අතීතකාමය, ඉතිහාසය, සංගීතය

දිව්‍ය අංගනි සේ මම සැරැසී – දෙවෙනි කොටස

Off

ඒබ්‍රහම් මාස්ටර් ටිකාක් විතර මසුරුය. පස්සේ දැනගත් විදියට එයා වෙස්සන්තර කෙනෙකු නොවේ; අදින්න පුබ්බකයෙකි. නමුත් එදා නම් ලෝස් නැතිව ‘දුප්පතාගෙ හිතවතා’ වුණේය. ඒ ඔහුගේ ගීත අහන්නට, රස විඳින්නට රුචි පිරිසක්, ඕර්ඩියන්ස් එකක් අපේ නිවසේ රැස්වී හිටි නිසා විය යුතුය.

බැප්ටිස්ට් ප්‍රනාන්දු දුප්පතාගෙ හිතවතා වුණේ ………..

වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු ‘දුප්පතාගෙ හිතවතා’ වුණේ 1974 දීය. එහෙම වෙන්නට කලින් හැමදාමත් දුෂ්ටයා වුණේ බැප්ටිස්ට්ය.

1965 ඔක්තෝබර් 7 වෙනිදා පෙන්වන්නට පටන් ගත් ‘සත පනහ’ සිංහල සිනමාවේ 123 වෙනි චිත්‍රපටයයි. ඒක බැලූ දවසේ ඉඳන්ම බැප්ටිස්ට් මගේත් පරම හතුරෙක් වී හිටියේය. එහෙම වුණේ මගේ විතරක් නොවේ. ගොඩ දෙනෙකුගේය. බැප්ටිස්ට් වුණත් ඒ බව හොඳින් තේරුම් අරගෙන හිටියේය.

කවුරුන්වත් සුදු චරිතයක් තමාට නොදෙන තැන, බැප්ටිස්ට්ම චිත්‍රපට නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේය. ඒත් මුලින්ම අවදානමක් ගන්නට ලැහැස්ති නොවී 1972 දී ‘සහනය’ නිපදවද්දීත් දුෂ්ටයා වුණු එයා ‘වීරයා’ විදියට කරළියට ආවේ ‘දුප්පතාගෙ හිතවතා’ වෙමිනි.

එතැන් සිට බැප්ටිස්ට් ප්‍රනාන්දු ජයග්‍රාහී ගමනක් ගියත් පසුව පරාජය වුණේ ‘වැඩි පොලී ගෙවන මුල්‍ය සමාගම්වල’ පිහිට හොයන්නට ගිහින්ය.

ලක්ෂෙට කොඩි දමාගෙන උන් බැප්ටිස්ට් ප්‍රනාන්දු ඉක්මනින් සල්ලි පැටව් ගස්සන්නට ‘ගෝල්ඩන් කී සමාගමේ’ ගෙඩි රුපියල්වලින් 137 ලක්ෂයක්ම තැන්පත් කළේය ! සමාගමට කෙළවෙද්දී තැන්පත්කරුවනටත් කෙළවුණේය.

සිරි ලංකාවේ ඔය සෙල්ලම වුණේ වරක්-දෙවරක් විතරක් නොවේ. තැන වෙනස් විණි. සමාගමේ නමත්, අයිතිකරුවනුත් වෙනස් විණි. තැන්පත්කරුවනුත් වෙනස් විණි.

ඒ මොනවා වුණත් අපේ සම+හරක්………….

සක්විති වුණත්, කළුතොට වුණත්, ඊ.ටී.අයි. වුණත්, සණස සමූපකාර වුණත් ඒ හැම තැනම ලොක්කෝ පොංගල් කෙළියෝය; දහස් ගණන් දුප්පතුන් අමාරුවෙන් ඉතිරි කරගෙන තිබූ සකල සේසතටම විද්දෝය. හැමවිටම උන් බේරෙයි. වින්දිතයන් තවත් විඳවන්නට ඉතිරි වෙයි. ඒත්, එහෙම දේවල් පෙනි-පෙනීත් අපේ සම+හරක් අදත් රැවටෙති. හෙටත් රැවටෙනු ඇත !

ඉතින් එදා අබරන් මාස්ටර් අපේ ගෙදරට නමෝවිත්තියෙන්ම සම්ප්‍රාප්ත වුණු දවසේ; දුප්පතාගෙ හිතවතා වෙමින් තේ බොන්නට දේවල් ගෙන්නූ දවසේ, අපි හැමෝමත් ‘සත පනහේ’ සිංදුවක් සර්පිනා වාදනය එක්ක කිව්වෙමු ! කිව්වෙමු කියලා කියන එකට වඩා පහත් ක්‍රියා පදයක් ඒකට නැති නිසාය මං එහෙම කියන්නේ.

සර්පිනා වාදනයත් එක්ක අපේ ගායනය ඇහුණේ දෙල් කොළ ගොඩේ හරක් යනවා වගේ වෙන්නැතිය !

හැටහයේදී, අදට 53 අවුරුද්දකට කලින් අප කියූ ඒ සිංදුව; හර්බට් එම්. සෙනෙවිරත්න පබැඳූ ඒ ගීතය අදත් නිබඳව කියවෙයි. ‘චන්ද්‍රා මෙ රෑ පාය ආවා – හර්දේ පෙමෙන් නාව-නාවා’

සිංදුවක් කියන එකෙත්, සිංදුවක් ගයන එකෙත් වෙනසක් තියෙන බව ඒ වනවිටත් මා දැනගෙන හිටියේ නැත ! අජාසත්ත පිරිවරේ අනෙක් අය මටත් එහාය. “හැබැයි ගුණේ, ටීටර් එකේ සිංදු ටික නං හොඳට ප්‍රැක්ටිස් කරවන්න වෙයි වගේ” ගායනය ගැන උගත්; හැකියාවකිනුත් සන්නද්oවී හිටි අබරන් මාස්ටර් අපේ ගායනය අමාරුවෙන් අහගෙන හිඳ, ප්‍රීති ප්‍රමෝදයෙන් මුහුණ ඇඹුල් කරගෙන තාත්තාට කිව්වේය !

දේවාර් සූර්යසේන – දේවාර්, සුනන්ද මහෙන්ද්‍ර හා BBC එකේදී…………

“ටීටර් එකක් මිනිස්සුන්ට අල්ලලා යන්නේ ඒකේ සින්දු ටික නැඟලා යනවා නං විතරයි. කොච්චර හොඳට ඇක්ට් කළත් වැඩක් නැහැ.”

අපේ තාත්තාත් හොඳ ගායකයෙක් නොවේ. තාත්තා දැනගෙන හිටියෙත් සින්දු දෙකකි.

‘වීර මලේ රොන් ගෙන යන්නා’ එකකි. එය දේවාර් සූරියසේන ගායනා කළ එකකි. අනෙක ‘අම්මෙ උඹේ රස බත කාලා – කන්නෙ කොහොම බතල තම්බලා’ය. අවුරුදු කිහිපයකට කලින් වික්ටර් රත්නායකයනුත් මේ ගීතය යළි ගැයුවා මට මතකය.

එදා අපේ තාත්තා නම් ‘වීර මල’ ගැන වගේ-වගක් නැතිව ‘චන්ද්‍රා මෙ රෑ’ නොව මහ දවල් පායන හැටි අහගෙන උන්නේය. අපේ කඨෝර ගීත ගායනයටත් වඩා තාත්තාගේ හිතට වද දෙමින් තිබෙන්නට ඇත්තේ වියදම් ප්‍රශ්නයයි. විධුර නාට්ටිය කරන්නට ගත්තොත් දරන්නට වෙන වියදම…….? නළු-නිළියන් තිහක් විතර එක්ක ?

“මාස්ටර්. අපේ අජාසත්ත එකට ආධාර එකතු කරන්න මේ කොල්ලෝ මහරගම හතර වටේ ගියා. මාසයක් විතර කාල්ගාලා කාල්ගාලාත් එකතු වුණේ රුපියල් හැටගානයි. විධුර එකට කැරැක්ටර්ස් තිහක් විතර තියෙනවානේ. ප්‍රැක්ටිස් කරන්න යනකොටත් ලේසි වෙන එකක් නැහැ. තේ එක ගණනේ දුන්නත්…. තිර… ඇඳුම් ? ” අපේ තාත්තා එදාම අබරන් මාස්ටර්ට කිව්වේය.

“අයියෝ ගුණේ. ඕවත් ප්‍රශ්නද ? අපි ටවර් එකේ ටීටර් නැටුවේත් පුළුවන් තරම් පිරිමහලා, උඹ දන්නවද ? ඇඳුම්-මාල-වළලු ලාබෙට හදාගන්න හැටි මං උඹට කියල දෙන්නම්. නාට්ටියට එන කොල්ලො-කුරුට්ටන්ට කියලා දැන් තියාම රබර ඇටයි, සිගරැට් පෙට්ටිවල ඇතුළේ තියෙන ඊයම් කොළයි එකතු කරෝපං. රබර් ඇට, ඊයම් කොළවලින් දවටලා අරන් හදපු මාල ලයිට් එළිය වැදිලා දිස්නේ දෙන්නේ රත්තරංවලටත් වැඩිය එළියට. දෝතියට අඳින්න කොයි ගෙදරින්ද සාරියක් දෙකක් හොයාගන්න බැරි?”

තුන් වේලම හයින්-හාමතේ ඉන්නා අසරණයන් වාගේ…………

අබරන් මාස්ටර් එව්වා කියද්දී දකින්න තිබ්බේ අපේ තාත්තාගේ මුහුණය. ඒකේ තිබුණු අජූවය. “ඒ මනුස්සයා තවම ඉන්නේ අටසිය ගණන්වල වගෙයි. ඒ මදිවට කුණුකම. ඉච්චිකමටත් සීමාවක් තියෙන්න එපැයි ! හරියට කන්නවත් නැති තුන්වේල හයින් හාමතේ ඉන්න මිනිස්සු වගේ ඔහේ ඉන්නව ඇති පොදි ගගහා !

එදා තාත්තා එහෙම කියද්දී මට හිතුණේ ‘මෙහෙම මිනිස්සුත් ඉන්නවාද?’ කියලාය. අපොයි, අදත් ඉඳිති. හෙටත් හිඳිනු ඇත. දැන් නම් මම ඒ බව නිසැකවම දන්නෙමි.

එක-එක පන්නයේ යහළු-මිත්තරයන් සෙට් වෙන තැන්වලට යද්දී හොඳ-හොඳ දේවල් මටත් දැකගන්නට පුළුවන් වෙයි. නොබී ඉන්නා නිසා, හොඳ සිහියෙන් ඉන්නා නිසා හුඟක් දේවල් දකින්නට වගේම තේරුම් ගන්නටත් මට ඉඩ ලැබෙයි. එහෙම දුටු විදිහට, මං කතා කරන්නේ නැති-බැරි අය ගැන නෙවේ. ඇති-හැකි අය ගැනය.

එහෙම එක යහළුවෙකුගේ ගෙදරදී හැමදාම වගේ කටගැස්මට තියෙන්නේ තැම්බූ බෝංචි කරල්, කැරට්, අර්තාපල් තීරු හා ගෝවා කොළයි. වැඩියෙන් තියෙන්නේ ගෝවාය. බොන්නන් දහ දෙනෙකු හිටියත් පුංචි තට්ට තසිම් දෙක තුනකට අර තම්බපු එළවලු සීරුවට අතුරලා, ගම්මිරිස් කුඩුත් ඉහලා අරන් එයි. ඒ වගේම පැතලි තසිමකට බැදපු කඩල හරි මුරුක්කු හරිත් දාගෙන එයි. ඒ සේරම ජාති එකට එකතු කළත් තුන් දෙනෙකුට මදිය.

එහෙම ‘සම්භාරයක්’ ගේන්නෙත් සවුදම් ගහමිනි. “එළවලු බයිට් එක නියමයි. මගේ favourite” එයා මිත්තරයන්ටත් නිර්දේශ කරයි !

“අම්මගෙ ෆේවරිට්. මේකා තරහ වෙන නිසා එනවා මිසක් ආයේ මෙහෙ පස් පාගන්න හිතෙන්නේ නැහැ. වියදම් කරන්න ලෝබ නං මේ මඟුල් නොකර නිකං ඉන්න ඕනේ.”

“මූ මචං, රියල් කුණා. හැමදාම මෙහෙමයි!”

තුන් දෙනෙකුටවත් මදි තරමේ එළවලු බයිට් තසිමක් දහ දෙනෙකුට……..

“අර තට්ට දීසියේ තියෙන බෝංචි ටිකයි, කැරට් ටිකයි එක රවුමක් යන්නවත් ඇතිද බං. ඒවා හිස්වෙලා තිබුණත් මූ ඉන්නවනේ නොදැක්කා වගේ”
එයාගේ හිතවත්තු මෙතැන ලියන්නට බැරි කමෙන්ට්ස් පවා සපයති. හැබැයි ඒ සේරම කියවෙන්නේ, එයා නැති තැනදීය.

ඒත් කෙනෙකුට ‘දොරක හඬත් පඩයක හඬත් වෙන් කොට හඳුනා ගන්නට බැරිද ?’

යහළුවන් පාස් කරන හින්ට්ස් තේරෙන්නේ නැතිද ? අනේ ! ඒ මනුස්සයාට එහෙම දේවල් නොතේරෙනවාද, බබා හුකුම් පාට් පෙන්නනවාද කියලා නම් මට තේරෙන්නේ නැත. හැබැයි, ඒ හාදයා අනුන්ගේ තැන්වලදී bite එක diet එක කරගෙන ඒ දීසි හිස් කරන්නේ තරහෙන් වගේය !

අපරාදේ ! ඒබ්‍රහම් මාස්ටරුත් එහෙමද කියා බලාගන්නට මට ඉඩ ලැබුණේ නැත.

ඒ කාලයේ මඟුල් මේසයකටවත් මත්වතුර බෝතල වැඩම්මුවේ නැත. ඒවා සූජානං කළේ වෙනම කාමරයකය. බොන ඇත්තෝ හීන් සීරුවේ එතැනට රිංගති. ටිකක් සප්පායම් වී, මුහුණ ඇඹුල් කරගෙන, කට පිහ දමමින් එළියට එති. එහෙම කාලයක හින්දාදෝ අබරන් මාස්ටර් අපේ ගෙදරට බෝතලයක් ගෙනාවෙත් හංගා ගෙනය. එයයි, තාත්තායි ‘මජ්ජපානා’ සමාදන් වුණෙත් රහසින් වගේය.

එයාලාට කටගැස්ම වුණේ …………

වැඩිහිටියන් කන-බොන, කතාබහේ යෙදෙන වෙලාවට අපට එතන ඉඳීම තහනම්ය. හැබැයි, දොරත් උළුවස්සත් අතරින් බලාගෙන ඉන්නටත්, හොරෙන් කන්දීගෙන ඉන්නටත් තහනමක් තිබුණේ නැත.

එහෙම බලලාත් මට නම් පෙනුණේ එයාලා බොනවා විතරක් බවයි ! ඒ වෙලාවටත් එයාලට කටගැස්ම වුණේ ටීටර්ය; නාට්ටිය !!

“…..උඹ දන්නවද ගුණේ. නියම ටීටර්කාරයෙක් නම් කොහොමද කියලා ? මේ කොල්ලොන්ටත් කියලා දෙන්න ඕනේ ස්ටේජ් එකේ ඇවිදින විදිය හිට. මෙහෙමයි. වම් කොණේ ඉඳලා දකුණු කොණට ගියොත් දකුණටයි හැරෙන්නේ……. දකුණේ ඉඳලා වම් පැත්තට ගිහින් හැරෙන්න ඕනේ වමට. කොයියම්ම වෙලාවකවත් ඕඩියන්ස් එකට නළු-නිළියන්ගේ පස්ස පැත්ත පෙන්නන්න බැහැ ! මට පුළුවන් පිටිපස්ස හෙළුවෙන් තියෙන්න ඇන්දෙව්වත්, ඕඩියන්ස් එකට ඒක නොතේරෙන්න stage එකක් උඩ ඇට් කරන්න.” කිහිප විටක්ම අබරන් මාස්ටර් ඒ පාඩම කරලාත් පෙන්නුවේය.

අජාසත්ත පුරුදු කරවද්දීවත් අපේ තාත්තා එහෙම දේවල් අපට කියාදී තිබ්බේ නැත. එහෙම වෙන්නට ඇත්තේ තාත්තා නාට්‍යකාරයෙක් මිස ටීටර්කාරයෙක් නොවුණු නිසා වෙන්නට ඇත.

ඒ වෙද්දී මං දැකලා තිබුණේත් එකම එක නාට්‍යයක් විතරය. ඒකත් අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ නාට්‍යයකි. නම නං මතක නැතත්, කතාව හොඳට මතකය. ඒකටත් හේතු දෙකකි !

එක, අපේ අම්මාත් ඇය වගේ යැයි කීමය.

පත්තරවලින් මනමේ, හරිම බඩු හයක් වගේ………

දෙක, ‘කථා සරිත් සාගරය’ පොතෙන් ඒ කථාව කියවන්නටත් කලින් අපේ ආච්චී මට ඒක ‘පණ පිහිටුවලා’ කියාදී තිබීමය. සාවිත්‍රී ! (ඒ කතාව ‘වැරැදි බෝනස් එක – මල්ටිපල් මයෙලෝමා, පළමුවෙනි කොටසේ ලියා ඇත)

නාට්‍යය වැඩියත්ම මගේ හිතට ඇල්ලුවේ මීට කලිනුත් කියා ඇති hut එකේ මුදලාලිගේ පුතෙක් ඒ නාට්‍යයේ ‘සත්‍යවාන්’ චරිතය රඟපෑ නිසාය. පාරේදී දකින විට කිසිම විශේෂයක් නොපෙනුණු ඒ තරුණයා කුමාරයෙකුට ඇඳලා හිටිය උජාරුව….. විභූතිය, මට තවම මතකය. අජාසත්ත එකේදී අපව පේන්නට ඇත්තෙත් එහෙමය. දිලිසි-දිලිසීය !

නාට්‍ය ගැන කියද්දී පත්තරවලින් නම් ‘මනමේ’, ‘හරිම බඩු හයක්’ වගේ නාට්‍ය ගැන කියවලා තිබුණත් ඒවා බලන්නට තියා, බලන්න යන්නට හිතන්නටවත් අපට වත්කමක් තිබ්බේ නැතිකොට මොන නාට්ටිද ?

‘පේව්මන්ට් එකේ රජවී’ පෝස්ටු කිහිපය කියවා ඇති ඔයාලාට, ඒ සන්දියේ අපේ දුප්පත්කම හොඳටම මතක ඇතිවාට සැකයක් නැත.

ආයේ ඒ ගැන කිව යුතු නැත්තේ ඒ හින්දාය. ඊටත් මහරගම නාට්‍ය පෙන්වන්නට තිබුණේ ඉස්කෝල ශාලාවල් විතරය. මගේ මතකය හරි නම් අහම්බෙන් හරි නාට්‍යයක් ප්‍රදර්ශනය කෙරුණේ ‘ට්‍රේනිං කොලේජ් – ගුරු විදුහල්’ ශාලාවේය.

එරන්දතීගේ පාට් එකට නම් උඹේ කොල්ලා……..

“හරි ගුණේ, මං තව දවස් කීපෙකින් ආයෙම එන්නං. ඊට කලින් උඹට ලොකු වැඩක් කරන්න වෙනවා. ඉස්සෙල්ලත් මං කිව්වේ. විධුර එකට රජවරුම පස් දෙනෙක් ඉන්නවා. එතකොට පූර්ණක යක්ෂ සේනාධිපතියටයි, විධුර පණ්ඩිතයාටයි දෙන්නෙකුත් ඕනේ. මේකා හොඳයි පූර්ණකට.” අබරන් මාස්ටර් එදාම නළුවරණයත් කරන්නට පටන් ගත්තේ එහෙමය. බන්දුල ජයකොඩි දිහා බලලාය.

අජාසත්ත කුමාරයාට රඟපෑවෙත් බන්දුලය. අපේ එකම නාට්‍යයකවත් බන්දුල මෘදු, කරුණාබර චරිතයක් රඟපා නැත. බන්දුට තිබුණේ රළු, නපුරු පන්නයේ කටහඬකි. දැඩි ගතියක් තිබුණු බන්දුට පෙම් චරිත ඇල්ලුවේම නැත !

“….. උඹේ කොල්ලා නම් එරන්දතීගේ පාට් එකට හොඳට මැච් වෙනවා. ඌ බිම්බිසාර දේවියට අන්දවලා හිටිද්දී මමත් රැවටුණා ගුණේ, ඇත්තටම කෙල්ලෙක් කියලා. ඒත් තවත් ගෑනු පාර්ට් එකක් මේකට තියෙනවා. වරුණ නාග රජ්ජුරුවන්ගේ බිසවගෙ කොටස. විමලා දේවිගේ කෑල්ල. එකට හරියන්නත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයාගන්නම වෙයි, ගුණේ.”

අජාසත්ත නාට්‍යයේ එක දර්ශනයකදී බිම්බිසාර දේවිය වුණු පමණින්ම ජයන්ති අක්කා රඟපාන්නට බැරි බව තේරුම් ගෙන හිටියාය.

මෙහෙම ආ අයගෙන් හොඳම උනන්දුවෝ දෙන්නා………….

ඒ වනවිට අපට එකතුවී හිටි අයගෙන් ලොකු චරිතයකට ගන්නට තවත් ඉතිරිවී හිටියේ ‘සුදු මල්ලී’-සමරසිරි විතරය. (සමරේ ගැන ‘මීන සංහාරය’ පෝස්ටුවේ ඇති පදම් කියලා තිබේ.) මෙතනදීත් ප්‍රශ්නය නිරාකරණය කරන්නට ඉදිරිපත් වුණේ සමරසිරිය. අපේ නඩයේ අයගෙන් උස-මහතට, සුදට, පෙනුමට හිටියෙත් සමරේය.

අබරන් මාස්ටර්ට නම් සමරසිරිව හිතට අල්ලලා තිබුණේ නැත. තාත්තා මට ඒක කිව්වේ එදා රාත්තිරියේය. “සමරේගේ වොයිස් එක නාට්‍යකාරයෙකුට හරි යන එකක් නෙවෙයිලු. මාස්ටර් කියනවා එයාලා ටවර් එකේ නටද්දී, මයික් නැතිව වුණත් හෝල් එකේ අන්තිම පේළියේ ඉන්න අයටත් ඇහෙන්න කතා කරනවාය කියලා. නැත්තං සමරෙගේ පෙනුම විධුර පණ්ඩිතයන්ට ගැළපෙනවා. මිනිහව ඒ කොටසට ගම්මු කියලා කිව්වමයි, මාස්ටර් ඔය ටික කිව්වෙත්!”

“ගුණපාල අයියේ, මං බුවෙනකබා ඉස්කෝලේ කොල්ලෝ ටික දෙනෙකුට පණිවිඩේ දෙන්නං. එතකොට ටික දෙනෙක් හරි හොයාගන්න බැරියැ.” සමරසිරි කිව්වේය. කියලා නිකං හිටියේ නැත. දවස් කිහිපයකදීම ගැටවරයන් තුන් -හතර දෙනෙකු කැන්දාගෙනත් ආවේය.

පමුණුවෙන් රංජිත් ගුණසේකර හා පද්මසිරි, කොටිකාවත්තෙන් නිහාල් ලියනගේ හා තිස්ස, මහරගමින් සිරිසේන කරන්නාගොඩ එහෙම පැමිණි පිරිසයි. වත්තේගෙදර නාලන්දාරාම පන්සල අසල පදිංචිව හිට ආ ‘චූටි’ගෙ හැබෑ නම තිස්සද කොහෙදය.

කොච්චර අතීතය කාල් ගෑවත් ‘ශක්‍ර දේවේන්ද්‍රයාටත්, ගරුඬ රජ්ජුරුවන්ටත්’ රඟපෑ දෙන්නාගේ නම් මට මතක් වෙන්නේ නැත.

එතකොට ලංකාවේ හින්දි පිස්සුව තිබුණේ………..

මෙහෙම ආ අයගෙන් හොඳම උනන්දුවෝ දෙන්නා රංජිත් අයියාත්, සිරිසේන අයියාත්ය. එයාලා තව-තවත් අය හොයා ගෙන ආවෝය.

පසු කාලයකදී හින්දි නිවේදකයෙකුවූ ‘කළු නිහාල්’ව අපේ ගෙදරට එක්කං ආවෙත් ඔය කාලයේය.

එතකොට ලංකාවේ හින්දි පිස්සුව තිබ්බේ යන්තමිනි. මහරගම, නැෂනල් තියටර් එක ළඟ අතුරු පාරේ හිටි නිහාල් උනන්දුවෙන් හිටියෙත් රඟපාන්නට නොවේ; නිවේදන කටයුතු කරන්නටය. අපේ තාත්තා මිනිහාව විධුර චරිතයට ගන්නට තැත් කළත් ඒකත් හරි ගියේ නැත්තේ එයාගෙත් කටහඬ ‘මදි’ නිසාය.

“බැහැ, බැහැ ගුණේ. ඔහොම කළු හාදයෙක්ව විධුර පණ්ඩිතයන්ට ? ඒක හරියන්නෙ නැහැ බං. විධුර පණ්ඩිතයන් වහන්සේ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඒ කැරැක්ටර් එකට දාන්න ඕනේ පිං පාට උතුරණ හාදයෙක්ව බං. මේකා නිකං කාපිරි කුමාරයා වගේනෙ.” අබරන් මාස්ටර් එහෙම කිව්වාම නම් අපේ තාත්තාටත් කේන්ති ගිහින්ය. ඒත් එව්වාට වග-උත්තර කිව්වේ මගෙත් එක්කය.

“එයා කියන විදියට නළුවෝ හොයන්න නම් අලුතින් ජාතක කරලා උපද්දන්නයි වෙන්නේ”

ඉතින්, ඔය වගේ ජාතකේ ජාතකය ගැන කතා තව ඉස්සරහට තියෙනවා, හොඳේ.

http://nidigepanchathanthare.blogspot.com/2019/01/blog-post_20.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල