විවිධාංග, සංචාරක හා ඡායාරුප

දුකේ දුක හිතෙන කතන්දරේ – පළමුවෙනි කොටස

Off

ශ්‍රී ලංකාවෙන් වැඩිම දෙනෙක් ඒ උණුසුම් ප්‍රවෘත්තිය දැනගත් විගසම රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගත්හ. කිරිබත් උයන්නට පටන් ගත්හ. ගෙදර අයට ඇතිවෙන ප්‍රමාණයට විතරක් නොවේ. පාරේ යන-එන හැම දෙනාටමත් සෑහෙන්නටය.

එලෙස දන්සල් දෙන්නට රටුන් සූදානම් වුණේ වෙසක්, පොසොන් වැනි පෝයක් තිබිලා හෙම නොවේ; කල් ඇතිව දැනගෙන සූදානම් වීලාත් නොවේ. හිටි ගමන්, එක රැයින්, එක රෑනට එකට එකතු වෙවී මෙහෙම සැණකෙළි පවත්වන්නට රටම සැරසෙද්දී අප හිටියේ ඉටිපන්දම් එළියෙන් කරුවල පලවා හරිමිනි. පට්ට සීතලේ ගැහෙමිනි. ගැහැනු, පිරිමි, වැඩිහිටි, ළමා භේදයක් නැතිව සේරමලා එකට ගුළිවීගෙනය.

අපෙන් වැඩිදෙනා එදා හිටියෙ පට්ට සීතලෙන් ගැහෙමින්

මට හොඳට මතකය. අපේ වැඩි දෙනා හිටියේ නින්දත් නොනින්දත් අතරේ රස්තියාදු වෙමින්ය. හිතා-මතා ඕනෑකමකින් නොවේ. කරගන්නට දෙයක් නැතිකමටය.

තියෙන තරමක් ඇඳුම් එක පිට එක ඇඳගෙන හිටියත් අපට සීතල වැඩිය. හොඳටම වැඩිය. බිමට එළාගෙන තිබුණු තරමක් ගනකම ඇති ඉටි රෙද්දත් පසාරු කරගෙන මතුවෙන සීතල ඇට-ඇටමිදුළු දක්වාම විහිදෙයි; විහිදී අපේ නින්ද එළවා දමයි. ඇඟේ බිම පැත්තට ගෑවෙන තැන් සීතලෙන් පිච්චෙයි. ඒ මදිවාට හූ-හූ-හෝ-හෝ ගාගෙන කරකැවෙන හුළඟ දිගටම අඳෝනා දෙයි.

අපේ නඩේ විස්සකටත් වැඩිය. මෙතැන පුංචි කාමර දෙක හදලා තියෙන්නේ උපරිමයෙන් 12 දෙනෙකුට ඉන්නටය.

පිළිපැදිය යුතු නීති-රීති ලොකු අකුරෙන් කාටත් පෙනෙන්නට

වැරැද්ද අපේ අතේය. ඒකේ වන්දිය ගෙවන්නට වුණෙත් අපටමය. නිඳාගන්නට ගියාම එකාට-එකා ඇඟේ ගෑවීගෙන ඉන්නවා මිස අතපය දිග හරිනු බොරුය. ඒකෙන් සිද්ද වුණු හොඳකුත් තිබිණි. සීතල දැනෙන්නේ අඩුවෙන්ය.

එහෙම ඉඳගෙන අප හතට විතර පැදුර පටන් ගත්තේ කාලා හමාර වුණු සැණෙන්මය. ජෝති-බෙග්ලා, මිල්ටන්ලා, ඇන්ජිලා, සුජාතා-ලතාලා කවුරු-කවුරුනුත් ‘දෝතළුගල’ කඳවුරු බිමට ඇවිත් ගියෝය. අන්තිමට ආවේ වික්ටර් රත්නායකයන්ය. අපරාදේ කියන්නට බැරිය.
පාන්දර තුන-හතර වෙනතුරුමත්; අපේ එකා-එකා බැරි-බැරි ගාතේම නින්දට වැටෙනතුරුමත් උන්නැහේ අප දමා ගියේ නැත!

ඒ වෙද්දී නෙවිල් ‘කොන්ගෝ ඩ්‍රම්’ එක ගැහුවේ බඩ උඩින් තියාගෙනය. උදේනිත් එහෙමය. රබාන තිබ්බේ පපුව උඩය. මොකද ඒ දෙන්නාත් හිටියේ හෙම්බත් වෙලාය. සින්දු කියූ, අත්වැල් ඇල්ලූ හැමෝමත් එහෙමය; හාන්චි පයිස් වීලාය. නොනින්දේය. අප හැම දෙනාම වාගේ හිටියේත් බාගෙට බඩගින්නේය! ඉතින් කොහෙද නින්ද යන්නේ?

“සුප් එකක් හදමුද ? එළවලුත් ගොඩක් තියෙනවා ඉතිරිවෙලා.” එදා හවස ඒ යෝජනාව ඒකමතිකව සම්මත වුණේය.

ඒක හැදුවාම කවුරුන් හරි බක පණ්ඩිතයෙක් තවත් යෝජනාවක් ගෙනාවේය.

“ඉතිරි වෙච්ච පානුත් තියෙන නිසා රෑට උයන්න ඕනෙත් නැහැ නේද ? මේකෙන්ම පිරිමහ ගනිමුද ?”

එතකොටත් සීතල ගලාගෙන එමින් තිබුණු හින්දාද කොහෙද ඒ අදහසටත් කැමැත්ත හම්බ වුණේය. අපේ ගමන් බොහොමයකදීම අපටම උයාගන්නට වෙයි. එතකොට කාට-කාටත් හැකි පමණින් උදව් වෙන්නටත් සිදු වෙයි. සමහරුන් එහෙම වැඩවලට ටිකක් මැළිය.

එදා සීතලේ ගැහෙමින්

එදාත් සීතලේ, කුප්පි ලාම්පු එළියේ පිහිටෙන් කුස්සියේ වැඩ කිරීමෙන් බේරෙන්නටය, අර අදහසට මනාපය දෙන්නට ඇත්තේ. ඉක්මනට කා-බී කාමරය අස්සට ගාල් වෙන්නටත් එතකොට පුළුවන් හින්දාය.

ඈත අතීතයෙන් අවුරුදු ගණනාවක් මෙහා අතීතයට එන්නට දැන් වෙලාව හරිය.

ඒ නිඳි නැති, අඳුරු, සීතලම සීතල රාත්‍රිය එදායින් පස්සේ අපෙන් කාටවත්ම එතරම් ගනිච්චියක් වුණේ නැතිය. හැබැයි එක්කෙනෙකුට නම් එදා දවස චිත්ත සන්තානයේ ගැඹුරටම කිඳා බැහැලා තිබුණු වග හෙළි වුණේ අවුරුදු 4 කට පස්සෙන් පහුය. එක්කෙනා ඉසංකාය.

නෑකමට නම් මගෙත් ලේලියෙක් වෙයි. ඉසංකාව විවාහ කරගත්තේ ලලීන්ද්‍ර ශ්‍යාමන් පණ්ඩිතගේ නොහොත් අපේ මානෙල් නංගිගේ ලොකු පුතා නොහොත් ‘ගෙදරට සුරංග’ය.

නවකතාවල, ටෙලිවල, චිත්‍රපටවල විදියට නම් ඔය කියාගෙන ආ විස්තරවල හැටියට Adults Only කතන්දරයකුත් දිග හැරෙන්නට වගේය. අනේ නැත ! එතකොට අපේ ලලීන්ද්‍ර හිටියේ හැතපුම් දහස් ගණනක් ඈත එංගලන්තයේය. ඉසංකා ලංකාවේය. උන් දෙන්නා කසාද බැඳලාත් නැත.

ඉස්කෝල කාලයේදීමය ඉසංකාටත්, ලලින්ද්‍රටත්

ඉස්කෝල කාලෙදීමය ඒ දෙන්නාට ‘උක් දඬු දුන්නෙන් ගිලිහී ආ පංච පුෂ්ප හී සැරය’ වැදිලා තිබුණේ.

“ලොකා, සුරංගගේ ටීචර්ලයි මට කිව්වේ. මේකා පන්තියේම කෙල්ලෙක් එක්ක යාළුයිලු. ටීචර්ලත් කියනවා මුන් දෙන්නම තකට-තක ගැළපෙනවා කියලත්. මොකද කරන්නේ ?” මානෙල් දවසක් මගෙන් ඇහුවාය.

“සද්ද නැතිව සෝදිසියෙන් ඉඳහං. දන්න බවක් අඟවන්නවත් එපා. කෙල්ල හොඳයි වගේද ?”
“මාත් දැකල තියෙනවා. අපේ එකා වගේම තමා. අහිංසකයි වගේ !”
“අපි ටිකක් ඉවසිල්ලෙ බලාගෙන ඉමුකො” මං කිව්වේ ඒ ටිකය.

නමුත් සුරංග එංගලන්තයට යන්නට සූදානම් වෙද්දී මඟුල තීන්දු කරගෙන යන්නැයි ඉසංකලාගෙ අම්මලා ඉල්ලා තිබිණි. ඉතින් තීන්දු විණි. ඒ නිසාය සුරංග රටේ නොහිටියත් ඉසංකා අපේ ගමන්-බිමන්වලට කැන්දන් ගියේ. 2009 මැයි 19 වෙනිදා රෑ සීතලෙන් ගල් ගැහී-මිදී හිටි දෝතළුගල ගමනටත්.

එයිනුත් කාලයකට පස්සේ, සුරංග ඉසංකාව කසාද බැන්දේය. දෙන්නාම එංගලන්තයට ගිහින් අවුරුදු කිහිපයක් එහෙත් හිටියෝය. ආයෙම උපන් රටටත් ආවෝය.

ඊට පස්සෙන් පහුය, උන් දෙන්නා මහා කුමන්ත්‍රණයක් දියත් කළේ.

උන්ගේ සූදානම ‘නිදි’ව සීයා කෙනෙක් කරවන්නටය.

උන්ගේ සූදානම, කොල්ලෙකු වගේ උන් අහිංසක නිමල් දිසානායකට ‘සීයා’ පට්ටම ලබා දෙන්නටය ! ඒ විත්තිය මට කිව්වේ මානෙල් නංගිමය. “මට හරි සතුටුයි ලොකා, ඉසංකා අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ !” කාලා වරෙන්කො !

ඇත්තටම ඒක ඇහුවාම නම් මගේ පපුව කඩා වැටුණේය.

අදටත් මං රජිත්ට, අකලංකට, සුරංගට, ඩ්රූට, මාර්කෝට, ෂෝන්ට ‘පුතේ’ කියන්නේ නැත. (සුනිල්, අනිල්, මානෙල්, සමන්ති, දීපාල්, දීපානි නංගිලා- මල්ලිලාගේ වැඩිමල් පුතුන් හය දෙනා ගැනය මං කිව්වේ. මෙහෙම නම් ටික කොටද්දීය දැනුණේ; අපේ පවුලේ සහෝදර-සහෝදරියන් හැමෝටම ඉස්සෙල්ලා ලැබී තියෙන්නේ පුතාලාය !) එයාලගෙ නංගිලා මල්ලිලාටවත් එහෙම කියන්නේ නැත. නම කියලා කතා කරනවා විතරය.

ලොකු මාමේ, මහප්පේ කියා මා අමතනවාටත් වැඩි කැමැත්තකින් නොහිටි මට, දැන් ‘සීයා’ කියන පදයත් උහුලන්නට වෙන පාටය. ඒක නිකම්ම නාකි වීමකි !

මං නාකි වෙනවාට මටත් වැඩියෙන් අකැමැති වුණේ අපේ චූටි නංගී දීපානිය. 1996 එංගලන්තයට යද්දී මගේ ‘නරකෙස්’ දෙක-තුනක් පහළ වෙලාය. “අනේ ලොකූ, මොකද මේ ? බැහැ, බැහැ. ඔයාට දැන්මම නාකිවෙන්න දෙන්න බෑ. ප්ලීස්, let me dye your hair” චූටි නංගි එහෙම කියලා නිකං හිටියේ නැත. ආම්පන්න ගොඩක් ළඟට එකලස් කරගත්තාය.

එයාට කැමැත්තක් කර ගන්නට කියා මම හිස දන් දුන්නෙමි. ඉතින් චූටි නංගී මගේ කෙස්ස කළු කළාය. හිසකෙස් වර්ණ ගැන්වීම ගැන මට ටියුෂන් දුන්නාය. විච්චූරණ පාටවලට කැමැතියි නම් එහෙම කළ හැකි බවත් මට පෙන්නා දුන්නාය. ඒ වතාවේ ලංකාවට එද්දී අවුරුද්දකට විතර සෑහෙන්නට හෙයාර් ඩයි තොගයකුත් මගේ බෑගයට පැටෙව්වාය.

සුනිල්, අනිල්, මානෙල්, සමන්ති, දීපාල්, දීපානි නංගිලා මල්ලිලා හය දෙනාගේම පවුල්වල වැඩිමලා පුතෙකි !

ඒවායේ පිහිටෙන් එහෙම එක සුදු කෙස් ගහක්වත් නැතිව හිටි මටය, දැන් ‘සීයා’ පට්ටම ලැබෙන්නට යන්නේ !

ආයෙමත් cut එකක්. මෑත අතීතයෙන් ඈත අතීතයට ! දෝතළුගලට.

මං හිතන්නේ ඒ රාත්තිරියේ නම් අප වික්ටර්ගේ ගීත එකක්වත් අතහැරියේ නැතිය කියලාය. අප එහෙම අමාරුවෙන් ගී ගයා, නොනිදා බැරිම තැන නින්දට යද්දී රටේ මිනිසුන්ගෙන් වැඩි කොටහක් හිටියේත් නොනින්දේය; ඒ අපට තනිවට නොවේ. පාරවල් අයිනේ සරසමිනි; කිරිබත් උයමිනි; සතුටෙන් ඔකඳ වෙමිනි. ඒ 2009 මැයි 19 වෙනිදා රාත්‍රියයි !

දෝතළුගල කඳවුරු බිම තියෙන්නේ නකල්ස් අඩවියේය. ‘ඩීන්ස්ටන් කෑම්පින් සයිට්’ කියන්නෙත් ඒකටමය. එහාට විදුලිය නැත. ‘සිග්නල්’ තියා ගෝපාල්වත් නැත. පහසුකම් වුණත් තියෙන්නේ යාන්තමට පිරිමසා ගන්නටය. හැබැයි සොබා සෞන්දර්යය අතින් නම් හරිම පොහොසත්ය.

ඩීන්ස්ටන් බංගලාව තියෙන්නේ පාර අයිනේමය.

කඳවුරු බිම එහෙම නොවේ. සෑහෙන ඇතුළට වෙන්නට, කැලය ඇතුළේය. දෙතැනම වෙන් කරවාගෙන තිබුණත් සේරමලාගේ කැමැත්ත තිබුණේ අමාරුවෙන් හරි එකටම ගාල් වෙන්නටය. බංගලාවේ නවතින්නට එකෙකුවත් ඉතිරි වුණේ නැත.

සේරෝගෙම කැමැත්ත කෑම්පින් එකේ නවතින්නටය. කපාගන්නට ලැබෙන්නේ වපුරපු ජාතියෙන්මය. එහෙනම් ඉතින් කට්ටිය එක්කම මදිය නොකියන්න කමුකො පරිප්පු !

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත්වී තිබුණේ එදාය. ශිෂ්ට ලෝකයේ සේරෝම සම්පත්වලින්, තාක්ෂණික ගැජට්වලින් තොරව හිටි අපට ඒ ආරංචිය ලැබුණේ නැත.

පහුවදා දවල්ටත් උයාගෙන එන්නට පිටත්වී, සෑහෙන දුරකුත් ආවාට පස්සෙය අප එය දැනගත්තේ. මඟ දිගට මඟුල් සිරි වෑහෙයි; රබන් ගැහෙයි; රතිඤ්ඤා පිපිරෙයි; කිරිබතින් සංග්‍රහ කෙරෙයි! අපිත් කිරිබත් කෑවෙමු.

“අපි ලබන අවුරුද්දේත් මීට වඩා ලොකුවට දන්සලක් දෙනවා, මෙතනම. මතක ඇතිව එන්න ඕනේ !” එක තැනකින් කිරිබත් කාලා, එයාලත් එක්ක සිංදු කීපෙකුත් කියලා, පිටත් වෙන්නට හදද්දී අලුත් යහළුවෝ අපට කීහ. එදා නම් හැමදෙනාම පාහේ හිතුවේ එහෙමය. ඒත් ඒ ඝාතනයේ පළමු සංවත්සරය දවසේ කිසිවෙකු කිරිබත් ඉව්වාය කියලාවත් මට නම් ආරංචි වුණේ නැත. අමතක වුණු හින්දද ?

නන්දිකඩාල් කලපුවේදී මරණයට පත් වුණත් මට නම් එයාගේ එකම එක කතාවක් නිසා ප්‍රභාකරන්ව අමතක වෙන්නේ නැත. “සිංහල මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක හිටින්නේ වැඩිම වුණොත් සුමාන දෙකයි !” වචන නම් මගේය. අදහස එයාගෙය.

ආච්චිට හාල් ගරන්න, අපේ ඉසංකාට නම් එහෙම සුමාන දෙකෙන් අමතක වෙන අසනීපය තිබිලා නැත. දෝතළුගල ගමනේ ‘අටමඟලක්’ අවුරුදු 4 ක්ම මතක තිබිලා, එළියටත් පැනලා තිබුණේ 2013 අග හරියකදීය.

“හරි වැඩේනේ ලොකු අයියේ. ඉසංකාට දොළදුකක් හැදිලා” මානෙල් හුඟක් දේවල් කියන්නේ මා එක්කය. මේකත් එහෙම බෙදාගත් ආරංචියක් කියලාය මං හිතුවේ.

“ඉසංකලගෙ අම්මයි, මමයි කීප දවසේ එයාට සුප් හදලා දුන්නා. හරි ගියේ නැහැ.” එතකොටවත් මට කිසිම දෙයක් නිච්චි වුණේ නැත.

මොන සුප්ද හදල ඉල්ලන්නේ ?

“ඇයි, මොන සුප්ද හදලා ඉල්ලන්නේ? එංගලන්තේදී බීපු එකක්ද….. රාජකීය සුප් ……”

“ඒකනේ ලොකා. ඔයාටම තමයි දැන් නම් ඒක හදලා දෙන්න වෙන්නේ. ඔයාට මතකයිද අර ප්‍රභාකරන්ව මරපු දවසේ අපි ට්‍රිප් එකක් ගිහින් හිටියේ…. සීතලම සීතලේ. එහෙදී ඔයා සුප් එකක් හැදුවා. ඒකලු ඉසංකට ඕනේ.”

“ඇයි යකෝ. මං ඒක හැදුවේ කොහොමද කියලා මටවත් මතකක් නෑ. මොකෝ, රෙසිපි එහෙකට කෑම හදනවද මං ? ඉතිරිවෙලා තිබ්බ එළවලු සේරම දමල හැදුවා මිසක්.”

ඉංගිරිසියෙන් ඒ ආසාවට කියන්නේ craving කියලාය. සිංහලෙන් නම් දොළදුකය. දොළදුක හැදුණු ගැහැනුන් ගැන ඇත්තටම මට ඇත්තේ ලොකු දුකකි. එහෙම වුණේ පුංචි කාලේ ඉඳලාමය; මට අවුරුදු දහයක්වත් නැති කාලයේ ඉඳලාමය; ගැබ්බරවී ටික දවසකින්ම අපේ අම්මා විඳින දුක දැකලාය !

ඒ දකිද්දී අප හිටියේ බදුල්ලේ රේල්වේ ක්වාටර්ස් පේළියේ නිවසකය. හරියටම කියනවා නම් බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහතාගේ නිවාසය ඉස්සරහින්, පාරෙන් එහා පැත්තේ නිවසේය.

ගැබිණියක වුණු ගමන් අපේ අම්මාට කෙළවරක් නැතිව වමනය යන්නට පටන් ගනියි. කෑම එපා වෙයි. එහෙම වුණත් හිටි ගමන් කෑමවලට ආසා වෙයි. ඒත් එහෙම ආසාවක් ඇති වෙන්නේ අහපු, දැකපු, කියපු, සුවඳක්වත් ආපු කෑමක් ගැන නොවේ. පුදුමය ඒකය.

ගැබිණියක වුණු ගමන් අපේ අම්මාට

“රංජි. මේ ගෙවල් පේළියේ කෙලවරේම ගෙදර උයන ඒවා නම් අද මට කන්න පුළුවන් වෙයි වගේ…… ගිහින් ඉල්ලගෙන වරෙන්කො” දවසක් අම්මා කිව්වාය.

ඒ ගෙදර ඉන්නේ කවුරුන්ද කියා අපේ තාත්තාවත් දැනගෙන හිටියද මන්දා. ඒත් ලජ්ජාවේ පැකිළෙමින් ඒ ගෙදරට ගිය හැටි. අම්මා ගැන එයාලට කිව් හැටි. ඒ ගෙදර ගැහැනු කෙනා හරිම කරුණාවන්තව මගේ හිස අතගා, වාඩි කරවා ලොකු බත් පිඟානක් බෙදා දුන් හැටි. ඉමිහිරි මතකයකි.

ඊට පස්සේත් අපේ අම්මාගේ විදිය වෙනස් වුණේ නැත !

ඒකෙන් හිතට වැදුණු තරම නිසාද කොහෙද, දරු පිළිසිඳගැනීමකින් ඉන්නා හඳුනන කාන්තාවක් වෙයි නම් මා උත්සාහ ගන්නේ බත් මුලක් ගෙනිහින් දෙන්නටය.

“අනේ නිමල් අයියේ. කොච්චර කාලෙකින්ද……” කියා කතාව පටන් ගත් තුෂාරි ඉණිමංකඩ මහත්මිය; තුෂාරි නංගි ඊළඟට කිව්වේ මෙහෙමය. “…. අයියට මතකයිද මගෙ දරුවෝ තුන්දෙනාම හම්බ වෙන්න ඉඳිද්දී අයියා බත් උයලා මට ගෙනත් දුන්නා !” එහෙම කියලා නිකම් නොඉඳ, තුෂාරි නංගී ‘විදර්ශන ප්‍රකාශකයන්ගේ’ අලුත්ම ප්‍රකාශන දැමූ බෑගයක් BMICH එකේ පොත් ප්‍රදර්ශනයේදී මට දුන්නේ මුදල් ගෙවන්නටත් ඉඩ නොදීමය !

එහෙම කියලා නිකම්ම නොඉඳ තුෂාරි නංගී

ඉතින් කියන්නට තිබෙන දේවලින් වැඩි හරියක් තවමත් කියන්නට ලැබුණේ නැත. මේ සේරම කියාගෙන ආවේ රසික ඔයාලා හැමෝමත් දන්නා; එහෙත් හරිහැටි නොදන්නා දොළදුකක් ගැන කියන්නටය.

එහෙම කිව්වාම ටිකාක් අප්‍රභංස වගෙයිද ? කමක් නැහැ. ඊළඟ කොටස කියවනකොට ඒ ගතිය මඟ හැරේවිද කියලා බලමුකෝ !

නිදිගෙ පංච තන්තරේ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල