අතීතකාමය, අධ්‍යාපනික, කෙටි කථා

ආපසු ආ අම්මා…

Off

මම පොඩි කාලේ කතා අහන්න ගොඩක් කැමැත්තෙන් හිටපු හා වැඩිහිටියන් කිහිප දෙනෙක්ගෙන්ම නිතර කතා අහන්න වාසනාවන්ත වූ අයෙක්. මේ විදිහට බ්ලොග් එකේ කතන්දර ලියන පුරුද්ද එන්න ඇත්තෙත් ඔය කතා අහල වෙන්න පුළුවන්.

මේ විදිහට අහපු කතා පරම්පරා ගාණක් කටින් කට සම්ප්‍රේෂණය වූ කතා වෙන්න පුළුවන්. මහාවංශය වගේ වංශකතාවල තියෙන්නෙත් ඔය වගේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ කතා. අතරින් පතර සාමාන්‍ය ජන සමාජය ගැන තොරතුරු හැංගිලා තිබුණත් මහාවංශය කියන්නේ මහා විහාරික පරම්පරාවේ පන්සල්වල හා ඒ පන්සල්වලට උදවු කරපු රජවරුන්ගේ කතා.

ගොඩක් වෙලාවට ඉතිහාසය කියන්නේ රජවරුන්, පූජකයින් වගේ සමාජයේ උඩම ස්ථරයේ ඉතිහාසය. ජනකතාවලත් ගොඩක් වෙලාවට රජවරුන් වගේ සමාජයේ ඉහළ ස්ථරයේ අයට වැඩි අවකාශයක් ලැබුණත් ඉතිහාසයේ ජීවත් වූ සාමාන්‍ය මිනිස්සු ගැනත් තරමක් දුරට දැන ගන්න පුළුවන්.

නැන්දම්මගෙයි ලේලිගෙයි ආරවුල් ලංකාවේ ගොඩක් කතාවල පොදු මාතෘකාවක්නේ. බැඳලා අළුත් පිට වැඩි කෙණෙහිලිකම් ලේලිටයි. නමුත් වයසට යද්දී ගොඩක් වෙලාවට වෙන්නේ නැන්දම්මට රිටර්න් එක හම්බ වෙන එකයි. මේ කියන කතාවේ වුනෙත් ඒ වගේ දෙයක්. අහේනි කාලයකදී ගෙදර කෑම බීම හිඟ වෙද්දී වයස්ගත නැන්දම්මාට කන්න දෙන එක අමාරු නිසා ගෙදරින් කොහේ හරි කැලේකට ගිහින් දාන්න කියලා ලේලිගෙන් සැමියාට ගැලවිල්ලක් නැහැ. වදෙන් බේරෙන්න බැරිම තැන පුතා මහ රෑ අම්මව කැලේ මැද්දේ සොහොනකට ගිහිං දාල ආපහු ගෙදර එනවා.

ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන වයස්ගත කාන්තාවකට නැවත ජීවිතේ බේරාගෙන එන එක ලේසි නෑනේ. ගොඩක් වෙලාවට වෙන්නේ සොහොනේ තැන තැන තියෙන මිනී කන්න එන කැලෑ සත්තුන්ට ඔය වගේ කෙනෙක්ව ගොදුරු වෙන එකයි. හැබැයි මේ අම්මා වාසනාවන්තයි.

ගෙවල් කිහිපයක්ම බිඳපු හොරු රංචුවක් හරියටම එදා රෑ මේ සොහොනට එන්නේ කාටවත් නොපෙනෙන්න තමන් සතු වස්තුව බෙදා ගන්නයි. සොහොනේ තනියම බයේ ගැහි ගැහී ඉන්න වයසක අම්මා දකිනවා මිනිස්සු ටිකක් සොහොනට ආපු බව. ඇය ඔවුන් වෙත යන්නේ ඔවුන්ගෙන් උදවුවක් ලබා ගෙන පණ බේරගන්නයි.

කතාවල සාමාන්‍යයෙන් වෙන විදිහටම මේ එන්නේ හොල්මනක් කියා හිතන හොරු ටික හොඳටම බය වෙලා පණ එපා කියලා දුවනවා. හොරු හිටපු තැනට ගිහින් බලන වයසක අම්මා දකින්නේ රන්, රිදී, මුතු, මැණික් මාර තොගයක්. ඔය වස්තු සම්භාරය පොදි බැඳගන්න අම්මා කොහොම හරි පාර හොයාගෙන ආපහු පුතාගේ ගෙදරටම යනවා. පුතා කළ දේ මොකක් වුනත් අම්ම කෙනෙක් එහෙම කරන එකේ ලොකු අමුත්තක් නැහැනේ. තමන්ව සොහොනට ගිහින් දැම්මේ ආර්ථික ප්‍රශ්න නිසා පුතාට වෙන කරන්නම දෙයක් නැති නිසා කියලා ඈ හිතන්න ඇති. දැන් ලැබුණු වස්තු සම්භාරය පුතාට දුන්නොත් පුතා ගොඩ යන බවත් තේරෙන්න ඇති.

හිතපු විදිහටම ඇයට නැවත ගෙදර දොර ඇරෙනවා. පොඩි කාලේ අහපු කතාවක් නිසා හරියටම මතක නැහැ. හැබැයි ඇය ගෙදරට කියන්නේ ඇත්ත කතාව නෙමෙයි. මතක විදිහට දෙවි කෙනෙක් ඇවිදින් උදවු කරපු කතාවක් වගේ එකක්. කොහොම හරි ඊට පස්සේ ඇයට මැරෙන කල්ම පුතාගෙන් වගේම ලේලිගෙනුත් සැලකිලි ලැබෙනවා.

මේ කතාව අහල තියෙන අය ඉන්නවද?

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල