ඉතිහාසය, විචාර, විවිධාංග

මල් කැපිල්ල

Off

මල් කඩනවා කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නෑ. කොල්ලො කෙල්ලො එක්කහු වෙලා ආ ගිය විස්තර කතා කලත්, ලග අහල පහල සමාජ සේවා වැඩ කටයුතු ගැන කතා බහ කලත් වටේ පිටේ ඉන්න මිනිස්සු කියන්නෙ …ඕන්න…..මල් කඩනවා කියල. මේ වචන දෙක මුලින්ම භාවිතේට ආවෙ කැම්පස් ආශ්‍රයෙන් වෙන්ඩ පුලුවන්. හැබැයි පේරාදෙනියෙ කෘෂිකර්ම පීඨයට ගිය අපි වගේ ගොබිලො නං කවදාවත් මල් කඩල නෑ. අම්මප!

දැං ඉතිං ඔබ තමුන්නැහෙලා හිතන්ඩ එපා අපි පේමතෝ විප්පමුත්තස්ස – නත්ති සෝඛෝ කුතෝ භයං කියල බොක්කෙම්ම හිතාගෙන ප්‍රේම නොහොත් ලව් නොකරපු ඈයොය කියල. අපි මල් නොකඩන්ඩ හේතුව වෙනම එකක්. ඒ මොකද්ද දන්නවද? අපි ඔය සද්කාර්‍යයට කිව්වෙ ‘මල් කැපිල්ල’ කියලා. අනිත් කැම්පස් වල වගේම බාහිර සමාජයෙත් මල් කැඩිල්ල කියල හදුන්වන දේ පේරාදෙනියෙ ඇග්‍රි ෆැකල්ටියෙදි විතරක් මල් කැපිල්ල උනේ කොහොමද? අද මං කියන්ඩ යන්නෙ ඒ ගැන.

පේරාදෙණියේ කෘෂි පීඨයට ඒ කාලේ නිකම්ම නිකං කොල්ලො කෙල්ලො ආවෙ නෑ ඒ කාලෙ. කොල්ලො වර්ග තුනක් හිටියා. පොරවල්, ශිෂ්‍යයෝ සහ පොන්…යෝ. මේ ගොඩවල් තුනෙන් කොයිකට මේ කලිසං කමිස ඇද ගත්තු, සෙරෙප්පු දෙකක් දාල, කොන්ඩෙ කොටට කපපු සෙට් එක අයිතියිද කියල සක්කරයට තියා අපේ සීනියර් ජ්‍යේෂ්ඨ තුමාලටවත් අදුන ගන්ඩ බෑ. ඒකනේ අපි කැම්පස් ආපු ගමම්ම අපේ ජ්‍යේශ්ට තුමාලා අපෙන් මෙහෙම අහන්නෙ.

ඒයි කුණු ප්‍රෙශා තෝ පොරක්ද?

න්..නෑ ජ්‍යෙෂ්ඨතුමා…

එහෙනං හු.. තෝ පොන්…යෙක්ද?

ම්….ම්……න්….නෑ ජ්‍යෙෂ්ඨතුමා!

එහෙනං කවුද යකෝ?

කබ්බෙක් ජ්‍යෙෂ්ඨතුමා!!

කබ්බා කියන්නෙ කබ් කියන පර භාෂාවෙ එන වචනයෙන් ගත්තු පැටියා කියන අර්තය දෙන කැම්පස් උප භාෂාවේ වචනයක්. කෘෂිකර්මය කියන විෂයයට සත්ත්ව පාලනයත් ඇතුලත් හින්දා මේ වචනය යොදා ගන්න එකේ ඒ හැටි වරදක් මම දකින්නෙ නෑ.

ඔය විදිහට යටහත් පහත් විදිහට ආරම්භ කරන සරසවි ජීවිතේ මල් පිපෙන්ඩ පටන් ගන්නෙ සෝෂල් එකෙන් පස්සෙ. පුහ් බලන්ඩ එපෑ එතකොට තියන ගතිමන්ට් එක! අර කබ්බගෙ හදුන්පොත කී ගාන්ඩ පටන් ගන්නවා. ඇයි ඉතින් බලන බලන තැන ‘ලතා මඩුලු අත වනනවා සෙවණට එන්න කියා…මේ මල් උද්‍යානේ….ඇයි දෙයියනේ අපි විතරක් තනිකඩව ජීවත් වෙන්නේ? ඔන්න ඔහොම කල්පනා කරල පාරට බහින කොට, තමුන්ගෙ බැචාලගෙන් පොඩ්ඩක් විපරම් කරල බලනකොට තේරුං යනවා කොල්ලො තුන් වර්ගයක් කැම්පස් ආවට කෙල්ලො වර්ග හයක්ම මෙහෙ ඇවිල්ලා කියල. ඔබ තමුන්නාන්සේලාගේ දැන ගැනීම පිනිස මම පහත දක්වන්නේ ඒ කෙල්ලෝ වර්ග හය සහ අපේ ශ්‍රී බැච් එකේ මේ උත්තමාවියෝ හිටපු අනුපාතය.

1. පට්ට යක්කු 50%
2. යක්කු 30%
3. බඩු 20%
4. ටොයියෝ 5%
5. කිරි ටොයියෝ 0%
6. කිරිම කිරි ටොයියෝ -5%

අර මං කිව්ව රැග් සීසන් එකේදිම ටොයියො ටික අපේ ජ්‍යේෂ්ට තුමන්ලාට බහ දීලා ඉවරයි. ඕනම වැඩකදී අන්තිමට ගේමට බහින අපි වගේ ටියුබ් ලයිට් ෆීල්ඩ් එකට එනකොට ඉතුරු යක්කු ටික්කුයි පට්ට යක්කු ටිකකුයි විතරයි ඕං. හැමදාම ඉතින් ඔහොමනේ අපිට. ඉස්කෝලෙ යන කාලේ අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තිබිච්ච ඉස්කෝලෙට කිරි ටොයියො යනව බලාගෙන අපි බස් එකේ එහා හෝල්ට් එකෙන් බැහැලා පයින් යනවා. ක්ලාස් යනකොට අපි කෑ ගහල මාට්ටු වෙලා එලියට දාන කොට අපේ කරුමෙට අර කිරි ටොයි නංගිලා ඉස්සරහම පේලියේ ඉදන් අපි දිහා බලන්නෙ හරියට අර්ජුන් ඇලෝසියස් උසාවියට ගේන දිහා මිනිස්සු බලා ඉන්නවා වගේ. අපි කැම්පස් යනකොට හැඩ අක්කලාත් ඉන්නවා. ආට් ෆැකල්ටියේ හැඩම හැඩ කිරිම කිරි ටොයියොත් ඉන්නවා හැබැයි අපේ බැච් එකේවත් අපිට ලග ජූනියර් බැච් වලවත් වේකන්සි තියන ටොයියෙක් තියා බඩුවක්වත් නෑ. සසරේ හැටි!

ඔය පව ඔතනින් නතර උනේ නෑ පිංවතුනි රස්සාවට ගියාමත් එහෙම්ම තමයි. හරියට කනත්තක වැඩට ගියා වගේ. යක්කු, මල කදන් පිරිලා. හිතේ සැනසීමට එක ලස්සන කෙල්ලෙක් නෑ. අඩු ගානෙ බේතකට ගන්ඩවත් එකෙක්වත් නෑ කිව්වහම !!! සංදුක්කාරේ පව පල දෙනවා කිව්වට මෙහෙමත් පල දෙනවද අප්පා !!!

ඔන්න ඉතින් ඔය වගේ කල දසාවක් ලබල තිබ්බ අපිත් කොහොම කොහොම හරි මල් කැඩිල්ලට… නෑ නෑ වැරදුනා මල් කැපිල්ලට සෙට් වෙන්ඩ පටන් ගත්තා. දැන් මම කියල ඉන්නං මල් කැඩිල්ලෙයි මල් කැපිල්ලෙයි තියන වෙනස.

මල් කැඩිල්ල ඕනම කෙනෙකුට කරන්ඩ පුලුවන්. ඕන කරන්නෙ අඩුම ගානෙ තමන් කියන දේ අහගෙන ඉන්ඩ කෙනෙක් විතරයි. කිසි සූදානමක් ඕන නෑ. කිසි හෙවිල්ලක් බැලිල්ලක්, වෙලාවක් කලාවක්, ශිල්පීය දක්ශතාවක් මේ මොකුත්ම ඕන කරන්නෙ නෑ. දන්නවනෙ හැබෑ ලෝකේ මල් කඩන්ඩ හය හතර නොතේරෙන පොඩි ළමයෙකුට උනත් පුලුවන්. මල් කැපිල්ල ඊට වඩා හාත් පසින් වෙනස්. මල් කපනවා කියල කියන වචනෙ සාමන්‍ය භාවිතයෙදි යෙදෙන්නෙ තෙලිජ්ජ හා රා ලබා ගැනීම සදහා පොල්, තල්, කිතුල් වගේ තාල වර්ගයට අයිති ගස් වල මල් හරියටම කිව්වොත් පුශ්ප මංජරිය ඒ කියන්නෙ මල් හුගක් එක්කහු වෙලා හැදිච්ච එකතුව නැත්තං සමූහය පිපෙන්ඩ කලින් තුවාලකිරීමෙන් යුෂයක් ලබා ගන්නා වැඩේ තමයි මල් කැපිල්ල කියලා හදුන්වන්නෙ.

නිකං තියෙන පොහොට්ටුවක් කැපුවට ඔය කියන විදිහෙ දෙයක් කරගන්ඩ බෑ කියල අපි හැමෝම දන්නවා. ඒ හින්දම මල් කැපිල්ල සීරුවෙන් කරන්ඩ ඕන වැඩක්. වැඩේට ගැලපෙන මලක් තෝරා ගැනීමේ ඉදලා තෙලිජ්ජ ටික වැඩකට ගන්න අවස්ථාව වෙනකල් හරි පරිස්සමින්පිලි පදින්ඩ ඕන පිලිවෙලක් තියෙනවා. ඒ කාලේ අපේ ජ්‍යේශ්ට තුමාලගෙන් අහගත්තු පාරම්පරික දැනුමත් කට්ටකාඩුවා ගේ යාලු මිත්තරයො දවල්‍ රෑ නොබලා මල් කැපීම තුලින් ලබාගත් මහා දැනුම් සම්භාරයත්, ඒ මල් කැපිලි දිහා බලාගෙන ඉදලා මං ලබාගත් දැනුමත් අන්තිමට ඉතිං අපිම පොඩි පොඩිවට කරපු මල් කැපිලිවල සතතාභ්‍යාසයත් කියන කලපුරුද්ද, දැකපුරුද්ද හා ඇහුපුරුද්ද යන සකල දැනුම් සම්භාරයෙන් බිදක් තමයි ඔන්න දැං කියන්ඩ යන්නෙ.

1.මල් කපන්නේ තනි ගසකද එක ලග පිහිටි ගස් කීපයකද යන්න තීරණය කර ගැනීම

සමහර ගෑල්ලමයි ඉන්නෙ රංචු විදිහට. එහෙම වෙලාවක එ ඔක්කොම එක්ක මල් කපන්ඩ අවස්ථාවක් තියෙනවා. ඒක වඩා වැඩි කාර්යක්ෂමතාවයකටත් හේතු වෙනවා. හැබැයි මේ එෆිෂන්සි එක වැඩි කරගන්ඩ ගස් අතරේ අතුරක් බැදලා ගහෙන් ගහටමාරු වෙන්ඩ පුලුවන් උනාට හුගක් වැඩ කාරයෝ හොට බිම ඇණ ගන්නෙ මේ අතුරෙ වෙන අනතුරුවලදි ඕං. අපේ එකෙකුට අතුර මැද්දෙදි තව මල් කපන්නෙක් හම්බ උනා දවසක්. අපේ එකා නුවර ඉස්පිරිතාලෙ හිටියා දවස් දෙකක්ද කොහෙද. හැබැයි වැඩියක්ම වෙන්නෙ ලණුව දිරල තියන වෙලාවක අතුරෙ යන්ඩ ගිහිල්ලවෙන අනතුරු. අම්මපා.

2. මල් කපන ආයුධ සෙට් එක

මල කපන්ඩ ගන්න පිහියට කියන්නෙ මල් පිහිය කියලා. ඒක හොදට මුවහත තියෙන, සමහරවිට කම්මල්කාරයාට රා මුට්ටියක් වගේ සන්තෝෂමක් වෙනමම දීලා හදවගන්න පිහියක්. ඒක ගෙදර දොරේ අනිත් වැඩ කටයුතු වලට පාවිච්චි කරන්නෙ නෑ. ඒ වගේම තමයි අපේ ‘මල් කැපිල්ලට’ පාවිච්චි කරන ප්‍රධාන උපකරණත්. ඒ කියන්නෙ වචන! පෙම් රස බේරෙන, රෝස මල් යහනාවල්, සදිව්‍ය ලෝක, අල්ට්‍රා එච්.ඩී දේදුනු වර්ණ වලින් යුත් හීන, යුනිකෝලා සැන්ඩෝලා, සුපර්මෑන්ලා පරදවන විදිහේ වීර ක්‍රියා (වැරදිලාවත් ස්පයිඩර්මෑන් ගන්ඩ එපා යකුනේ හුගක් මල්… වැරදුනා කෙල්ලෝ මකුලුවන්ට මාර බයයි) ගැන කියන්ඩ පුලුවන් හැකියාවක් තියෙන්ඩම ඕන.

මල් කපන්නෝ තව පිහියක් අරන් යනවා ගහ මුල පාදා ගන්නවා වගේ වැඩ වලට. අපේ පැත්තෙ නං සාමාන්‍ය වප්පිහියක් තමයි මේකට පාවිච්චි කරන්නෙ. ඒ වගේම මල් කපන්ඩ යන කෙනාත් ටැලිෆෝන් එකක්, කුඩයක්, රෑ කාලයේ නම් ටෝච් එකක්, (වයසට ගිහිල්ලා නම් හැරමිටියක් වගේ දේකුත් උදේට මූන හෝදා නැති බව මතක් උවහොත් හැක්ස් ටොපියක් වගේ දෙයකුත් අවශේෂ උපකරණ විදිහට තියාගන්ඩ ඕන. කොහේ හරි සුදුසු තැනක ඉද ගන්ඩ පත්තර කොල කෑල්ලකුත් සාක්කුවේ තිබුනට ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙයියනේ කියලා බුලත් විටකින් හක්ක පුරවගෙන හෙම යන්ඩ එපාලා. තවත් වැදගත් චරිතයක් ඕන වෙන්නේ ගෑල්ලමයාගේ බොඩිගාඩ් තනතුරට ස්ව කැමැත්තෙන් පත්ව සිටින මිත්‍රප්‍රතිරූපිකාවන්ගෙන්.

උන්ව මල් කපන ශුද්ධස්තානයෙන් ඈත් කරලා තියා ගන්ඩ කෝලමෙකුත් ඕන කරනවා. මං ඔය වැඩේ කරල ඇති ඉහේ කෙස් ගානට. හැබැයි ඔය කෝලමා ඕන කරන්නෙමල හදාගන්න මුල් කාලේ විතරයි. ඊට පස්සෙ ඌ පදිරි කරලා ඈත් කරන්ඩ ඕන. නැත්තං ඔය රටේ අනිත් තැං වලදි වෙලා තියනවා වගේ කෝලමා මල් කපන්ඩ පටන් ගන්නවා මොට්ට පිහි වලින්. මලත් විනාසයි මල් කපන්ඩ ගිය එකත් විනාසයි. මං මේ කියන්නෙ අත්දැකීමෙන් ඕං අම්මපා!!

තෙලිජ්ජ පෙරාගන්ඩ ගොට්ටක්, බේත් අඹරගන්ඩ ගලක්, මල් අව්වෙන් වැස්සෙන් ආරක්ශා වහන්තරාවක්, මල් පිහිය දාගෙන යන්ඩ කොපුවක්, තෙලිජ්ජ එක්කහු කරගන්ඩ ලබු කැටයක්, කොලපත් ගොට්ටක් හරි බූලියක් හරි වගේ භාජනයක් වගේ තවත් උපකරණ ඕන උනත් එව්ව ගැන මං දැන්ම කියන්ඩ සූජානමක් නෑ. අවස්ථාවක් ආවොත් පස්සෙ වෙලාවක කියන්නංකො ඈ.

3. මල පදම් කිරීම හා බේත් බැදීම

මල් හරියට පදං කලේ නැත්තං මල් කැපිල්ල අතින් පාඩු වෙන්ඩ පුලුවං. ඒකට හේතුව ඒ ගන්න තෙලිජ්ජ ටික හකුරු හදන්ඩවත්, රා හදන්ඩවත් වෙන කිසියං ප්‍රයෝජනවත් වැඩකටවත් පාවිච්චි කරන්ඩ බැරි වීම. පදං කරන්ඩ සුදුසු මලක් තෝරා ගැනිල්ලත් කලාවක්. ඒක මෙහෙමයි මෙහෙමයි කියල ලියල කියල දෙන්ඩ බැරි උනත් අත්දැකීමෙන්ම, කල හුරුවෙන්ම දියුනු කරගන්ඩ ඕන ශිල්පයක්. ඉස්සරෝම පීදෙන්ඩ යන මලක් පදං කිරිල්ලයි, මුල්ම අවස්තාවේ පදං කරගන්ඩ බැරි වෙලා ටිකක් මෝරන වෙලාවේ පදං කර ගැනිල්ලයි කියන දෙක කර ගන්ඩ ඕනත් දෙවිදිහකට. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය කාලෙකදියි,විභාග වගේ වැස්ස කාලවල් වලදි මල් පදං කර ගැනිල්ලත් දෙවිදිහක්. අපේ යාලුවෙක් හිටිය මනුස්සය ගෑල්ලමයින්ට ටෝක් කරන්ඩ යන්නෙම විභාග කාලවල්, අදාල ගෑල්ලමයාගේ යාලුවන් කොල්ලොත් එක්ක සෙට් වීම වැනි ස්ට්‍රෙස් වැඩි කාලවල් අල්ලලාමයි. ඒ මල් විශාරද තුමාගේ අදහස අනුව ඒ වගේ කාලවල් වල මල් කැපිල්ලට මලක් සෙට් කර ගැනීම ගංජ සුරුට්ටු දෙකකුත් එක්ක මදන මෝදක හතරක් විතර කෑම කර්පට් වෙන්ඩ ශුවර් ෂොට් එකක් වගේ අත්දුටු ප්‍රත්‍යක්ශ කාරණයක්ලු.

4.මල් කැපීම සහ ගොට්ට එල්ලීම

ගොට්ට ඇල්ලීම කැම්පස් එකේදි විතරක් නෙවෙයි බාහිර සමාජෙදිත් සුදුසුකම් වැඩි අනිකාව කපාගෙන ඉස්සරහට යාමට නිතර භාවිතා වෙන උපක්‍රමයක්. ඔන්න ඔව්ව තමයි ඔලිම්පික් වලට තියන්ඩ තිබ්බ තරග. අපිට ගේමක් තිබ්බොත් ඉතින් ඉන්දියන් කාරයන්ගෙන් තමයි. නැත්තං රන් පදක්කම සින්නක්කරවම අපේ තමයි. ගොට්ට එල්ලිල්ලත් ඒ ආකාරයෙන්ම පුරුදු පුහුණු කල යුත් අත්‍යාවශ්‍ය ජීවන කුසලතාවයක්. හරියට ගොට්ට එල්ලුවේ නැත්තං තෙලිජ්ජ ටික බිම. එතකොට අහල පහල ඉන්න උගුඩුවෝ දැන ගන්නවා මේ ගහේ තෙලිජ්ජ අහක යනවා මල් කාරයාගේ වැරැද්දෙන් නොහොත් නොසැලකිල්ලෙන්. ඒ හිංදා මනුස්සයා මල් කපාපුදෙන් අපිට ගහට නැගලා තෙලිජ්ජ ටික බොන්ඩ පුලුවන් කිසි මහන්සියක් නැතුව කියලා. මෙන්න මෙහෙම උනාම අච්චර මහන්සියෙන් මලක් හොයාගෙන, උපකරණ ටික එක්කහු කරගෙන, පදම් කරගෙන කපන්ඩ පටං ගත්තු මලේ ප්‍රයෝජනයක් ගන්ඩ මල් කාරයාට බැරි වෙනවා. පිට යනවා.

මල් කැපිල්ලත් හිතිච්ච හිතිච්ච වෙලාවට කරන්ඩ බෑ. ගෑල්ලමයා පාඩං කරනකොට, ගෙදර ගිහිං ඉන්න කොට, වැසිකිලි කැසිකිලි ආදී ශරීර කෘත්‍යයන් කරන කොට වගේ වෙලාවල් වල නොහොත් තැන නොතැන නොබලා මල් කපන්ඩ බෑ. ඉතිං කිතුල්, පොල්, තල් වගේ මලක් කපන කොටත් එහෙමම නොවැ. දවසේ සුදුසු වෙලාවක් බලලා,තෙලිජ්ජ බේරෙන වේගය දැනගෙන තමයි ඒ මල් කැපිල්ලත් කෙරෙන්නේ.

5. පැණි, හකුරු හෝ රා නිෂ්පාදනය

මෙච්චර අමාරුවෙන් කපන මලෙන් ලැබෙන තෙලිජ්ජ ටිකට මොකද කරන්නේ. ඕන නං තෙලිජ්ජ ඒ විදිහටම ආගමික පුද පූජා වෙනුවෙන් යොදාගන්ඩ පුලුවන්. ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි කියල කියන්නෙ ඒ වගේ වෙලාවල් ගැන වෙන්ඩ ඕන මං හිතන්නේ. එහෙම නැත්තං තම තමා හිතන පතන ඉල්ලුමක් තියන පරිද්දෙන් පැණි, හකුරු හෝ රා නිෂ්පාදනයට මේ තෙලිජ්ජ යොදා ගන්ඩ පුලුවන්. මල හරියට කපාගන්ඩ පුලුවන් වෙච්ච එකාට මේ දේවල් කරගන්නේ කොහොමද කියලා ආය අමුතුවෙන් කියල දෙන්ඩ උවමනාවක් නෑ. පැණි බීම සදහාය, හකුරු කෑම සදහාය රා අනන්ත සුවය සදහාය කියල පැරණි ඉර්සින්නාන්සේලා මොකද්ද පොතක ලියල තියනවලු.

6. තහංචි

මල් කැපිල්ලට අදාල තහංචි එහෙම නැත්තං නොකලයුතුයි කියල සම්මත රීති සම්ප්‍රදායකුත් තියනවා. එක් මල් කාරයෙක් විසින් කැපීමට සූදානං කරපු මලක් තවකෙකු විසින් නොකැපීම, මල් කැපිල්ලට අදාල කිසිදු බොරුවක් නොකීම වැනි දේ හැබෑ මල් කැපිල්ලත් එක්ක බද්ධ වෙලා තියන තහංචි. හැබැයි ඔය තහංචි කැම්පස් එක ඇතුලෙදි නං බලපවත්තන්නෙ නෑ. අර වගේ තහංචියක් නැති නමුත් ෆෝන් කාඩ් වල අධික බිල, රෑ නවයෙන් පසු ගර්ල්ස් හොස්ටල්ස් වල දොර වැසීම, ඕෆ්පේක් වේලාවල්වල හොස්ටල් එකේ ෆෝන් එක සහයෝගයෙන් පාවිච්චිය වගේ දේවල් තමයි කැම්පස් ‘මල් කැපිල්ලෙදි’ තහංචි වෙන්නෙ.

අද කාලේ හැමෝම ලග මොබයිල් ෆෝන් තියන හිංදා අපේ දවස් වල හොස්ටල් වල පේ ෆෝන් වලට තිබ්බ ඉල්ලුම නැතිවෙලා ගිහිං ඇති. සමහර විට අනිත් සමාජය අනුකරණය කරමින්මල් කැපිල්ල කියන පාරිභාෂික වචනය වෙනුවට මල් කැඩිල්ල කියන කිසි රහක් නැති වචනෙ පාවිච්චි වෙනවා ඇති. ඒ කොහොම උනත් මල් කැපිල්ලේ එක්ස්පර්ට්ලා එක්ක ගෙවිච්ච ඒ අවුරුදු හතර තාම නැවුම් මල් සුවදක් මතකයට එක්කහු කරනවා. මම යනවා මතක මාවත දිගේ ඒ මල් සුවද විදින්ඩ. ලවර්ස් ලේන් නෙවෙයි මෙමරි ලේන් !!!

කට්ටකාඩුව

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල