අතීතකාමය, ඉතිහාසය, දේශපාලන

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා

Off

මේ කථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රී ලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක් තාත්තා මුණගැහෙන්නට ලගදී දවසක පැමිණීමත් සමගය.

එක්දහස් නවසිය අනූදෙක වසරේ දිනක් උදෑසන හයට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකර හැටි අදටත් මට මතකය. මම දොර විවර කර මොහොතේ ඔහු,

පුතා, තාත්තා ඉන්නවද ? යැයි විමසුවා.

මම ඔව්, ආන්…. ඉන්නවා කන්තෝරු කාමරේ යැයි පවසා සිටි අතර අම්මාද ඒ මොහොතේ කවුදෝ පැමිණියේ කියා බලන්නට පැමිණ මම අසලින් සිටගත්තාය.

මේ…. ආටිගල මහත්තයාගේ නෝනා වෙන්න ඕනේ. ඔහු පැවසුවා.

ඔව්, මම තමයි.

මැඩම්, ජනාධිපතිතුමා ඇවිල්ල ඉන්නවා ආටිගල මහත්තයා හම්බවෙන්න.

කුඩා මම පුදුමයෙනුත් පුදුමයට පත් වීමි. එමෙන්ම තැති ගැන්මටද පත් වුනෙමි. ඒ මක් නිසාද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා නැමති චරිතය මගේ කුඩා සිතේ සිත්තම් වී තිබුනේ භයානක කෙනෙකු ලෙසය.

ඒ වනවිටත් උප්පති එජාප පාර්ෂවකරුවකු වූ මගේ තාත්තා ඒ වසරේම ඉහළ පාලනයට නොනැමී රජයේ සේවය අකුරට ඉටුකරපු වරදට එජාපයේම ඇතැම් පාලක බලවේගවල උදහසට ලක්ව කලකිරීමෙන් නිවසට වී සිට දුර්භාග්‍යමත් කාලයක් විය.

ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවසට පැමිණි වග දැනගත් තාත්තා විමතියට පත් වූ බව මට වැටහී ගියේ ඔහුගේ මුහුණ බැලූ විටය. ජනාධිපතිතුමාගේ පෙනුම අතිශය ගම්බීර විය. නිවසට පැමිණෙන ඔහුට තාත්තා ආචාර කළ විට ඔහු ඔහුගේ අත් දෙකෙන් තාත්තාගේ ආයුබෝවන් කියූ අත් දෙක අල්ලාගෙන සිනාමුසු මුහුණින් මෙසේ කීය.

“ආටිගල……… තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ?”

තාත්තා තව වචනයකුත් කියන්නට පෙරම නැවතත් එතුමා,

උඹල වගේ දහයක් හිටියනම් මට ඇති මේ රට ගෙනියන්න. ඒත් උඹ මොකද කරේ ?

ජනාධිපතිතුමා තාත්තාගේ ඇස් දෙස බලමින් කථා කළේය. ඒ හැම වචනයක්ම නිවාස පුරා ගිගුම් දෙන්නට විය. මමත් අම්මාත් ඔහු දෙස බලා සිටි අතර නිවසේ මෙහෙකාරිය අම්මා ලඟට විත් යමක් මිමිනුවාය.

ඔය අතර ජනාධිපතිතුමා අම්මා දෙස බලා සිනාසෙමින් කීවේ “නෝනා මහත්තයා අපිත් උදේට කාල නැහැ තවම” ලෙසය.

අම්මා පෙරලා පිළිතුරු දුන්නේ “සර් උදේ කෑමට අපිත් එක්ක ඉන්නවනම් කොච්චර් හොඳයිද” කියාය.

ඔය අතර තාත්තා කථාව මැදට පැමිණ,

සර්…. මම….. කියද්දීම,

එතුමා, “මම දන්නවා මනුස්සයෝ හැම දෙයක්ම. ඊයේ රෑ තමයි මම විස්තරේ හරියටම දැනගත්තේ. ඒක තමයි මම මහ පාන්දර ගෙදරටම ආවේ”

තාත්තා කිසිත් නොකියා බිම බලාගත අතර, නැවත වරක් තාත්තා දෙසට හැරුන එතුමා,

“තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ. කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම්.”

අනික ඔය ඇමරිකා යන්න හදන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට. තේරුනා නෙ… ? කීය.

තාත්තා ද පෙරලා “ඔව් සර්” කීවේය.

පසුව මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු එතුමා උදේ ආහාරයත් නිවසින්ම ලබාගෙන පිටව ගියේ ආයෙත් ආපු වෙලාවක එන්නම් යැයි කියමින්ය.

එහෙත් නැවත කිසිදා ප්‍රේමදාස ජනාධිපතිතුමා හට අප නිවසට පැමිණෙන්නට නොහැකි වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස තම දිවියෙන් සමු ගත්තේ රටම මොහොතකට අරාජික කරමින්ය.

මගේ ලෝකය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල