතුටු වූ බව මට වැටහුණි. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබඳවද ඔවුන් කණගාටුව පලකළ අතර ලංකාවේ සුන්දරත්වය ඔවුන් වශීකර ඇති බව මට තේරුම් ගියේය. පසුව අප විහාරයෙන් වෙන්වන මොහොතේ ඔවුන් අප පැමිණි බසය බලන්නටද පැමිණෙන්නට අමතක නොකලෝය. බසයේ “ලේලන්ඩ්” නම දෙස බලා සුදු ජාතික යුවල පැවසුවේ අපේ රටේ පරණ බස් එකක් නේද කියාය. ඔවුන් අප සැමට ආචාර කර යන්නට මොහොතකට පෙර රුපියල් දහසක් මට දිගුකරේ විහාරයේ මග පෙන්වීමට සන්තෝෂමක් ලෙස මෙය තබා ගන්න ලෙසය. අපේ රටට ආගන්තුකයන් ලෙස සලකා මේ කරුණු කියාදුන්නා මිස මුදල් බලාපොරොත්තුවෙන් එය නොකළ බව කියා මම පෙරලා ඒ මුදල් ප්‍රතික්ෂේප කලෙමි. ඔවුන් නොසෑහෙන ස්තුති කර අපෙන් වෙන් වී ගියෝය.

දඹුළු රජමහා විහාරය වන්දනා කර අපි ඉණාමළුව, දිගම්පතන පසු කරමින් හබරණ හන්දියේ මද වෙලාවක් බසය නවතා ගිමන් හැලෙමු. අපේ උන් කිහිප දෙනක් උදේම වැඩ අල්ලන්නට පටන්ගන්නට හැදුවත් ජයේ ලොක්කා ඊට අවසර නොදුන්නේ, පිළිවෙලක් ඇතුව ඔහුගේ නෑ ගෙදර යායුතුය කියූ නිසාය. හබරණදී මමත් මලියාත් තුවාලවලට නැවත බෙහෙත් දාගත් අතර අනෙක්උන් ටවුමේ රස්තියාදුවක් ගසා පැමිණෙන්නට විය. හබරණින් තේ බී පිටත් උන අපි මොරගස්වැව, මින්නේරි ජාතික වන උද්‍යානය පසු කරමින් මින්නේරිය නගරයට පැමිණියෙමු. එතැන්සිට ගිරිතලේ වැවට පැමිණි අපි හොඳහැටි නාගත් අතර මමත් මලියාත් තුවාලවලට බෙහෙත් දැම්ම නිසා අපේ උන් දිය කෙලින හැටි ඉරිසියාවෙන් යුතුව නරඹමින් සිටියේමු .මම මලියාට දෙහි කපන්නට වූයේ “තෝ බේර ගන්න ගිහිං මට දැන් ආතල් ගන්න බැරි උණා ” කියාය.

මලියා – ඒවගේද බං මගේ මළගෙදර ඇවිල්ලා උඹල ඔක්කොම මාරි බිස්කට් එකක් කාල, ගොක්කොළ කොඩි වැලක් ඇද්ද නම්. මෙන්න මෙහෙ කටවහගෙන මෙයින් ෂොට් එකක් දාපන් බං.

මම – තෝ කියන්නේ ටීක් වෙලා වැවේ පැන්නොත් මට ආයේ බේරාගන්නද ? මම මලියා උරමින් සිටි රොකට්ටුව කටෙන් ඇද වැවට විසි කරෙමි.

මලියා – යකෝ බාගයක් තිබ්බා

මලියා මාරාවේශ විය.

මලියා – උඹලත් එක්ක මොන ට්‍රිප් ද බං, මම යනවා යන්න කියා මලියා මල් මදයෙන් පාරේ යන්නට විය.

මම – උඹ කොහෙද යන්නේ ?

මලියා – ගෙදර, නැතුව වෙන කොහෙද ?

මම – ආ පලයන් එහෙනම්

මලියා – යනවා තමයි යකෝ

කියා මලියා පාරට යන්නට විය. මම හිතුවේ ඌ සිරාවටම යන්නේ නැතුව ඇති කියා උවද අපි හැමෝම යනකම් මලියා කොළඹ සිට පොලොන්නරුව පැත්තට යන කොළඹ-පොලොන්නරු බස් එකක් එනකම් ඉන්නවා අපි දුටුවේ හෝල්ට් එකේදීය. මලියා කොළඹ යන්නට කියා හිටන් ඉන්නේ පොලොන්නරුව පැත්තේ බස් නැවතුමේය. කට්ටියටම හිනාව නතර කරගන්නට බැරුව ගියෝය. මුළු බස් එකෙන්ම ලැබුණු හූ හඬ මැද මලියා රෙදි ඇදගෙනම බසයට නගින්නට විය.

පසුව ටික වෙලාවකින්න් මු මරහඬ දී හඬන්නට වූයේ, මලියාට මැරෙන්නට දුන්නේ නෑ කියාය. පසුව අම්මා බලන්නට ඕනේ කියාය. අවසාන වශයෙන් මලියා නැවත හඬන්නට වූයේ උගෙන් ලොකු වරදක් උනා කියාය. මේ ආදී දහසක් ආතල් මැද පොලොන්නරුව නගරයට පැමිණි අප කෙලින්ම ගියේ ජයේ අයියාගේ ලොකු තාත්තාගේ ගෙදරටය. අපිව මහ ඉහලින් පිළිගත් ජයේ අයියාගේ ලොකු තාත්තා අපේ සංචාරය ගැන අසා පුදුම විය. ජයේ අයියාගේ ලොකු අම්මා සහ දූවරු වහා අපට රෑ කෑම පිළියෙළ කරන්නට විය. ඔය අතර අපේ උන් ජයේ අයියාගේ ජාමේ බේරිය යුතු නිසා හීණියට ෂොට් එක් අරගෙන ගිනි මැලය වට හිඳ වැඩිපුර සින්දු කියමින් ආතල් එකක් ගත්තෝය.

බැදපු වැව් මාළු, මයියෝක්කා කිරි මාලුව එක්ක පොල් සම්බල් මෝරු මිරිස් කරල එක්ක කුඹුරේ රතු හාලේ බත අපට දිව්‍යලෝක සැප ගෙනාවේය.

පසුදින දිනයේ පූජා නගරයේ ඇවිදින්නට යන්නට පෙර උදේට නිවසින් ආහාරය ලෙස මයියෝක්කා සමගින් කොච්චි සම්බලක් ලැබුණු අපි ඒවාද රසවිඳ නැන්දා දුන් දවල් ආහාරය සහිත බත් මුල්ද බසයට දමාගතිමු. ඔවුන් අප නිසා හරියට මහන්සිවී ඇති බව මම ජයේ අයියාට කීවෙමි. පසුව මුළු දිනය පුරා පූජා නගරයේ සංචාරය කර අපි වතුර හොඳටම හිඳී තිබු පරාක්‍රම සමුද්‍රයේ බැස නාන්නට වීමු. මමද තුවාලය අමතක කර හොද හැටි නාගත්තේ ඊයේ ගිරිතලේදී මට උන පාඩුව පියවාගන්නත් එක්කම කියාය. හොඳට නාගත් අපි වැව් බැම්මේ සිට හොඳට කෑවෙමු. පසුව මනංපිටිය පාළම බලන්නට ගිය අපි හැන්දෑවෙලා නැවත නිවසට පැමිණ අල්ලාප සල්ලලාපයෙන් හැන්දෑව ගතකර රෑ කෑම කලින්ම ගත්තේ හෙට දිනයේ අනුරපුර සංචාරයට යන බැතිබර සිතුවිල්ල පෙරදැරි කරගෙනය. ගුණේ මාමා පුදුමයට මෙන් කිසිවක් නොකීවේ අනුරපුර යමු කියා කවුරු ඇසුවත් බෑ නොකියන ස්වයං ප්‍රතිපත්තියක එළඹ සිටි බව මම දැනගත්තේ නින්දට යන්නට සුළු මොහොතකට පෙරය.

නිමක් නොවූ සංචාරය 05 කොටසින් නැවත හමුවෙමු !

http://magelokaya01.blogspot.com/2019/01/04.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල