අධ්‍යාපනික, ඉතිහාසය, දේශපාලන

මිනිස් චාරිකා 21 – පෙර අපර දිග යා වීම සහ යුරෝපයේ ප්‍රගතිය

Off

පෙරදිග සහ අපරදිග සංසන්දනයක් මෙහිදී කළහොත්; යුරෝපයේ කිතුණු යුගයේ කලබගෑනි, චීනයේ ජන ජීවිතය හා කිසිම සම්බන්දයක් ඇති වූවේ නැත. චීනයේ ඇති වූ ශිෂ්ටාචාරය, චීනය ඇතුලේම හැදුණු වැඩුණු දෙයකි. එහෙත් යුරෝපය සහ චීනයේ වෙනත් සබඳතාවයක් තිබිණ. රෝමන් ලෝකය සහ චීනය එසේ එකතු වූයේ ‘සේද මාවත’ හරහාය.

රෝමයේ ප්‍රභූ පවුල්වල කාන්තාවන් සිල්ක් රෙදි භාවිතා කළහ. මෙහිදී රෙදි පමණක් හුවමාරු වුනේද නැතිනම් ඒ සමඟ ආසියානු අදහස්ද හුවමාරු වුනේදැයි කෙලින්ම කියන්නට සාධක නැත.

සේද මාවතට ජපානයද යම් ප්‍රමාණයකින් හවුල් වෙන්නට ඇති බවට රෝමන් සමාජයෙන් එහි පැමිණි සාක්ෂි කීපයක් ඇත. එකක් නම් ජපානයේ සංස්කෘතික අගනුවරක් වන ‘නාරා’හී රෝමන් ලකුණු සොයා ගැනීමට හැකි වීමය. එහෙත් එකල චීනයට නම් රෝමයෙන් කිසිම දෙයක් අවශ්‍ය වුනේ නැත කියා තර්ක කල හැක්කේ, එදා චීනය සෞභාග්‍යයේ උපරිමයේ පැවතුණු හෙයිණි.

චීනය නොයෙක් අංශවලින් බටහිර රටවල්වලට වඩා උසස් තත්වයක් ඉසිලීය. දැනුමෙන් නුවණින් පමණක් නොව චීන ගොඩනැගිළි සහ නගර පවා ඉහළ තලයක නිර්මාණයන් විය. මෑතක් වන තුරුම බටහිර රටවල ඉදි නොකළ ආකාරයේ සංකීර්ණ ඇළ මාර්ග චීනයේ තනා තිබිණ. ඒ ඇළ මාර්ගවලින් යන ජලයෙන් නිසරු ප්‍රදේශ පවා ගොවිතැනට සුදුසු ප්‍රදේශ සේ ඔවුන් සකස් කලහ.

ඔවුන්, ‘පට පණුවා’ පෝෂ්‍ය කර සිල්ක් රෙදි තනන ආකාරය ඉගෙන ගෙන සිටියහ. එහෙත් මධ්‍යතන යුගයේ යුරෝපීයයන් සිල්ක් රෙදි තනන ආකාරය දැන සිටියේ නැත. බටහිර යුරෝපයට සිල්ක් රෙදි ලැබුනේ රෝමන් අධිරාජ්‍යය බලයෙන් පහ වන කාලයෙන් පසුව විය. බොහෝ කාලයක් යනතුරු සිල්ක් රෙදි තැනීම යුරෝපයේ සිදු නොවිය.

චීන්නු ‘මාළිමාව’ සොයාගත් බව අපි දනිමු. එසේම ක්‍රිස්තු පූර්ව 1100 දී කිසියම් යාන්ත්‍රික ක්‍රමයක් භාවිතා කර, කරත්තයක සිටින මිනිස් පිළිරුවක අතින් පෙන්වන දිශාව සැමවිටම දකුණ සේ පෙන්වීමට ඔවුන් සමත් විය. එනම් කරත්තය කුමන දිශාවකට චලනය වුවද, ඉහත කී පිළිරුවේ අත දකුණට [හෝ කිසියම් නිශ්චිත දිශාවකට ] යොමුව තිබිණ. මේ ක්‍රමය ඉන්දියාව කොපි කරන්නට ඇත.

[… එම කෘතියේ ඉන්දියානු කොපියක් එක්සත් අරාබි ජනරජයේ, ඩුබායි ප්‍රාන්තයේ ‘ඉබන් බතුතා’ සුපිරි වෙළඳසැලේ ප්‍රදර්ශනයට තබා ඇත]

තවද චීනා එකළ භාවිතා කල වෙඩි බෙහෙත් යුරෝපයට ලැබුනේ ‘ටාටර්වරුන්’ගෙනි. මුද්‍රණ ක්‍රමය චීනයේ සොයාගත් දෙයකි. කලාත්මක දේ තුලින්ද චීනා දෙවෙනි වූයේ නැත. ඔවුන් තැනූ පෝසිලෙන් භාණ්ඩවල ඇඳි පින්තුර ඉතා මනහර විය. පින්සල් පහරවල් කීපයක් භාවිතා කර, ඔවුන් ඒ පින්තුර ජීවමාන බවකින් යුතුව ඇඳීමට සමත් විය. ඒ පැරණි පෝසිලෙන් භාණ්ඩ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ, ‘චීන කොටසේ’දක්නට හැක.

‘සොන්’ හෙවත් සන් රාජ්‍ය සමයේ [Sung] අගනුවර වූ ‘හැන්ග්සවු’ [Hangzhou] නගරයේ වට ප්‍රමාණය සැතැප්ම සීයක් විය. ඒ නගරයට ඇතුලු වන්නට ද්වාරයන් දොළහක් තිබිණ. එය මැදින් අඩි දෙසීයක් පළල පාරක් තිබිණ…!

එහි තිබුණු ඇළවල් ඉහලින් තනා තිබුණු පාලම කොතරම් උසද සහ විශාලද යත්, ඒ යටින් නැවක් ගමන් කරන්නට හැකියාව තිබිණ. මේ නගරයේ, බටහිර මෙන්ම නැගෙනහිර සමඟ වෙළඳාම් කල වෙළෙන්දන් මෙන්ම ඔවුන්ගේ වෙළඳසැල් තිබිණ. මේ නගරය වෙළඳාම අතින් එකළ යුරෝපයේ තිබුණු විශාලතම වෙළඳ නගරයක් වූ වැනීසිය මෙන් කීප ගුණයක් විශාල විය. .

ක්‍රිස්තු වර්ෂ 1259 දී චීනය ‘කුබ්ලායි ඛාන්’යටතට පත් වුවද, ඔහු රටට හිතකර යහපත් පාලකයෙක් විය. මේ කාලයේ සිදු වූ දේවල් ගැන වැදගත් විස්තර, එම 13 වන සියවසේ චීනයට සංචාරය කල, ‘මාර්කෝ පෝලෝ’ විසින් සටහන් කර ඇත. ඔහු ගැන ‘කුබ්ලායි ඛාන්’ කොතරම් පැහැදුනාද යත්, ඔහුව චීන ආණ්ඩුවේ නිළධාරියෙක් බවට පත් කළේය.

පසු කලෙක යුරෝපයට පැමිණි ඔහු විසින් ආසියාව ගැන ලියු විස්තරද පසු කලක යුරෝපීයයන් ආසියාවේ සංචාරය කරන්නට හේතුවක් විය. අවාසනාවට ඔහු ලංකාවට පැමිණ නැත. එසේ පැමිණියා නම් ලංකාවේ වැඩි විස්තර තවත් දේශ ගවේෂකයෙක්ගේ ඇසින් දුටු විස්තර ලෙස සොයා ගන්නට පුළුවන් වන්නට ඉඩ තිබිණි.

නැවතත් යුරෝපයේ තත්වය ගැන කිවහොත්; මේ කාලය වනවිට රෝම අධිරාජ්‍යය නැතිවී ගොස් යුරෝපයේ අස්ථාවර බව ඇති වූ තිබුණු කාලයක් විය. එහෙත් පල්ලියට බලය තිබුණු කාලයක් විය. මිනිසාගේ එදිනෙදා කාර්යයන් ඇතුළු අනේක දේ පල්ලියෙන් පාලනය විය. එසේ හෙයින් පල්ලිය පවසන දෙයට ඉහළින් දෙයක් කීම මාරයාට අත වැනීමක් විය. සමහර ඉතිහාසඥයන් කියන ආකාරයට මේ යුරෝපයේ නිසරුම කාලය විය.

බොහෝ කලබල සහ අවාසනාවන්ත සිදුවීම් සිදුවූ දීර්ඝ කාලයකින් පසු ශිෂ්ටාචාරත්වයෙන් ඔප ගැන්වුණු කළා නිර්මාණ, යුරෝපයේ බොහෝ රටවල්වල කෙමෙන් කෙමෙන් නැවත ඇතිවීම ආරම්භ විය. එය නිදහසේ ආරම්භයක් මෙන් විය. බොහෝ ලේඛකයන් ලිවීම ආරම්භ කලේ පල්ලියේ භාවිතා කල ලතින් භාෂාවෙන් නොව, ඔවුන්ගේ රටවල්වල භාවිතා කරන භාෂාවලින් වීම කැපී පෙනෙන දෙයකි.

15 වන ශත වර්ෂයේ සිදු වූ මේ හදිසි ප්‍රගතියට හේතුව කුමක්ද ?

විශේෂයෙන්ම, ග්‍රීකයන්ගේ කලා නිර්මාණ සහ දර්ශනවාදී අදහස් එළියට ඒම මීට ප්‍රධාන හේතුවක් විය. එය සෘණමය ආකාරයකින් සිදු වීමත් කැපී පෙනෙන දෙයකි. ක්‍රිස්තු වර්ෂ 1453 දී කොන්ස්තන්තිනෝපලයට කඩා වැදී එය අල්ලා ගත තුර්කීන්, මේ පැරණි සටහන් යුරෝපය පුරා පතුරවා හැරියහ.

සමහරවිට ඔවුන් එය කරන්නට ඇත්තේ ඒ පැරණි ස්වාධීන ග්‍රීක කළා නිර්මාණ කිතුණු පල්ලියෙන් එකල ප්‍රචාරය කල මූලධර්ම කිතුණු අදහස්වලට පටහැනි වීම නිසා වෙන්නට ඇත.

මෙය අඳුරේ සිට ආලෝකයට ඒමක් බඳු විය. ඒ පැරණි ස්වතන්ත්‍ර ග්‍රීක නිර්මාණවල ලෝකයේ ඇති සියලු සතුට කැටි කලාක් මෙන්, එදා ඒ මධ්‍යතන යුගයේ හිරවී මිරිකී සිටි මිනිසුන්ට දැනුනහ. ප්‍රථම වතාවට මිනිසුන් ඇති දෑ, දෙවියන් ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කළහ.

සියලුම ආකාරයේ ග්‍රීක නිර්මාණවලට ක්ෂණිකව ඉතා ඉහළ තැනක් ලැබිණ. යුරෝපයේ පුරා සිත්තරුන්, ලේඛකයන්, සංගීතඥයන් ඇති විය. [Google – Renaissance artists in Medieval time] ඉතාලියේ ‘මයිකල් ඈන්ජෙලෝ’සහ ලෙනාඩෝ ඩා වින්සි, ජර්මනියේ, ඩුවරර් [Durer] සහ හොල්බේන් [Holbein], නෙදර්ලන්තයේ රෙම්බ්‍රාන්ට් සහ වැනඩ්යක් [Vandyck], ඒ යුගය නිසාම ඇති වූ ප්‍රතිභා සම්පන්න කලාකරුවන් විය.

මේ ප්‍රගතිය පල්ලිවලද ඇතිව ගියේ, කලාත්මක නව නිර්මාණ පල්ලි ගොඩනැගීමටද භාවිතා කරමිනි. එසේ නොවුනා නම්, මිනිසුන් වඩ වඩාත් පල්ලිවලින් ඉවත් වන්නට ඉඩ තිබිණ.

සාහිත්‍යයේද ඉතා ඉහළ ප්‍රගතියක් ඇති විය. ස්පාඤඤයේ දොන් ක්වික්සෝට් [Don Quixote], එංගලන්තයේ ශේක්ස්පියර්, ඒ කාලයේ එම සමාජයෙන් ඇති වූ විශිෂ්ට සාහිත්‍යමය කලාකරුවන් වූහ. එසේම කලක් නැතිව තිබුණු සංගීතයටද නව පණක් ලැබුනේ ‘මෝසාර්ට්’, ‘බීතෝවන්’, ‘බැක්’ වැනි, එදා පැවති කලාත්මක ප්‍රබෝධයේ ප්‍රතිඵල වූ සංගීතඥයන් ගෙනි.

විද්‍යාවේ නව සොයා ගැනීම් ඇති විය.

මේ හේතු නිසා ලෝකය දෙස නිදහස් අයුරකින් බලන්නට මිනිසුන් ආරම්භ කළහ. පල්ලියේ තද නීති රීති පිළිපැදීම සහ ඇදහීමෙන් කෙමෙන් ඉවත් වීම සිදු විය. යුරෝපයේ කාර්මික විප්ලවයට අත්තිවාරම වැටුනේ මෙලෙසිනි.

මෙන්න මේ පරිවර්තනයේ සංක්‍රාන්තිය මෙතෙක් පසුගාමීව සිටි ඉස්ලාමික ලෝකයේද ආරම්භ වී ඇති බව පෙනීමේ ලකුණු දැකීම සතුටකි. දින කීපයකට පෙර සෞදි තරුණියක් රටෙන් පිටට පැන යාම බලන්න.

මේ ඉහත කී යුරෝපීය කාල පරිච්චේදයෙන් අපට පෙනී යන විශේෂ කරුණක් ඇත. එනම් සමාජයේ ප්‍රගමනය සඳහා සමාජයට ඇති නිදහස සහ කලාකරුවන් ගෙන් ලැබෙන දායකත්වයයි. එය එකිනෙකට සම්බන්ධ දෙයකි. සමාජයේ නිදහස වැඩි වනවිට කලා කෘති වැඩි වේ. කලා කෘති නිර්මාණය වනවිට, සමාජය අදහස්වලින් පෝෂ්‍ය වේ.

එය යුරෝපයට පමණක් ආවේණික නැත.

ජ්‍යේෆ්‍රී බේකන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල