කාලීන සංවාද, දේශපාලන

විජය සහ චන්ද්‍රිකාගේ ‘දරුවා’

Off

වරක් මීගමුව, කොච්ච්කඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ විසු මගේ මවගේ මිතුරියකගේ දරුවෙකුගේ ප්රසාද ස්නාපනය (බෞතීස්ම) කිරීමක් සඳහා විජය කුමාරතුංග පැමිණ සිටියහ. මගේ මව සහ විජය කුමාරතුංග එම දරුවාට ඥාන මව්පියන්වූ එකී උත්සවය මම විජය කුමාරතුංගව පියවි ඇසින්දුටු ප්‍රථම අවස්ථාවය. ඉතාම ආකර්ශනීය පෙනුමක් තිබූ ඔහුගේ රූපකාය අදද මගේ සිතේ සටහන්ව තිබේ. ඔහුගේ මරණය ගැන කියවෙන සෑමවිටම මට එම රුව මතකයට නැගේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගව මම පියවි ඇසින් දුටුවේ ඉන් වසර 06 කට පමණ පසුව 1992 දීය. සුදු සාරියකින් සැරසී අප අසලින් ගොස් වේදිකාවට ගොඩවූ ඇය ඉතා මනරම් පෙනුමැති කාන්තාවක් විය. අද මෙන් නොව ඇයට එකල හිමිව තිබුනේ දුටුවන් මන්මත් කරවූ පෙනුමකි. විජය, මාලනී පොන්සේකාව නොව චන්ද්‍රිකාව විවාහ කර ගැනීමට ඇගේ එම පෙනුමද හේතුවූ බව නොඅනුමානය. එහෙත් විජය ඇයව විවාහ කර ගන්නේ පැහැදිලිව දිගු දේශපාලන ගමනක් යෑමේ උවමනාව පෙරටු කරගෙනය. විජයගේ දේශපාලනය ධනය බලය ගොඩනැගීම ඉලක්ක කරගත්තක් නොව සෑම ජන කොටසකටම සාමය, සහජීවනය සහ සතුට උදාකිරීම ඉලක්ක කර ගත්තකි.

බණ්ඩාරනායකලාගේ සිට ජයවර්ධනලා දක්වාද, රාජපක්ෂලාගේ සිට විජේවීරලා දක්වාද වූ සියළු බල දේශපාලන ප්‍රවාහයන් විජයට ඒ ගමන යෑමට ඉඩ නොදී අතරමග මරාදැමීය. විජයට නොහැකි වූ ඒ ගමන චන්ද්‍රිකාට කිසිසේත්ම යා නොහැකි විය. ඇය එහිලා දරූ යම් උත්සහයක් වෙතොත් අවසාන වූයේ ඇයව දේශපාලන වශයෙන් පමනක් නොව පෞද්ගලිකවද ද්වේශයට සහ වෛරයට පාත්‍ර කිරීමෙනි. ද්වේෂ සහගතව ඇයව ගැරහුමට ලක්කරන අවස්ථාවල විජය කෙරෙහි වූ ඔවුන්ගේ ද්වේෂයද සියුම්ලෙස සහ ක්‍රමානුකූලව මුදාහැරීමටද ඔවුන් අමතක නොකරති.

උදාහරණයක් ලෙස, මීට වසර කිහිපයකට පෙර, වරක් ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දක්වා තුබූ අදහස් විවේචනය කරමින් චම්පික රණවක මහතා කියා සිටියේ ඇය පල්ලියෙන් විවාහ වූ කාන්තාවක් බවය. 88/89 සමයේ සිය ජීවිත ආරක්ෂාව සඳහා ගරු ඔස්කා අබේරත්න පියතුමාගේ පල්ලියේ ආරක්ෂාව පතත්දී ගැටළුවක් නොවූ පල්ලිය, චන්ද්‍රිකාගේ දේශපාලන අදහස විවේචනය කිරීමට ඔහු යොදා ගත්තේ එලෙසය. එලෙස ඔහු චන්ද්‍රිකාව පමණක් නොව විජයවද, විජය සහ චන්ද්‍රිකාගේ විවාහයද, විජයගේ සමාජ, දේශපාලන, ආගමික පසුබිම පිලිබඳව වූ චම්පික රණවකගේ විරෝධය සියුම් ලෙස සමාජගත කිරීමට කටයුතු කළේය.

කෙසේ වුවද, ජනවාර්ගික අර්බුදය සඳහා දේශපාලන විසඳුමක අවශ්‍යතාවය මතුකරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නැගී සිටින සෑම වරක මට නම් පෙනී යනුවේ ඇය විජයව නැවත නැවත් ජීවත් කරවීමට වෙරදරන බවය. නැතහොත් විජය සහ චන්ද්‍රිකාගේ දේශපාලන විවාහයෙන් ඈ තුල ගැබ්ගත්තාවූ දරුවෙකු තවදුරටත් හදාවඩා ගනිමින් ලොකු මහත් කිරීමට වෙහෙසක් දරණ බවය.

මාකස් ප්‍රියන්ත පෙරේරා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල