අධ්‍යාපනික, කාලීන සංවාද

සේනා දළඹුවා හා ජනමාධ්‍ය

Off

සේනා දළඹුවා ගැන දැන් බොහෝ දෙනා දන්නවා. මේ දළඹුවා ගැන කරන ලද අධ්‍යයනයක් නිසා ආචාර්ය උපාධියක් ලත් මා දන්නා හඳුනන රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂගේ ලිපියක් ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පෙරේදා පළ වී තිබුණා. ඒ මහතාත් මාත් අර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ 6% ඉල්ලීම ගැන රූපවාහිනියේ (නාළිකාව මට මතක නැහැ) එක පැත්තක ඉඳ කතා කර තිබෙනවා. ඒ සටනෙන් කිහිප දෙනකුට ටී-ෂර්ට් ලැබීම හැරෙන්න වෙන දෙයක් සිදු වුණේ නැහැ.

ඒ කතාව කොහොම වුණත් ලිපියේ සඳහන් අන්දමට මේ දළඹුවා ඇති වී තිබෙන්නේ එක්සත් ජනපදවල. දළඹුවා 2016 දී අප්‍රිකානු කලාපයටත් ඉන්පසු 2017 ඉන්දියාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. දැන් දළඹුවා ලංකාවටත් ඇවිත්. ඇතැමුන් කියන විධියට 2018 අගෝස්තු මාසයේ පමණ. රොහාන්ගේ ලිපියේ සඳහන් අන්දමට දළඹුවා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ද තිබෙනවා. එමෙන්ම ජෛවීය ක්‍රමද තිබනවා.

ඒ ලිපියේ දළඹුවා ගන තරමක විස්තරයක් තිබුණා. දළඹුවාගේ ජීවිත කාලය මාසයක් පමණ බවත් සලබයාට රැයකට කිලෝමීටර් 100 ක් පමණ පියෑඹීිය හැකි බවත් සාමාන්‍යයෙන් බිත්තර 1500ක් පමණ දමන බවත් ලිපියෙන් දැනගන්නට ලැබුණා. අවශ්‍ය අයකුට ලිපිය කියවා තවත් දත්ත දැනගත හැකියි. අප්‍රිකාවේ දළඹුවා විසින් කරන ලද හානිය ඩොලර් කෝටි හයසීයක් පමණ. මේ උපද්‍රවය නිසා ඝානාවේ හදිසි තත්වයක් ද පනවා තිබුණා. මේ විස්තර අනුව දළඹුවා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්න ඇති. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට එන්න ඇති. එය කෙසේ සිදු වූවා දැයි දැන ගැනීමත් වැදගත්. දළඹුවා 2018 ඔක්තෝම්බර් 26 ට කලින් ලංකාවට පැමිණ ඇති නිසා දින පනහේ ආණ්ඩුවට වින කිරීම සඳහා පැමිණි එකෙකු යැයි කියන්න බැහැ.

රොහාන් රාජපක්‍ෂ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත්තේ 1985 දී. ඒ කියන්නේ සේනා දළඹුවා ඒ කාලෙත් එක්සත් ජනපදවල ඉඳලා තියෙනවා. දළඹුවා බිහි වුණේ කෙසේද සත්ව පරිණාමයෙන්ද වෙනත් ක්‍රමයකින්ද සාපේක්‍ෂව දළඹුවාගෙන් වඩා හානි සිදු වන්නේ අප්‍රිකාවට හා ආසියාවටද මේ දළඹුවන් සලබයන් කලින් කලට අප වැනි රටවලට පැමිණෙන්නේ කොහෙන්ද ඔවුන්ගේ නිජබිම කුමක්ද මේ ප්‍රශ්නවලට කීට විද්‍යාඥයකු වූ රොහාන්ටවත් මෙරට වෙනත් විද්‍යාඥයකුටවත් පිළිතුරු තිබේ යැයි මා හිතන්නේ නැහැ. මේ සලබයා පියාඹන්නේ කිලෝ මීටර් පන්සියක පමණ දුරක් යැයි රොහාන් රාජපක්‍ෂ කියනවා. එක්සත් ජනපදවල සිට අප්‍රිකාවට කිලෝමීටර් පන්සීයට වඩා වැඩියි. කෘමියා යුරෝපා සංගමය හරහා පැමිණියත් අත්ලන්තික් සාගරය ගෙවා ගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇති වෙනවා. යුරෝපා සංගමයට සේනා දළඹුවාගෙන් එතරම් විනාශයක් වූ බවට ආරංචියක් නැහැ. අප්‍රිකාවෙන් ඉන්දියාවට පැමිණීම ගැනත් විස්තරයක් නැහැ. පෘතුගීසීන්ට පිහිට වුණු මෝසම් සුළං සේනා දළඹුවාටත් පිහිට වුණා ද දන්නේ නැහැ. සේනා දළඹුවා චීනයටත් ගොස් ඇති බව රොහාන් කියනවා. ස්වදේශික ඇමරිකානුවන් චීනය පැත්තේ සිට එක්සත් ජනපදවලට ගියා නම් සේනා දළඹුවාට ඒ පැත්තෙන් මේ පැත්තට එන්න බැරි කමකුත් නැහැ. දළඹුවාගේ ගමන සිදු වන්නේ බහුජාතික සමාගම්වල අවශ්‍යතාවට ය යන සැකය ඇති වීම වළක්වන්න බැහැ.

අප බටහිර කෘෂිකර්මය මත පමණක් රැඳී සිටිමේ මහා අවදානමක් තියෙනවා. අනුරාධපුරේ හැරිසන්ට මේ ගැන එච්චර තේරුමක් නැහැ. ඒත් ඔහු දේශීය දැනුම ගැනත් කියා තිබුණා. එය නම් සුබ ලකුණක්. පොළොන්නරුවේ මෛත්‍රිපාලටත් දේශීය දැනුම ගැන යම් අවබෝධයක් තිබෙන බව ආසනික් සිද්ධියේ දී මට දැන ගන්න ලැබුණා. මෙරට ඉන්න බටහිර කෘෂිවිද්‍යාඥයන්ට දළඹූ උවදුර මඩින්න වෙන්නෙත් බටහිර දැනුම යොදා ගනිමින්. බටහිරින් ම ආ සේනා දළඹුවා මඩින්නත් බටහිරින් ම විසඳුම් සොයන විට මතකයට නැගෙන්නේ බටහිරින් ආ ධනවාදයට බටහිරින්ම විසඳුම් සොයන මාක්ස්වාදීන්. බටහිර දැනුම් ආධිපත්‍යය අප යට කර ගෙන. ප්‍රශ්නයත් ඔවුන්ගෙන් විසඳුමත් ඔවුන්ගෙන් !

මෙහිදී දෙරණ නාළිකාවට පින් දෙන්න ඕන විවිධ දේශීය ප්‍රතිකාර ගැන ප්‍රචාරය දීම සම්බන්ධයෙන්. මේ දේශීය ප්‍රතිකාර ගැන තොරතුරු ලැබුණේ උපාධිධාරීන්ගෙන් නොව ගොවියන්ගේ හා ගෙවිලියන්ගෙන්. ඔවුනට තම ශිල්පීය දැනුම යොදා ගනිමින් තම චින්තනයේ ඉඳිමින් අලුත් ප්‍රතිකාර නිර්මාණය කර ගන්න පුළුවන්.මෙරට ඉන්න බටහිර විද්‍යාඥයන්ට එය කරන්න බැහැ. ඔවුන්ට නිර්මාණ කරන්න බැහැ. ඔවුන්ගේ චින්තනය හා බටහිර විද්‍යා‍වේ චින්තනය දෙකක්. ඔවුන්ට පුළුවන් බටහිර විද්‍යාවේ වාටියේ ඇති යමක් අධ්‍යයනය කිරීම පමණයි.

දේශීය දැනුමක් ගැන කියන අතර දෙරණ තමන් නොදන්න පරීක්‍ෂණය නිරීක්‍ෂණය නිගමනය කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයකින් දේශීය ප්‍රතිකාර ගැන විනිශ්චයක් දිය යුතු ය කියනවා. දේශීය දැනුම හරියනවා ද නැත් ද කියා ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත හැකියි. ප්‍රත්‍යක්‍ෂය තමයි ඊනියා ඥානවිභාගයක් සම්බන්ධයෙන් ගතහොත් දේශීය දැනුමේ සිංහල බෞද්ධ ක්‍රමය. අපේ වෙදකමේ කියන්නේ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි කියා.

මෙයට කලින් වතාවක් දෙරණ මේ විධියට ම කිරි කළයට ගොම එකතු කළා. ඒ වකුගඩු රෝගය සම්බන්ධයෙන්. අප මහාවිලච්චියේ වකුගඩු රෝගීන්ට නිකවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහතකු ලවා සිංහල ප්‍රතිකාර කෙරෙවුවා. රෝගීන් සුවපත් වුණා. අප දෙරණේ අයකු ඒ වාර්තා කිරීමට එක්කන් ගියා. ඔහු රෝගීන් සමග ද කතා කර රූහඬ පටයක් නිපදවූවා. එහෙත් දෙරණ එය ප්‍රචාරය කිරීමට පළමු රෝගීන් සුව වූ බවට බටහිර වෛදවරයකුගෙන් සහතිකයක් ඉල්ලුවා. මා එසේ සහතිකයක් දීම ප්‍රතික්‍ෂෙප කළා. බටහිර සහතික ඉල්ලීම හා දීම අපේ දැනුම බටහිර දැනුම් ආධිපත්‍යයට, සංස්කෘතික ආධිපත්‍යයට යට කිරීමක්. අප මේ සංස්කෘතික ආධිපත්‍යයෙන් හැකි ඉක්මණින් මිදෙන්න ඕන. නැත්නම් ඉදිරියේ දී තව තවත් දළඹුවන් ඒවි. අනෙක් නාළිකා ගැන මා කියන්න යන්නේ නැහැ. කියල වැඩක් නැහැ.

අප කතා කරන්නේ දැනුම් පද්ධති දෙකක් ගැන. ලොවෙහි දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් නො වෙයි. එක දැනුම් පද්ධතියක් පමණක් උරගල ලෙස පාවිච්චි කරන්න බැහැ. බටහිර දැනුම් පද්ධතියෙහි ඇත්තේ වියුක්ත හිතළු පමණයි. ඒ හිතළු යම් ක්‍ෂෙත්‍රයක සීමිත වපසරියක වැඩ කරනවා. අනෙක් දැනුම් පද්ධතීන් ද වැඩ කරනවා. බටහිර දැනුම් පද්ධතියට පමණක් ඊනියා වාස්තවිකත්වයක් නැහැ.

මේ විවිධ දැනුම් පද්ධති අතර කතාව ඝරසර්ප චිත්‍රපටයෙන් ද කියැවෙනවා. එ් පිළිබඳ මා කොටස් තුනකින් ලියූ දීර්ඝ ලිපියක් සුපුරුදු පරිදි කුණු කූඩයට ගියා. උතුරු පළාතේ වත්මන් ආණ්ඩුකාර සුරේන් රාඝවාන් පමණක් මේ දැනුම් පද්ධතිවල කතාව ලියා තිබුණා.

අඩු තරමෙන් සේනා දළඹුවා අපට මේ දැනුම් පද්ධති කිහිපයේ කතාව කියනවා. එහෙත් අප අපේ දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතියට යට කරනවා. දළඹුවා එන්නෙත් බටහිරින්. ප්‍රතිකාර එන්නෙත් බටහිරින්. අප බටහිර දැනුම් පද්ධතියට යට වී සිටිනතාක් අප දළඹුවන් ගෙන්වීමටත් උන්ට බඩ ඉරිඟු කුරක්කන් ආදිය කන්න දීමටත් උන් විනාශ කිරීමටත් ඩොලර් වියදම් කරනවා. අප ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙන් අපේ දැනුම බටහිර ආධිපත්‍යයට යට කරනවා. ඒ අතර අප විද්‍යාත්මක කැබිනෙට්ටුත් හදනවා. කවුද ඇහුව ඒ මොරටුවේ ද කියලා.

කාලය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල