ඉතිහාසය, දේශපාලන, විචාර

සාධාරණ සමාජය

Off

පවුල් සැලසුම කියන සංකල්පය අලුත් එකක් නෙමෙයි. සියවස් ගණනක් තිස්සේ ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල ජීවත් වූ මිනිස්සු පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරලා තියෙනවා. වෙනස තියෙන්නේ කරපු ක්‍රමයේ.

ඉතිහාසයේ වැඩි කාලයක් පුරා පවුල් සැලසුම් කිරීම කියන එකෙන් අදහස් වුනේ අනවශ්‍ය දරුවන් උපන් අළුතම මරාදැමීම හෝ මැරෙන්නට හැරීමයි. ඊට අමතරව, දරුවන් අවශ්‍ය අයෙක් සිටීනම් දරුවා හදා ගන්න දීමත් සිදුවෙලා තියෙනවා.

ග්‍රීක හා රෝම සංස්කෘතීන් පැතිර තිබුණු ප්‍රදේශ වල උපන් අළුත දරුවන් මරා දැමීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙස මෙන්ම පිළිගත් සමාජ සම්මතයක්ව පැවතී තිබෙනවා. මෙය වරදක් ලෙස සලකා නැත්තේ උපන් අළුත දරුවෙකු මිනිසෙකුව නැතැයි යන පදනමින්. තර්කානුකූලව බැලූ විට මෙය අද බොහෝ සමාජ වල ගබ්සාව සමාජ සම්මතයක් වීමෙන් වෙනස් වන්නේ නැහැ.

ඔක්සිරින්කස් ප්‍රදේශයේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට රැකියාව පිණිස පැමිණ සිටි හිලරියන් විසින් ගමට යන කණ්ඩායමක කෙනෙකු අතේ ඔහුගේ ගැබ්බර බිරිඳට ලිපියක් යවනවා. ක්‍රිස්තු පූර්ව 1 වසරේ ජූනි 17දා (සීසර්ගේ 29 වෙනි අවුරුද්දේ පවුනි මාසයේ 23 වෙනිදා) පැපිරස් පතක ලියන මේ ලිපියේ ඔහු බිරිඳට මෙහෙම කියනවා.

අනෙක් අය ගමට එද්දී මම ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතරව සිටීම ගැන කණගාටු වෙන්න එපා. පොඩි පුතාව ආදරයෙන් බලාගන්න. පඩි ලැබුණු ගමන් සල්ලි එවන්නම්. මා එන්න කලින් දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් නැතුව දරුවා ලැබුනොත්, පුතෙක්නම් තියාගන්න. දුවෙක්නම් ගිහින් දාන්න.

දැන් මේ විදිහට දුවෙක්නම් ගිහින් දාන්න කියන එකෙන් කියන්නේ අලුත උපන් අනවශ්‍ය දරුවන් ගෙනිහින් දමන තැනකට ගිහින් දාන්න කියලයි. එවිට දරුවන් අවශ්‍ය අයෙක්ට කැමතිනම් දරුවා එතැනින් අරගෙන ගිහින් හදාගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ දරුවා මරණයට පත් වෙන එකයි. ආබාධිත දරුවන් මරා දැමිය යුතු බව කලක් රෝම නීතියේ කොටසක්ව තිබී තිබෙනවා. මේ වගේ පුරුදු පාලනය වී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගම පැතිරීමෙන් පසුවයි. මේ ආකාරයටම මැදපෙරදිග බිළිඳුන් මරා දැමීම පාලනය වී තිබෙන්නේ ඉස්ලාම් ආගම පැතිරීමෙන් පසුවයි. චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ අනවශ්‍ය බිළිඳු දරුවන් මරා දැමීම දහනවවන සියවස දක්වාම ප්‍රචලිතව තිබී තිබෙනවා. ජපානයේ මෙය හැඳින්වී තිබෙන්නේ කප්පාදු කර දැමීම යන අදහස ඇති මබිකි (まびき) යන නමින්.

පසුගිය සටහනේ පලකළ රොබට් නොක්ස්ගේ සටහන අනුව දිය බඳුනක හිස ගිල්වීමෙන්, පණ තිබියදීම වලලා දැමීමෙන් හා මිය යන තුරු කෑම බීම නොදී සිටීමෙන් ලංකාවේ අනවශ්‍ය දරුවන් මරා දමා තිබෙනවා. තමන්ගේම කුලයේ අයෙක් ඉදිරිපත් වූ අවස්ථාවලදී දරුවාව හදාගන්න දී තිබෙනවා. රොබට් නොක්ස් කියන්නේ මේ පුරුද්ද නැවැත්වීමට එවකට කිසිදු නීතියක් නොවූ බවයි. එහෙත්, පසුකාලීනව එවැනි නීතියක් පනවා තිබෙනවා.

1825 අගෝස්තු 25දා ගාලු කොටුවෙන් ලංකාවට ගොඩ බැස ලංකාව පුරා සංචාරය කරන රෙජිනෝල්ඩ් හෙබර් බිෂොප් වරයා විසින් ඒ වන විටත් ලංකාවේ බිළින්දන් ඝාතනය වෙමින් තිබීම ගැන 1825 සැප්තැම්බර් 16 දින සටහන් කරන්නේ මෙහෙමයි (පිටුව 252).

උපන් අළුත බිළිඳියන් මරා දැමීමේ බිහිසුණු පුරුද්ද දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක වල තවමත් තිබේ. පසුගිය 1821 සංගණනයට අනුව රටේ පිරිමින් ගණන ගැහැණුන් ගණනට වඩා 20,000කින් වැඩිය. එක් දිස්ත්‍රික්කයක පිරිමින් 100කට ගැහැණුන් සිටින්නේ 55ක් පමණි. ගැහැණු පිරිමි අනුපාතය සමානව තිබෙන්නේ තනිකරම මුසල්මානුවන් පමණක් ජීවත් වන ප්‍රදේශ වල පමණි. මේ අස්වාභාවික හැසිරීමට හේතුව එක් ගැහැණියක පිරිමින් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු සමඟ පවුල් කෑමේ අමුතු සිරිත හේතුවෙන් ගැහැණු දරුවන් විවාහ කර දීම අපහසු වී තිබීම හා ගැහැණියක අවිවාහකව ජීවත්වීම ලැජ්ජාවට කරුණක් සේ සැලකීමයි. ගැහැණු උපතක් සිදු වූ වහාම නැකත්කරු විමසනු ලැබ ඈ නරක ග්‍රහ පිහිටීම් සහිතව උපත ලබා ඇත්නම් වන මෘගයෙකුට ගොදුරු වී හෝ කූඹි කා මිය යන්නට ඉඩ හරිමින් කැලෑවක අතහැර ඒම සිදු වේ. කෙසේ වුවද, මෙය සිදුවන්නේ මවුවරුන්ගේ කැමැත්තෙන් නොවන බව අසන්නට ලැබීම සතුටට කරුණකි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල